පාකිස්තානයේ කේබල් කාර් අනතුරකින් මගීහු 8ක් සිර වෙති

385

වයඹ දිග පකිස්ථානයේ මගීන් ප්‍රවාහනය කරන කේබල් රථයක් (කේබල් කාර්) ඊයේ (22දා ) උදෑසන ප්‍රවාහන කටයුතු අතරතුර හදිසියේ කැඩී ගොස් පොළවට අඩි 1200ක් ඉහළින් එල්ලෙමින් පැවතීම හේතුවෙන් එහි ගමන් ගත් මගීන් අට දෙනා මුදා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. පාසල් ළමුන් හයදෙනකු ඇතුළු මගීන් අටදෙනකු මෙම අනතුරට මුහුණ පෑ කේබල් රථය තුළ සිරවී සිටීම හේතුවෙන් ඔවුන් මුදා ගැනීම සඳහා පකිස්ථාන රජය විසින් හමුදා හෙලිකොප්ටර් යානා අනතුර සිදු වූ ස්ථානය වෙත යවා ඇති බව වාර්තා වේ.

කම්බියක ආධාරයෙන් ගමන් ගන්නා මෙම කේබල් රථයෙහි ආධාරක කම්බිය කැඩී ගොස් එය ප්‍රධාන කම්බියෙහි එල්ලෙමින් පැවතීම නිසා රථයෙහි සිරවී සිටින පිරිස බේරා ගත හැක්කේ හෙලිකොප්ටර් යානයකින් පමණක් බව බලධාරීහු පවසති. ප්‍රවාහන පහසුකම් නොමැති දුෂ්කර කඳුකර ප්‍රදේශයක් වන ‘කයිබර් පක්ට්වුන්කා’ පළාතේ සිදුව ඇති මෙම අනතුර හේතුවෙන් ආධාර ඉල්ලමින් සිටින රථය තුළ සිටින මගින් අටදෙනා මුදා ගැනීම සඳහා අවශ්‍ය සැම පියවරක්ම ගන්නා ලෙස පකිස්ථානයේ වැඩබලන අගමැතිවරයා මුදා ගැනීමේ මෙහෙයුමෙහි නිරතව සිටින නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. අනතුර සිදු වී පැය හතරක කාලයක් ගත වූ පසු ඊයේ දහවල් වන විට හමුදා හෙලිකොප්ටර් යානයක් එම ස්ථානයට ළඟා වී තිබූ බව වාර්තා විය.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment