* ඝාතකයින් සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි
පාද දෙකම අහිමි ආබාධිත සෙබළා ඝාතනය කර මළ සිරුර හොරවල තොටුපොළ ආසන්නේ වගුරු බිමක දමා තිබියදී ඊයේ 15 හමුවූ බව ඉත්තෑපාන පොලිසිය කියයි
මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ ඉත්තෑපාන කරපාගල, යගිරල පදිංචිව සිටි පින්වත්ත ලියනගේ ජනක 44 තිදරු පියෙකි
යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සිටියදී ප‍්‍රහාරයකින් සෙබළාගේ පාද දෙකම අහිමි වී තිබූ බවත් පොලිසිය කියයි.
ඔහු පැදවූ බව කියන ති‍්‍රරෝද රථය මළ සිරුර තිබූ ස්ථානයේ සිට කිලෝමීටර් තුනක් ඈතින් තිබෙන ඉත්තෑපාන මීගම පාලම මත තිබී පොලිසිය සොයාගෙන ඇත.
හිටපු හමුදා සෙබළා ඇවිදීමට භාවිතා කරනු ලබන ආධාරකය ද ති‍්‍රරෝද රථය තුළ තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත.
ති‍්‍රරෝද රථය සොයා ගන්නා අවස්ථාවේදී එහි වැසි ආවරණ පහතට හෙළා තිබූ බව පොලිසිය කියයි.
ඉකුත් 13 වැනි දින සවස හතරයි තිහට පමණ ත‍්‍රිරෝද රථයේ නැග නිවසින් පිටවූ සැමියා යළි නිවසට නොපැමිණි බවට ඔහුගේ බිරිඳ පෙරේදා 14 ඉත්තෑපාන පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී ප‍්‍රථමයෙන් 14 වෙනි දින ඔහුගේ ති‍්‍රරෝද රථය හමුවූ බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයාට තනිවම ගමන් කිරීමට නොහැකි බව ඔහුගේ බිරිඳ පොලිසියට කරන ලද ප‍්‍රකාශයක සඳහන් වේ.
සෙබළාගේ මළසිරුර මීගම පාලමෙන් ගඟට වැටෙන්නට ඇතැයි සැක සිතා ප‍්‍රදේශවාසීන් පොලිසිය හා නාවික හමුදා කිමිදුම්කරුවන් ද සමග මෙහෙයුමක් ක‍්‍රියාත්මක කරමින් සිටියදී හොරවල තොටුපල ආසන්නයේ මළ සිරුරක් තිබෙන බවට ලද තොරතුරක් අනුව එහි ගිය පොලිස් නිලධාරීන්ට සෙබළාගේ මළ සිරුර දැකගැනීමට හැකිවී ඇත.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි පොලිසිය කියයි.
ආබාධිත සෙබළාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර පොලිසිය පැති කීපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වයි.
ඉත්තෑපාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ. මාවතගේ මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කැස්බෑව ජයසිංහ