දෙවුන්දර මුහුදේ ඇල්ලූ යාත්‍රාවේ හෙරොයින් කිලෝග්‍රෑම් 131ක්

වටිනාකම මිලියන 3250 කටත් වැඩියි

ගතවූ මාස 06ට රුපියල් බිලියන 13කට වැඩි මත්ද්‍රව්‍ය

හොරොයින් කිලෝ 336කටත් වැඩියෙන්

එහි වටිනාකම මිලියන 8406ක්

මත්ද්‍රව්‍ය යනු ශ්‍රී ලංකාවේ ජනතාවගේ සමාජ ජීවිතයට දැඩි ලෙස බලපාන්නාවූ ප්‍රශ්නයකි. එමෙන්ම ජන ජීවිතයේ පැවැත්මට මත්ද්‍රව්‍ය විසින් එල්ල කර ඇති බලපෑමද අපට සුළුවෙන් තැකිය නොහැකිය. පසුගිය කාලය පුරාවටම මේ කියන මත්ද්‍රව්‍ය වසංගතයේ ආදීනවය ගැන රාජ්‍ය ආයතන මෙන්ම රාජ්‍ය නොවන ආයතන මගින්ද ජනතාව දැනුවත් කළ විවිධ වැඩසටහන් ද රැසක් ක්‍රියාත්මක විය. මෙතෙක් පැවැති ආණ්ඩු මගින්ද මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය මැඬලීම සඳහාද විවිධ මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන් දියත් කළහ. රජයේ මුදල් වැයපැහැදම් කොට පොත්, පත්‍රිකා, පෝස්ටර් ප්‍රදර්ශනය කළේය. පසුගිය කාලය තුළ මත්ද්‍රව්‍ය වැටලීම්, අත්අඩංගුවට ගැනීම්ද සිදුකෙරුණේද රූපවාහිනී කැමරා ඉදිරිපිටදීය. හුදෙක් එම වැටලීම්ද මාධ්‍ය සංදර්ශනම පමණක් විය. එවැනි වාතාවරණයකදී මත්ද්‍රව්‍ය වසංගතය ලංකාව පුරාම ව්‍යාප්ත වන්නට විය. එහි අතුරු ප්‍රතිඵලය වූයේ රට පුරා පාතාල ක්‍රියා වර්ධනය වීමය. එවක පාතාල කල්ලි අතර මරාගැනීම්, රටේ අහිංසක මිනිසුන්ගේ ජීවිත අහිමි කිරීම්, කප්පම් ගැනීම්, සොරකම් ආදීන් ද වැඩි වශයෙන් වර්ධනය වූයේ මත්ද්‍රව්‍ය නිසාය.

කෝටි 325 කට අධික කුඩු අල්ලපු නාවික හමුදාව

දිනෙන් දින වාර්තාවන පරිදි මෙරටට මුහුදු මාර්ගයෙන් පැමිණෙන මත්ද්‍රව්‍යවලද කිසිදු අඩුවක්ද නැත. එහි ආසන්නතම සිද්ධිය වන්නේ පසුගිය දිනක බහුදින ධීවර යාත්‍රාවක සූක්‍ෂම ලෙස සකස් කළ කුටීර තුළ සඟවා ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් මිලියන 3250 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 131කට අධික ප්‍රමාණයක් නාවික හමුදා අත්අඩංගුවට පත්වීමයි. ඒ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට ලද බුද්ධි තොරතුරකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් පරාක්‍රමබාහු නෞකාව යොදවා සිදුකළ සෝදිසි මෙහෙයුමකදීය. නාවික හමුදාව පවසන අන්දමට දෙවුන්දර සිට දකුණු දෙසට නාවික සැතපුම් 356ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවට පත්වන්නේ සැකකරුවන් හය දෙනකුද සමගය. අත්අඩංගුවට පත්වන සැකකරුවන්ද දෙවුන්දර හා ගන්දර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 23ත් 43ත් අතර අයය. මේ වනවිට එම බෝට්ටුවේ හිමිකරුවාද ප්‍රදේශයෙන් පලාගොස් ඇත. නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් මෙකී මත්ද්‍රව්‍ය තොගය 15 දා නිරීක්‍ෂණය කළේය. එහිදී ඔහු කියා සිටියේ 2023 වසරේ නාවික හමුදාව මගින් වෙරළාරක්‍ෂක බළකායේ සහයෝගය ඇතිව රුපියල් මිලියන 26,700 කට අධික ප්‍රමාණයක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බවය. නාවික හමුදාව ප්‍රකාශ කරන්නේ ද 2024 වර්ෂයේ මේ දක්වා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමේවලින් රුපියල් මිලියන 13210 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමුකර ඇති බවය.

පාතාලයෝ ඔක්කොම හිරේ…ඒත්…නැව් පිටින් ලංකාවට එන කුඩු…

2024 වර්ෂයේ ගතවූ මාස 6ට අත්අඩංගුවට පත් හොරොයින් ප්‍රමාණයද කිලෝ 336කටත් අධිකය. එහි වටිනාකම රුපියල් මිලියන 8406 කි. එහිදී අත්අඩංගුවට ගත් බෝට්ටු සංඛ්‍යාව 5ක් වන අතර සැකකරුවන් ගණන 30 කි. තවද කේරළ ගංජා කිලෝ 665 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි වටිනාකමද රුපියල් මිලියන 266කටත් අධික බවය. තවද අත්අඩංගුවට පත්වන දේශීය සැකකරුවන් ගණනද 30 කි. දේශීය ගංජා සමග අත්අඩංගුවට පත්වන දේශීය සැකකරුවන් ගණන හතරක් වන අතර එහි වටිනාකම ද රුපියල් මිලියනයකට අධිකය. එමෙන්ම අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 36 දෙනකු නාවික හමුදා අත්අඩංගුවට පත්වන අතර එම මත්ද්‍රව්‍ය ප්‍රමාණයද කිලෝ ග්‍රෑම් 369කට අධිකය.

මෙරට මත්ද්‍රව්‍ය පිළිබඳ කතාකරන විට මුලින්ම සිහියට නැගෙන්නේ පාතාල නායකයන්ය. මොහොමඩ් සිද්ධික්, වෙළේ සුදා, අන්නසි මොරිල්, මාකඳුරේ මධූෂ් සහ කංජිපානි ඉම්රාන් යන අයවලුන් ජාත්‍යන්තරය හා බැඳුණු සෘජු සබඳතා ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම කරගෙන ගිය අයය. මේ වනවිට ඒ අය වැඩිමනක් සිටින්නේ බන්ධනාගාරගතවය. ඇතැමුන් ජීවතුන් අතර ද නැත. පාතාලය ගැන කතාකරන විට වැඩිමනක් පාතාල නායකයන් කරන්නේ කුලියට මිනීමැරීම්, කප්පම් ගැනීම්, පැහැර ගැනීම් හා මත්ද්‍රව්‍ය මෙරටට ගෙනවිත් රටේ සෑම ප්‍රදේශයකටම බෙදාහැරීමය. පසුගිය කාලයේ මෙරට පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස සැලකූ මාකඳුරේ මධූෂ් ද වෙඩි වැදී මියයන්නේ මත්ද්‍රව්‍ය සොයා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සිදුවූ ආරක්‍ෂක අංශ හා පාතාල අතර වෙඩි හුවමාරුවකදීය. ඒ දැනට වසර 4කටත් පෙරදී මාලිගාවත්ත නිවාස සංකීර්ණයේදීය. එහිදී එම ස්ථානයේ තිබී කෝටි 22ක් වටිනා මත්ද්‍රව්‍ය කිලෝ 22ක්, ගිනිඅවි දෙකක් හා යතුරුපැදියක් ද සොයා ගැණිනි. ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මාකඳුරේ මධුෂ් ලබාදුන් තොරතුරකට අනුව කොටිකාවත්ත ප්‍රදේශයේ සඟවා තිබූ හෙරොයින් කිලෝ 10ක් සොයා ගත්තේය.

පාතාලයට හා නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට වැට බඳිමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත යුක්තිය මෙහෙයුම මගින් ක්‍රියාත්මක කරනු ලබන වැටලීම් මගින් දිවයිනේ නන්දෙසින් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ පුවත් දිනපතාම පාහේ වාර්තා වන්නේය. මත්ද්‍රව්‍ය කොතරම් අත්අඩංගුවට ගැණුනද ඒ සම්බන්ධ ජාවාරමේ නියුතු වූවන් අත්අඩංගුවට ගැණුනද තවමත් ලංකාවට රිසි සේ මත්ද්‍රව්‍ය පැමිණෙන්නේය.

මෙරට තුළ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මැඬලීමේ අරමුණින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත පසුගිය දෙසැම්බර් 17 වැනිදා ආරම්භ කළ “යුක්තිය” මෙහෙයුම මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මකය. එම මෙහෙයුම යටතේ පසුගිය ජනවාරි මස 03 වන විට වැටලීම් 23,959ක් සිදුකොට සැකකරුවන් 23,784 දෙනකු අත්අඩංගුවට ගැණුනු බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශකොට ඇත.

පසුගිය වසරේ අත්අඩංගුවට පත්වූ මත්ද්‍රව්‍ය

පාතාලයෝ ඔක්කොම හිරේ…ඒත්…නැව් පිටින් ලංකාවට එන කුඩු…
නාවික හමුදාපතිවරයා කුඩු තොගය පරීක්‍ෂා කරමින්

ගොඩබිමෙහි ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාලය වැටලීම මෙන්ම මුහුදු මගින් මෙරටට මත්ද්‍රව්‍ය පැමිණීමද වැළැක්වීමට ශ්‍රී ලංකා නාවුක හමුදා මගින් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන්නේය. ආසන්න වශයෙන් 2023 වසර තුළ සිදුකළ මෙහෙයුම්වලින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු සිදුකළ පුද්ගලයන් 343 ක් නීතියේ රැහැනට කොටුකර ගැනීමට නාවික හමුදාව සමත්විය.

එම වසරේ සිදුකළ මෙහෙයුම් අනුව ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය විසින් ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සමග සිදුකළ විශේෂ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුම් මගින් ලද තොරතුරු අනුව 2023 වර්ෂයේ සිදුකළ වැටලීම් මගින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 715 කට අධික ප්‍රමාණයක් ද, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 3711 කට අධික තොගයක් ද, දේශීය ගංජා කිලෝ ග්‍රෑම් 50 කට අධික ප්‍රමාණයක් ද, හෂීෂ් කිලෝ ග්‍රෑම් 140 ක්ද, අයිස් කිලෝ ග්‍රෑම් 11 කට අධික ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. තවද පසුගිය වසරේ සිදුකළ මෙහෙයුම් මගින් ගංජා පැළ 92572 ක්ද අත්අඩංගුවට ගෙන විනාශ කර ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දේශීය ධීවර යාත්‍රා 18 ක් සමග සැකකරුවන් 187 ක් ආරක්‍ෂක අංශ අත්අඩංගුවට පත්වන්නේය. එමෙන්ම ඉරාන යාත්‍රාවක් හා සැකකරුවන් 05 දෙනකුත්, පාකිස්ථාන සැකකරුවන් තුන්දෙනකුත්, ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් හා ඉන්දීය සැකකරුවන් 06ක්ද අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කොට ඇත. මේ අන්දමින් මෙරට මත්ද්‍රව්‍ය බොහෝමයක් මෙරට ආරක්‍ෂක අංශ අත්අඩංගුවට පත්වුවද අද වන විට මත්ද්‍රව්‍ය රට පුරා ව්‍යාප්ත වීමෙහි අඩුවක් තවම නැති ගානය. නාවික හමුදාපතිවරයා කියා සිටින්නේ 2023 වසරේ පමණක් රුපියල් බිලියන 27කට ආසන්න මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් නාවික හමුදා අත්අඩංගුවට පත්වූ බවය. එමෙන්ම 2024 වසරේ ගතවූ මාස හය තුළ රුපියල් බිලියන 13 කට අධික මත්ද්‍රව්‍ය අත්අඩංගුවට පත්වීම ද සුවිශේෂී කාරණයකි.

යුක්තිය මෙහෙයුම ඔස්සේ සිදුකෙරෙනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන හේතුවෙන් මේ වනවිට රට තුළ සිදුවන අපරාධ 23%ක් පමණ අඩුවී ඇති බවද පොලිස්පතිවරයා පවසා ඇත. යුක්තිය මෙහෙයුමෙන් බහුතරයක් මත්ද්‍රව්‍ය ජාවාරමුන් අඩුවී ඇති බවද සත්‍යයකි. මේ ආදී මත්ද්‍රව්‍ය ආරක්‍ෂක අංශ අත්අඩංගුවට පසුවුවද මෙරටට තවමත් මත්ද්‍රව්‍ය පැමිණෙන දොර කපොලු වැසී නැත. එනම් බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ජාවාරම කරන්නේ ඉන්දියාවේ සිටය. නැතහොත් පාකිස්තානයේය. එසේ නැත්නම් යාපනය පැත්තේය. පසුගිය කාලයේ සිදුකළ විවිධ මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධව අත්අඩංගුවට ගත් අය අතර මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ද, දේශපාලනඥයන් ද විය.

තරුණ ප්‍රජාව හා මත්ද්‍රව්‍ය නිවාරණය

පාතාලයෝ ඔක්කොම හිරේ…ඒත්…නැව් පිටින් ලංකාවට එන කුඩු…

මේ වනවිට මත් රකුසා විසින් පාසල් යන දරුවන් පවා බිලිගෙන ඇත්තේය. සමාජයටම පිළිලයක් වූ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය තුළ තරුණ පරම්පරාව මෙන්ම දෙමවුපියන්ද පාසල් ගුරුවරුන්ද අසරණය. දිවයිනේ ඇතැම් පාසල් අසල මත්ද්‍රව්‍ය විකුණන ඇතැම් ජාවාරම්කරුවන් ද තවමත් එමටය. රජය මගින් කොතෙකුත් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කළද ඒ සියලු වැඩසටහන් හුදු වැඩසටහන් පමණක්ම වී ඇත. එමෙන්ම මතට ඇද්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහාද රජයට අධික මුදලක් දැරීමට සිදුවී ඇත. මෙකී සෑම කාරණාවකින්ම තේරුම් යන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්වලට වඩා මෙරට මත්ද්‍රව්‍ය ව්‍යෘප්තිය පාලනය කළ යුතු බවය. මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය මේ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කොට තීරණාත්මක විසඳුමකට පැමිණීමද ඉතා වටින්නේය. එනම් මත්ද්‍රව්‍ය මාෆියාව හා පාතාලය මෙරටින් තුරන් කිරීමට ‘යුක්තිය’ වැඩසටහන ක්‍රියාත්මක කිරීමය. තවද මත්ද්‍රව්‍ය භාවිතයට යොමුව සිටි තරුණ තරුණියන් 1500ක් පමණ පුනරුත්ථාපනය කර ඇති බවද මීළඟ අදියර ලෙස මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් 12,500ක් පුනරුත්ථාපනය කිරීම සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 285ක් රට පුරා ස්ථාපනය කර ඇති බවද පොලිස්පතිවරයා පවසන්නේය.

නීතියට මඟහැරෙන මත්ද්‍රව්‍ය ජාවාරම

මෙරට පාලකයන් කුඩු ජාවාරමට එරෙහිව ගෙන ආ නීතිය වන්නේ කුඩු ග්‍රෑම් දෙකක් සමග සැකකරුවකු නීතියට කොටුවුවහොත් ඔහුට එරෙහිව මරණීය දණ්ඩනය ලබාදිය හැකි ආකාරයටය. නීතිය කොතරම් වෙනස් කළද පොඩි මිනිහාට සිදුවන්නේ රටට මත්ද්‍රව්‍ය ගෙන එන මහාපරිමාණ කෙරුමන් පැත්තක සිටියදී මරණීය දණ්ඩනය හිමිවන චූදිතයකු වී බන්ධනාගාරගත වන්නටය. ඇතැම් විට නීතියේ දැලට අසුවන්නේ කුඩු නිසා තම ජීවිතයම නැතිකරගත් අයවළුන්ය. මත්ද්‍රව්‍යවලට දඬුවම් ලැබූ ඇතැම් අයද සිරගතව සිටියදී පෙරටත් වඩා හොඳින් බිස්නස් එක ජයටම සිදුකරගෙන යන අවස්ථා ද බහුලය. එමෙන්ම ඇතැම් කුඩු ජාවාරමුන් නීතියට කොටුවුවද ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණ නඩු විභාග රස පරීක්‍ෂක දෙපාර්තමේන්තු වාර්තා කැඳවීමේදී පොලිසිය මගින් අත්අඩංගුවට ගත් කුඩු පාන් කුඩු බවට පත්ව තවත් අවස්ථාවක පොලිසියේම සාක්‍ෂි පරස්පර වීම හමුවේද ඇතැම් ජාවාරම්කරුවන් නිදහස ලබන්නේය. මේ වනවිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු බොහෝ අය සිටින්නේ බන්ධනාගාරගතවය. එහෙත් දැන් තිබෙන ප්‍රශ්නය වන්නේ මෙරටට මත්ද්‍රව්‍ය පැමිණෙන්නේ කෙසේද යන්නය. මත්ද්‍රව්‍ය ජාවාරමට නීතිය කොතරම් වැට බැන්දද ලංකාවේ කොහෝ හෝ කෙළවරකින් මත්ද්‍රව්‍ය පැමිණීම තවමත් සිදුවන්නේය. මසුන් ඇල්ලීමට යැයි දියඹට යන ධීවරයා යළි ගොඩබිමට එනවිට පැමිණෙන්නේ මත්ද්‍රව්‍ය රැගෙනය. ඇතැමුන් විදෙස්ගතවී නැවත මෙරටට පැමිණෙන්නේද මත්ද්‍රව්‍ය රැගෙනය. ගුවන්තොටුපළ රේගුවටත් හොරා සූක්‍ෂමව මෙරටට මත්ද්‍රව්‍ය තවමත් පැමිණෙන්නේ නීතියේ කොහේ හෝ ඇති හිල් නිසා විය හැක. ආරක්‍ෂක අංශ මගින් කොතරම් මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලුවද තවමත් මෙරටට මත්ද්‍රව්‍ය නොඅඩුව පැමිණීම ඇත්තෙන්ම ප්‍රශ්න සහගතය. එසේ නම් තවමත් මත්ජාවාරමුන් සිටින්නේ දේශපාලන රැකවල් යටතේද? එසේත් නොමැතිනම් පිටරට සිට සිදුකරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් තවමත් ක්‍රියාත්මක වන්නේද? මෙවැනි ප්‍රශ්න හමුවේ රටක් වශයෙන් තවමත් නිරුත්තර වී ඇත. මත්ද්‍රව්‍ය පැමිණීමේ ප්‍රශ්නය හමුවේ රටේ නීතියටත් ඇතැම් තැන් මඟ හැරී ඇද්දැයි ඇත්තෙන්ම ප්‍රශ්න සහගතය.

රමින්ද මාවතගේ


advertistmentadvertistment