ප්ලාස්ටික් ප‍්‍රශස්ත භාවිතය හා ගංගා, සාගර පරිසර පද්ධති සුරැකීම

239

නූතන ලෝකයේ ප්ලාස්ටික් හා ආශ‍්‍රිත නිෂ්පාදන සාමාන්‍ය ජන ජීවිතයට ඉතා සමීප මෙවලම් බවට පත්ව තිබේ. බර අඩුවීම, ශක්තිමත් වීම, ප‍්‍රවාහන පිරිවැය අඩුවීම, කැඞීම් බිඳීම් ඇති නොවීම, ජලයට ඔරොත්තු දීම, ආකර්ෂණීය ලෙස ඕනෑම හැඩතලයකින් නිෂ්පාදිත කිරීමට ඇති හැකියාව, රළු භාවිතයට ඔරොත්තු දීම මෙන්ම ලොව පිළිගත් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ගීකරණ කේත ඇතුළත්ව නිමවන ලද ප්ලාස්ටික් බඳුන්, අසුරණ උපකරණ, ආහාර ද්‍රව්‍ය මෙන්ම වෙනත් අවශ්‍ය ද්‍රව්‍යයන් බහාලීම සඳහා නිර්දේශ කර තිබීම යන සාධක හේතුකොටගෙන ප්ලාස්ටික් නිෂ්පාදන භාවිතය ජනප‍්‍රිය වී තිබේ.

 ප්ලාස්ටික් දිරා යෑමට දිගුකාලයක් ගතවීම

 ප්ලාස්ටික් පොලිතීන් නිෂ්පාදන දිරාපත්වීමට වසර 500 – 1000 අතර කාලයක් ගතවීම මිහිමත යහපැවැත්ම උදෙසා වූ මහත් ඛේදවාචකයක් වේ. ප්ලාස්ටික් නිමැවුම් ඇරඹි දවසේ සිට අද දක්වා නිෂ්පාදිත ද්‍රව්‍යයන් භාවිතයෙන් පසුව සිදු කෙරෙන අක‍්‍රමවත් බැහැරලීම නිසා ඒවා අදවන විටත්, මිහිමත තැන තැන විසිරව මෙන්ම ගොඩගැසී තිබේ. සාමාන්‍යයෙන් ප්ලාස්ටික් ඇසුරුමක් දිරා යෑමට වසර 400ක් ද, ප්ලාස්ටික් බෝතලයක් දිරා යෑමට වසර 450ක් ද, ප්ලාස්ටික් කෝප්පයක් දිරා පත්වීමට වසර 450ක් ද, ප්ලාස්ටික් දත් බුරුසුවක් දිරා යෑමට අවුරුදු 500ක් ද, ප්ලාස්ටික් බීම බටයක් දිරා පත්වීමට වසර 20ක් ද, ප්ලාස්ටික් ගමන් මල්ලක් දිරා පත්වීමට වසර 20ක් ද, කෝපි කෝප්පයක් දිරා යෑමට වසර 30ක් ද, මාළු දැලක් දිරා යෑමට වසර 40ක් ද, නයිලෝන් රෙද්දක් දිරා යෑමට වසර 30-40ක් ද ආදී වශයෙන් කාලය ගත වේ. ඒ ප්ලාස්ටික් සංයුතියේ ස්වභාවයයි. මිහිමත පරිසර පද්ධති මත මෙතරම් කාලයක් දිරාපත් නොවී මේ ආකාරයේ, කෘතිම නිමැවුම් පැවතීම පාරිසරික තර්ජනයක් බව අප සැම ඥානාන්විතව තේරුම් ගත යුතුවේ.

 පාරිසරික, සෞඛ්‍ය හා සමාජයීය ගැටලූ

 ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් ගංගා ඇළ දොල තෙත්බිම් පරිසර පද්ධති මෙන්ම ජල පෝෂක ප‍්‍රදේශ පාරිසරික හායනයට පත්ව ඇත. වෙරළ පරිසර පද්ධති දූෂ්‍ය වී ඇති අතර, අවසානයේ සියලූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සාගරයට එකතුවීමෙන් මහා පරිමාණ ලෙස සාගර පරිසර පද්ධති දූෂණයට ලක්ව ඇත. පොළොව මත තැන්පත් වූ ප්ලාස්ටික් දිරා යෑමට කල්ගත වන බැවින් එය පසේ ගුණාත්මකභාවය අඩුවීමට හේතු වී ඇත. වෙරළ මෙන්ම සෙසු පරිසර පද්ධතිවල සෞන්දර්යය විනාශ වී ඇත. කාණු හා නළ මාර්ගවල ප්ලාස්ටික්, පොලිතීන් සිරවීමෙන් වැසි සමයේදී නාගරික ගංවතුර තත්ත්වයන් උද්ගත වේ. පොලිතීන් පිළිස්සීමෙන් නිකුත් වන විෂ වායු නිසා වායු දූෂණය මෙන්ම පිළිකා හා ශ්වසන රෝග ඇති වේ. අක‍්‍රමවත්ව ඉවත දමන ප්ලාස්ටික් භාජන ආදී උපකරණවල ජලය පිරීමෙන් ඩෙංගු, බරවා වැනි රෝග ව්‍යාප්තියට හේතුවේ. අපද්‍රව්‍ය බැහැරලන එළිමහන් භූමීවල ආහාර අනුභවයට එක්වන වනසතුන් විශේෂ බොහෝමයක් ආහාරවල මිශ‍්‍රවූ පොලිතීන් ආහාරයට ගැනීමෙන් අනතුරට ලක්ව ඇති අතර, අද වන විටත් ඔවුන්ගේ ජිවිත වලට තර්ජන එල්ලවී තිබේ. මුහුදු පක්ෂීන්, තල්මසුන්. කැස්බෑවුන් වෙනත් ක්ෂිරපායින් ඇතුළත්ව ලොව පුරා සත්ව විශේෂ 700කට ආසන්න සතුන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා අවදානමට ලක්ව ඇත. විධිමත් කළමනාකරණයෙන් බැහැරව මේ යන ආකාරයට දිගින් දිගටම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ලොව ස්වභාවික පරිසරයට මුදා හරින්නේ නම්, එම අපද්‍රව්‍ය ප‍්‍රමාණය වසර 2050 වන විට මෙටි‍්‍රක් ටොන් ටි‍්‍රලියන 12ක් දක්වා වර්ධනය වනු ඇති බවට, ඇමෙරිකානු හා කැලිෆෝනියානූ විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්ඩායමක් විසින් ඇස්තමේන්තු කර තිබේ. කෙසේ නමුත්, ලොව පුරා පර්යේෂකයන් සිය පර්යේෂණ ඔස්සේ විවිධ ආකාරයෙන් සංඛ්‍යා දත්ත ඉදිරිපත් කර ඇතත්, එම සංඛ්‍යා දත්ත පිළිබඳ විවාදයකට වඩා ඉන් තහවුරුව ඇත්තේ, ප්ලාස්ටික් අවිධිමත්ව බැහැරලීම නිසා මිහිමත පරිසර පද්ධති බරපතළ ලෙස පාරිසරික හානියකට ලක්ව ඇති බවයි.

 අක‍්‍රමවත් භාවිතය හා අපද්‍රව්‍ය ගැටලූව තිව‍්‍ර වීම

 ලංකාවේ දෛනිකව ෂොපින් බෑග් (සිලි සිලි බෑග්) මිලියන 20ක් භාවිත වන බව අධ්‍යයන වාර්තා මඟින් අනාවරණය වී ඇත. එම ප‍්‍රමාණය අනුව, වර්ෂයකට බිලියන 5.5 කට ආසන්න සිලි සිලි බෑග් ප‍්‍රමාණයක් පරිසරයට එකතුවේ. මේ ආකාරයට වසර ගණනාවක් සිදුවුවහොත් ප්ලාස්ටික්, පොලිතීන් කඳු ඇති වීම නොවැළැක්විය හැකිය.

 2016 වන විට වාර්ෂිකව ශී‍්‍ර ලංකාව ප්ලාස්ටික් හා පොලිතීන් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 5ක් පමණ ආනයනය කරනු ලැබූ අතර, මෙම ප‍්‍රමාණයෙන් 70%ක් දේශීය භාවිතයට ගෙන ඇති අතර, 30%ක් නැවතත් විවිධ ස්වරූපයෙන් අපනයනය කර ඇත. රට තුළ දේශීය භාවිතයෙන් අනතරුව 40%ක් පමණ ප්ලාස්ටික් පොලිතීන් ප‍්‍රමාණයක් ප‍්‍රතිචක‍්‍රීකරණ ක‍්‍රියාවලියට යොමුව ඇති අතර, ඉතිරි 30% සෘජුවම පරිසරයට එකතුව ඇත. දත්ත වාර්තා අනුව, පොදුවේ ගත්විට ශ‍්‍රී ලංකාවේ දිනකට ජනනය වන අපද්‍රව්‍ය ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 8500ක් පමණ වේ. එයින් දිනකට ජනනය වන ප්ලාස්ටික් / පොලිතීන් අපද්‍රව්‍ය ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 600 ක් පමණ වේ. නාගරික ඝන අපද්‍රව්‍ය වලින් 10%ක් පමණ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බව ද ගණනය කර ඇත.

 වෙරළ පරිසරය ඇතුළත්ව පරිසර පද්ධති දූෂණය කරමින් අක‍්‍රමවත්ව ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් ලොව පස්වන ස්ථානයට ලංකාව පත්ව ඇති බවට ජගත් පරිසර අධ්‍යයන කණ්ඩායමක වාර්තාවක් මඟින් පසුගිය

 කාලයේ කළ හෙළිදරව්ව විෂය ක්ෂේත‍්‍රයට අදාළ මෙරට විද්වතුන්ගේ විවේචනයට ලක් වුවද, මෙරට පරිසරයට විශාල වශයෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතුවීම සාමාන්‍ය නිරීක්ෂණයට ද හසුවන දෙයක් වේ. ඉන්දීය සාගරයට ආසන්න රටවල් මඟින් මේ වන විට ඉන්දියන් සාගරයට එකතු කර ඇති ප්ලාස්ටික් කොටස් ප‍්‍රමාණය ටි‍්‍රලියන 1.4ක් වන බව ද එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ දත්ත වාර්තා හෙළිදරව් කරයි.

 මෙරට ප්ලාස්ටික් පාලන ක‍්‍රියාමාර්ග

 2017 සැප්තැම්බර් 01 වැනිදා සිට බල පවත්වන පරිදි තනි භාවිත ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් ආනයනය, නිෂ්පාදනය, අලෙවිය, හා භාවිතය මුළුමනින්ම තහනම් කරන ලදී. ඒ අනුව, ප‍්‍රසාරිත පොලිස්ටයිරින් වලින් ආහාර ඇසුරුම් පෙට්ටි, පිඟන්, කෝප්ප, හැඳි ආදිය නිෂ්පාදනය, වෙළෙඳාම හා භාවිතය තහනම් වේ. දේශීය භාවිතය සඳහා ඝනකමින් මයික්‍රෝන 20 හෝ ඊට අඩු පොලිතීන් මඟින් ෂොපින් බෑග් (සිලිසිලි බෑග්) නිෂ්පාදනය, අලෙවිය හා භාවිතය තහනම් කර ඇත. දේශීය භාවිතය සඳහා වැඩි ඝනත්වයකින් යුත් පොලිතීන් මඟින් කරන නිමැවුම් නිෂ්පාදනය, විකිණීම හෝ වෙළෙඳාම තහනම් කර ඇති බැවින් ග්‍රොසරි බෑග් ද තහනම් වේ. දේශීය භාවිතය සඳහා පොලිතීන් අමුද්‍රව්‍යක් ලෙස යොදාගෙන ආහාර දවටන (lunch sheet)\ නිෂ්පාදනය, වෙළෙඳාම හා භාවිතය තහනම් වේ. මෙහිදී හයිඩෙන්සිටි පොලිඑතිලින් (HDPE) යොදාගෙන නිමවන ලද නිෂ්පාදන වන ග්‍රොසරි බෑග්, ෂොපින් බෑග්, ලන්ච් ෂීට් ද පොලිස්ටයිරින් ආහාර ඇසුරුම් පෙට්ටි ද තහනම් නිෂ්පාදන වන බැවින්, ඒවා භාවිතයෙන් වැළකීමට පොදු ජනතාව අවබෝධයෙන් කටයුතු කළ යුතුවේ. එම නීති විරෝධී නිෂ්පාදන වෙනුවට පරිසර හිතකාමී ද්‍රව්‍ය මඟින් නිෂ්පාදිත ගමන් මළු, බෑග් ආදිය භාවිතයට අප සැම

 හැඩගැසිය යුතු වේ. අද වන විට පෞද්ගලික අංශයේ මැදිහත් වීමෙන් එවැනි පරිසර හිතකාමී නිමැවුම් වෙළෙඳ පොළේ දැකිය හැකිය. පාරිභෝගිකයන්ට අවශ්‍ය පරිසර හිතකාමී පොලිතීන් නිමැවුම් නිෂ්පාදනය මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යභාරයක් නොවේ. මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යභාරය වන්නේ, නීතිය ක‍්‍රියාත්මක කරමින් සිදුකරන පාරිසරික නියාමනයයි. කොහොම නමුත්, පෞද්ගලික අංශයේ අදාළ පාර්ශ්වවලට පරිසර හිතකාමී නිමැවුම් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අනුබලදීම් හා මඟපෙන්වීම් මධ්‍යම පරිසර අධිකාරිය නිරන්තරයෙන් කරනු ලබයි.

 පොලිතීන් තහනම ඉදිරියට යමින්, තවත් තනි භාවිත පොලිතීන් නිෂ්පාදන කිහිපයක් 2021 මාර්තු මස 31 වැනිදා සිට තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2021 ජනවාරි මස 21 වන දාතම අංක 2211/51 දරණ ගැසට් නිවේදනය ප‍්‍රකාරව පියවර ගෙන ඇත. ඒ අනුව, යම් ක‍්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා පාවිච්චි කරනු ලබන කෘෂි රසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා පොලිඑතිලින් ටෙරප්තලේට් (PET) හෝ පොලිවයිනයිල් ක්ලෝරයිඞ් (PVC) ද්‍රව්‍ය භාවිතය තහනම් වේ. යම් ක‍්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා ශුද්ධ පරිසර මිලිලිටර් 20 හෝ ශුද්ධ බර ග‍්‍රෑම් 20ට සමාන හෝ ඊට අඩු (SACHET) සැෂේ ඇසුරුම් තහනම් වේ. එසේ නමුත් ආහාර සහ ඖෂධ ඇසුරුම් කිරීමට තවදුරටත් හැකියාව පවතී. සුළං වලින් පිරවිය හැකි සෙල්ලම් බඩු තහනම් වේ. එසේ නමුත් බැලූන්, බෝල, දියමත පාවෙන/ පිහිනුම් තටාක වලදී භාවිත කරන සෙල්ලම් බඩු ජල ක‍්‍රීඩා උපකරණ නිෂ්පාදනයට තවදුරටත් හැකියාව පවතී. ප්ලාස්ටික් කූර සහිත (STEM) කොට්න් බඞ්ස් (COTTON BUDS)  නිෂ්පාදනය ද තහනම් වේ. එසේ නමුත් වෛද්‍ය/ සායනික ප‍්‍රතිකාර නිෂ්පාදනයට සහ භාවිතයට තවදුරටත් හැකියාව පවතී. පාරිසරික සුරක්ෂිතතාවය වෙනුවෙන්, ඉදිරියේදී ද තනිභාවිත ප්ලාස්ටික් නිෂ්පාදන ගණනාවක් තහනම් කිරීමට කටයුතු කෙරෙනු ඇත. අක‍්‍රමවත් බැහැරලීම් නිසා මෙවැනි තනි භාවිත ප්ලාස්ටික් නිෂ්පාදන පරිසරයට එකතුවීම මඟින් සිදුවන පාරිසරික හානියේ පාලනයක් මෙම තහනමත් සමඟ සිදුවෙනු ඇත.

 මහජනතාව දැනුවත් කිරීම් හා නීතිවිරෝධී වැටලීම්

 2017 වසරේ පොලිතීන් තහනම බලගැන්වීමෙන් අනතුරුව, අද දක්වා එම තහනම් කරන ලද නිෂ්පාදනයන් නීතිවිරෝධීව නිෂ්පාදනය කරමින් වෙළෙඳපොළට යොමු කරන නිෂ්පාදනකරුවන් වටලා ඔවුනට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගෙන ඇත. ඉදිරියටත් මෙම වැටලීම් දිවයින පුරා ක‍්‍රියාත්මක කරමින් පරිසර හිතකාමී ප්ලාස්ටික් නිෂ්පාදන වෙළෙඳපොළ තුළ තහවුරු කරගැනීමට කටයුතු කරනු ඇත. ”සුරකිමු ගංගා” පරිසර පද්ධති සංරක්ෂණය ”සෞභාග්‍යයේ දැක්ම” වත්මන් රාජ්‍ය ප‍්‍රතිපත්තියේ, තිරසර පරිසර කළමනාකරණ ප‍්‍රතිපදාව යටතේ, සුරකිමු ගංගා පරිසර පද්ධති ප‍්‍රතිෂ්ඨාපන වැඩසටහන ක‍්‍රියාත්මක කෙරේ. ගංගා සංරක්ෂණය තුළින් පොදු ජනතාවට පිරිසිදු පානීය ජල පහසුකම් ඇතිකිරීමත්, පරිසර හා ජෛව සම්පත් ආරක්ෂා කිරීමත්, තිරසර ලෙස ආර්ථික හා සමාජ ප‍්‍රතිලාභ අත්කර ගැනීමත්, අපේක්ෂිතය. ගංගා සංරක්ෂණ ක‍්‍රියාවලියේ දී කාලයක සිට විවිධ මානව ක‍්‍රියාවන් හේතුවෙන් හායනයට ලක්වූ ගංගා නැවත පුනරුත්ථාපනය කෙරෙන අතර, ගංගාවලට විවිධ රසායනික හා ඝන අපද්‍රව්‍ය බැහැරලීම වැළැක්වීම හා පාලනයත්, වැලි ඇතුළු ඛනිජ සම්පත් කැණීම් දැඩි ලෙස නියාමනයත්, සිදුකෙරෙනු ඇත. ඒ සමඟම ගං ඉවුරු ඛාදනය මෙන්ම ගං ඉවුරු ආශ‍්‍රිත අනවසර ඉදිකිරීම් වැළැක්වීමත්, මුහුදු ජලය ගංගා වලට එක්වීම වැළැක්වීමත්, ආක‍්‍රමණශීලි ශාක වර්ධනය පාලනයත් සිදු කෙරේ. මේ වන විට, ගංගා සංරක්ෂණයට අදාළව ව්‍යාපෘති 50 ක් පමණ ක‍්‍රියාත්මක තලයට පමුණුවා ඇති අතර, ගැටලූවලට විසඳුම් සැපයෙන ව්‍යාපෘති ක‍්‍රියාකාරකම් ඔස්සේ ගංගා සංරක්ෂණ ක‍්‍රියාදාමය සිදු කෙරෙනු ඇත.

 ගංගා පද්ධතිය ඔස්සේ ගසාගෙන යන අක‍්‍රමවත්ව බැහැරලන ලද ප්ලාස්ටික් අපද්‍රව්‍යවල අවසාන ගමනාන්තය වන්නේ, මෝය, වෙරළ හා සාගර පද්ධතියයි. ටොන් ගණනක් එකතු වන මේ ආකාර ප්ලාස්ටික් ස්කන්ධයන් වෙරළ හා සාගර පරිසර පද්ධති දූෂණයට විශාල වශයෙන් බලපා ඇත. සුරකිමු ගංගා ජාතික වැඩසටහන මඟින් පොලිතීන්/ ප්ලාස්ටික් ඇතුළුව ඝන අපද්‍රව්‍ය බැහැරලීම් වැළැක්වෙන බැවින්, ගංමෝය වෙරළ හා සාගර පරිසර පද්ධති දූෂණය ඉන් වැළකේ. ශ‍්‍රී ලංකාවේ ගංගා, ඇළදොළ පරිසර පද්ධති සුරක්ෂිත කිරීම සඳහා ප්ලාස්ටික්/ පොලිතීන් වලින් සිදුවන දූෂණය පාලනය හා වැළැක්වීම යනු ප්ලාස්ටික් මඟින් සිදුවන සාගර දූෂණය වැළැක්වීම සඳහා

 ශ‍්‍රී ලංකාවේ දායකත්වය ලබාදීමක් ද වේ. මෙකී පරිසර පද්ධති සංරක්ෂණ ක‍්‍රියාදාමයන් සාර්ථක කරගැනීම සඳහා පොදු ජනතාවගේ ක‍්‍රියාකාරී සහභාගිත්වය අත්‍යවශ්‍ය වන බව ද මෙහිදී සඳහන් කළ යුතු වේ.

ප්ලාස්ටික් ප‍්‍රශස්ත භාවිතය හා ගංගා, සාගර පරිසර පද්ධති සුරැකීම

පී. බී. හේමන්ත ජයසිංහ
 අධ්‍යක්ෂ ජනරාල්
 මධ්‍යම පරිසර අධිකාරිය

 සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment