ප්‍රිය දසුන්

313

ගිය ඉරිදා මේ ඉරිදා වාගෙ නොවේය. ගිය ඉරිදා උණුසුම්ය. මීගමුවේ උපන් කොල්ලෙක් තමන්ගේ කණ්ඩායමත් එක්ක ඩුබායි වැලිකතරේ තරග වැදුණු ඒ ඉරිදා දිනය අතිශය උණුසුම්ය. මෙරට පමණක් නොව ආසියානු කලාපයම එදින උණුසුම්ය. ආසියානු කලාපයට ක්‍රිකට් තරම් ජනප්‍රිය ක්‍රීඩාවක් තවත් නොවේ. ඒ ජනප්‍රිය ක්‍රීඩාවේ කලාපයේ ශූරයන් සොයන අවසන් මහා සටන පැවැත්වෙන දිනය උණුසුම් නොවන්නේ කෙසේද? ඒ අනුව බොහෝ දෙනෙක් දින ගනිමින් සිටි එම උණුසුම් දිනය උදා විය. ඒ මහා සටනේ එක් තරගකරුවෙක් වූයේ අප ඉහත කී මීගමුවේ උපන් තවමත් මීගමුවේ පදිංචි මේ කොල්ලා සහ එම කණ්ඩායමයි. ඔහුට කොල්ලා යයි කියන්නේ විවාහ ගිවිසගෙන තවමත් වසරක් පමණක් ගතවී ඇති නිසා නොවේ. ඔහු ප්‍රමුඛ කණ්ඩායමම කොල්ලන් ය. අවසන් මහා සටනේ පාකිස්තානය සමග තරග වැදුණු ඒ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ වයසේ සාමාන්‍ය අවුරුදු 26 කි. ඒ අතරින් තවමත් මහීෂ් තීක්ෂණ විසි දෙහැවිරිදි ය. ඩිල්ශාන් මධුසංඛ විසි එක් හැවිරිදි ය. පැතුම් නිශ්ශංක සූවිසි හැවිරිදිය. වනිදු හසරංගට ද තාම අවුරුදු විසිපහකි. කණ්ඩායමේ ජේෂ්ඨයන් වූයේ 31 හැවිරිදි වියේ පසුවන නායක දසුන්, ධනංජය ද සිල්වා සහ ධනුෂ්ක ගුණතිලක යි. මේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ වයසේ එකතුව අවුරුදු 296 කි. එය 11න් බෙදූ විට ලැබෙන උත්තරය 26කි.

දසුන්ට කොල්ලා කියන්න තවත් හේතුවක් වේ. ඔහු ඩුබායි බලා ගියේ නවකයන් රැසක් සමගිනි. කොටින්ම තරගාවලියට ගිය වේග පන්දු යවන්නො සියලු දෙනාම 20-20 පිටියට කෝඩුකාරයෝ වූහ. ඉන් තිදෙනෙක්ම ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට ද කෝඩුකාරයෝම වෙති. ඔවුන්ට පන්දු යවන්න තිබුණේ විරාත් කෝලිටය. බාබර් අසාම්ටය. සකීබ් අල් හසන්ටය. කෝලිගේ ජාත්‍යන්තර ක්‍රිකට් පැටිකිරිය ගතහොත් ටෙස්ට් තරග 102 කි. එක් දින ජාත්‍යන්තර තරග 262 කි. පන්දු වාර 20-20 තරග 104කි. සියල්ලේ එකතුව 468කි. ඉන්දීය නායක රෝහිත් ශර්මා පන්දුවාර විස්සයි විස්ස තරග 136කට ක්‍රීඩා කර තිබේ. එක් දින තරග 233 කි. ටෙස්ට් තරග 45කි. එකතුව 314කි. බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් ටෙස්ට් තරග 63ක්, එක් දින තරග 222ක් සහ පන්දු වාර 20-20 තරග 101ක් සමග ජාත්‍යන්තර තරග 386කි. එසේ බලන කල මෙවර අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සියලු දෙනා තරගාවලියට පෙර ක්‍රීඩා කළ පන්දුවාර විස්සයි විස්ස තරගවල එකතුව වන්නේද 286කි. එය විරාත් කෝලිගේ ජාත්‍යන්තර තරග ගණනට වඩා තරග 182ක් අඩුය. රෝහිත් ශර්මාගේ තරග ලැයිස්තුවට වඩා තරග 28ක් අඩුය. බංගලදේශ නායක ශකීබ් අල් හසන් ක්‍රීඩා කළ ජාත්‍යන්තර තරග ගණනට සමාන වන්නට ද මේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තවත් ජාත්‍යන්තර තරග සීයක් පමණ ක්‍රීඩා කළ යුතුව තිබුණි. තරග සංඛ්‍යාව ලෙස ගත් කල පන්දුවාර විස්සයි විස්ස තරගයක් ද එක් තරගයක් වේ. එහෙත් පන්දුවාර විස්සයි විස්ස තරගයක් හා ටෙස්ට් තරගයක් ගත් කල අහසට පොළොව මෙනි. පන්දුවාර විස්සයි විස්ස තරගයකට ඇතුළත් වන්නේ පන්දුවාර 40 කි. ටෙස්ට් තරගයකට පන්දුවාර 450 කි. එය පන්දු වාර හාරසීයක් ලෙස සාමාන්‍ය වශයෙන් ගත හොත් එක් ටෙස්ට් තරගයක අත්දැකීම් ලබන්න පන්දුවාර විස්සයි විස්ස තරග 10 ක් වත් ක්‍රීඩා කළ යුතුය.

කෝලිගේ ජාත්‍යන්තර තරග අත්දැකීම් පමණක් ඒ අනුව ශ්‍රී ලංකාවට වඩා දස ගුණයකින් ඉහළ යයි. ශ්‍රී ලංකා නායක දසුන් තරග කළේ නවකයන්ගෙන් පිරි කණ්ඩායමක් සමග කෝලි වැනි ක්‍රීඩකයන්ගෙන් යුත් කණ්ඩායම්වලට එරෙහිවය. එහෙත් උපාය උපක්‍රමය අතින් ගත් කල දසුන් එහිදී කෝලිව ඉක්මවා තිබුණි. ගලී සහ ස්ලිප් ස්ථානවල පන්දු රකින්නන් යොදවා මිඩ් විකට් කලාපය විවෘත කර ආධුනික ප්‍රමෝද් මදුශාන් ලවා කෝලිට පන්දු යැවීමට කිව්වේය. හිඩැස් වූ මිඩ් විකට්වලට ගහන්න ගිය කෝලිට වුණේ ප්‍රමෝද්ගේ පන්දුවෙන් සිය කඩුල්ලේ මැද ඉන්න සහ වම් ඉන්න ගලවා ගැනීමටය. බින්දුවට දැවී යාමටය. අවසන් මහා තරගයේ දී පාකිස්තාන නායක බාබර් අසාම් කොටු වූයේ ද දිගින් දිගටම ඔහුගේ පා ඉන්නට සමීපයෙන් එල්ල කළ පන්දු කිහිපයක් සමගිනි. මෙසේ සාර්ථක වූ උපාය උපක්‍රම බොහෝය. දසුන් ඇතුළු කොල්ලන් කොල්ලකෑමක් නැතිව ඩුබායි පිටිය හොල්ලා ආසියානු කුසලානය දිනුවේ එසේය. අනෙක් කණ්ඩායම්වලට වඩා අපිට තිබුණේ කණ්ඩායම් හැඟීම පමණි. නායකයා වටා සාමූහිකව බැඳුණු ඔවුහු එකම අරමුණකට ගියහ. තනි තනිවම “පොරක්” වීමට යැයි කිසිවෙක් නොසිතූහ. තමන්ට ලකුණු 50ක් ගහනවට වඩා රට වෙනුවෙන් හයියෙන් තිහක් ගැසීම අගනේ යැයි සිතූහ. ඒ අගනා සිතුවිලි සමුදායේ නිමාව සනිටුහන් වූයේ දසුන්ගේ දෝතට ආසියානු කුසලානය උරුම කර දෙමිනි. ඔහු එය මහත් ගෞරවයෙන් ශ්‍රී ලංකා මාතාවට පිදුවේය.

දසුන්ගේ කොල්ලන්ට ඇෆ්ගන් පරාජයෙන් පසු එල්ල වූයේ අවමන් සහගත කතාය. අවසන් තරගයක් ගැන නොව කතා වුණේ පළමු වටය අවසන් වෙද්දි බලාපොරොත්තු සුන්ව ගෙදර යන ශ්‍රී ලංකා පිලක් ගැනය. ඒ නිසා බංග්ලාදේශ සමග තරගය ශ්‍රී ලංකාවට තවත් අවසන් තරගයක් හා සමාන විය. ඔවුහු ඩුබායි පිටියේ වාර්තා තබමින් එය ජය ගෙන මහ අමුතු බලාපොරොත්තුවක් අප අතර ඇති කර සුපිරි වටයට ආහ. සියලු දොස් භංග කරමින් බංගලියන් පරාද කර ලද ඒ ජය සමග ඇෆ්ගනිස්තානය සහ ප්‍රබල ඉන්දියාව ද පරාජය කළේය. පකිස්තානය සමග සුපිරි වටයේ තරගය අවසන් මහා තරගයට පෙරහුරු තරගයක් මෙන් විය. එහෙත් දසුන්ගේ කොල්ලෝ සෙල්ලමටවත් පරාජය වෙන්නට අකමැති වූවෝ වෙති. ඒ පෙරහුරුව ජයග්‍රහණයට පාර කිව්වේය. තරගාවලියේ කඩුලු සොයමින් සිටි වනිඳු කඩුලු 4ක් ගෙන එහිදී වැඩ පෙන්නුවේය. අවසන් තරගයේ තවත් කඩුලු 3ක් ගෙන තරගාවලියේ වීරයා වීමට වනිඳුට මග පෑදුණේ එසේය. ලකුණු 58කට කඩුලු 5ක් බිඳවැටී තිබුණු ඉනිමට ජීවය ගෙන ආ වනිඳු, භානුක සහ චාමික 170 සීමාවට මුළු ලකුණු සංඛ්‍යාව ගෙන ආහ. ශ්‍රී ලංකාව පෙර තරග දින්නේ “ටොස්” එකේ වාසිය නිසාය. මේ තරගයේදී ඒ වාසිය නැති වී ගිය හෙයින් අප පරදිනු ඇතැයි යළිත් කියන්නට වූහ. එහෙත් දසුන්ගේ කොල්ලෝ සියල්ල කණපිට හරවා ශ්‍රී ලංකාව ආසියාවේ හිණිපෙත්තේ තැබූහ. නේක දෝමනස්සයන්ගෙන් පිරී, එදා දවස ජීවත් වීම සඳහා දුක් පීඩා මධ්‍යයේ වෙහෙසෙන ලක්ෂ දෙසීයයක ජනතාවක් සැනසුම් සුසුමන් හෙළුෑහ. දසුන්ලා අපව ආසියාවේ ක්‍රිකට් රජුන් කරන්නට හෙළුෑ දහඩිය සුවඳ ඒ සැනසුම් සුසුම්වල මුසුව තිබුණි. එසේ දසුන්ලා මෙවර ගෙන දුන් ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් දින ඉතිහාස දින දසුනේ අට වසරකට පසුව ලද ජයග්‍රහණයකි. එමෙන්ම හයවැනි ආසියානු ක්‍රිකට් ශූරතාවය වේ. ජයග්‍රහණය යනු බන්දේසියක තබා ලබා දෙන්නක් නොවේ. එය හඹායා යුතුය. හරසුන් අවමන් දුරලා දසුන්ලා ලක්ෂ දෙසීයක ජනතා පැතුම් සුන්කර ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ගෙන දුන්නේය. ඔහු දැන් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම පන්දු වාර 20-20 තරග ජය ගත් නායකයා වේ. වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව පසුපස හඹා යමින් සිටින්නෙකි. ඔහු පසුගිය 15 වැනිදා පැවැති මාධ්‍ය හමුවේ දී කියු දෙයක් මෙසේය. “මම ක්‍රීඩා සමාජ තරගයකදී එක් වරක් හයේ පහර 16ක් එල්ල කළා. ඒ සමග මාධ්‍යවල පළ වූ වාර්තා අනුව තමයි මාව බොහෝ දෙනෙක් දැන ගත්තේ”

ඔහු එසේ කීවත් දසුන්ගේ මේ හයේ පහර දස්කම් ගැන ජොස් හෙස්ල්වුඩ්, මිචෙල් ස්ටාර්ක් ද දැන් හොඳින් දනිති. ඔස්ටේ්‍රලියාවට එරෙහිව එදා පල්ලෙකැලේ දී දසුන් පෑ දස්කම් අමතක නොවේ. එහෙත් දසුන්ගේ හයේ පහරක දුර පිළිබඳව හොඳම අතීත වාර්තාව දන්නේ කළුතර විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයයි. මීට වසර 15කට පමණ එපිට තරගයකදී ඔහු එල්ල කළ හයේ පහරක් නතර වී තිබුණේ ක්‍රීඩාංගණයේ නොවේය. එය හයේ සීමාවට එපිටින්, ගාලු පාරටද උඩින්, කෝච්චි පාර ද ඉක්මවා මුහුදු සීමාව ආසන්නයට වැටීමෙනි. එදා දස්සා දැන් වෙනදාට වඩා දක්ෂයෙකි. ජාත්‍යන්තර ක්‍රිකට් තරු පරදා දසුන්ලා මෙදා ජය ගත් කුසලානය ජනතාව වෙත ප්‍රදර්ශනය කළ අයුරු දිස් වූයේ ඔවුන් එන අතරමගය. “මෙන්න අපි ඔයාලා වෙනුවෙන් ඒක කළා” මග දෙපස රැස් කමින් සිටි ජනතාවට දසුන්ගේ ආචාරය එසේ විය. සැබැවින්ම එය ප්‍රිය දසුනකි.

කුෂාන් සුබසිංහ
ඩුබායි ක්‍රිකට් තරග සංචාරයෙන් පසු

advertistmentadvertistment
advertistmentadvertistment