පාඩුව කෝටි අනූදහසක්… වර්ජනය අස්සේ විදුලියත් නැහැ

175

ණය කන්දෙන් වටවී තිබියදීත් අවුල් අඩුවක් නැහැ

ලංවිම ඉංජිනේරු පිරිසකගේ වර්ජනයේ ඇත්ත කතාව මෙන්න

විදුලිය යන්න ආලෝකය නොව පාඩුව යන තැනට පත්වූ රටක, එම කේෂ්ත‍්‍රය පිළිබදව මීට වඩා අවදානය යොමු කළ යුතු තැනක රට තිබෙන බව කිව යුතුය. රුපියල් කෝටි අනූදහසකට අධික පාඩුවක් මේ වන විට ලබා තිබෙන විදුලිබල මණ්ඩලය, සාමාන්‍ය තත්ත්වයක් යටතේ දිගටම පවත්වාගෙන යනවාද, එසේ නැත්නම් ඒ සඳහා විශේෂ පියවරක් ගෙන පාඩුව අවම කර ගනිමින්, එය ඉදිරියට පවත්වාගෙන යනවාද යන ප‍්‍රශ්නය මේ මොහොතේ රට හමුවේ තිබේ. දේශපාලන වපසරියෙන් බලන විට ලංවිම වැනි ආයතන ගැනෙනුයේ අධි සංවේදී ආයතන ලෙසය. විශේෂයෙන්ම ප‍්‍රබල වෘත්තිය සමිති බලගණයක් සහිත එවැනි ආයතන සඳහා කුමන හෝ ප‍්‍රතිසංස්කරණයකට නොයා, තිබෙන තත්ත්වයෙන් පවත්වාගෙන යෑම, දේශපාලන ජනප‍්‍රියභාවය පැත්තෙන් වැදගත්ය. එවැනි කුමන හෝ ප‍්‍රතිසංස්කරණයක් සඳහා යෑමට සැරසෙන විටම, මෙවැනි පන්නයේ ආයතනහි, ප‍්‍රබල වෘත්තිය සමිති සහ විරුද්ධ දේශපාලන ප‍්‍රවාහයන් ඒ සඳහා දක්වන ප‍්‍රතිචාරය, ආණ්ඩු විරෝධයක් ජනතාව කෙරෙහි ජනිත කරවීමට ඇති පහසුම මාර්ගයකි. මේ නිසා පාඩුව කෙතරම් වුවත් එම වාඩුව ඔහේ කළමනාකරණය කරමින් ලංවිම පවත්වාගෙන යෑමට ආණ්ඩු සියල්ලම පාහේ කටයුතු කළේය. එසේ වුවත් මේ වන විට ලංවිම සහ ශ‍්‍රී ලංකාවේ විදුලි ජනන සැලසුම ඇත්තේ එවැනි ලෙස පහසුවෙන් අතහළ හැකි තැනක නොවේ.

2015 වර්ෂයේ සිට 2019 දක්වා ලංකා විදුලිබල මණ්ඩලය, රුපියල් බිලියන 181.5 පාඩුවක් ද 2019දී පමණක් ලංවිම පාඩුව, රුපියල් බිලියන 85.4 ක් ද විය. 2021 මාර්තු 31 දිනෙන් අවසන් කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය රු. බිලියන 8.92ක හෙවත් රු. කෝටි 892ක අලාභයක් වාර්තා කර ඇත. විදුලි බලමණ්ඩලය රු. කෝටි 21,000ක පමණ ණය මුදලක් බාහිර පාර්ශ්වයන් වෙත ගෙවිය යුතුව තිබේ. මෙම අලාභය සහ ණය පොල්ල මතම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා බැංකුව, මහජන බැංකුව යන ආයතන ත‍්‍රිත්වයම අවදානම් කලාපයට පා තබා ඇත්තේය.

මෙවැනි ආයතනයක් දෙස් තවදුරටත් පැරණි ආකෘතිය යටතේ කටයුතු නොකිරීමට වත්මන් ආණ්ඩුව තීරණය කර තිබේ. ඒ අනුව ලංවිම සඳහා නව ව්‍යුහ ප‍්‍රතිසංස්කරණයක් හඳුන්වාදීම සඳහා වත්මන් ලංවිම පාලනාධිකාරිය තීරණයක් ගත්තේය.

ඒ වන විටත්, ශ‍්‍රී ලංකාව සඳහා නව විදුලි ජනන ක‍්‍රමවේදයක් සඳහා පා තැබීමට රජය සැලසුම් සකස් කර තිබුණි. ඒ අනුව 2030 වසර වන විට රටේ සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 70%ක්, පුනර්ජනනීය ප‍්‍රභවයන්ගෙන් බිහි කිරීම ආණ්ඩුවේ ඉලක්කය වී තිබේ. එසේම ද්‍රවිකෘත ස්වභාවික වායු හෙවත් එල්.එන්.ජී. උපයෝගී කර ගැනීමේ ඉලක්කය ද මණ්ඩලය සතුවිය. මේ සඳහා රජය පාර්ශ්වයෙන් ගෙන ආ විසඳුම වූයේ, නිව් පොට‍්‍රස් සමාගම සමග ගිවිසුම් ගතවීමය.

ලංවිම නව ව්‍යුහ වෙනස සහ අනාගත බලශක්ති සැලසුම සඳහා රජය ගෙන ඇති තීරණ සම්බන්ධයෙන්, ලංවිම වෘත්තීය සමිති සිටියේ සුබදායි ස්ථාවරයක නොවේ. මේ හේතුවෙන් ‘සියල්ල එකට කැටි කර’ වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ගයක් සඳහා අකුරට වැඩ කිරීමක් සඳහා යෑමට, ලංවිම ඉංජිනේරු වෘත්තිය සමිතිය තීරණයක් ගත්තේය.

  • අවිධිමත් සහ නීත්‍යානුකූල නොවන නිව් ෆෝට‍්‍රසේ LNG ගනුදෙනුව ක‍්‍රියාත්මක නොකිරීම.
  • දැනට සිදු වන LNG ටෙන්ඩර් කි‍්‍රයාවලිය අඛණ්ඩව ඉදිරියට පවත්වාගන යෑම.
  • විදුලි බල මණ්ඩලය කොටස්වලට වෙන් කිරීමේ වැඩපිළිවෙළ අත්හිටුවීම.
  • 1969 අංක 17 දරන විදුලිබල මණ්ඩල පනත සංශෝධනය අත්හිටුවීම.
  • සමාන්‍යාධිකාරී තනතුර දේශපාලනීකරණයෙන් වැළැක්වීම.
  • ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරුන් මාරුකර යැවීම අත්හිටුවීම.

යන කාරණා හය මුල් කර ගනිමින්, තමන් නොවැම්බර් 25 වෙනිදා සිට අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන බව ලංවිම ඉංජිනේරු වෘත්තිය සමිතිය මාධ්‍ය වෙත ප‍්‍රකාශ කළේය. ලංවිම වර්ජනයක් පිළිබඳව නොවැම්බර් මස මුල සිටම විටින් විට එම වෘත්තිය සමිති ප‍්‍රකාශ කර තිබුණ ද ඒ කිසිවක් ක‍්‍රියාශීලී තත්ත්වයට පත් නොවීය. ඒ වෙනුවට, විරෝධතා ක‍්‍රියාමාර්ග ගණනාවක් ඔවුහු අනුගමනය කරමින් සිටියෝය. එසේ වුවත් අකුරට වැඩ කිරීමේ ක‍්‍රියාමාර්ගය සඳහා ලංවිම ඉංජිනේරු සංගමය යොමු වන්නේ 25 වෙනිදා සිටය. මේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක‍්‍රියා මාර්ගය ඉදිරියට ගෙන යමින් සේවාමුර අවසන් වීමෙන් පසු සිදුවන විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීමෙන් වැළකී සිටීමට ද දින කිහිපයකට පසු ලංවිම ඉංජිනේරු වෘත්තිය සමිතිය තීරණය කළේය. මෙම අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය ජනතාවට දැනට තැනට පත්වන්නේ, 29 වෙනිදාය. එදින අයවැය විවාදය පාර්ලිමේන්තුවේ මුළු දුන්නේ, විදුලි බලය සහ බලශක්තිය යන විෂය පථය ඔස්සේය. 29 වෙනිදා රාත‍්‍රිය වන විට ලංකාවෙන් අඩකට විදුලිය ඇන හිටියේ, හිටි හැටියේය.

ලංවිම ඉංජිනේරු වෘත්තිය සමිතියේ අකුරට වැඩ ව්‍යාපාරය, තවත් ඉදිරියට යන්නේ මෙම විදුලි ඇන හිටීම සමගය. ලංවිම පාලනාධිකාරිය මේ පිළිබඳව තමන්ට ලැබුණු තොරතුරු අනුව, එය කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් බව තහවුරු කර ගත්තේය. ජාතික විදුලි පද්ධතියේ බිඳ වැටීම සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනකු මාරු කිරීමට, ඒ අනුව පියවර ගෙන තිබුණි. මෙම සිද්ධියෙන් පසුව මාධ්‍ය අමතා ලංවිම විදුලි ඉංජිනේරු සංගමය පවසන ලද්දේ, තමන් බලාගාර ආශ‍්‍රිත ඉංජිනේරුවන් සමාන්‍ය පරිදි රාජකාරිවල නිරතවන බවත්, අනෙක් ඉංජිනේරුවන් පෙරවරු 8.30 ත් සවස 4.15 ත් අතර කාලයේ සිය රාජකාරි කිරීමටත්, ඉන්පසු ඇතිවන විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු නොකරන බවත්ය. ලංවිම ඉංජිනේරු වෘත්තිය සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා එහිදී වැඩිදුරටත් පවසා සිටියේ, පවසා සිටියේය.

රටෙන් හතරෙන් එකකට විදුලිය විසන්ධි වෙමින් පසුගිය 29 දා රාත‍්‍රි ඇති වූ විදුලි බිඳවැටීම කිසිම කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් නොවන අතර එය තාක්ණික දෝෂයක් මත ඇති වූ දෙයක් බවත් තම සංගමයේ සාමාජිකයන් මැදිහත් වී යථා තත්ත්වයට පත්කළ බවත් කුමාරවඩු මහතා කීය. ඒ සම්බන්ධයෙන් තම සංගමයට සොයාබැලීමක් අවශ්‍ය නොවන බවත් ඕනෑම විමර්ශනයක් සිදුකර සොයාගැනීම බලධාරීන්ගේ වගකීමක් බවත් ඔහු කීය.

විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට එළඹ තිබෙන්නේ ටෙන්ඩර් පටිපාටියෙන් තොරව අත්සන් කර තිබෙන නීති විරෝධී ගිවිසුමක් අහෝසි කරගන්නා ලෙස බල කරමින් බව පැවසූ ඒ මහතා එය කිසිසේත් ආපස්සට නොගන්නා බවත්, ජයග‍්‍රහණයෙන් තොරව එය අවසන් නොකරන බවත් කියා සිටියේය.

විදුලිබල මණ්ඩලයේ විදුලි ඉජිනේරුවන් 839 ක් මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගයට සහය පළකරමින් විදුලි ඉංජිනේරු සංගමය සමඟ ඒකාබද්ධ වී සිටින බව ද ඔහු පැවසීය. සාධාරණ ඉල්ලීමක් සඳහා එක්වී සිටින නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් දෙදෙනකුට ස්ථානමාරුවීම් ලබාදී තිබෙන බවත්, ඔවුන් එය පිළිනොගැනීම නිසා විදුලිබල මණ්ඩල බලධාරීන් ඔවුන් අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කර ඇති බවත් කුමාරවඩු මහතා පවසා සිටියේය.

විදුලි බල මණ්ඩලයේ කෙටිකාලීන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා තනතුරුවලට පත්ව සිටින නිලධාරීන්ට මේ රටේ ජාතික ආරක්ක්‍ෂාව සහ එල්.එන්.ජී. ඒකාධිකාරය වෙනත් රටක් යටතට පත්කිරීමට ඉංජිනේරු සංගමය ඉඩ නොදෙන බවත්, ඇමෙරිකානු සමාගම සුදුසු සමාගමක් නම් ටෙන්ඩරයට ඉදිරිපත් නොවුණේ මන්ද යන්න රට හමුවේ ප‍්‍රකාශ කරන ලෙසත් කුමාරවඩු මහතා එහිදී ඉල්ලා සිටියේය.

මේ සිදුවන්නේ විදුලි මාෆියාවේ කලබලය බව විදුලි කේෂ්ත‍්‍රය පිළිබඳව දන්නා බොහෝ දෙනාගේ හැඟීමය. එක් අතකට 70%ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කයය. අනික් පැත්තෙන් මිල අඩුවට සහ නොපිරිහෙලා රටට විදුලිය ලබාදීම සඳහා පැමිණ ඇති නිව් ෆොට්‍්‍රස් යෝජනාවය. මේ අනුව ලංකාවේ විදුලි අනාගතය සම්බන්ධයෙන් සුරක්ෂිතභාවයක් ඇතිවුවහොත්, හදිස්සි මිලදී ගැනීම් වලින් යටි මඩි ගසන මාෆියාවට සිදුවන පාඩුව කිව නොහැකිය. විදුලි ඉංජිනේරුවන් අතරද මේ පිළිබඳව මතභේද ඇතිව තිබෙන අතර, ලංවිම ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවන් නමින් තවත් පිරිසක් මෙම ඉංජිනේරුවන්ගේ ක‍්‍රියාකලාපයට එරෙහිව වෙනමම ඒකරාශී වී සිටිති.

එක්තරා අන්තවාදී පිරිසක් ආරම්භ කර තිබෙන වෘත්තීය කි‍්‍රයාමාර්ගයට සහාය නොදෙන විශාල පිරිසක් සිටින බව ද ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක සහ විදුලි ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති නන්දික පතිරගේ මහතා මේ පිළිබඳව සඳහන් කළේය.

රට විටින් විට අඳුරට ඇද දමන සහ රටේ විදුලි සුරක්ෂිතභාවයට එරෙහිව මෙම වැඩ වර්ජන ක‍්‍රියාව දියත් කරන බව පෙනී යන්නේ එම ඉල්ලීම් පිළිබඳව විශ්ලේෂණය කරන විටය. ලංවිම ඉංජිනේරු වෘත්තිය සමිතිය ප‍්‍රකාශ කරන ලද එම ඉල්ලීම් පිළිබඳව සලකා බලන විට පෙනී යන්නේ, ඒ සියල්ලම පාහේ මතුපිටින් බලන ලද සරල තර්කනයන් බවය.

  • අවිධිමත් සහ නීත්‍යානුකූල නොවන නිව් ෆෝට‍්‍රසේ LNG ගනුදෙනුව ක‍්‍රියාත්මක නොකිරීම.

ඇමෙරිකානු රජය සහ ශ‍්‍රී ලංකා රජය අතර පැහැදිලි විනිවිදභාවයක් යටතේ සාකච්ඡා කිරීමකින් පසු මෙම නිව් ෆෝට‍්‍රස් ගිවිසුමෙන් අත්සන් තබන ලද අතර, ඒ අනුව කිලෝ වොට් එකක විදුලි ඒකකයක් රුපියල් දහ නවයක මුදලකට, විදුලිබල මණ්ඩලය වෙත අඛණ්ඩව සැපයීමට එම සමාගම බැඳී සිටියි. අද වන විට විදුලි ඒකකයක් සඳහා ලංවිම ගෙවන මිල රුපියල් තිහක පවතින විට ඊට වඩා අඩු මුදලට, අඛණ්ඩව ලැබෙන, මෙසේ විදුලිය ලැබෙන විට විදුලි ඉංජිනේරුවන් පිරිසක් ඊට එරෙහි වන්නේ ඇයි ද යන්න ඇසිය යුතුය. මෙසේ අඛණ්ඩව විදුලිය නියමිත මුදලකට ලැබෙන නිසා, හදිස්සි මිලදී ගැනීම් සිදු නොකිරීම ඊට හේතුව බව කිව හැකිය.

  • දැනට සිදු වන LNG ටෙන්ඩර් ක‍්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට පවත්වාගන යෑම.

මේ ටෙන්ඩරය වන්නේ FLOATING STORAGE AND REGASIFICATION UNIT (FSRU)) සහ PIPELINE INFRASTRUCTURE යන්නයි. FSRU යනු එල්.එන්.ජී. සඳහා පාවෙන ගබඩාවක් ඉදිකිරීමය. එම ගබඩාවේ සිට අදාළ බලාගාරය දක්වා එල්.එන්.ජී. රැගෙන එම සඳහා නළ පද්ධතියක් අවශ්‍යය. ඒ සඳහා නිව් පොට‍්‍රස් සමාගම ගනුදෙනුව සිය යෝජනාව ඒවා තිබූ අතර, එම මිල ගණන් ද ප‍්‍රසිද්ධ ලේඛනයක් බවට පත්ව තිබුණි. මෙම ටෙන්ඩරය සඳහා ටෙන්ඩර්කරුවන් තිස් දෙදෙනෙක් අයැදුම්පත් ලබාගෙන තිබුණි. එයින් දෙදෙනකු ඒ සඳහා ඉදිරිපත් වූවද තාක්ෂණික ඇගයුම් කමිටුවෙන් සමත්වූයේ එක් ටෙන්ඩර්කරුවකු පමණය. ඒ චයිනා හාබර් සමාගමය. ඒ අනුව අදාළ ටෙන්ඩරය සඳහා චයිනා හාබර් සමාගම දෙන ලද මිල අනුව එක් කිලෝ වොටයක මිල රුපියල් 630 ක පමණ මුදලක් විය. නිව් ෆොට‍්‍රස් සමාගමේ මිල ගණන් අනුව එය රුපියල් 280 කි. එසේම ගතවන කාලය බලන විට චයිනා හාබර් සඳහා වසර තුනක් ද නිව් ෆොට‍්‍රස් සඳහා එය වසරක් ලෙස ද දක්වා තිබුණි. දැන් සුදුස්සා වන්නේ කවුද…? රුපියල් 280ක මිල වෙනුවට රුපියල් 630ක මිලට චයිනා හාබර් වෙත මෙම ටෙන්ඩරය පිරිනමන ලෙස බලකරන්නේ, ටෙන්ඩර් පටිපාටිය රැකීමට ද නොඑසේනම්, කාගේ හෝ ටෙන්ඩරයක කොටස් කාරයෙක් වීමට ද යන ප‍්‍රශ්නය නැඟිය යුතුය.

  • විදුලි බල මණ්ඩලය කොටස්වලට වෙන් කිරීමේ වැඩපිළිවෙළ අත්හිටුවීම.
  • 1969 අංක 17 දරන විදුලිබල මණ්ඩල පනත සංශෝධනය අත්හිටුවීම.
  • සමාන්‍යාධිකාරී තනතුර දේශපාලනීකරණයෙන් වැළැක්වීම.
  • ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරුන් මාරුකර යැවීම අත්හිටුවීම

යන සියල්ල ඇත්තේ ලංවිම පරිපාලනය සහ බද්ධ විය. එම නව පරිපාලන ව්‍යුහය වැනි ව්‍යුහාත්මක වෙනසකින් තොරව ලංවිම, ගොඩනැඟීම සිහිනයකි. මේ රජය ඒ සඳහා පියවර ගෙන තිබෙන විට, එයට දේශපාලන වශයෙන් සහ තමන්ගේ සැඟවුණු න්‍යාය පත‍්‍රයක් ඉදිරියට ගෙන අකුරට වැඩ ආදිය යැයි කියමින් රට අඳුරට හෙළීමට ඉඩ දිය යුතු නැත. මුලින්ම මෙම කටයුත්ත සඳහා අත තැබුවේ වත්මන් රජය නොවේ. 2002 වසරේදී එවකට බලයේ සිටි එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව ද විදුලිබල මණ්ඩලය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ පනතක් සකස් කළේය. වෘත්තීය සමිතිවල දැඩි විරෝධය නිසා අවසානයේ එය නතර කර දැමීමට සිදුවිය.

විදුලි බිල්පත් අයකර නොගැනීම නිසා මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 60,000 සිට රුපියල් කෝටි 90,000 දක්වා වැඩිවී ඇති ලංවිම, තමන්ගේ ණය කන්දට අමතරව මෙවැනි සිද්ධි නිසා තව තවත් රටට බරක් වන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මේ උගුලෙන් ලංවිම ගලවා ගැනීමේ තවත් පියවරක් වන්නේ එම ආයතනය සුදුසු ආකාරයක ප‍්‍රතිව්‍යුහගතකරණයකට ලක් කිරීමය. මේ පිළිබඳව ලංවිම තුළ ඇතිව තිබෙන සංවාදයේදී රටට පෙනෙන්නේ, විරෝධය පමණි. මෙම ප‍්‍රතිව්‍යුහගත කිරීම් අවශ්‍ය බව පිළිගන්නා ඉංජිනේරුවන් පිරිසක් ද මණ්ඩලය තුළ සිටිති. ඒ සඳහා මහජන අවධානය යොමුව නොමැති තරම්ය. අනෙක් අතට පුටු කිහිපයක සිට මුළු ලංවිම ම, මෙහෙයවන ඉංජිනේරු පිරිසගේ බලතල ප‍්‍රදේශීය වශයෙන් බෙදාහැර තිබීම ද ලංවිම ඉංජිනේරු වෘත්තීය සමිතියේ, විරෝධතාවයට හේතුවකි.

විදුලිබල මණ්ඩලයේ සේවක පිරිස විසි හයදාහකින් සමන්විතය, මේ සියලූ දෙනා සඳහා වැටුප් සහ දීමනා ගෙවීමට වැයවෙන මුදල වර්ෂයකට රුපියල් බිලියන 33කි. එසේ වුවත් මණ්ඩලයේ සිටින ඉංජිනේරු පිරිසගේ වැටුප් සහ දීමනා සඳහා බිලියන විසි හයක් වියදම් වේ. මෙවැනි ආයතනයක් ප‍්‍රතිව්‍යුහගත නොකර මෙවැනි පරිමාණයෙන් පවත්වාගෙන යන්නේ සියලූ පාඩු ලබමින් සහ වැටුප් වර්ධක ද ලබාදෙමිනි. මෙවර ද 25%ක වැටුප් වර්ධකයක්, වසංගතය මැද්දේ වුවද ලංවිම සිය සේවකයන් සඳහා ලබාදුන්නේය. එසේ තිබියදී තම පටු ඉල්ලීම් ඉදිරියට දමා, ජාතියේ බලශක්ති සුරක්ෂිතභාවය වැනසීමට, විදුලිය ඇනහිටුවමින්, වෘත්තීය සමිති හයිය පෙන්වීමට තව දුරටත් ඉඩ දිය යුතුද…?

මනෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment