ප්‍රොෆෙසර් මාටින්ට කලින් කුඩව මාටින් හිටි සිංහරාජය

306
ප්‍රොෆෙසර් මාටින්ට කලින් කුඩව මාටින් හිටි සිංහරාජය

ලේඛකයා ගැන
මෙහි ලේඛකයා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා රාජ්‍ය දැව සංස්ථාවේ කැනේඩියානු උපදේශකයන්ගේ අධීක්ෂණය යටතේ සියලුම බර යන්ත්‍ර පිළිබඳ පුහුණුවක් ලැබූවෙකි. ක්‍ෂේත්‍ර නිලධාරියකු, සහකාර ප්‍රාදේශීය කළමනාකරුවකු වශයෙන් වර්ෂ 32ක් වියළි කලාපයේ, උඩරට වන වගා හා සිංහරාජ අඩවියේ සේවය කර ඇත. 1972 දී ඇරඹි සිංහරාජ යාන්ත්‍රික දැව කපා හෙළීමේ ව්‍යාපාරයේ රාජ්‍ය දැව සංස්ථාවට (Sinharaja Mechanized Logging Project) මුල් අවදියේම කැනේඩියානුවන් සමඟ පුරා වර්ෂ හතක් සිංහරාජ වනයේ සේවයේ යෙදුණු අයෙකි.

මීට වසර පනහකට පෙර එනම් 1972 මම පළමුවෙන් සිංහරාජ අඩවියට ගියෙමි. ඒ වනවිටත් 1971 අප්‍රේල් කැරැල්ල නිමවී වර්ෂයක්වත් ගතවී නොතිබිණි. මා සිංහරාජයට යන විට රත්නපුර – තිරිවානාකැටිය, දෑල, නිවිතිගල, කරවිට, පෑබොටුව, කලවාන, මානාන, දවුගල, වතුරාව හංදිය හා වැද්දාගල දක්වා වූ මාර්ගය පටු වූ බැවින් තැනින් තැන මාර්ගය පුළුල් කරමින් හා පාලම් ඉදිකරමින් මාර්ග සංවර්ධන අධිකාරිය භාරධූර කාර්යයක නිරත වී සිටියේය. සිංහරාජ අඩවියේ සිට දැව පැටවූ මීටර් 14ක් පමණ දිග කැනේඩියානු “හේස් ට්‍රක්” රථ (HAYES TRUCK) ධාවනය කිරීම සඳහා ඉහත කී මාර්ග පද්ධතියේ පාලම් හා මාර්ගය පළල් කිරීම අනිවාර්ය විය. රටේ මිනිසුන් මෙන්ම වාහන ද අල්ප විය. ගමනාගමනය ඉතා අපහසු කාලවකවානුවක් වූ බැවින් රත්නපුර සිට මානාන හන්දිය දක්වා බස්රථය ධාවනය විය. මානාන හන්දියේ සිට කිලෝමීටර් හයක දුරක් වූ වැද්දාගලට මම පයින් ගියෙමි.

වැද්දාගල ගඟේ දකුණු ඉවුරේ කැනේඩියානු විශේෂඥයන්ගේ ව්‍යාපාරයට අයත් ෘ6 වර්ගයේ කැටපිලර් බුල්ඩෝසරයක් ස්ථානගත කර තිබිණි. ගඟ හරහා පිවිසුම් මාර්ගයේ විශාල ගල් පිහිටා තිබීම හා පාලම ඉදිකිරීම සිදුවන බැවින් ඩෝසරය එගොඩට ගැනීම අපහසු විය. වැද්දාගල ගඟින් එගොඩ වීමට සිදුවූයේ ගලින් ගලට පනිමින්ය. කිලෝමීටර් භාගයක් පමණ පහළින් ගම්වැසියන්ට එගොඩ මෙගොඩ වීම සඳහා වැද්දාගල පන්සල අසල කම්බි පාලමක් විය. වැද්දාගල තැපැල් කාර්යාලය හා තේකඩ හා සිල්ලර කඩ කීපයක් විය. මෙම කඩවලින් ව්‍යාපාරය වශයෙන් සිදු වූයේ කුඩව හා සිංහරාජ ආසන්න ගම්මානවල ගම්වැසියන් නිෂ්පාදනය කරන කිතුල් හකුරු, හල්දුම්මල එනසල්, තේ දලු, වේවැල් හා කුකුළු වැල්, බට පතුරු නිෂ්පාදිත භාණ්ඩ මිලදී ගැනීමටයි. එදා කිතුල් හකුරු මුලක් ශත 75ක් විය. වැද්දාගල සිට වියනපලාව හා කුඩව දක්වා වූ කෙටි මාර්ගවලින් හා පුද්ගලික ඉඩම් මැදින් කඳු හා තැනිතලා මෙන්ම ගල්පඩි අතරින් මානා හා කැකිල්ල වැඩුණු කුඩා අඩි පාරක් විය. මෙම අඩිපාර වැද්දාගල සිට කුඩවට කිලෝමීටර් එකහමාරක් පමණ විය. කුඩව, පිටකන්ද හා කොස්ගුලන වාසය කළ ගම්වැසියෝ වැද්දාගලට පාගමනින්ම වෙහෙස මහන්සිය නොබලා පැමිණෙති. තම ගොවි හා වාණිජ නිෂ්පාදන කර බරින්ම වැද්දාගල කඩපොළට ගෙන එයි. එදා මෙම ගම්වැසියන්ට පාපැදියකින් හෝ යෑමට මාර්ගයක් නොවීය. කුඩව ගමක් යැයි කිව නොහැක. කුඩා නිවාස කීපයක් දකුණ ඉවුරේ එක් කුඩා ගොඩනැඟිල්ලක් සහිත පාසල, පාගමනින් යන ගම්වැසියන්ගේ හා කලාතුරකින් සිංහරාජ වනාන්තරය නැරඹීමට එන අමුත්තන්ගේ පිපාසාව සන්සිඳුවීමට කිතුල් හකුරු සමඟ කහට කෝප්පයක රස බැලීමට වම් ඉවුර් සම්පතක් වැනි කුඩා කඩයක් පමණක් විය. හරිහමන් පාරක් තොටක් නොමැතිවීම හේතුවෙන් නොයිඳුල් සිංහරාජය (SINHARAJA VIRGIN FOREST) මෙන්ම ගම්වැසියෝ ද එවැනිම පිරිසිදු ආධ්‍යාත්මයක් ඇත්තෝ වූහ.

ප්‍රොෆෙසර් මාටින්ට කලින් කුඩව මාටින් හිටි සිංහරාජය

මියනපලාවේ මගේ හිතවතෙක් විය. සිංහරාජ වනාන්තරය නැරඹීමට යෑමට අවස්ථාවක් උදා කර දෙන ලෙස ඔහුට දැන්වීය. ඒ සඳහා “කුඩව මාටින්” අමතා සිංහරාජ වනාන්තර ගමන සලසා දුනි. “මාටින්” නම පුද්ගලයන් කීප දෙනෙකුට යොදාගන්නා බැවින් ඔවුන් එදා හැඳින්වූයේ “කුඩව මාටින්” “සුදුවැලිපොත මාටින්” “බුත්කන්දේ මාටින්” යනුවෙනි. සිංහරාජ වනාන්තර ගමන බලාපොරොත්තුවෙන් 1972 ජනවාරි මස දිනක “කුඩව මාටින්” හමුවීම සඳහා කුඩව තේ කහට කඩයට මම ගියෙමි. ස්වල්ප වේලාවකින් හිසේ කම්බි ලේන්සුවක් බැඳගත් දිලිසෙන දෑස් සහිත බුලත්විටක් සපමින් සිනහසෙන විට ඉදිරි දතක භාගයක් කැඩුණු, ගෙවීගිය දත් දෙපලක් සහිත අව්‍යාජ සිනහව හේතුවෙන් මුහුණ පුරා නිහතමානී හැඟුම් සහිත මුහුණ, සුදු අත්කොට මේස් බැනියමකින් හා කැසපොට (දෙකට නැමූ) ගැසූ සරමකින් හා නිරුවත් පා සඟලකින් යුතු කෙසඟ එහෙත් ජවසම්පන්න, කඩිසර ගමන් ඇති තලෙළු මැදිවියේ පුද්ගලයෙකු කහට කඩයට පැමිණියේය.

කඩයේ පිටස්තරයෙකු වශයෙන් සිටියේ මා පමණය. ඔහු මා දුටුවේ එදිනය. “එහෙනම් මහත්තයෝ යමු” යයි මා අමතමින් පැවසීය. මේ “කුඩව මාටින්’ දැයි මම ඇසුවෙමි. “ඔව්” යයි ඔහු පැවසීය. දෛවයේ සරදමක් ලෙස මට එදා සිංහරාජ වනාන්තරයට මඟ පෙන්වූ පුද්ගලයා පසුකාලීනව සිංහරාජ වනාන්තරයේ “ප්‍රොපෙසර් මාටින් විජේසිංහ” නම් පුද්ගලයා විය. කුඩව සිට ගස්කොළන් සෙවණ තුළින් අපි අඩිපාර දිගේ කන්ද තරණය කළෙමු. උස තැනිතලා පෙදෙසක කැකිල්ල හා ඩබල්හණස්ස අතරින් තැනින් තැන සරුවට වැඩී ඉහළට නැගුණු බාඳුරා වැල්වල පත්‍රයේ අග ළා කොළ කහ පැහැති බාඳුරා කෙම් සුළඟට ලෙල දෙමින් දීප්තියෙන් බැබලිනි. කඳු මුදුනට පැමිණි වහාම විඩාව සන්සිඳුවීමට මෙන්ම එක්වරම තැනිතලා භූමියකට පිවිසුණෙමු. වම්පැත්තේ බෑවුමේ සරුවට වැඩුණු හෙක්ටයාර් භාගයක පමණ කුඹුරු යායකි. දකුණු පසින් අළුබෝ ගසක වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සවිකළ දැන්වීම් පුවරුවකි. එහි සඳහන් වූයේ සිංහරාජ රක්ෂිත වනය මෙහි අනවසරයෙන් ඇතුල්වන්නන්ට හා අනවසරයෙන් එළිකර පදිංචිවන්නන්ට විරුද්ධව නඩු පැවරීම හා නෙරපීම කරනවා ඇත.

වන සංරක්ෂක දැන්වීම භාෂාත්‍රයෙන්ම සඳහන් විය. මෑතින් දැන්වීම් පුවරුවකි. ඈතින් සිංහරාජ අඩවියේ තුරුලතා උඩුවියන (CANOPY) ඈතින් ඈතට විහිදී යයි. එය තණ භූමියක් ලෙස දර්ශනය විය. අප දෙදෙනා සිංහරාජ අඩවියට පිවිසියේ ඉතා පිරිසිදු දිය පාරකින් දෙපා දෝවනය කරමින් පිරිසිදු වීමෙන්ය. වනයට පිවිසෙත්ම උසට වැඩුණු ලතා මඩුලුවලින් වෙළාගත් හොර ගස් යායකි. උස ගස්වල කඳ පුරා, පාසි පර්ණංග හා ඕකිඩ් වැනි අපිශාක වලින් පිරී ඉතිරී තිබිණි. යටි වගාවේ වේවැල්, කුකුළු වැල්, බට පඳුරු, නෙළු ශාක, බිගෝනියා, එනසාල් මෙන්ම වන භූමිය පුරා ගස්වල කොළ වැටී දිරාපත් වන සරු භූමියකි. බෙරලිය දුන් හා උබ්බේරිය, මළබඩ, හැඩවක, හල්, වල්දෙල්, වලුකීන, කටමොද වෘක්ෂ ළංව උසට වැඩී තිබිණි. එකම වර්ගයේ වෘක්ෂ කාණ්ඩ ප්‍රදේශයෙන්, ප්‍රදේශයට වැඩී තිබීම භූමිය සමාන ස්වරූපයක් දැරීම හේතුවෙන් වනගත වූවිට ආපසු පැමිණීමට නොහැකි තත්ත්වයක් ඇති වේ. එබැවින් වනය තුළ අතරමං වීමට සිදුවේ. වනය තුළට පිවිසි වහාම හතර වටේම එක සමාන ගස් යායකි. මාටින් ඉදිරිපස හා පිටුපස බලමින් ගස් වර්ග සිතේ සනිටුහන් කර ගනිමින් වන භූමියෙන් ආපසු පැමිණීමේ මාර්ගය සොයා ගන්නා බව පවසයි. ප්‍රංශ ජාතික “හියු මාර්ෂල්” විද්වතා හා මම කිසිදා නොගිය සිංහරාජ අඩවියේ මාර්ග සලකුණු කිරීමට වනයට පිවිසීමට පෙර කොම්පාසුවේ ඉදිරි හා පසු කියවීම් සටහන් කරගෙන මූකලානේ සෑම තැනම ගොස් කොම්පාස් කියවීම ඔස්සේ නිරුපද්‍රිතව වන භූමියෙන් පිටතට පැමිණියෙමු. ඉතා උසට වැඩුණු ගස් හේතුවෙන් උඩු වියනෙන් වන භූමිය ආවරණය වී තිබීමෙන් හිරු රැස් වැටිම වළකාලීම නිසා තුරුලතා සෙවණේ, සිසිලස මැදින් අපහසුවකින් තොරව සිංහරාජ වනාන්තරයේ ඇවිද ගිය හැක.

රැහැයියන්ගේ නාදය දසතින් ඇසෙයි. රන්වන් පාට දිග කූඩැල්ලන් තෙත තණ පඳුරු තුළ සැඟවී සිට පය තැබූ සැණින් ගිනිය නොහැකි ගණනක් පයේ එල්ලෙයි.

මතුසම්බන්ධයි…

බලන්ගොඩ
කේ.කේ.එච්. දයානන්ද
රාජ්‍ය දැව සංස්ථාවේ
හිටපු සහකාර ප්‍රාදේශීය කළමනාකාර

advertistmentadvertistment
advertistmentadvertistment