ප්‍රොමිතියස් දූපත

220

ක්ෂේත‍්‍ර ගණනාවක ප‍්‍රතිභාවක් පළ කරන එරික් ඉලයප්ආරච්චි සිංහල ලේඛකයන් අතරින් වේගයෙන්ම නිර්මාණකරණයෙහි නිමග්න වන්නා ලෙස හැඳින්වීම කිසිසේත් සාවද්‍ය නොවේ. මේ මොහොතේ අප අතින් විචාරයට භාජනය වන ප්‍රොමිතියස් දූපත ඔහු ගේ අටළොස්වන කාව්‍ය සංග‍්‍රහය වීමෙන්ද එය තහවුරු වන බව කිව යුතුය. සිව් සතසක් වූ කාව්‍ය නිර්මාණ සමග පස් වග උදාන නමින් හැඳින් වූ සුවිශේෂී පද්‍ය රචනා පසකින්ද මෙවර එරික්ගේ කෘතිය සමන්විතය.

ඉලයප්ආරච්චි කවියාගේ උත්පාදක ශක්තිය බන්ධන චාතූර්යය හා රසාවේෂණ ශක්තිය පිළිබිඹුවන මෙහි අන්තර්ගත රචනා අතුරින් කෘතිය හඳුනා ගැනීමට උපකාරී වන අතළොස්සක් පමණක් සාකච්ඡුාවට භාජනය වන බව මුලින්ම සඳහන් කරමු.

එරික්ගේ පද්‍ය නිර්මාණ විමසා බලද්දී කොළඹ නගරය පාදක කොට ගත් රචනා රැසක් අපට මුණ ගැසේ. කොළඹ බස්සා, කොළඹ ලයිට්, කොළඹ ඉන්ද්‍රජෝති කුකුල් කොටුවේ රස්සාව, කොළඹ තරුණ භෞතික පේ‍්‍රමය, කොටුව පිටකොටුව දවල් කෑම ඒ අතරින් ද කිහිපයක් බව සඳහන් කිරීමට සිදුවී තිබේ.

ලයිට් කණුවක පහන අල්ලා
බලමි කොළඹක් කියන පුරවර
බිම ගමන් ගැන සතුටු නැති ලෙස
වැනෙන මහතෙකි කණුව පාමුල

පාපයට හුරු නගර වෙසඟන
මුදල ගණිනුව කණුව පාමුල
නතර වී උඩ බලා අමතා
බකුසු උපැසද මගෙන් ඉල්ලයි

මේ කොළඹ ගැන ලියැවුණු පළමු නිර්මාණයෙන් උද්ධෘත පැදි දෙකක් පමණකි. කොළඹ පුරවරයේ රාත‍්‍රියේ ස්වභාවය කවරේදැයි චිත‍්‍රණයට මෙය ප‍්‍රමාණවත් නොවේද? මේ හැමදා කවි කිවිඳියන්ගේ අවධානයට පාත‍්‍ර වන බේබද්දන්, ගණිකාවන් පිළිබඳව කතා කිරීමක් නොවේ දැයි කෙනකුගේ සිත ප‍්‍රශ්න කිරීමේ ඉඩහසර තිබිය හැකිය. එහෙත් මෙහි කාව්‍යමය ගුණයක් ඉන්ද්‍රීයරූප මැවීමේ සමත් නොවෙතැයි කාට පැවසිය හැකිද? රචකයා නිර්මාණය නිම කරන්නේ බස්සාගේ ඇමතුම පෙරමුණට ගනිමින් විවේචනාත්මක ස්වරූපයෙනි.

තීට දුනහොත් බකුසු මා ඇස
කොළඹ කළුවර මටද නොපෙනෙයි
එසේ කියමින් කොළඹ බස්සා
තවත් කණුවක් බලා නික්මෙයි

ස්ටාලින් බසය ඉලයප්ආරච්චි අතින් ලියැවුණු ගැඹුරු දේශපාලන දර්ශනයක් පාදක කරගත් පද්‍ය රචනාවක් ලෙස හැඳින්වීමට අපි කිසිසේත් පසුබට නොවෙමු. උක්ත වර්ජකයා අත්අඩංගුවට ගෙන රැගෙන යන්නේ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයකිනි. එය මහජනයාට උරුමකම් කියන්නකි. එය පැවරුවේ කවුරුන්ද?

ඔය වෙලාවට එන්නේ නිදහසේ බස් රියයි
මහමාන ඞී එස් ද ඩඩ්ලි සහ සිරිමාද
නිදහසේ ගමන යන මහ වීර බස් රියයි

අසුන්ගෙන සිටියි එහි පතළ කොතලාවලද
අන් සියල්ලන් සමඟ නිදහසේ ටිකට් ගෙන
සරුවාලෙ ඇඳ ඉන්නේ ඩොක්ටර් දහනායකද
ෆුල් සූට් වෙන කවුද ඒත් අගමැති කෙනෙක්

මෙලෙස සිදුවීම විස්තර කරන කවියා
වර්ජකයාගෙන් විමසීමක්ද කරයි.

කොමරේඩ් ඇයි ඔයා මේ වගේ කෑ දෙන්නේ නිදහසේ සිහිනයෙන් මහ සෙනඟ අවදිකර

පද්‍ය රචනයේ අවසානය අපට සිහි ගන්වන්නේ අiතනයේ ධරමාන වෘද්ධතම නිර්මාණකාරකයාවූ ගුණදාස අමරසේකර දින පොතේ ලියූ කවිය නම් පද්‍ය රචනයයි.

මම තවම කවියෙක්මි
සදා කල් සිසුවෙක්මි
ඔබ රැගෙන යන රියේ
නගින්නට නොහැකිවී

මෙහි ඇතුළත් දේශපාලන දර්ශනයක් රැගත් නිර්මාණ අතරින් ඔන්ඩච්චි පාඨකය යන රචනයද පාඨක අවධානයට පාත‍්‍ර විය යුත්තකි. ප‍්‍රකාශනය පමණක් නොව ප‍්‍රකාශිත ආකාරය කෙරෙහිද ඕනෑම නිර්මාණයකදී සැලකිලිමත් විය යුතු බව මෙයින් ආධුනික නිර්මාණකාරකයන්ට මෙන්ම නිර්මාණකාරියන්ටද පණිවිඩයක් පිරිනමන බව කිව යුතුය.

මේ රචනය ඇරඹෙන්නේ ඊට පාදකවූ අත්දැකීම කුමක්දැයි පැදි පෙළට ඉහළින් උපුටා දැක්වීමක් කරමිනි.

විදුලකර සරසවියේ පැවතුණු 71 අප‍්‍රියෙල් සිරකරුවන් ගේ පුනරුත්ථාපන කඳවුර වසා දැමූ පසු එහි පැමිණී මයිකල් ඔන්ඩච්චි බිත්තිවල තිබූ කුරුටු කවි පිටපත් කළේය.

මිය නොගොස් ඉතිරි වුණු
දොළොස් මහ පරපුරක
අවජාත කවියන්ට
ඉඩ නොදෙන අදිටනින්
හුනු ගායි පාපිස්ඨ
විදුලකර බුරුසුවක්

ඔන්ඩච්චි එහි තබයි
බරට බර කඟවේන
අඟ සහිත ඇඟෙන් එන
දරණු රයිනෝ දෙඅන්

මෙලෙස ප‍්‍රභල රූපකාර්ථ බස්වහරකින් ඇරඹෙන පද්‍ය රචනය අවසාන භාගයට ළඟා වන විට කවියා මෙබඳු ප‍්‍රශ්න කිරීමකට යොමු වෙයි

ඔන්ඩච්චි පාඨකය තොප සැබෑ තිරිසනෙකි විදුලකර බිත්තියක කවි දකින්නට කැමති සැබෑ සිදුවීමක් පාදක කරගත් මෙයින් වර්තමානයේ ඇතැම් ලේඛකයන් අප පාඨකයන් රැගෙන යන අනවශ්‍ය හැඟීම්බර ලෝකය නොබියව පිළිකුල් කරන බව හැඟේ. එරික් ඉලයප්ආරච්චි නූතනයේ ව්‍යාජ උපක‍්‍රම මගින් පුහු ජනප‍්‍රියත්වය හඹා යන පළමු නවකතාවෙන් පමණක් ප‍්‍රතිභාව පළ කළ නිර්මාණකාරකයන්ට වඩා කොතරම් උත්තරීතර දැයි අමුතුවෙන් කිව යුතු නොවේ. ඔහු එක වසරක් තුළ සම්මාන ගණනාවකට හිමිකම් කීමේ රහසද මෙයින් නොහැඟෙන්නේ යැයි කාට කිව හැකිද?

සුවිශේෂී ලෙස මෙහි වෙන්කොට ඇති පස් වග උදාන රචනා සියල්ලෙහිම දැඩි සමාජ විවේචනයක් මෙන්ම සියල්ල පරයා නැඟෙන කාව්‍යමය ගුණයක් විද්‍යමාන වෙයි.

අවසන් කොට ඉතිහාසය
පුරමින් සව්දිය අපමණ
නටබුන් කර පැරැණි පවුර
කෝට්ටයක් ලිබරල් කළ
සාදයක්ය මෙතැන නිතර

ජෛව පෝර පැකට් සමඟ
සැලමුතු පොඩි ඉටි උරවල
විකල්පයේ පැළ විකිණෙයි
රෑට ඇරෙන සල්පිල්වල

මේ අදත් වෙනසක් නොමැතිව ක‍්‍රියාත්මක වන විවේකය උදෙසා තැනුණු දියවන්නාව නොවේද?

ෆ්රාන්ස් කෆ්කාගේ මෙටාමෝෆෝසීස් ස්වරූප නමින් රූපගත කළ කළුතර පිහිටි රිච්මන්ඩ් කාසල් ගොඩනැගිල්ල හා එහි පරිසරය පිළිබඳ කළ නිර්මාණය ද හැම අංශයකින්ම එරික් ගේ කවිකම චිත‍්‍රිතය.

මෙවන් වූ තවත් බොහෝ නිර්මාණ එරික් ඉලයප්ආරච්චි කවියාගේ ප්‍රොමිතියස් දූපත කාව්‍ය සංග‍්‍රහයට ඇතුළත් වේ. මේ එරික්ගේ නිර්මාණ චාරිකාවෙහි තවත් සුවිශේෂී නිර්මාණ සංග‍්‍රහයක් වනු නිසැකය. එනිසාම මෙය පාඨක විචාරක නොමඳ අවධනායට යොමු විය යුතු කෘතිය. කාව්‍ය නිර්මාණයෙහි නිමග්න ආධුනික කවි කිවිඳියන් විවේක බුද්ධියෙන් මෙය පරිශීලනය කිරීමෙන් සිය කවීත්වය වර්ධනය කර ගත හැකි බවද නොසඟවා පවසමු.

සුනිල් ගුණවර්ධන

ප්‍රොමිතියස් දූපත
advertistmentadvertistment
advertistmentadvertistment