පාර්ලිමේන්තුවට ක්‍රිකට් යද්දී ඉන්දියාවට දැනුණු රස්නය

1210

මහත්වරුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවේ මෑතකාලීනව බිහි වූ හොඳම මහත්මයා ලෙස සැලකෙන එනම් “මිස්ටර් ක්‍රිකටර්” ලෙස හැඳින්වූයේ ඔස්ට්‍රේලියාවේ මයික් හසීය. මයික් හසී කීවද ඔහු ගේ සැබෑ නම මයිකල් හසීය. එසේම ඔහු අතේ මයික් එකක් තිබුණේ ද නැත. ඔහුගේ මුවේ රැඳුනේ සිනහවකි. අතේ රැඳුනේ ක්‍රිකට් පිත්තකි. 2020 අයිපීඑල් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස සහභාගි වී සිටියදී මයික් හසී මෙසේ ප්‍රකාශ කළේය.

“වතාවක් මට ඩෙනිස් ලිලී මෙහෙම කිව්වා. ක්‍රිකට් ක්‍රීඩාවට සියයට අනූවක්ම ඕන වෙන්නේ මානසික ශක්තිය. සියයට 10 යි ඔබගේ හැකියාවන් වුවමනා වෙන්නේ. එතකොට මට හිතුනෙ ලිලී මාත් එක්ක විහිළු කරනව කියල. ඒත් කාලයක් යද්දී මට තේරුම් ගියා ලිලී කියල තියෙන්නෙ ඇත්ත තමයි කියලා. ඒ අනුව ක්‍රිකට් කියන්නේ තනිකරම මනසත් එක්ක කරන ගනුදෙනුවක් කියලයි මට හිතෙන්නේ”

හසී විසින් එසේ ප්‍රකාශ කරන ලද ලිලී ඔස්ට්‍රේලියාව විසින් එදා මෙදාතුර බිහි කරන ලද අග්‍රගණ්‍ය පන්දු යවන්නෙකි. ජෙෆ් තොම්සන් සමග එක්ව පිතිකරුවන් භීතිකාවට පත්කළ ලිලී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග දෙසීයකට වඩා ක්‍රීඩා කර ඇත. ලිලී දැන් ක්‍රිකට් ගහන්නේ නැත. ඒ වගේම හසී ද දැන් ජාත්‍යන්තර පිටියෙන් සමුගෙන තිබේ. එහෙත් ලිලී සහ හසී කියන දේ ඇත්ත නම් ඒ මානසික සුවය ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගිය තරග දෙක තුනේදී ලැබුණේ දැයි සැක සහිතය.

ලොව ක්‍රිකට් ක්‍රීඩා කරන ඕනෑම කණ්ඩායමක එකම සිහිනය වසර හතරකට වරක් උදාවන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය වන ලෝක කුසලාන තරගාවලියේ දී හොඳින් දස්කම් දැක්වීමයි. ඒ සඳහා ඔවුහු මාස ගණන් හෝ අවුරුදු ගණන් පෙර සිට සැලසුම් සකස් කරති. සිහින මවති. ශ්‍රී ලංකා කණ්ඩායම ද එසේ වන්නට ඇතැයි අපි සිතමු. ඒ අනුව ඔවුහු මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ඒ සිහින බිඳ ගත්තෝය. අවසන් පූර්ව තරග අදියරට හෝ පිවිසීම තම බලාපොරොත්තුව වුවද ශ්‍රී ලංකාව මේ අවස්ථාව වන විට නම් රැඳී සිටින්නේ කණ්ඩායම් 10 න් 9 වැනි තැනය. බැරි වෙලාවත් බංග්ලාදේශය යටට ගියහොත් මිස ශ්‍රී ලංකාවට උඩ ඒමක් නැත. එසේ නොවන්නේ නම් ශූරයන්ගේ කුසලාන තරගාවලියටත් ශ්‍රී ලංකාව නැත. මෙතරම් දරුණු පරාජයක සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය සිකුරාදා උදෑසනම දිවයිනට පැමිණියේය. වෙනදා පිළිගන්නට එන අමුත්තෝ මෙදා නැත. හිටියත් සීමිතය. ඒ ඕනෑම රටක හැටිය. එහෙත් අපේ රටේ සිදු වන දේවල් වෙන රටවල සිදුවේ දැයි සිතිය නොහැක. ශ්‍රී ලංකාව තමන්ගේ ප්‍රධානතම තරගාවලියට සහභාගි වී සිටියදී දරුණුම පරාජය ලැබූ ඉන්දියාවට සමග තරගයට පසුව ලංකාවේ සිදුවූ දෙය වෙනත් රටක සිදු වේදැයි සිතිය නොහැක. ඒ දරුණු පරාජයෙන් අනතුරුව වහා සිදුවූයේ කුමක්ද? ලංකාවේ ක්‍රිකට් පරිපාලනය විසුරුවාහැර අතුරු කමිටුවක් පත් කිරීමයි. අනතුරුව ඒ අතුරු කමිටුවට ද වාරණයක් පැනවිණි. ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ එකිනෙකා පරයමින් මහ විවාද සහ විවේචනය. ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම පුහුණුකරුවෝ ද, තේරීම් කමිටු නිලධාරීහු ද පරිපාලකයෝද ඒ විවේචනයට බඳුන් වෙති. ඒවා සජීවීව මුළු ලෝකය පුරා විකාශය වේ. මේ දේවල් ශ්‍රී ලංකාවට සමීපම රට ඉන්දියාවට මහත් හොඳින් දැනේ. ඇරත් ලොව ප්‍රධානම ක්‍රිකට් තරගාවලිය අතරතුර මේ දේවල් සිදු වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයට සහ ක්‍රීඩාවට සිදුවී ඇති දේවල් පිළිබඳව ඉන්දියාවේ පුවත්පත්වල සහ විද්‍යුත් මාධ්‍යවලද සැලකිය යුතු ඉඩක් වෙන් වේ. මේ අතරතුර ක්‍රිකට් ආයතනයට යන මාර්ගය ද වසා දමා පොලිස් ආරක්ෂාව යොදා ඇති අයුරු ද විදෙස් මාධ්‍යවලට රස ප්‍රවෘත්තිය.

ක්‍රිකට් ක්‍රීඩාව මනස සම්බන්ධව සිදුවන ක්‍රීඩාවක් නම් මේ දේවල් දකින අසන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මානසිකත්වය පිළිබඳව ඉහත සිද්ධිවලට වගකිව යුතු පාර්ශ්වයන් අවධානය යොමු නොකිරීම රටේ අභාග්‍යයකි.

සැබැවින්ම කොහේ හෝ වරදක් සිදුවී ඇතිනම් ඒ වරදට දඬුවම් දීම හෝ ඒ පිළිබඳව මහා ඝෝෂා නැඟීමට ඒ සුදුසු කාලය නොවන බව ඔවුන්ට මතක් කර දෙන්නට කිසිවෙක් නොසිටීම පිළිබඳව කනගාටු විය යුතුය. ඔවුන්ට සතියක් ඉවසා සිටින්නට නොහැකි විය.

ලොව මෙතෙක් බිහිවූ හොඳම ක්‍රිකට් නායකයන් අතර ඉදිරියෙන්ම සිටින ඉන්දියාවේ එම්. එස්. දෝනි වරක් ක්‍රිකට්, ටෙනිස්, වොලිබෝල් සහ ගෝල්ෆ් ආදී ක්‍රීඩා රැසක පුහුණුකරුවන් සමග සාකච්ඡාවක නිරතව සිටියේය. එහිදී දෝනි ප්‍රකාශ කළේ කුමක්ද?

“මම හිතන්නේ ක්‍රීඩකයන් සමග මානසික වෛද්‍යවරයකුත් සිටිය යුතුයි. තමන්ට මානසික ප්‍රශ්නයක් තියෙනවා කියලා ක්‍රීඩකයන් පිළිගන්නට අකමැති වීම තමයි අපට තිබෙන ප්‍රධානම ප්‍රශ්නය. ඇත්තටම කවුරුත් කියන්නේ නැහැ, මම පන්දුවට පහර දෙන්න ගියාම, පළමු පන්දු 5 සිට 10 දක්වා මගේ හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා, පීඩනය දැනෙනවා, මට ටිකක් බයක් දැනෙනවා, මොකද හැමෝටම එහෙම දැනෙනවා – ඒකට මුහුණ දෙන්නේ කොහොමද? මෙය කුඩා ප්‍රශ්නයක් නමුත් බොහෝ විට අපි එය පුහුණුකරුවකුට පැවසීමට පසුබට වන අතර ඕනෑම ක්‍රීඩාවක් වේවා ක්‍රීඩකයකු සහ පුහුණුකරු අතර සම්බන්ධතාවය ඉතා වැදගත් වන්නේ ඒ නිසා.”

ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී නම් මානසික වෛද්‍යවරයකුගේද සහය ලබාගෙන තිබුණි. එහෙත් ලෝක කුසලාන ප්‍රධාන තරගාවලිය අතරතුර ලංකාවේ සිදු වූ දේවල්වලට මුහුණ දෙන්නට නම් එක මානසික වෛද්‍යවරයකු නොව මානසික වෛද්‍යවරුන් සියයක් පමණ කණ්ඩායමේ සිටියත් ඇති ද යන්න ප්‍රශ්නයකි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී තම 49 වන එක්දින ශතකය ලබාගෙන වැඩිම ශතක ලාභියා ලෙස සචින් ටෙන්ඩුල්කාර් සමග සමතැන් ගත් සුපිරි පිතිකරු විරාත් කෝලි ද ක්‍රීඩාවට මානසික මට්ටම බලපාන අයුරු පිළිබඳව මෙසේ විග්‍රහ කර තිබේ.

“මම හිතන්නේ මානසික සෞඛ්‍ය සහ මානසික පැහැදිලිකම ක්‍රීඩාවේ පමණක් නොව ජීවිතයේ වැදගත්ම සාධකයයි”

කෝලි එසේ කීවද අපේ බලධාරීහු ඒවා එතරම් ගණන් ගන්න පාටක් නැත. එසේ ගණන් ගත්තා නම් මේ දවස් දෙක තුනට රටේ සිදු කළ ක්‍රිකට් පෙරළි සඳහා තව දවස් දෙක තුනක් ඉවසා සිටිනු ඇත. ඩෙනිස් ලිලී ගේ පරම්පරාවේ සිටි ඔහුන්ට හොඳටම මුහුණ දුන් ඉන්දීය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක සුනිල් ගවස්කාර් ද ක්‍රිකට් ක්‍රීඩාවට මානසික සහයෝගය අවශ්‍ය බවට මෙසේ ප්‍රකාශ කර ඇත. ඔහු තාක්ෂණයෙන් අගතැන්පත් පිතිකරුවකු ලෙස ප්‍රකට වූයේය.

“ශක්තිමත් මනසකට තාක්ෂණික දුර්වලතා මඟහරවා ගන්න පුළුවන්”

ලිලී හෝ ගවස්කාර් හෝ කෝලි දෝනි සහ හසී මේ කවුරු කෙසේ කීවත් ලංකාවේ එසේ වෙන්නේ නැත.

කුෂාන් සුබසිංහ ඉන්දියාවේ දිල්ලි සිට

advertistmentadvertistment
advertistmentadvertistment