ප්‍රශ්න වහන කෝකටත් තෙල ඩොලර්ද?

66

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිඟයක් ඇතිවීම මේ වන විට සමස්ත රටවැසියන් මුහුණ දී සිටින බරපතළ ගැටලූවක් බවට පත්ව තිබෙන්නකි.

දේශීය ආහාර රටාවේ එක් ප‍්‍රධාන කුළු බඩුවක් වූ කහ හිඟයෙන් ඇරඹී හාල්, පරිප්පු, සීනි, කිරිපිටි, සිමෙන්ති, කෘෂි රසායන ආදී ලෙසින් ඉදිරියට ගිය මෙරට භාණ්ඩ හිඟය අද වන විට ඉන්ධන හා ගෑස් හිඟයක් දක්වා උච්චතම තැනට ළඟාවී තිබෙනුයේ රටේම ජනතාවට දැඩි පීඩාවක් ගෙන දෙමිනි. මෙහිදී පීඩාවට පත්වන ජනතාව රජයට ඇඟිලි දිගු කරමින් මැසිවිල නඟද්දී අද ආණ්ඩුවේ හඬ බවට පත්ව තිබෙන්නේ ගෝලීය වසංගතයක් ලෙසින් මතුවූ කොරෝනා හේතුවෙන් ඇතිවූ ආර්ථික අවපාතය සියල්ලට හේතුවී තිබෙන බවය. යම් පාරිභෝගික ආහාර ද්‍රව්‍යයක හිඟයක් මතුවීමේදී එය මගඟැර යමින් විකල්පයක් වෙත යොමුවී හෝ අවශ්‍යතා සපුරා ගැනීමේ හැකියාවක් ඇත. එහෙත් රටක ජලය, විදුලිය, ඉන්ධන හා බලශක්තිය ආදියේ හිඟතාවක් ඇතිවුවහොත් සමස්ත රටම අකර්මන්‍ය වීම කිසිවකුටත් වළක්වා ගත නොහැකිය.

එහිදී කොරෝනා හමුවේ රට අගුලූ දමනවාටත් වඩා බරපතළ අගුලූ වැටීමකට ස්වභාවිකම ලක්වී සමස්තය ආරාජික වීම අනිවාර්යයෙන්ම සිදු වන්නකි. එම තත්ත්වය තුළ රටපුරා ඇතිවී තිබෙන ගෑස් හා ඉන්ධන පෝලිම් දෙස බලා සියල්ලට හේතුව කොරෝනා නිසා ආර්ථිකය කඩා වැටීමෙන් ඇතිවූ ඩොලර් හිඟය යැයි පවසා ඇඟ බේරා ගැනීමට වගකිවයුතු ආණ්ඩුවකට හැකියාවක් තිබේද?

අප එකී ප‍්‍රශ්නය ආණ්ඩුවෙන් විමසා සිටිනුයේ ඉදිරියේදී ඉතාම බරපතළ ගැටලූකාරී බවක් රට තුළ නිර්මාණය වෙමින් තිබෙන බව පෙනෙන්නට ඇති නිසාය. කොරෝනා වසංගතයත් සමඟ මෙරට තුළ ගෑස් හිඟයක් ඇති වූයේ මීට මාස දෙකතුනකට ඉහතදීය. එහිදී ගෑස් සිලින්ඩර ඔසවාගෙන පෝලිම්වල රැඳී සිටිමින් බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට ජනතාවට සිදුවිනි. කොරෝනා ඉදිරියේ බොහෝ අමිහිරි අත්දැකීම්වලට මුහුණ දුන් සියලූ රට වැසියෝ මේ මොහොතේත් නිවසේ ළිප දල්වා ගැනීමට ගෑස් සිලින්ඩරයක් සොයාගත නොහැකිව සෞඛ්‍ය උපදෙස්ද අමතක වී පෝලිම්වල විඳවන්නාහ. දේශපාලන වශයෙන් ගත් කල මෙම තත්ත්වය රජයට එරෙහි විපක්‍ෂ දේශපාලනයට බලය වෙනුවෙන් යන ගමනේදී හමුවූ ඉතා හොඳ පල්ලමකි. එසේම රජය පැත්තෙන් බලන කල එය බලය රැක ගැනීම ඉදිරියේ ආණ්ඩුවට එල්ල වූ මාරාන්තික ප‍්‍රහාරයකි. කලක සිටම මෙරට ගෑස් සැපයීමේ ඒකාධිකාරය ගෑස් සමාගම් දෙකක් සතුව ථිබිණි. රට තුළ ඇතිවූ ආර්ථික කඩා වැටීම ඉදිරියේ මේ වනවිට ඉන් එක් සමාගමක් සිටිනුයේ ගෑස් අලෙවියෙන් ඉවත්ව ගොස්ය. මේ වන විට රටේ ගෑස් අවශ්‍යතාව සපුරාලීම් වගකීමට උර දී සිටිනුයේ රාජ්‍ය ආයතනයක් ලෙස පවතින ලිට්‍රෝ ගෑස් සමාගමය. ගෑස් නොමැතිව රටේ ජනතාව මැසිවිලි නඟද්දී එහි ඇතැම් ප‍්‍රධානීන් කියන්නේ එක්තරා මාෆියාවක් හමුවේ රට තුළ ගෑස් හිඟයක් ඇතිවූ බවය. තවත් සමහරු කියනුයේ කිසිදු ගැටලූවක් නැහැ. තව දින කිහිපයකින් සියල්ල යථා තත්ත්වයට පත් වන බවය.

එහෙත් ගෑස් නොමැතිව පෝලිම්වල සිටිමින් හඬ නඟන ජනතාව දෙස බලා අද ලිට්‍රෝ සමාගමේ ඇතැම් සේවකයන් නම් කියනුයේ තවත් දිගු කලක් යනතුරු විසඳාගත නොහැකි ගැටලූවකට රටම මුහුණ දී තිබෙන බවය. එම සේවකයන්ට අනුව වත්මන් ගෑස් හිඟයට බලපා ඇති ප‍්‍රධාන කරුණු පහක් පමණ ඇත. රට තුළ ඇතිවී තිබෙන ඩොලර් හිඟය හමුවේ ගෑස් ආනයනය කිරීමේදී බාධා ඇතිවීම ඉන් ප‍්‍රධාන කරුණ ලෙස ඔවුහු පෙන්වා දෙති. එසේම කොරෝනා වසංගතයත් සමඟ ඉල්ලූමට සරිලන සේ ගෑස් සිලින්ඩර ආනයනය කිරීමට සමාගම කටයුතු නොකිරීම සහ එම තත්ත්වය තුළ අලෙවි නියෝජිතයන් සතුව තිබූ සිලින්ඩර ප‍්‍රමාණය අඩු වීමෙන් නියමිත තොග ලබා ගැනීමට නොහැකි වීම පවතින තත්ත්වයට තවත් හේතුව ලෙස ඔවුහු පෙන්වා දෙති. පසුගිය කාලයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයෝ පාරිභෝගික ඉල්ලූම අනුව සිලින්ඩර අලෙවි කිරීම සිදු කළහ. එහෙත් එසේ අලෙවි කළ සිලින්ඩර වෙනුවට සමාගම වෙතින් අලූතින් සිලින්ඩර ලබා ගැනීමට ඔවුනට නොහැකි විය. මේ හේතුවෙන් අද වන විට ඔවුනට ඉල්ලූමට සරිලන සේ තොග රැස්කර ගැනීමට නොහැකිව ඇත. ඉහත සමාගම් සේවකයන් වත්මන් ගෑස් හිඟයට බලපෑ තවත් කරුණක් ලෙස පෙන්වා දෙන්නේ එක් සමාගමක් ගෑස් අලෙවියෙන් ඉවත් වීම නිසා ඇතිවූ ඉල්ලූම ඉහළ යෑමය. එසේම පවතින ගෑස් හිඟය හමුවේ විවිධ උපක‍්‍රම මගින් ගෑස් ලැබෙන පළමු අවස්ථාවේදීම සිලින්ඩර දෙක තුනක් ලබා ගනිමින් නිවෙස් තුළ තබා ගැනීමට පාරිභෝගිකයන් පෙළඹී සිටීම ගෑස් හිඟයට තවත් හේතුවක් වන බවද ඔවුහු සඳහන් කරන්නාහ. මේ අනුව ආර්ථිකය ශක්තිමත් වෙමින් රට යළි යථා තත්ත්වයට පත් වනතුරු වර්තමාන ගෑස් හිඟය මඟහැරී නොයනු ඇතැයි එම සමාගම් සේවකයෝ පවසන්නාහ. ගෝලීය වසංගතයක් ලෙස පැමිණි කොරෝනා ඉදිරියේ මෙරට ආර්ථිකය කඩා වැටුනේ යැයි යන්න සත්‍යයකි. එම නිසා රට තුළ ඩොලර් හිඟයක් ඇති වූවේ යැයි යන්නද ඇත්තය. එහෙත් රටක රාජ්‍ය පාලනයක් තිබෙන්නේ මෙවැනි බරපතළ ගැටලූ ඇති වෙද්දී ජනතාවට හැකිතාක් අවම පීඩනයක් ඇතිවන පරිදි සියල්ල කළමනාකරණය කරගෙන රාජ්‍යය පවත්වාගෙන යෑමටය.

කිසියම් ආණ්ඩුවකට එසේ කිරීමට නොහැකිනම් එම රජය අසමත් යැයි කියනවා හැරෙන්නට වෙන කියන්නට දෙයක්ද නැත. රට තුළ පවතින ගෑස් හිඟය හමුවේ ජනතාව විඳවනු ආකාරය දෙස බලා අපට කියන්නට ඇත්තේ ඒ ටිකය. මේ අතරේ රට තුළ ඉන්ධන හිඟයක් ද ඇතිවන බවට කියැවෙමින් තිබෙන්නේද දැනට මාස දෙක තුනක සිටය. මතවාදයක් ලෙස ඉන්ධන හිඟයක් පිළිබඳ කතාබහක් ඇතිවීමත් සමඟ රට පුරා දක්නට ලැබුණු එකම දර්ශනය වූයේ කොරෝනා හමුවේ පනවා ඇති සෞඛ්‍ය උපදෙස්ද අමතක කර ජනතාව ඉන්ධන හල් ඉදිරියේ පෙළ ගැසී සිටින අන්දමය.

ඉකුත් දා සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදුව වසා දැමීමට ආණ්ඩුව කටයුතු කිරීමත් සමඟ මෙකී ඉන්ධන හිඟය පිළිබඳ කතා බහ උපරිමයටම ළඟා විය. පෙට‍්‍රල් ෂෙඞ් අසල දක්නට ලැබුණේ මීටර් දෙතුන් සියය ආදී ලෙසින් දිගට විහිදී ගිය ඉන්ධන පෝලිම්ය. මේ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා නම් සඳහන් කරනුයේ කිසිදු ඉන්ධන හිඟයක් රට තුළ ඇතිවී නොමැතියි යන්නය. සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමට පියවර ගනු ලැබුවේ බොරතෙල් ආනයනයේදී සෘජුවම ඉන්ධන ආනයනය කරනවාට වඩා වැඩි ඩොලර් ප‍්‍රමාණයක් වැය කිරීමට සිදු වන බැවින් රටේ පවතින ඩොලර් හිඟය හමුවේ ඩොලර් සංචිත රැක ගැනීමේ පියවරක් ලෙසින් බවද උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

ප්‍රශ්න වහන කෝකටත් තෙල ඩොලර්ද?

ඇමැතිවරයාට අනුව සපුගස්කන්ද පිරිපහදුව කි‍්‍රයාත්මක කිරීමේදී බොරතෙල් බැරලයකින් නිෂ්පාදනය කළ හැකි පෙට‍්‍රල් ප‍්‍රමාණය සියයට 14 කි. ඞීසල් ප‍්‍රමාණය සියයට 29 කි. බොරතෙල් බැරලයකින් නිෂ්පාදනය කළ හැකි සම්පූර්ණ ඞීසල් හා පෙට‍්‍රල් ප‍්‍රමාණය සියයට 43 ක් වේ. සපුගස්කන්ද පිරිපහදුව මගින් ඉන්ධන බැරලයක් නිෂ්පාදනය කර ගැනීම සඳහා බොරතෙල් බැරල් 2.32 අවශ්‍ය වේ. වර්තමනයේ ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 85 ක් වන අතර ඞීසල් බැරලයක් ඩොලර් 93 ටත්, පෙට‍්‍රල් බැරලයක් ඩොලර් 95 ටත් මිලදී ගත හැකි බවද ඇමැතිවරයා කියා සිටී. මේ අනුව ඇමැතිවරයා සඳහන් කරන්නේ සපුගස්කන්ද පිරිපහදුව මගින් ඉන්ධන බැරලයක් නිෂ්පාදනය කිරීම සඳහා ඩොලර් 197 ක් වැයවන බවය.

එහිදී සුළු ලාභයක් තිබුණද වත්මන් තත්ත්වය තුළ ඞීසල් සහ පෙට‍්‍රල් බැරලයක් ඩොලර් 93 කට සහ 95 කට ඍජුව ලබා ගැනීමට හැකියාව තිබියදී එක් ඉන්ධන බැරලයක් නිෂ්පාදනයට බොරතෙල් ලබා ගැනීම සඳහා ඩොලර් 197 වැය කිරීම මේ මොහොතේ සිදු නොකළ යුත්තක් බවද ඇමැතිවරයාගේ අදහසය. සපුගස්කන්ද පිරිපහදුව දින පනහකට වසා දැමුවේ බොරතෙල් ආනයනයේදී වැඩි ඩොලර් ප‍්‍රමාණයක් වැය කිරීමට සිදුවන නිසා ඩොලර් ඉතිරි කර ගැනීමේ පියවරක් ලෙසින් බවද ඇමැතිවරයා පවසයි. කෙසේ වෙතත් උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ රට තුළ ඉන්ධන හිඟයක් නොමැති වුවත් අසත්‍යයක් මවාපාන එක්තරා විශ‍්‍රාමික සංස්ථා සේවකයෙක් ඉන්ධන හිඟයක් ඇති වන බව පවසමින් රටම නොමඟ යවමින් සිටින බවය. බලශක්ති ඇමැතිවරයා මෙහිදී එසේ චෝදනා කරන්නේ ඛනිජ තෙල් සංස්ථාවේ සිටි වෘත්තීය සමිති ප‍්‍රධානියකු වන ආනන්ද පාලිත මහතාටය. ආනන්ද පාලිත මහතා එසේ රටේ ජනතාවට බොරු කියමින් සියලූ දෙනා නොමඟ යවමින් රටේ කලබල ඇති කරන්නේ නම් ඇමැතිවරයා ඒ පිළිබඳ සඳහන් කිරීම පමණක් ප‍්‍රමාණවත් නැත. ඔහු සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර අවශ්‍ය නෛතික කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කළ යුතුය. නීතිඥයකුද වන උදය ගම්මන්පිල මහතාට ඒ පිළිබඳව අමුතුවෙන් කියා දිය යුතුද නැත. එහෙත් මේ දක්වා එවැන්නක් සිදු නොවීය. ඒ අනුව ඇමැතිවරයාගේ එකී ප‍්‍රකාශය සම්බන්ධයෙන් අපට අසන්නට ඇති ප‍්‍රශ්නය වන්නේ ඒකත් ඞීල් එකක්ද යන්නය. උදය ගම්මන්පිල සම්බන්ධයෙන් එවන් ඞීල් කතා අප අසා නැතත් සාමාන්‍යයෙන් අවශ්‍ය පියවර නොගෙන මෙසේ රටට පෙනෙන්නට දොස් පවරා ගනිද්දී මෙරට දේශපාලනයට අනුව ජනතාව දැන් ඒකට කියන්නේ ඞීල් දානවා කියාය.

මීට පෙර අවස්ථාවක ආනන්ද පාලිත මහතාගේ කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ඔහුව අත්අඩංගුවට ගත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. ඒ අනුව ඔහු දැනට ඉන්නේ අධිකරණ ඇප මත නිදහස්වය. කෙසේ වෙතත් උදය ගම්මන්පිලි ඇමැතිවරයාගේ එකී කරුණු පෙන්වා දීම සම්බන්ධයෙන් අදහස් දක්වන ආනන්ද පාලිත මහතා සඳහන් කරන්නේ සපුගස්කන්ද පිරිපහදුව කි‍්‍රයාත්මක කිරීමෙන් ඩොලර් උපයාගත හැකි බවය.

බොරතෙල් මගින් පෙට‍්‍රල් සහ ඞීසල් නිෂ්පාදනය කිරීමේදී අතුරු ඵලයක් ලෙස ලැබෙන ගුවන් යානා ඉන්ධන අලෙවියෙන් සහ නෞකාවලට අවශ්‍ය ඉන්ධන සැපයීමෙන් එසේ ඩොලර් උපයාගත හැකි බවද හෙතෙම සඳහන් කරන්නේය. කෙසේ වෙතත් මේ වන විට මෙරට භූමිතෙල් හිඟයක් නම් පවතින්නේය. භූමිතෙල්ද බොරතෙල් පිරිපහදුවේ අතුරු ඵලයකි. රට තුළ පවතින ගෑස් හිඟය හමුවේ භූමි තෙල් උඳුනකවත් දල්වාගෙන නිවසේ ආහාර ටික පිස ගැනීමේ ඇති අවස්ථාව මේ තත්ත්වය තුළ අපේ ගෘහනියන්ට අහිමි වී ගොස් ඇත. උදය ගම්මන්පිල මහතා ඉන්ධන හිඟයක් නොමැති බව කියද්දී මේ වන විට ඉදිරි මාස එකහමාරක් දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇති බවද අපට වාර්තා විය. එකී ඇනවුමට අදාළ එක් ඉන්ධන නෞකාවක් ඉකුත්දා මෙරටට ළඟාවීද තිබිණි. ඒ අනුව දැන් ඇති වන්නේ යැයි කී ඉන්ධන හිඟය පිළිබඳ භීතිය ඇත්තේ රටේ ජනතාවගේ සිත්වලින් ඉවත්ව ගොස්ය. අද ශී‍්‍ර ලංකාව ඩොලර් හිඟයකට මුහුණ දී සිටින බව කවුරුත් දන්නා කරුණකි. එසේ තිබියදී ආනන්ද පාලිත මහතා වැන්නන් ඉන්ධන හිඟයක් පිළිබඳ මත පළ කරද්දී සිදුවන තවත් දෙයක්ද ඇත. ඒ අපේ මිනිස්සු පෙළ ගැසී ගොස් තම තමන්ගේ වාහනවලට ටැංකි පිරෙනතුරුම ඉන්ධන ලබා ගැනීමය. රට ඇත්තේ විදේශ විනිමය හිඟයකට මුහුණ දී නම් ඒ රටේ මිනිස්සු ලෙස ජනතාවටද විදේශ විනිමය ආරක්‍ෂා වන පරිදි කටයුතු කිරීමේ වගකීමක් ඇත. කවුරුන් හෝ කියන කතාවකට අනුව කලබල වී ටැංකි පිරෙන්නට ඉන්ධන ලබා ගැනීමේදී යළි ඉන්ධන ගෙන්වීමට වැය වන්නේ ඩොලර් බව වටහා ගන්නට රටේ ජනතාවටද හැකි විය යුතුය.

එසේම මේ සියල්ල හමුවේ අවසන් වශයෙන් අපට කියන්නට ඇත්තේ කොරෝනාවෙන් හෙම්බත්ව සිටින මෙරට ජනතාව පෝලිම්වල දුක් විඳින එක නතර කිරීමට දැන්වත් ආණ්ඩුව පියවර ගැනීම අනිවාර්යයෙන්ම සිදු විය යුතු යැයි යන්නය. එය සිදු කළ නොහැකි නම් ඉදිරි මැතිවරණවලදී විපක්‍ෂයට නිතරග ජයක් හිමි වන පරිදි තරගයෙන් ඉවත්ව ගෙදර යෑම වඩාත් උචිතය. මන්ද මේ යන විදිහට තවදුරටත් වැඩ සිදුවුවහොත් තරග කළත් ලැබෙන උත්තරය එය වන නිසාය. සියල්ල සිදු කළ යුත්තේ රටේ ජනතාවගේ සංවේදී හැඟීම් අංක එකේ තබාගෙනය. දැන්වත් ආණ්ඩුව එය වටහා ගතයුතුය.

සමන් ගමගේ

advertistmentadvertistment