පාදුක්කේ සුපිරි බූරු පොළක්… කෝටිපතියන්ට පමණයි

578

පොලිසියටත් අල්ලන්න බැහැ කිව්වත් වලානෙන් අල්ලලා
මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයනුත් ඉඳලා…
දූෂිත පොලිස් නිලධාරීනුත් උදව් කරලා….

අමල් පාදුක්ක ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. යමක් කමක් ඇති පවුලක කෙනෙක් වුවත් ඔහු එම සල්ලි විනාශ කළේ සූදු ගැසීම, මිතුරන් සමඟ විනෝද වීම ආදී කටයුතු සඳහා ය. කලක සිට ඔහු මෙම ක්‍රියාව සිදු කරගෙන ගියේය. එමනිසා ඔහුට ආර්ථික අපහසුකම්වලට මුහුණ දීමට සිදුවිය. එහෙත් ඔහු එය කිසිවකුටත් පෙන්වීමට කැමති වූයේ නැත. ඔහුට උවමනා වූයේ සල්ලිකාරයකු මෙන් සමාජය ඉදිරියේ ජීවත් වීමටයි. ඒ සඳහා නීති විරෝධී ක්‍රියාවන් පවා සිදු කිරීමට ඔහු පසුබට වූයේ නැත.

දිනක් අමල් මිතුරන් සමග මත්පැන් පානය කරන විට මෙලෙස කතාබස් කළහ.

“දැන් හැමදාම අපිට මෙහෙම කාලා බීලා ඉන්න විදිහක් නැහැ.”

“ඔව් ඒ කතාව නම් සහතික ඇත්ත.”

“ඉතින් මොකද අපි කරන්නේ.”

“රටේ තියෙන තත්වෙත් එක්ක බිස්නස් එකක්වත් කරන්න බැහැ.”

“මොන බිස්නස් ද දැන් මිනිස්සු පාන්

කියාගන්න බැරුව ඉන්නෙ.”

“මට මේ ජීවිතයට හුරු වෙලා සල්ලි නැති උනාම පිස්සු වගේ.”

“අපිටත් එහෙම තමයි.”

“අපිට සල්ලි ටිකක් හොයාගන්න වැඩක් නැද්ද?”

“ඇයි නැත්තෙ මම අද ඒ ගැන කතා කරන්නත් එක්ක තමයි සෙට්වෙමු කිව්වේ.”

“මොකක්ද? නිධානයක් වත් ගන්න ද?”

“නිධානයක් ගත්තා වගේ තමයි මේක හරියට කර ගත්තොත්.”

“ඔය ඇත්තම ද කියන්නේ.”

“ඇයි මං වෙනදා බොරු කියලා තියෙනවද?”

“එහෙම කියලා නැහැ. මොකක්ද ඔය කියන වැඩේ.”

“කරන්න ටිකක් අමාරුයි හැබැයි හරියට කළොත් හොඳ ගාණක් හොයාගන්න පුළුවන්.”

“හරි හරි අගේ නොකර කියන්න.”

“මෙන්න මේකයි මගේ අයිඩියා එක. අපි බූරු ගස්සමු.”

“පිස්සුද මචං.”

“ඇයි පිස්සුද කියලා අහන්නේ.”

“ගමේ මිනිස්සුන්ට බූරු

ගැස්සුවා කියලා මහලොකු ගාණක් හොයාගන්න බැහැ. අනික මේ දවස්වල ගමේ මිනිස්සු ළඟ සල්ලිත් නැහැ.”

“කවුද ගමේ මිනිස්සුන්ට බූරු ගස්සනවා කිව්වේ.”

“එහෙනම්.”

“මේක මහා පරිමාණ බූරුපොළක්. එන්නෙ එසේ මෙසේ අය නොවෙයි. කෝටිපති මුදලාලිලා.”

“කෝටිපති මුදලාලිලා බුරුවා ගහනවද?”

“ඇයි නැත්තේ. කොච්චර සල්ලිකාරයෝ ඉන්නවද බූරු ගහන්න කෑමති.”

“ඒක නම් ඇත්ත. මමත් අහලා තියෙනවා. ඔය ඉඳලා හිටලා කොළඹ අහුවෙන්නේ සුපිරි ගණයේ බුරුපිටි.”

“ඇයි මතකද කාලයක් ඇමැති බිරිඳක් සහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ බිරිඳක් එකතු වෙලා බුරු පොළක් පවත්වාගෙන ගිහිල්ලා මාට්ටු උනේ. ඒ දවස්වල පත්තරවල පවා ගියේ.”

“ඔව් ඔව් මටත් මතකයි. කුරුඳුවත්ත පැත්තෙනෙ.”

“ඔව් ඒ බූරු පොළට පොලිස් ආරක්ෂාව පවා දීලා තිබුණා ඒ කාලේ හිටිය ආරක්ෂක අමාත්‍යාංශයේ ලොක්කෙක් සම්බන්ධ වෙලා.”

“අපිට කොහෙන්ද ඒ වගේ සපෝට් එකක් ගන්න පුළුවන්.”

“ඇයි බැරි. මං දන්න පොලිස් ලොක්කෝ දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා.”

“එහෙම ඉන්නව නම් ලොකු දෙයක්.”

“දැන් කොහොමද ඕක පටන් ගන්නේ.”

“කොළඹ මගේ යාළුවෙක් ඉන්නවා මලීෂ කියලා. මිනිහ කරන්නෙත් ඔය වැඩේ. මිනිහගෙන් මට ඕන නම් ඇඩ්වයිස් ටික ගන්න පුළුවන්.”

“ඒකත් මරු. ඒත් බුරු සෙල්ලම් කරන සල්ලිකාරයෝ හොයාගන්නේ කොහොමද?”

“ඒක මහ ලොකු දෙයක් නොවෙයි. වැඩේ පටන් ගත්තහම ආරංචිය යනවා. එතකොට වැල නොකැඩී කට්ටිය එනවා. හැබැයි හොඳ සිකුරිටි එකක් තියෙන්න ඕනා. එන උන් කැමති නැහැ පොලිසි ගාණේ චාටර් වෙන්න.”

“ඒ වගේ තැනක් අපිට නැහැනේ.”

“නියම තැනක් තියෙනවා මම ඒ ගැන බලලා තියෙන්නේ.”

“ඒ කොහෙද?”.

“හල්පේ වත්ත අංගම්පිටියේ කඳු මුදුන.”

“ෂා එතන නම් නියම තැන. එහෙත් පහසුකම් නැහැනේ”

“පහසුකම් ටික අපිට හදාගන්න පුළුවන්. මොකද දන්නවද මම එතන තෝරාගත්තේ පොලිසියෙන් ආවත් එකපාරට වටලන්න බැහැ. බූරු ගහන දාට අපිට තියෙන්නෙ කන්ද පාමුල ඉඳන් කොල්ලෝ ටිකක් දාලා ඔත්තු බලවන එක.”

“වැඩේ නියමයි. අපි ඉක්මනටම පටන් ගමු.”

“ඔව් මමත් හිතුවේ එහෙම තමයි. නැත්තං අපිට මෙදා කපේට ගොඩයන්න වෙන්නෙ නෑහැ.”

“අපි හෙටම ගිහින් බලමු කන්ද මුදුනේ තැනක්”

“ඔව් ඔව් ඒක හොඳයි”

“අනික අර පොලිසියේ කියපු අයවත් ඉක්මනටම සම්බන්ධ කරගන්න ඕනා. එතකොට අපිට විස්තර ටික ගන්න පුළුවන්.”

“ඒ වැඩේ මම බලන්නම්.”

“අපි ඒගොල්ලන්ට මාසෙකට ගාණක් දෙමු.”

“ඔව් ඔව් එච්චරයි ඒක ගැන බයවෙන්න එපා.”

“ඔය කන්දට වාහන යන්න පුළුවන් නේද.?”

“ඔව් වාහන යන්න පුළුවන්.”

“ඒක ගොඩක් ලේසියි. නැත්නම් සල්ලිකාරයෝ කැමති නැහැ පයින් යන්න.”

“ඒක ඇත්ත උන්ට ඕනා සැපනේ.”

“එහෙනම් හෙට අනිවාර්යෙන්ම අපි ගිහින් තැන බලමු.”

එලෙස කතිකා කරගත් අමල් ඇතුළු පිරිස තවත් මත්පැන් පානය කර මධ්‍යම රාත්‍රියත් උදා වූ පසු අධික වෙරිමතින් නිවෙස් බලා

ගියහ.

පසු දින උදාවිය. අමල් ඇතුළු පිරිස හල්පේවත්ත අංගම්පිටිය කන්ද නිරීක්ෂණය කිරීම සඳහා පිටත් වූහ. පැයක පමණ ගමනින් පසු ඔවුන් එම කන්ද වෙත ළඟා විය. වටපිටාව නිරීක්ෂණය කළ ඔවුන්ට එම ස්ථානය බූරුපොළක් පවත්වාගෙන යෑම සඳහා සුදුසුම ස්ථානයක් බව අවබෝධ විය. ඒ සඳහා අවශ්‍ය අනෙකුත් දේවල් පිළිබඳව ද ඔවුන් එදිනම කතිකා කරගත්තේය.

සතියක් පමණ ගත විය. එම කඳු මුදුනේ බුරු ගැසීම සඳහා අවශ්‍ය සියලුම පහසුකම් සහිත ස්ථානයක් අමල්ගේ අනුදැනුම යටතේ සකස් කළේය. ඉන්පසු කෝටිපති ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට ඒ පිළිබඳව දැනුම් දුන්නහ. එම ව්‍යාපාරිකයන් මුදලට බුරු ගැසීම සඳහා එම ස්ථානයට පැමිණීමට කැමති විය.

පළමු දින ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් බූරුවා ගැසීම පටන් ගත්හ. දින කිහිපයක් ගත විය. එම ස්ථානය පිළිබඳව මුදලට බූරුවා ගැසීමට කැමති කෝටිපති ව්‍යාපාරිකයන් දැන ගත්තේය. කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් නොව ගම්පහ දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් ද ඒ පිළිබඳව දැන ගත්තේය. මාසයක් පමණ ගත වූ පසු කෝටිපති ව්‍යාපාරිකයෝ එම ස්ථානයට බූරුවා ගැසීම සඳහා පැමිණියහ. එලෙස පැමිණෙන සියලු දෙනාටම ආරක්ෂාව ඇතුළු අනෙකුත් සියලු පහසුකම් කිසිදු අඩුවක් නොකර සැපයීමට බූරුපොළ පවත්වාගෙන ගිය අමල් සහ ඔහුගේ ගෝලයෝ සමත් වූහ.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කෝටිපති ව්‍යාපාරිකයන් බූරුවා ගැසීමට පැමිණෙන නිසා අමල් දිනපතා විශාල මුදලක් උපයා ගත්තේය. සවස 4 සිට රාත්‍රී දහය පමණ වනතුරු ඔහු එම බූරු පොළ පවත්වාගෙන ගියේය. බුරුවා ගසන දවස්වලට ඔහුගේ ගෝලයෝ සතර දෙසින්ම ඔත්තු බැලූහ. පාදුක්ක පොලිසිය ද මේ පිළිබඳව දැන ගෙන සිටියේය. එහෙත් සමහර දූෂිත නිලධාරීන් නිසා කිසි දිනක මෙම බූරු පොළ වැටලීමට ඔවුනට නොහැකි විය.

බූරුපොළ පවත්වාගෙන යන පුද්ගලයා එම දූෂිත නිලධාරීන්ට අත දිග හැර මුදල් වියදම් කළේය. එම මුදල්වලට ඇති ආශාව නිසා එම දූෂිත නිලධාරීන් එය වැටලීම සඳහා අනෙක් නිලධාරීන් යන සෑම දිනකම තොරතුරු අමල් හට පැවසුවේය. එම නිසා බුරුපොළ පවත්වාගෙන යන අමල් පවසා සිටියේ කිසි දිනක එම බූරුපොළ පොලිසියට වැටලීමට නොහැකි බවයි. එහි පැමිණෙන කෝටිපති ව්‍යාපාරිකයෝ ද ඒ පිළිබඳව ද දැනගෙන සිටියහ.

දැනට මාසයකට පමණ ඉහතදී තවත් වරක් පොලිස් නිලධාරීහු මෙම බූරුපොළ වැටලීමට ගියහ. එදින කෝටිපති ව්‍යාපාරිකයෝ රැසක් සූදුවේ යෙදී සිටියහ. බුරුපොළ පවත්වාගෙන යන පුද්ගලයා ගෙන් මුදල් ලබාගන්නා දූෂිත පොලිස් නිලධාරීන් ඒ බව ඔහුට පැවසුවේය. එම නිසා එදින ද සුදූ ගසමින් සිටි කෝටිපති ව්‍යාපාරිකයෝ වෙනත් මාර්ගයකින් පැන ගත්හ. එදිනද පොලිස් නිලධාරීන්ට කිසිවකු අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. එහෙත් කෝටිපති ව්‍යාපාරිකයින් පැමිණි වාහන කිහිපයක් එම සූදු පොළ ආසන්නයේ තිබුණි. වැටලීම සිදු කළ පොලිස් නිලධාරීන් එම සියලුම වාහනවල ටයර්වල හුළං හැරියේය.

එම සිද්ධියෙන් පසු බූරුපොළ පවත්වාගෙන ගිය පුද්ගලයා සූදු ගැසීමට පැමිණෙන ව්‍යාපාරිකයින්ගේ සුඛෝපභෝගී වාහන මීගොඩ ප්‍රදේශයේ එක්තරා ස්ථානයක නතර කර ඔවුන්ගේ වාහනයකින් එම ව්‍යාපාරිකයන්ව බුරුපොළ පවත්වාගෙන යන ස්ථානයට ගෙන ඒමට පටන් ගත්තේය. ඒ අතර ආරක්ෂාව ද තර කළේය. ඉන් පසු යළිත් කෝටිපති ව්‍යාපාරිකයෝ එම ස්ථානයට පැමිණ මුදලට බුරු ගැසූහ. එම සූදු පිටියේ කෝටි ගණන්වලින් මුදල් හුවමාරු විය.

පොලිස් නිලධාරීන්ට පවා අභියෝග කරමින් පවත්වාගෙන යන මෙම සූදු පොළ පිළිබඳව පානදුර වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක මර්දන ඒකකයට තොරතුරු ලැබී තිබුණි. එම නිලධාරීහු මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් ඉතා සූක්ෂමව ආරම්භ කළහ. ඒ අනුව එම නිලධාරීන්ට සූදු පොළ පවත්වාගෙන යන දිනක් දෙකක් පිළිබඳව තොරතුරු දැනගන්නට ලැබුණි. එම දින දෙක තුළ මෙම සුදු පොළ වටලා කෙලෙස හෝ සැකකරුවන් අත්අඩංගුවට ගත යුතු බව එම ඒකකයේ නිලධාරීහු තීරණය කළහ.

නියමිත දිනය උදා විය. එම ඒකකයේ නිලධාරීන් විසි දෙනෙකු පමණ මහා පරිමාණයෙන් පවත්වාගෙන යන මෙම සුදු පොල වැටලීම සඳහා පිටත් වුහ. ඉතා සූක්ෂම අයුරින් එම කඳුවැටිය දෙසට පැමිණි ඔවුහු දින දෙකක් එහි රැඳී සිට සුදුවේ නිරතවී සිටි කෝටිපති ව්‍යාපාරිකයන් පහළොස් දෙනෙකු එය පවත්වාගෙන ගිය පුද්ගලයා සහ ඔහුගේ ගෝල බාලයින් අත්අඩංගුවට ගත්හ. ඒ ඉකුත් 31 වැනිදාය.

දින දෙකක් මහ වන මැද තැන තැන සැඟව සිටි එම පොලිස් නිලධාරීන් එක්වරම සූදු පිටියට කඩා පැනීම නිසා කිසිවෙකුටත් එම ස්ථානයෙන් පැන ගැනීමට නොහැකිව විය. ඒ සමගම සූදු පිටියේ තිබී ලක්ෂ පහළොවකට පමණ ආසන්න මුදලක්, කෝටිපති ව්‍යාපාරිකයන් සූදුවේ නිරත වන අවස්ථාවේදී ඔවුන්ට පානය කිරීම සඳහා ගෙන තිබූ මත්පැන්, දුම්වැටි, කටගැස්ම ආදිය ද අත්අඩංගුවට ගැනීමට හැකි විය.

අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයෝ අතර වාහන අමතර කොටස් ගෙන්වන, රස කැවිලි සහ බේකරි නිෂ්පාදන ආයතන පවත්වාගෙන යන, මහා පරිමාණයෙන් මාළු විකුණන, ඉඩම් විකුණන ආදී විවිධ අය සිටියහ. එම පිරිස් කඩවත, ජාඇල, පෑලියගොඩ, මීපේ, මීගොඩ සහ පාදුක්ක ආදී ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. එක් ව්‍යාපාරිකයෙකු එම දින දෙක තුළ කෝටි හතරකට ආසන්න මුදලක් පැරදී ඇති බව ද විමර්ශනවල දී හෙළි විය.

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාගේ උපදෙස් පරිදි එම ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක සිරිවර්ධන, උප පොලිස් පරීක්ෂකවරුන් වන සඳරුවන්, ජනිත කුමාර ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකළහ.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment