පාම් ඔයිල් තහනම ගැන නැවත සිතා බලමුද…?

113

අනාදිමත් කාලයක සිට අපේ රටේ ජනයා ආහාර පිසීමටත් උත්සව කාලවලදී අවශ්‍ය විවිධ කැවිලි පිළියෙල කිරීමටත් විවිධ පුද පූජාකර්ම සඳහා පහන් දැල්වීමටත් පොල්තෙල් භාවිතා කළහ.

පසුකාලීනව පොල්තෙල්වලට ඇති ඉල්ලූම වැඩිවීමත් සමඟ මිල ඉහළ යද්දී එය පාලනය කිරීමට හොඳ ආදේශකයක් අවශ්‍ය විය. ඒ සඳහා අප රට හමුවේ සාර්ථකත්වයට පත් හොඳම ආදේශකය වූයේ ‘‘පාම් ඔයිල්’’ය. නම පාම් ඔයිල් වුවත් එළවළු තෙල් ලෙස ජනාදරයට පත්වී ප‍්‍රචලිත වූ මෙම ද්‍රව්‍යය පාරිභෝගිකයා අතර මෙන්ම මේ රටේ විවිධ ආහාර ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත අතර ද නැතුවම බැරි අමුද්‍රව්‍යයක් ලෙස ප‍්‍රචලිත වන්නට වැඩි කලක් ගියේ නැත.

මේ නිසාම මෙමගින් ලැබිය හැකි ආර්ථික වාසි සලකා එවකට සිටි රජය පාම් ඔයිල් කර්මාන්තය ලංකාවේ පටන් ගන්නට අනුමැතිය පළ කළහ. ඒත් සමගම මේ රටේ ලොකු කුඩා ව්‍යාපාරිකයෝ හා ව්‍යවසායකයෝ මහා පරිමාණයෙන් පාම් ඔයිල් වගා කරන්නට පටන් ගත් අතර පාම් ඔයිල් නිෂ්පාදනයද විවිධ ආයතන හරහා මහා පරිමාණ වශයෙන් ආරම්භ විය.

වත්මන් රජය කවර හෝ හේතුවක් මත පාම් ඔයිල් මේ රටේ තහනම් කර්මාන්තයක් ලෙස නම් කරන්නට ඉක්මන් තීන්දුවක් ගැනීම නිසා තෙල් පාරිභෝගිකයන්ටත් ඒ ආශ‍්‍රිත කර්මාන්තකරුවන්ටත් අද බරපතළ ගැටලූ රාශියකට මුහුණ පාන්නට සිදුව තිබෙන පරිසරයක ලියැවුණු විවරණයකි මේ….

සමස්ත ජනගහනයෙන් හරි අඩකට වැඩි පිරිසකගේ පාරිභෝජනයට ලක්වන පාම් ඔයිල් ලංකා වෙළෙඳපොළ තුළ එළවළු තෙල් නමින් වුවද ගෘහස්ථ පරිභෝජනයේ වැඩි ඉඩක් අත්පත් කර ගැනීමට සමත් වූ අතර පොල්තෙල් ආදේශයක් ලෙස පාම් ඔයිල් යොදාගැනීම තුළින් පොල්තෙල්වලට සාපේක්ෂව ඇති මිල අඩුවීම නිසා ග‍්‍රාමීය මට්ටමින් පමණක් නොව ක`දුකර වතුකර ජනතාවගේ පවා ඉහළ ආකර්ෂණයක් දිනා ගැනීමට පාම් ඔයිල්වලට හැකියාව ලැබුනු බව අප පාරිභෝජනය සම්බන්ධයෙන් සිදුකළ සුවිශේෂී ජාතික මට්ටමේ පර්යේෂණ තුළින් දැනගැනීම හැකියාව ලැබුණා.

ලාංකීය බේකරි කර්මාන්තය, බිස්කට් කර්මාන්තය මෙන්ම තවත් බොහෝ කර්මාන්ත ගණනාවක් මෙම පාම් ඔයිල් මත යැපුනු අතර මෙම තීරණය තුළින් එම කර්මාන්ත පමණක් නොව තවත් කර්මාන්ත බොහෝමයක් මේ වනවිට අඩාල වී තිබෙනවා. මෙම පාම් ඔයිල් ආනයනය තහනම් කිරීමේ නියෝගය තවදුරටත් පැවතියහොත් රට තව තවත් දරුණු ආර්ථික කඩාවැටීමකට ලක්වන බව නොරහසක් වනු ඇත.

පාම් ඔයිල් ආනයනය නැවැත්වීම තුළින් රටේ ආර්ථිකයට සිදුවන බලපෑම සුළු පටු නොවන අතර මෙවන් විදේශ සංචිත හිඟ කාල වකවාණුවකදී විදේශයන්ගෙන් ආනයනය කිරීම ද රජයට දරාගත නොහැකි වනු ඇත. එසේ ආනයනය කිරීමට යෙදුනහොත් රටේ පවතින විදේශ ණය ගෙවීම්, ඩොලර් සංචිතයේ අවමය සහ දේශීය ණය පොලී අනුපාතයන් ඉහළ යෑම තුළින් ගෙවුම් ශේෂය ඉහළට යනු ඇති. පාම් තෙල් ආනයනය නොකිරීම තුළින් රට තුළ දැවැන්ත ආහාරයට ගත හැකි තෙල් හිඟයක් ඇතිවීම නැවැත්විය නොහැකි අතර මෙම හිඟය පියවනු වස් රට තුළ ඇති පොල්තෙල්, සූර්‍යකාන්ත තෙල්, සෝයා තෙල්වලට මෙම හිඟය පියවනු නොහැකි වනු ඇත. එමෙන්ම එම හිඟය සපුරාලීම උදෙසා පොල්තෙල් ආදේශයක් ලෙස යොදා ගැනීම තුළින් වුව සිදු වන්නේ වැඩි පිරිවැයක් පොල්තෙල් නිශ්පාදනය සඳහා වැයවීමත් නිරායාසයෙන්ම පොල් මිල ඉහළ යෑම, පොල් ආශ‍්‍රිතව ඇති නිශ්පාදනයන් අඩාල වීම මෙන්ම පොල් අපනයනය සීමා වීම තුළින් විදේශ විනිමය අහිමි වීම සිදුවිය හැකි අතරම එමගින් ගෙවුම් ශේෂය විශාල ලෙස ඉහළ ගොස් නැවතත් රට ආර්ථිකමය වශයෙන් විශාල ආඝාදයකට යෑමට පටන්ගැන්මට ද එය මූලාරම්භයක් වනු ඇත.

එම කරුණු සැලකිල්ලට ගත් විට පාම් ඔයිල් වගාව මීට කාලෝචිතව ගත හැකි හොඳම විස`දුම වනු ඇති අතර මෙමගින් රටේ ආර්ථික සංවර්ධන ක‍්‍රියාවලිය නැංවිමේ මූලික ලක්ෂණයක් වන පහළ සංවර්ධන සම්පත් වන ශ‍්‍රම සහ භූමි සම්පත් ප‍්‍රයෝජනයට ගැනීම තුළින් ඉහළ අංශ කරා නිශ්පාදනය ගලා යනු ඇත. එමන්ම අවුරුදු 150-200 ක වතු අපනයන ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අපට තේ රබර් මෙන්ම ඉහළ භූමි පලදායීතාව උපයෝගී කරගෙන පාම් ඔයිල් වගාවට පහසුවෙන් යොමු විය හැකිය.

සමකයට ආසන්නව පිහිටා ඇති අප රට ඝර්ම කලාපීය වන බැවින් පාම් ඔයිල් වගාවට සුදුසු හිරු එළිය, සුදුසු පස, කාලගුණය ස්වභාවිකව ඇති බැවින්, එම සාපේක්ෂ වාසිය උපයෝගී කර ගනිමින් භූමි ඵලදායිතාවට යොමුනොවීම ඇත්තෙන්ම කනගාටුවට කරුණක් වන අතර රජයේ මැදිහත් වීමකින් ශ‍්‍රී ලංකාව වැනි සීමිත ඉඩකඩක් ඇති රටක, ඇති සීමිත ඉඩකඩ ඵලදායි ලෙස යොදාගනිමින් මෙම වගාවට යොමුවීම ඉතා ඉහළ ආර්ථික සංවර්ධන ක‍්‍රියාවලියක ආරම්භයක් වනු ඇත.

මෙවන් රටක වැවිලි බෝග සීමා කිරීම තුළින් රටේ ඵලදායිතාව අඩුවන අතර පුරන් වූ ඉඩම් තෝරා ගෙන ඒවායේ ඉහළ ඵලදායිතාව පිණිස පාම් ඔයිල් වගාව සිදුකළ හොත් විශාල ආර්ථික සමාජයීය දියුණුවක් කරා ගමන් කළ හැකිය.

යටත් විජිත කාලපරාසයකින් පසුව බොහෝ රටවල් කාර්මීකරණය ඔස්සේ කෘෂිකාර්මාන්තය න`ගාසිටවූ අතර අද වනවිට අසල්වාසී ඉන්දියාව අනෙකුත් වැවිලි මෙන්ම පාම් ඔයිල් වගාව තුළින් ද තම රටට අවශ්‍ය පාම් ඔයිල් තම රටෙන්ම නිශ්පාදනය කර ගැනීම තුළින් රට ස්වයංපෝෂිත කර ගනිමින් විදේශ විනිමය ආරක්ෂා කර ගැනීමට උත්සුක වන පසුබිමක් නිර්මාණය වී ඇත.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් අපරට තුළ ඔයිල් පාම් වගාව දියුණුවට පත් කළහොත් රටේ සමාජයීය ආර්ථික විශාල දියුණුවක් ඇති වනු ඇත. ශ‍්‍රම වෙළෙඳපොළ දත්ත උපයෝගී කරගනිමින් සිදුකළ පරීක්ෂණවලට අදාළව සාමාන්‍ය වතු වැටුප මෙන් දෙගුණයකින් වැටුපක් ගැනීමට පාම් ඔයිල් වතු සේවකයන් ට හැකිවන අතර මීට වතු අංශයේ නවීකරණය වීම මෙන්ම මෙම පාම් ඔයිල් වගාව හේතුවෙන් එම නවීකරණය වේගවත් වන අතර එම අමතර ආදායම තුළින් විශාල සමාජ ප‍්‍රගමනයක් කරා ගමන් කළ හැකි වනවා. ලංකාවේ සංවර්ධන ක‍්‍රියාවලියේ පසුබැස්ම පිටුපස ග‍්‍රාමීය ආර්ථික උත්පාද අවස්ථා කෙරෙහි අඩු අවධානයක් යොමුවීම ද ඇති අතර පාම් ඔයිල් වගාවට සම්බන්ධවීම නිසා ග‍්‍රාමීය ආර්ථික අංශයන්හි උසස්වීමක් අපේක්ෂා කළ හැකිය. එහිදී පාම් ඔයිල් ආශ‍්‍රිතව රැකියා කරන්නන්ගේ වැඩි වැටුප්, ප‍්‍රතිලාභ ලැබීම නිසාවෙන් ප‍්‍රාදේශීය වශයෙන් ඔවුන්ගේ මූලික අවශ්‍යතා ඇතුළු බොහෝ අවශ්‍යතාවන් සපුරා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙනු ඇත. ඒ අතර යාන වාහන, ගේ දොර පමණක්ම නොව ඔවුන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය පවා උසස්වනු ඇත. මෙය ඉතා සාධනීය තත්ත්වයකි.

මෙමගින් අර්ධ නාගරීකරණය හා පූර්ණ නාගරීකරණය වර්ධනය වන අතර මෙයට කදිම නිදසුනක් ලෙස පාම් ඔයිල් වගාව පිණිස ඔයිල් පාම් වවන ගාල්ල, කළුතර, කෑගල්ල වැනි ප‍්‍රදේශයන්හි මෑතකදී ඇතිවී තිබෙන දියුණුව කදිම උදාහරණයක් වනු ඇත.

2014 වර්ෂයේදී රජය විසින් කටුපොල් වගාව දියුණුවට අවශ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනය කළ අතර, එම අවස්ථාවේ දී ශ‍්‍රී ලංකාවේ පාම් ඔයිල් වගාව ආශ‍්‍රිතව ආයෝජනය කිරීම සඳහා විශාල විදේශ ආයෝජකයන් පිරිසක් මේ වටා එක්විය. වර්තමානයේ දී මෙම ලෝක ප‍්‍රවණතාවය නිසාවෙන් ඇතිවන ආර්ථික වාසි සම්බන්ධයෙන් නිසි ඇගයීමක් නොමැතිව මෙම වගාව ආශ‍්‍රිතව ඇතිවන ආර්ථික වාසි මෙන්ම රටේ සංවර්ධන දායකත්වය, ග‍්‍රාමීය ආර්ථික සංවර්ධන දායකත්වය පිළිබඳව ගැඹුරින් සොයා නොබලා පාම් ඔයිල් ආනයනය මෙන්ම පාම් ඔයිල් වගාව තහනම් කිරීම රජය දෙවරක් නොව කිහිප වරක් නැවත නැවතත් අවධානය යොමුකළ යුතු තීන්දුව කි. මෙම තීන්දුව තුළින් ආයෝජකයන් හට මෙරට තුළ ආයෝජනය කිරීම සඳහා ලැබෙන සංඥා ඉතා දුර්වල වන අතර මෙම විදේශ ආයෝජන සහ මෙම විදේශ ආයෝජන මත ණය ලබා ගැනීම් හමුවේ රටේ ආර්ථිකය කඩාවැටීමකට ලක්වනු ඇත.

මන්ද මෙම ආයෝජකයන් මෙම හදිසි තීන්දු තීරණ හමුවේ අධෛර්යමත් වන අතරම රටේ දේශපාලනමය සහ ආර්ථිකමය පසුබිම පිළිබඳව අවිශ්වාසයක් ගොඩනැඟීම නොවැළැක්විය හැකිය. එබැවින් රටක සංවර්ධනය කරා යෑමේදී රටේ ස්වයංපෝෂිත බව මෙන්ම රට තුළ අවශ්‍ය ප‍්‍රමාණයටත් එහා ගිය සම්පත් ප‍්‍රමාණයක් ඇති බැවින් රටට අවශ්‍ය වන ප‍්‍රමාණන් වුව රට තුළම වගා කර ගැනීම තුළින් රට ඉදිරියට ගෙනයෑමත්, මෙවන් තහනමකට යෑමට ප‍්‍රථම එම තීරණය තුළින් රටට බලපානු ලබන සමාජ, ආර්ථික පරිහානිය මෙන්ම සංවර්ධනයේ පරිහානියත් සැලකිල්ලට ගත යුතුයි. මෙවන් වගාවට සුදුසු සම්පත් රැසක් අප සතුව පැවතුනත් ඒවා නිසිලෙස ප‍්‍රයෝජනයට නොගැනීම සමාජයීය මෙන්ම මහා ආර්ථික අපරාධයක් බවත් කිවයුතුමය.

පාම් ඔයිල් තහනම ගැන නැවත සිතා බලමුද…?

ආචාර්ය
ප‍්‍රියංග දුනුසිංහ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය –
ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය,
කොළඹ විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment