ප්ලාස්ටික් අර්බුදයට පිළියම් සොයන සීරෝ ප්ලාස්ටික් සහ ඉකෝ ඇකඩමි

193

පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය ඇසුරින් සිදුවන පරිසර විනාශය පරිසර සංරක්ෂණයට අදාළව නිරන්තරයෙන්ම සාකාච්ඡුාවට ලක් වන මාතෘකාවකි. දශක ගණනාවක් මුළුල්ලේම වරින් වර ඉස්මතු වෙමින් යටපත් වෙමින් පැවැති මෙම තේමාව පසුගියදා නැවතත් කරළියට පැමිණියේ ශ‍්‍රී ලංකාවේ මුහුදු සීමාව තුළ

ගිනිබත්ව දැවී ගිය Xpress Pearl නෞකාව තුළ තිබී ප්ලාස්ටික් ටොන් ගණනාවක් සාගර ජලයට එක්වීමත් සමගය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ග‍්‍රීන් හාට් සංගමය සහ ස්වේච්ඡා සංවිධානයක් වන Zero Plastic සුසංයෝගයෙන් දියත් වුණු “Green Hearts Eco Academy with Zero Plastic and Dilmah Tea” ව්‍යාපෘතිය මෙම පාරිසරික ගැටලූව තේමා කොටගත් නොයෙක් ව්‍යාපෘති අතර සුවිශේෂී වූ ප‍්‍රයත්නයකි.

”අපි රටක් වශයෙන් අපගේ සංවර්ධන ඉලක්ක සපුරාගැනීමේදී හැමවිටම පරිසර සංරක්ෂණයට නිසි වටිනාකම දීමට වගබලාගත යුතුයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය තුළ ග‍්‍රීන් හාට් සංගමය පිහිටුවන්නේ ඊට අවශ්‍ය දැනුම, කුසලතා සහ නිවැරදි ආකල්පවලින් පෝෂණය වුණු විද්වත් ප‍්‍රජාවක් බිහිකිරීමේ අරමුණින්. ආරම්භක අවධියේ සිට වර්තමානය දක්වා අපි පරිසර සංරක්ෂණයට අදාළව සාර්ථක ව්‍යාපෘති ගණනාවක් ක‍්‍රියාත්මක කොට තිබෙනවා. වර්තමානයේදී පවතින වසංගත තත්ත්වය සහ ඒ ආශ‍්‍රිත සංචරණ සීමා මධ්‍යයේ වුවත් මාර්ගගත ක‍්‍රමය ඔස්සේ ව්‍යාපෘති ගණනාවක් සාර්ථකව දියත් කිරීමට අප සමත් වූ බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.” සංගමයේ අරමුණු සහ වත්මන් ක‍්‍රියාකාරීත්වය පිළිබඳව එම සංගමයේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරිකවරයා වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගාමිණී හිටිනායක මහතා එලෙස අදහස් දැක්වීය.

”අපේ විෂය ක්ෂේත‍්‍රය වන කෘෂිකර්මය පරිසරය සමග අවියෝජනීය අයුරින් බැඳී පවතිනවා. අක‍්‍රමවත් කසළ බැහැර කිරීම නිසා පසට එකතුවන ප්ලාස්ටික් පසෙහි ක්ෂුද්‍රජීවීන්ගේ පැවැත්මට තර්ජනයක්. එයින් කෘෂිකර්මාන්තයටත් වක‍්‍ර බලපෑමක් එල්ල වෙනවා. සාගරයට සහ වෙනත් ජල මාර්ගවලට පොලිතින් සහ ප්ලාස්ටික් එක්වීම ජලජ ජීවීන්ගේ පැවැත්මට හානි පමුණවන අතරම ධීවර කර්මාන්තයත් අඩපණ කරනවා. අප විශ්වවිද්‍යාලයත් පිහිටා තිබෙන්නේ මහවැලි නිම්නයේ සංවේදී පරිසර කලාපයක් තුළ. ඒ නිසාම කෘෂිවේදීන් වශයෙනුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලීය විද්‍යාර්ථීන් වශයෙනුත් ප්ලාස්ටික් ඇසුරින් සිදුවන පරිසර විනාශය පිළිබඳව සමාජය දැනුවත් කිරීම සහ ඊට විසඳුම් සෙවීමේ වගකීම අප මත පැවරී තිබෙනවා.” ප්ලාස්ටික් භාවිතය ආශ‍්‍රිත ගැටලූ කෘෂිකර්මාන්තයට ඇතිකරන බලපෑම සහ කෘෂිවේදියෙකුගේ සමාජ වගකීම පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කරමින් එතුමා තරගාවලිය සංවිධානය කළ ග‍්‍රීන් හාට් සංගමයට සිය සුභාශිංසන එක් කළේය.

මෙම ව්‍යාපෘතිය සඳහා ග‍්‍රීන් හාට් සමග අත්වැල් බැඳගන්නේ ශ‍්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් භාවිතය පිටුදැකීමටත්, පරිසර හිතකාමී නිෂ්පාදන භාවිතය දිරිගැන්වීමටත් ප‍්‍රමුඛ මෙහෙවරක් ඉටුකරන ස්වේච්ඡා සංවිධානයක් වන Zero Plastic ආයතනයයි. ”රට තුළ ප්ලාස්ටික් භාවිතය ජනප‍්‍රිය වීමෙන් තර්ජන එල්ල වුණේ හුදෙක් පරිසරයට හෝ මිනිස් සෞඛ්‍යයට පමණක් නොවෙයි. පොල් කෙන්දෙන් තැනූ කොසු, පොල් ඉරටු ඉඳල වෙනුවට කෘතිම ප්ලාස්ටික් නිෂ්පාදනයකට මාරු වීමෙන් අපි ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු විශාල ප‍්‍රමාණයක් දෛනිකව පරිසරයට මුදාහරින අතරම එම පරිසර හිතකාමී උපකරණ නිපදවීම තම ජීවනෝපාය කරගත් සුළු පරිමාණ නිෂ්පාදකයන්ගේ පැවැත්මටත් එල්ල කරන්නේ මරු පහරක්. අප ආයතනය මගින් ප්ලාස්ටික් භාවිතයෙහි අහිතකර පලවිපාක පිළිබඳව ජනතාව දැනුවත් කරමින් පරිසර හිතකාමී ජීවන රටාවකටත්, විකල්ප නිෂ්පාදන භාවිතයටත් ඔවුන් යොමු කරන අතරම පරිසර හිතකාමී මෙවලම් නිපදවන සුළු පරිමාණ නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන දිරිගැන්වීමටත්, ඒවා සඳහා වෙළෙඳපොළක් ගොඩනැංවීමටත් කටයුතු කරනවා.” Zero Plastic නිර්මාතෘ නිශ්ශංක ද සිල්වා මහතා ප්ලාස්ටික් භාවිතය පිළිබඳ තම ආයතනයේ භූමිකාව එලෙසින් පැහැදිලි කළේය.

මෙම වැඩසටහන රාජ්‍ය විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථීන් රැසකගේ සහභාගීත්වයෙන් දීප ව්‍යාප්ත තරගාවලියක් ලෙසින් අධියර තුනක් ඔස්සේ පැවැත්වේ. පළමු අධියරේදී මෙම විෂය පිළිබඳ ප‍්‍රවීණයන්ගේ සම්පත්දායකත්වයෙන් සංවිධානය කෙරුණු මාර්ගගත වැඩමුළු තුනක් ඔස්සේ තරගකරුවන්ට අර්බුදයේ විවිධ පැතිකඩ සහ විසඳුම් යොමු විය යුතු දිශාන්තිය පිළිබඳව අවබෝධයක් ලබාදීම සිදුවිය. දෙවන අධියරේදී සියලූ තරගකරුවන් ගෘහාශ‍්‍රිත සහ විශ්වවිද්‍යාලීය යන කාණ්ඩ දෙකෙන් එකක් යටතේ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම හෝ ප්ලාස්ටික් ආශ‍්‍රිත කැළිකසළ වඩාත් විධිමත් අයුරින් බැහැර කිරීම තේමා කරගත් ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කළ යුතුය.

”ශ‍්‍රී ලංකාවේ වාර්ෂික පොලිතින් විමෝචනය මෙටි‍්‍රක් ටොන් මිලියන 1.5ත් 1.6ත් අතර අගයක් ගන්නා බව වාර්තා වෙනවා. වෙළෙඳ සමාගම් 400ත් 450ත් අතර ප‍්‍රමාණයක් මීට සෘජුවම දායක වෙනවා. එවන් පසුබිමක් තුළ ඉවතලන ප්ලාස්ටික් නිසි අයුරින් බැහැර කිරීමට රට තුළ ක‍්‍රමවේදයක් නොතිබීම ගැටලූවක්. ඊට අමතරව පුරවැසියන් වන අපිත් ප්ලාස්ටික් සහ පොලිතින් අපේ දෛනික ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට හරවාගෙන තිබෙනවා. පවතින වසංගත තත්ත්වයත් සමග ජනප‍්‍රිය වුණු මුහුණු ආවරණ භාවිතයත් අනාගතයේ මහා පරිසර හානියක පෙරනිමිති පළ කරනවා. ඒ නිසා රට තුළ ප‍්‍රතිපත්ති වශයෙන් සහ පුරවැසියන් අතර චර්යාත්මක වශයෙන් වෙනසක් සිදු විය යුතුයි. ව්‍යාපෘතියේ කාර්යභාරය වන්නේ ඒ වෙනස සඳහා විශ්වවිද්‍යාල මට්ටමෙන් සහ ගෘහාශ‍්‍රිත මට්ටමින් සාධනීය ප‍්‍රවේශයක් ඇති කිරීමයි.” ව්‍යාපෘති ප‍්‍රධානී, ග‍්‍රීන් හාට් සාමාජික ලසිත මනතුංග මෙවන් ව්‍යාපෘතියක කාලීන අවශ්‍යතාවය ඒ අයුරින් පැහැදිලි කළේය.

අරුන්දි ජයසේකර

ප්ලාස්ටික් අර්බුදයට පිළියම් සොයන සීරෝ ප්ලාස්ටික් සහ ඉකෝ ඇකඩමි
advertistmentadvertistment