පාකිස්තානයේ දේශපාලන දිග පළල සහ මෙවර මහ ඡන්දය

1603

ලංකාවට ඉතාම හිතවත් රටක් වන ජනවාර්ගික යුද සමයේදී අප්‍රමාණ යුද ආධාර ඉතා රහසිගතව ලබාදුන්නා වූද පාකිස්තානයේ මහා මැතිවරණය පෙබරවාරි 8 දා පැවැත්විණි. 1947 දී බි්‍රතාන්‍ය අධිරාජ්‍යය වෙතින් නිදහස ලැබීමෙන් පසු පාකිස්තානයේ 16 වැනි පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා මේ මහා මැතිවරණය පැවැත්විණ. පසුගිය දශකය තුළ ආසියා මහාද්වීපයේ පැවති වඩාත්ම බියගුළු සහගත ඡන්දය ලෙස මෙවර පාකිස්ථාන ඡන්දය ලෝක දේශපාලන ඉතිහාසයට එක්වෙයි. පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂෙරීෆ් ගේ මුස්ලිම් ලීග පක්ෂය බෙනාසීර් භූතෝගේ පුත්‍රයා සහ සුර්ෆිකාර් අලි භූතෝ ගේ මුණුපුරා වූ බිලාවල් භූතෝ සර්දාරි ගේ පාකිස්තාන් මහජන පක්ෂයද ඉම්රාන් ඛාන්ගේ පී. ටී. අයි පක්ෂයද මෙවර ඡන්දයට ඉදිරිපත් වූ ප්‍රධාන පක්ෂ වූහ. ඉම්රාන් ඛාන්ගේ කට්ටිය ඡන්දයට ඉදිරිපත් වූයේ ස්වාධීන අපේක්ෂකයන් ලෙසිනි. මීට කලකට පෙර විශ්වාසභංගයකින් පරාද වීම නිසා එවකට දරමින් සිටි අගමැති තනතුර ඉම්රාන් ඛාන්ට අහිමි වූ අතර ඔහු අල්ලා රිමාන්ඩ් කූඩුවට දමා ඇප නොදී තැබීමට පකිස්ථාන ආණ්ඩුව පියවර ගත්තේය. වෙනකක් තබා ඉම්රාන් ඛාන්ගේ බැට් එක සහිත පක්ෂ ලකුණ පවා තහනම් කිරීමට ආණ්ඩුව පියවර ගත්තේය. ඔවුන්ට කරගැනීමට බැරි වූ වැදගත්ම දෙය වූයේ බැට් එක තහනම් කිරීමය. පාකිස්ථානය යනු ක්‍රිකට්වලට ඉතා ප්‍රසිද්ධ, දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් සිටින ටෙස්ට් මැච් වලින් දිනන ලෝක ශූරයන් සිටින විලෝ ලීයෙන් කළ බැට් සහ නියම ප්‍රමිතිගත ලෙදර් බෝල තනා පිට රටවලට පටවන රටකි. එමගින් සෑහෙන විදේශ විනිමයක් උපයා ගැනීමට පකිස්තානයට හැකි විය. එහෙත් මීට අවුරුදු 10 ට පමණ පෙර පකිස්තානයෙන් ක්‍රිකට් බඩු ගැනීම ලෝක ප්‍රජාව විසින් අත්හිටුවන ලදී. එයට හේතුව පාකිස්තානයේ ක්‍රිකට් බඩු නිෂ්පාදන කර්මාන්තය තුළ බාල වයස්කරුවන් දස දහස් ගණනක් වැඩ කරන බව හෙළි වීමය. බාල දරුවන් වැඩට යොදාගැනීම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව තහනම්ය. හැබැයි බාල දරුවන් වැඩ නැවැත්වී යැයි කියා ඔවුන්ට කෑම බීම දීමද එක්සත් ජාතීන්ගේ සංවිධානය සිදුකරන්නේ නැත. පාකිස්තානයේ පොඩි එවුන් පාසල් යෑම අත්හැර දමා ලෙදර් බෝල මැසීමෙන් මාසයකට ලංකාවේ මුදලින් රුපියල් 8000 බැගින් උපයති. මෙය ඒ රටේ පවුල්වලට ලොකු ආදායමකි. පාකිස්තානයේ බඩු මිල අපේ බඩු මිලටත් වඩා ඉහළය. පාකිස්ථානයේ වැටුප් සහ වේතන අපේ රටේ වැටුප් සහ වේතනවලට වඩා පහළය. මේ නිසා කුඩු ටිකක් විකුණා හෝ අත් බෝම්බයක් නිෂ්පාදනය කර විකුණා බඩ කට පුරවා ගන්නා තැනට පාකිස්තාන ජාතිකයෝ පත්ව සිටිති. එක්සත් ජාතීන්ගේ සංවිධානය ළමයින්ගෙන් වැඩ ගැනීම තහනම් කරනවා නම් ඒ සම්බන්ධයෙන් පාකිස්තානයට කිසියම් ආධාරයක් කළ යුතුය යන මතයේ අප සිටිමු. බඩගින්න යන සාධකය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දාර්ශනික මෝඩ චූන් ඉදිරියේ ඇඹරෙන්නේ නැත.

පාකිස්තානය මෙවර මහා මැතිවරණය කෙතරම් අවුල් ජාලයක්ද යත් හිරේ සිටින ඉම්රාන් ඛාන් මෙන්ම එළියේ සිටින නවාස් ෂෙරීෆ් ද තම තමන් ඡන්දයෙන් ජයග්‍රහණය කළ බව කියමින් ප්‍රකාශ නිකුත් කළහ. මෙවැනි ප්‍රකාශ නිකුත් නොකළේ බෙනාසීර් භූතෝගේ පුත්‍රයා වූ බිලාවල් භූතෝ සර්දාරි පමණි. මේ නම කී පමණින්ම පාකිස්තානයේ දේශපාලනයෙහි අභ්‍යන්තර ස්වරූපය හඳුනාගත හැකිය. බිලාවල්ගේ මව වූ බෙනාසීර් පාකිස්තානයේ හිටපු අගමැතිවරියකි. රටින් නෙරපනු ලැබ සිටි ඇය එංගලන්තයේ සිට ඡන්දයකට සහභාගිවීම සඳහා පාකිස්තානයට පැමිණ පිළිගැනීමේ උත්සවයකට සහභාගි වෙමින් සිටින අතර බෝම්බ පහරක් කා එතැනම මිය ගියාය. මෙයින් දේශපාලන වාසියක් ගත් ඇගේ සැමියා වූ අසීෆ් අලි සර්දාරි ඡන්දයට ඉදිරිපත් වී අගමැති බවට පත්විය. සිය පියාගේ සහ මවගේ වාසගම් දෙකම එකතුකර බිලාවල් භූතෝ සර්දාරි යනුවෙන් පෙනී සිටි බිලාවල් කල්පනා කළේද දේශපාලන වාසියක් ලබා ගැනීමය.

පාකිස්ථාන මුස්ලිම් ලීගයේ අපේක්ෂකයා වූ නවාස් ෂරීෆ් ලාහෝරයේ කපු පුළුන් මුදලාලි කෙනකුගේ පුතෙකි. ඒ රටේ ධනවත්ම අය ලෙස කපු පුළුන් මුදලාලිලාට පිළිගැනීමක් තිබේ. පාකිස්ථානය නොනිල වශයෙන් පාලනය කරන්නේ එරට යුද හමුදාව විසිනි. අහල පහල රටවල සිටින සියලුම අන්තවාදීන් සහ මූලධර්මවාදීන් ඉස්ලාම් ගරිල්ලන් සමග පාකිස්තාන් හමුදාවට ලොකු හිතවත්කමක් ඇත. ඒ නිසා කලාපයේ හතර දිග්භාගයේම control එක ඔවුන් අත තිබේ. පාකිස්තානයට අලුතෙන් එන අගමැති හැමවිටම හමුදාවට පක්ෂපාතී වෙමින් ලෙඩ නොදා සිටිය යුතුය. නොඑසේ නම් රටේ කැරලි කෝලාහල තත්ත්වයක් ඇතිකර අගමැති ගෙදර යැවීමට පාකිස්තාන හමුදාවට පුළුවන. නවාස් ෂරීෆ් යනු පාකිස්ථාන හමුදාවේ සුරතලෙකි. මෙවර මහා මැතිවරණයේ නවාස් ෂරීෆ් පරාජය වන්නේ නම් එයින් හැඟීයන්නේ පාකිස්තාන හමුදාවද පරාජයට පත්වී ඇති බවය.

මෙවර පාකිස්තාන් මහා මැතිවරණය අක්‍රමිකතා ගුහාවකි. ඡන්දය පටන්ගන්නා විට රටේ තැන තැන ලයිට් ගිය අතර සමාජ මාධ්‍ය සියල්ලම ඉකදජන කර තිබිණ. මෙවිට පාකිස්තානයේ මැතිවරණ කොමිසම හමුවූ විපක්ෂය සමාජ මාධ්‍ය බ්ලොක් වීම නිසා නිසි වේලාවට ප්‍රතිඵල දීමට බැරිවනු ඇතැයි පැවසීය. එය එසේම සිදුවිය. පාකිස්තානයේ පොලිසිය සහ යුද හමුදාව ඡන්ද දූෂණවල යෙදෙන හැටිත් ඡන්ද පෙට්ටිවලට හොර ඡන්ද පුරවන සැටිත් විදේශික රූපවාහිනී නාලිකා මගින් පෙන්වන ලදී. මෙවර ඡන්දයෙන් කිසිදු පක්ෂයක් බහුතරය වාර්තා නොකරන බව අපට විශ්වාසය. එබැවින් ඉම්රාන් ඛාන්ට හෝ නවාස් ෂරීෆ්ට සිදුවන්නේ හවුල් ආණ්ඩුවක් පිහිටුවීමය. 1947 න් පසු පාකිස්ථානයේ සිටි කිසිම අගමැතිවරයෙක් සිය නිල කාලය සම්පූර්ණ කර නැත. මේ නිසා ඉම්රාන් ඛාන් අගමැති වුවත් හවුල් ආණ්ඩුවක ආධාර වලින් තොරව ඔවුන්ට බලය තහවුරු කරගැනීමට නොහැකි වනවා ඇත. මේ වනවිට ඉම්රාන් ඛාන්ට ඇප ලැබී තිබේ. එයින් කියවෙන්නේ ඔහු නුදුරේදීම අගමැති තනතුරේ දිවුරුම් දෙනු ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment