පාඨලී ඇතුළු 3 කට එරෙහි නඩුවේ සාක්‍ෂි විභාගය 30 දා සිට

191

රාජගිරිය ප‍්‍රදේශයේදී තරුණයකු රිය අනතුරකට ලක් කර බරපතළ තුවාල සිදුකිරීමට අදාළ නඩු කටයුත්තකට ඉදිරිපත් කිරීම සඳහා අසත්‍ය සාක්‍ෂි සකස් කිරීම ඇතුළු අධිචෝදනා යටතේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්‍ෂි විභාගය ලබන 30 වැනිදා ආරම්භ කිරීමට කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (2 දා* නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීම සඳහා එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් හය දෙනකුට සිතාසි යැවීමට ද විනිසුරුවරයා එහිදී නියම කළේය.

එම නඩුවේ නඩු භාණ්ඩයක් වන පාඨලී චම්පික රණවක මහතා පැදවූ රිය අනතුර සිදුකළ ජීප් රථය ලබන (22 දා* වැනි දිනට පෙර අධිකරණයට භාරදීමට පියවර ගන්නා ලෙස දන්වා කළුතර දිස්ති‍්‍රක් ලේකම්වරයා වෙත නොතීසි යැවීමට ද විනිසුරුවරයා නියෝග කළේය.

පාඨලී චම්පික රණවක ඔහුගේ රියැදුරු ලෙස කටයුතු කළ දිලූම් තුසිත කුමාර සහ එවකට වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන විත්තිකරුවෝ තිදෙනා ඊයේ (2 දා* අධිකරණය හමුවේ පෙනී සිටියහ.

රජයේ අධිනීතිඥ හංස අබේරත්න මහතා සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර කොළඹ අපරාධ කොට්ඨාසයේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ජයන්තලාල් මහතා පොලිසිය නියෝජනය කළේය.

නීතිඥ ශාලික ගුණවර්ධන, රජිත කොඩිතුවක්කු ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා යන මහත්වරු විත්තිය නියෝජනය කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment