කර්තෘ : අනුර එස්. ප්‍රේමකුමාර
ප්‍රකාශනය : කර්තෘ ප්‍රකාශනයකි
කවියකුගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහයක ඇතුළත් පළමු කවිය ම පාඨකයා ප්‍රකම්පනයට පත්කරන්නේ නම් එහි ඉතිරි කවි කියවන්නට ද පාඨකයා නිරායාසයෙන් පෙළඹෙයි. එසේ කියවාගෙන යද්දී එහි එන ඉතිරි කවි බොහොමයක් පාඨකයාගේ හද ඇද බැඳ ගන්නේ නම්, ඒ කවි රස විඳීමෙන් පාඨකයා ඥානනය වන්නේ නම් අවසානයේ ඔහු ඒ කවිපොත පසෙකින් තබන්නේ අර්ථපූර්ණ, රසපූර්ණ කවි පොතක් කියවන්නට ලැබීමේ මහත් ආහ්ලාදයෙනි.
එවන් අපූරු කුළුඳුල් කාව්‍ය සංග්‍රහයක් මෑතක දී අපට කියවන්නට ලැබිණි. ඒ, අනුර එස්. ප්‍රේමකුමාර කවියාගේ ‘නාට්ටාමි පෙම්බරා’ නම් කාව්‍ය සංග්‍රහය යි. ඔහු බොහෝ විට ඔහුගේ කවිය සමාජගත කරන්නට තෝරාගත්තේ මුහුණුපොත සහ පුවත්පත් කවිපිටු ය. දීර්ඝ කාලයක් තිස්සේ කවි පොතක් පළකරන්නට නොතිත් ආශාවෙන් පෙලුන ද, ප්‍රකාශකයන් මුද්‍රණය සඳහා කවිපොත් භාර නොගන්නා තත්ත්වයක අනෙක් බොහෝ කවීන්ට මෙන් ඔහුට ද කර්තෘ ප්‍රකාශනයකට යන්නට සිදුව තිබේ.
අනුර එස්. ප්‍රේමකුමාර වඩාත් සාවධාන සමාජ කියවීමක් ඇති කවියකු බව ප්‍රකට කරන කවි විසිහයකින් සුසැදි මෙම කවි සරණියේ ‘නාට්ටාමි පෙම්බරා’ නම් කවිය විමසුම සඳහා මුලින් ම තෝරාගන්නට කැමැත්තෙමු. ප්‍රවීණ කිවිවර බුද්ධදාස ගලප්පත්ති මෑත දිනෙක දිවයින ඉරිදා සංග්‍රහයේ සිය ‘කවිමිහිර’ කවි විනිස සඳහා තෝරාගෙන තිබූ මේ කව අප හදවත් සසල කරන කවියකි.
ක්ලීනිං සේවාවක වැඩ කරන තරුණියක සරණ පාවාගත් නාට්ටාමි තරුණයකු ඇය කෙරෙහි ප්‍රේමාතුරව නගන ප්‍රහර්ශය මේ කවිය පුරා ම ගලා යයි. ඒ අතර ම සමාජයේ පහත් යැයි සම්මත පන්තියකට අයත් ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය මොනතරම් ප්‍රේමණීය ද යන්න හඟවන තැන් කවිය පුරා ම අපට දක්නට ලැබේ. ඒ ප්‍රේමණීය සිදුවීම් කාව්‍යෝක්තිවලින් වඩාත් අලංකාර කරන්නට කවියා සමත්ව තිබීම මෙහි ඇති අනෙක් විශේෂත්වය යි.
මහගම සේකර කවියා කිසිදු බියක් සැකක් නොමැකිව සිය කවියේ අවැසි තැන්වලට ඉංග්‍රීසි වදන් උපයෝගී කරගත්තේ ය. අනුර එස්. ප්‍රේමකුමාර කවියා ද කවියට ඉතාමත් උචිත ලෙස එය අනුගමනය කරන සැටි බලන්න.
‘ඇන්ටි බැක්ටීරියල්
ටොයිලට් ක්ලීනර්වලට
ඇඟිලි හම යනවලු’
ඔවුන් නිවසන පරිසරය කවියා අප මනසේ අපූරුවට චිත්‍රණය කරන්නේ මෙසේ ය.
‘කොළඹ කපුටන්ගෙ වසුරින
පාවඩය බිම දිග එලුණු
පිලි ගඳ නැහැවුණු තුරින යුතු
පරණ
මැලේ වීදිය කෙළවරම
ලෑලි ගෙදරක
පිපුණි ඒ කේඩෑරි සඳ
මලකඩ ටකරං වහල යට’
පහත් යැයි සම්මත රැකියාවක නිරත සමන්ති හා විවාහ වීම සාධාරණීකරණය කරන්නට ඔහු උපමා ලෙස ගන්නේ තරු පොකුරු අතින් අල්ලා ගෙන බේරේ වැව් දියට පැන ස්නානය කරන සඳ යි. අපිරිසිදු බේරේ වැව් දියට පැන ස්නානය කරන්නේ සුපිරිසිදු සඳකි.
‘නෙළුම් කුලුනින්ට
දේවතා එළි වඩිනව බිමට
තරු පොකුරු අතින් අල්ලන්
දියට පැන
බේරේ වැවෙන් නානවා නම් සඳ
මං සමන්තිව බැන්ද ම මොකද?‘
සමස්ත කවියේ ප්‍රබල ම ස්ථානය එතැන ය. එතැනින් කවිය අවසන් විණි නම්, එය කවියට වඩාත් ආලෝකයක් වනු ඇතැයි අප අදහස් කරන්නේ ඉන්පසුව එකතු කර ඇති පද කිහිපය කවියට කිසිදු ප්‍රබල මෙහෙයක් ඉටු නොකරන හෙයිනි.
මෙහි එන ‘රංජනී නුඹ කවියක්!’ නම් මෙම කවිසරණියේ එන පළමු කවිය පිළිකා රෝගයකින් මියගිය බිරිඳක ගැන කියවෙන කවියකි. කවිය පුරා ම ඔහු තම බිරිඳ උපමා කරන්නේ සඳට ය.
‘ගමට ම හොරෙන් ඇවිදින්
මගේ කුටියට පෑයුව
පෝය දෙක තුනක් ගෙවුණා ම
ඇඹුල් කන්නට හිතයි කී සඳ’
සිය ප්‍රස්තුතය ඉදිරිපත් කරද්දී කවිය පුරා ම ව්‍යංගය රඳවාගන්නා කවියා සුලභ සිදුවීමක් වුවත්, කිසියම් අපූර්වත්වයකින් යුතුව ඉදිරිපත් කරයි.
‘අග හිඟ පිරුණු අහසට
ආ නමුදු අමාවක ඉඳහිට
දොරකඩට වී හැමදා ම
පෙරමග බලා සිටි පුරහඳ
ඔහුට හමුවී තිබෙන්නේ කෙතරම් අපූරු බිරිඳක් ද? කවියේ ඉදිරියට යමින් ඔහු තව තවත් ඇගේ ගතිගුණ උත්කර්ශයට නංවයි.
‘කනකර තියා උගසට
සඳ හිටියෙ තරු නැතිවයි
උකස් කඩයෙන් රතු කොළ
එනවිටත් ඇය නිහඬ යි
කැදැල්ලට එනවිටත් සිත අග
තිබූ සිය දහසක් සිහින
ඉරා වීසිකර අහසට
සිනාසුණි සඳ පුදුමයි’
මේ උපේක්ෂාවෙන් පිරි ඇගේ ගතිගුණ ‘නොපවතින ගතිගුණ’ බව පාඨකයාට වැටහෙන්නේ කවිය අවසානයේ දී ය. ඒ ඇය ගිලන්ව රෝහලේ සිටිය දී ය. කවියා එහි පරිසරය මවද්දී අපට සේකර සිහිවෙන්නේ නිතැතිනි.
‘මහරගම රෝහලේ ඇඳ උඩ
අවපසව
දිනෙන් දින වැහැරුණා පුරහඳ
බෙහෙත් කටු – සේලයින් බෝතල්
විකිරණ, ගිලින පෙති’
පිළිකා රෝගයෙන් බිරිඳ මියගිය පසුව ද ඔහුගේ ආදරයේ අඩුවක් නොමැති බව ඔහු පවසන සැටි මොනතරම් මනරම් ද?
‘පස් යට දමා ආවත්
මගෙයි පුරහඳ තවමත්’
එක ම කවිය තුළ නිසඳැස් ආරත්, සඳැස් ආකෘතියත් භාවිත කරමින් කළ නිර්මාණ කිහිපයක් ම මෙම කවිසරණිය තුළ අපට හමුවේ. මේ අත්හදා බැලීම අපි මීට පෙර සේකරගේ කවියෙහි ද දැක ඇත්තෙමු. අනුර එස්. ප්‍රේමකුමාර කවියා ද ප්‍රස්තුතය විසින් ඉල්ලා සිටි අවස්ථාවල එම සම්මිශ්‍ර ආකෘතිය ඉතාමත් දක්ෂ ලෙස භාවිත කරයි. ‘මකරෙකුට පණ ඇවිත්’, ‘දිසා රෝහල ගල්ගමුවේ දී ය’, ‘කළු කපුටු ප්‍රේමය’ යන නිර්මාණ ඊට නිදසුනි.
එයින් ‘දිසා රෝහල ගල්ගමුවේ දී ය‘ යන නිර්මාණයේ එන නිසඳැස් සහ සඳැස් කවි දෙකක් පමණක් ගෙන කවියා එම ආකෘතිය සම්මිශ්‍ර කර ගන්නා ආකාරය විමසා බලමු.
ඔහු එම නිර්මාණයට නිසඳැසින් ප්‍රවිශ්ඨ වෙන්නේ මෙසේ ය.
‘කවදාවත් ම නැතුව
සුදු රෙද්දක් ම පොරවගෙන
ගල්ගමුව රෝහලේ ට්‍රොලියක
ඇයි ගුණේ බුදියං ඉන්නෙ?’
නිර්මාණයේ අවසන ඔහු ජනකවියේ රුවගුණ රැගත් සඳැස් කවි තුනකට මාරුවෙයි. ව්‍යංගාර්ථවත් ඒ කවි අතරින් මේ එක් කවියකි.
‘කිරළුන් ඇවිත් වෙස්සන්තර පුවත කියයි
කුරහන් කැකුළු හිස බරකර දුකට හඬයි
කණමැදිරියනි! සංසාරේ බොහොම දුරයි
ගහ උඩ පැලට යළි දහදිය පුසුඹ නොඑයි’
මෙහි එන ‘සසර හෙවත් කපා නොදැමූ ගස’ නමැති කවිය තනිවත්, එහි මැය අතහැර එහි එන කවි හතර කෙටිකවි ලෙස වෙන් වෙන්වත් රසවිඳිය හැකි නවමු ආකෘතිමය අත්හදා බැලීමක් සේ දිසෙයි.
‘අතැර
අතු සමග
බැඳි සිත්
පාව එයි
බිම මත
වියළි තුරුපත්’
‘තුරු හිස
පාට තැවරුව
එදා නැළැවුණු මල්
හැර ගියයි
ඉපලි මත තැවරී
නොතිබුණි සුසුමක්’
‘අතු මතයි
දළු දමා මියැදුණේ
ඒ වියළිපත්‘
‘එඅතු මත
රතුපාට තවරා
හිනාවෙයි
නව ළදළු පත්’
අනුර එස්. ප්‍රේමකුමාර කවියා සිය කාව්‍ය නිර්මාණ සඳහා වැඩි වශයෙන් වස්තු විෂය කරගෙන ඇත්තේ දුක් විඳින ජීවිතවල ඛේදවාචකය යි. සමාජ විරෝධී ක්‍රියාවල යෙදෙන්නන්ගේ නිරුවතයි. ඒ සම්බන්ධ හොඳ සමාජ කියවීමක් ඔහු සතු බව ඔහුගේ කවි අපට සනාථ කරයි.
එමෙන් ම, ඔහු නූතන සහ චිරන්තන ගද්‍ය පද්‍ය සාහිත්‍යය යම් පමණකින් ඇසුරු කර ඇති බව අපට පසක් වෙන්නේ සමස්තයක් වශයෙන් ඔහු මෙහි මනරම් කවි බසක් ගොඩනගා ගන්නට ගෙන ඇති ප්‍රයත්නය නිසා යි. බස මෙන් ම, අක්ෂර වින්‍යාසය ගැන ද ඔහු දක්වා ඇති සාවධානය ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වා නිර්මාණකරණයේ යෙදෙන ප්‍රවීණ, ආධුනික ලේඛක සැමට හොඳ පූර්වාදර්ශයකි.
අඩුපාඩුවක් ලෙස පෙන්වා දියයුතු කරුණක් වෙන්නේ අප කලින් ද සඳහන් කළ ආකාරයට ඔහුගේ කවි සංක්ෂිප්ත ගුණයෙන් තරමක් හීන වීම යි. කවියේ ප්‍රස්තුතය කුළුගැන්වෙන ප්‍රබල අවස්ථාවට පසුවත් ඔහු තවත් දෑ කවියට එකතු කරලන්නට උත්සාහ කරයි.
ඒ අඩුපාඩුවලින් මිදී චිරන්තන, අද්‍යතන සාහිත්‍යයද්වය වඩවඩාත් ඇසුරු කරමින්, දිගින් දිගට ම අභ්‍යාසකරණයේ යෙදීමෙන් අනුර එස්. ප්‍රේමකුමාර කවියාට ද තෙරක් නොපෙනෙන කවි මගේ බොහෝ දුරක් යා හැකි බව අපගේ විශ්වාසය යි.
අනුර බී. සෙනෙවිරත්න