පාපැදි අනතුරින් සිහිසුන්ව රෝහලේ සිටි සිසුවා මරුට

57

තිස්ස තණමල්විල ප්‍රධාන මාර්ගයෙහි ලුණුගම්වෙහෙර බෝගහවැව ප්‍රජා ශාලාව අසලදී මාර්ගය අයිනේ නතර කර තිබූ මගී ප්‍රවාහන බස් රථයක ඉදිරිපසින් මාර්ගයට පිවිසි පාපැදියක් මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් බරපතළ තුවාල ලබා සිහිසුන්ව කරාපිටිය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි නව හැවිරිදි පාසල් සිසුවකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ලුණුගම්වෙහෙර බෝගහවැව පදිංචි තරිඳු ලක්ෂිත නමැති පාසල් සිසුවාය.

මියගිය සිසුවා 15 හැවිරිදි ඔහුගේ වැඩිමහල් සොහොයුරා සමග ඉකුත් 01 දා අතුරු මාර්ගයක් ඔස්සේ පා පැදියෙන් පැමිණ තිබේ. එහිදී මාර්ගයේ නවතා තිබූ මගී ප්‍රවාහන බස්රථයක ඉදිරිපසින් ප්‍රධාන මාර්ගයට පිවිසීමට යෑමේදී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. මෙම අනතුර සිදුවන අවස්ථාවේ මියගිය සිසුවා පාපැදියේ ඉදිරි පොල්ලෙහි වාඩි වී පැමිණ ඇති බව පවසති.

අනතුරින් බරපතළ තුවාල ලැබූ සිසුවා ලුණුගම්වෙහෙර ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා තිස්සමහාරාම මූලික රෝහලට ඇතුළත් කර ඇත. පසුව ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් හම්බන්තොට මහ රෝහලටත්, පසුව කරාපිටිය මහ රෝහලටත් යවා තිබේ.

කරාපිටිය රෝහලේ සිහිසුන්ව දැඩි සත්කාර ඒකකයේ දින 03 කට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා මියගොස් ඇති බව පොලිසිය පැවැසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කෙරෙති.

දෙබරවැව – ඒ. ඒ. පේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment