රටේ මතුවූ අනපේක්‍ෂිත දේශපාලන වාතාවරණයත් සමග පාතාල කල්ලි යළි හිස එසවීම නිසා පෙරේදා (27 දා) පාතාලය විසින් මිනිස් ජීවිත පහක් බිල්ලට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
මේ වන විට පාතාල කල්ලි අතර ගැටුම් යළි උග්‍ර අතට හැරී තිබෙන අතර පෙරේදා (27 වැනිදා) පමණක් ගම්පහ, රත්මලාන, අම්බලන්ගොඩ ප්‍රදේශවලදී පාතාලය විසින් පස්දෙනෙකු ඝාතනයට ලක්කර ඇත.
අම්බලන්ගොඩදී ඝාතනයවූ දෙදෙනකු පාතාලයට සම්බන්ධ නැති බවට පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.
අම්බලන්ගොඩදී පෙරේදා (27 දා) දහවල් කාලයේදී පාතාලයට සම්බන්ධ අයකු ඝාතනයට ලක් කළ පසු එම පුද්ගලයාට සම්බන්ධ බවට සැලකෙන පාතාල කල්ලියක් විසින් එදිනම රාත්‍රියේ මෙම දෙදෙනකු ඝාතනය කර තිබිණි.
මෙම පාතාල කල්ලි යළි මිනිස් ඝාතනවලට යොමුවීම සම්බන්ධයෙන් පොලිසියේ විශේෂ අවධානයක් යොමු වී ඇති අතර වහාම පාතාලය මර්දනය කිරීමට සිදුවන බව පොලිසියේ උසස් නිලධාරියෙක් “දිවයිනට”ට පැවසීය.
හේමන්ත රන්දුණු