පාර්ලිමේන්තුව – ක්‍රිකට් ගැන රටේ සියලුදෙනාට කතා කරන්න අයිතියක් තියෙනවා – ඇමැති මනුෂ නානායක්කාර

84

2048 දී සංවර්ධිත රටේ වැඩ කරන්නේ අද මන්දපෝෂිත දරුවන්ද? - රංජිත් මද්දුම බණ්ඩාර (සජබ)
දරුවන්ගේ නිරුවත් පින්තූර විකුණලා ජීවත් වන තැනට තල්ලු කළේ මේ පාලකයන් - ආචාර්ය හරිනි අමරසූරිය (ජාජබ)
අද ඇත්තේ දූෂණය පිළිගත් ආණ්ඩුවක් නිවට වූ ව්‍යවස්ථාදායකයක් - රොෂාන් රණසිංහ (ශ්‍රීලපොපෙ)

ශ්‍රී ලංකා ක්‍රිකට් යනු සමස්ත ජනතාවටම අයිති දෙයක්. එහි මුදල් අපි හැමෝටම අයිති දෙයක්. රටේ ජනතාවට ඒ ගැන කතා කරන්න පූර්ණ අයිතියක් තිබෙනවා යැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා කම්කරු ඇමැති මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) පැවසීය.

ක්‍රීඩා, යෞවන කටයුතු, ළමා හා කාන්තා අමාත්‍යාංශවල කාරක සභා අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

විවාදය ආරම්භ කරමින් කතා කළ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ (සජබ)

විශ්ව විද්‍යාලයට යන්න බැරිවෙන සියලුදෙනාට දී ඇති වටිනාකම මොකක්ද? තරුණ කටයුතු ඇමැති, තරුණයන්ව පුහුණු කරන ආයතන ටික එකට එකතු කරලා හොඳ පුහුණුවක් දුන්නොත් හොඳ තැනකට රට ගෙනයා හැකියි. මේ ආණ්ඩුවට තාරුණ්‍ය ගැන අවබෝධයක් නෑ. තරුණ්‍යය හඳුනා ගැනීමත් රටට අවශ්‍යයි.

වත්මන් ක්‍රීඩා ඇමැති ඉල්ලපු විගණන වාර්තාවක එදා පිටු 1611 ක වාර්තාවක් තිබුණා. එය අදට වඩා ඉතා බරපතළයි. 19න් පහළ ක්‍රිකට් තරගාවලිය අපේ රටට අහිමිවීම තුළ ඩොලර් මිලියන 100 ක් පාඩුයි කියලා ක්‍රිකට් සභාපති කියනවා. ආසියානු කුසලානය එදා අපේ රටේ නොතියා ඩුබායි රටට ගෙනයෑම තුළ පාඩුව කොපමණද? මිලියන ගණනාවක් කාගේ සාක්කුවට ද ගියේ. ඩොලර් මිලියන 10ක් විතර නිකම්ම ගිහිල්ලා.

රටේ හිතවත් ක්‍රීඩා සමාජ ටිකක් ඉන්න නිසයි නිවැරදි කණ්ඩායමක් තෝරාගන්න බැරිවෙලා තියෙන්නේ. මේකට උත්තරයක් කවදාවත් හොයන්න බෑ.

විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති මනුෂ නානායක්කාර මහතා

ක්‍රිකට් කියන්නේ දැන් සෙල්ලමක් නොවෙයි. ඊට එහා ගිය බරපතළ තත්ත්වයකට රටේ පත් වෙලා. අපේ ක්‍රිකට් තරග ජය ගැනීමේ ප්‍රතිශතය 2020 සිට මේ දක්වා වසරින් වසර වැඩි වෙලා තියෙනවා. යම් දියුණුවක් තියෙනවා. ක්‍රිකට් තරග පැරදුනහම ක්‍රීඩකයන්ට වගේම ඊට සම්බන්ධ අයත් විවේචනයට ලක් වෙනවා.

ක්‍රිකට් සම්බන්ධයෙන් නීතියක් ඇතුළත් කරන්න කැබිනට් අනුකමිටුව යෝජනා කර තියෙනවා. විවිධ පාර්ශ්වවල අදහස් ලබා ගත්තා. ක්‍රිකට් පරිපාලනය සම්බන්ධ ගැටලුව විසඳලා ක්‍රිකට් සම්බන්ධ නීතියක් ඇතුළත් කරන්න යෝජනා කර තියෙනවා. විගණනය පිළිබඳවත් අවධානය යොමුකර තියෙනවා. ක්‍රීඩාව ඉදිරියට ගෙන යෑම ගැනත් කතා කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සමස්ත ජනතාවට අයිතියි. එහි මුදල් අපි හැමෝටම අයිතියි. මේ රටේ සියලු ජනතාවට කතා කරන්න අයිතියක් තියෙනවා.

බොහෝ ක්‍රීඩාවන් පාලනය කරන්නේ තට්ටු මාරු ක්‍රමයට එකම කණ්ඩායම. අමාත්‍යාංශයේ නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම හේතුවෙන් 19න් පහළ ලෝක කුසලානය අහිමි වුණා. ලංකාවට අහිමිවීම් රැසක් සිදුවෙලා. ක්‍රිකට් ආයතනයේ මුදල් ක්‍රීඩා අමාත්‍යාංශයට වියදම් වීම ගැන කරුණු වාර්තා වුණා. ක්‍රිකට් ආයතනය පෞද්ගලික ආයතනයක් නොවෙයි. ජාතික ආයතනයක්. ක්‍රීඩා සංගම් පවා විගණකාධිපති අධීක්ෂණයට ලක් විය යුතුයි. අපේ කමිටු වාර්තාව තව සති දෙකකින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ක්‍රිකට් පනත සකස් කරන්න කඩිනමින් ක්‍රියා කරනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ (සජබ)

ක්‍රිකට් ආයතනයේ දූෂණ රැසක් සිදුව තිබෙනවා. ඒ ගැන විගණන වාර්තා සොයාබලා පියවර ගැනීම කෙසේ වෙතත් දූෂණ හෙළිදරව් කළ ඇමැතිවරයාව ඇමැති ධුරයෙන් ඉවත් කරලා. එයින් පෙනෙන්නේ වත්මන් ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට දඬුවම් දීමට හෝ වැරදිකරුවන් සෙවීමට වුවමනාවක් නැති බවයි. ඉදිරි ජනාධිපතිවරණයේදී මෙවැනි අයට බලය දුන්නොත් දූෂිතයන් රැකෙනා බව ජනතාව හොඳට කල්පනා කළ යුතුයි.

කාන්තා හා ළමා අමාත්‍යාංශයට වෙන්වෙලා තියෙන්නේ රුපියල් බිලියන 23 යි. කලින් අතුරු අයවැයෙන් රුපියල් බිලියන 41 ක් වෙන්වෙලා තිබුණා. කාන්තාවන් සවිබලගැන්වීමට වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 600 යි. මේ මගින් කාන්තා අර්බුදවලට විසඳුම් දෙන්න පුළුවන්ද? කාන්තා සනීපාරක්ෂක උපකරණ දෙන බව ජනාධිපතිවරණ සමයේ සජිත් ප්‍රේමදාස මහතා කිව්වහම ඔහුව සමච්චලයට ලක් කළා. ඒක මෙවර රජය පිළි අරගෙන තියෙනවා. කාන්තා සනීපාරක්ෂක උපකරණ ගැන පියවරක් ගත යුතු බව සඳහන් කර තිබුණා.

රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල්

ජනතාව සවිබල ගැන්වීමේදී ජනතාවට මුදල් දීම තුළින් සවිබල ගන්වන්න බෑ. නිලධාරීන්ව අපි මුලින්ම නිසි තැන තිබ්බා. ක්‍ෂේත්‍ර නිලධාරීන්ව අවශ්‍ය ස්ථානගතවීම් කළා. සමෘද්ධි නිලධාරීන්ට සහකාර කළමනාකාර යන පත්වීම් ලබන පෙබරවාරි සිට ලබාදෙනවා. ඒ දීර්ඝ කාලයක් තිබූ ප්‍රශ්නයක විසඳුමක්. මුලින්ම මානසික සවිබල ගැන්වීම් අවශ්‍යයි. ඊට උපදේශන සේවා සපයන්න පියවර ගන්නවා. සමෘද්ධිලාභීන් ලක්ෂ දහයෙන් ලක්ෂ දෙකහමාරක් ලබන වසරේදී සවිබල ගැන්වීමට අපි ක්‍රියා කරනවා. තරුණ කාලේදී කුමන හෝ ක්‍ෂේත්‍රයක

රැකියා කරන අයට වයස 60න් පසු විශ්‍රාම වැටුපක් ලැබෙන වැඩපිළිවෙළක් අපි ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළා. මෙවැනි ක්‍රම ජපානයේ, දකුණු අප්‍රිකාවේ තිබෙනවා.

පත්කළ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර (සජබ)

රටේ තරුණයන් අපේක්ෂා භංගත්වයෙන් ඉන්නේ. රජයේ බඳවාගැනීම් නෑ. පුද්ගලික අංශය සංකෝචනය වෙනවා. රටේ නිසි වැඩපිළිවෙළක් නැ. තරුණයන් රට හැර යනවා. අයවැයෙන් තරුණ පරපුරට කිසිම සැලැස්මක් නෑ.

අස්වැසුම නිසිකලට ලැබෙන්නේ නෑ. එලෙස කරන්න එපා. ළමා මන්දපෝෂණය වැඩි වෙලා. පෙර පාසල්වල දරුවන්ට දිවා ආහාරය දෙනවා කිව්වත් කොටසකට විතරයි ආණ්ඩුව දෙන්න යන්නෙ. දරුවන් සියයට 60 කට මන්දපෝෂණය. 2048 රට සංවර්ධනය කරනවා කියලා අද ඉපදෙන දරුවෝ තමයි එදාට රටේ වැඩ කරන්නේ. මන්දපෝෂණය තියෙන දරුවන්ගෙන් ද සංවර්ධනය බලාපොරොත්තු වන්නේ. දරුවන්ගේ බර අඩු වෙලා. මොණරාගල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට වසර 4 කින් මුදල් දීලා නෑ. බාගෙට හදලා නවත්වලා.

රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

කාන්තාවන්ට රටේ සුවිශේෂී තැනක් ලැබී තිබෙනවා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවූයේ කාන්තාවක්. ඒත් තවම අනුරාධපුරයට දිසාපතිවරියක් පත්වී නෑ. දන්ත ධාතුන් වහන්සේ හේමමාලා කුමරිය විසින් වැඩම කර වුවත් තවම මහනුවරට දිසාපතිවරියක් පත්වී නෑ. ඒ වගේම නිලමේ තෝරද්දී ප්‍රාදේශීය ලේකම්වරියන්ට ඡන්දය පාවිච්චි කරන්න අයිතියක් ලැබෙන්නේ නෑ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්.

ත්‍රිවිධ හමුදාව තුළ කාන්තාවන්ට සුවිශේෂී තැනක් ලබාදෙමින් සිටිනවා. ඉතිහාසයේ කාන්තා නැවියන් ලෙස කාන්තාවන්ට තැන දුන්නා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රිනි තලතා අතුකෝරල (සජබ)

ළමා අපයෝජනයට ප්‍රධාන හේතු ලෙස දරිද්‍රතාව, මාධ්‍ය භාවිතාව, දෙමාපියන් විදේශගතවීම බලපානවා. අපයෝජනවලට එරෙහිව නීති රැසක් පවතිනවා. රජයේ පත්වීම් ලබපු උපාධිධාරීන් විශාල පිරිසක් ඉන්නවා. ළමාරක්ෂණ අධිකාරියේ පුරප්පාඩු පිරවීමට පියවර ගන්න. ළමා නඩු එක දිගට අහලා අවසන් කරන්න ක්‍රමවේදයක් අවශ්‍යයයි. පළාත් සභා හා මධ්‍යම ආණ්ඩුවේ ආයතන ඒකාබද්ධව ක්‍රියාත්මක විය යුතුයි.

පත්කළ මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය (ජාජබ)

නිරායුද සාමකාමී කාන්තාවන් පිරිසකට ජල ප්‍රහාර එල්ල කළා. පාලකයන් කාන්තාවන් ගැන හිතන හා සලකන හැටි සිතාගන්න පුළුවන්. දිනෙන් දින රජයේ ආකාරය දිග හැරෙමින් පවතිනවා. මේ ආණ්ඩුව තුළ තවදුරටත් සාකච්ඡා වැඩක් නෑ. මේ පාලනය ඉවර කරන වැඩේට අපි මුල්තැන දෙනවා. කාන්තාවන් පීඩාවට පත් නොකරන පාලනයක් පත් කරගන්න කැපවෙනවා.

පාලක පංතිය හැර සියලුදෙනා අද වින්දිතයෝ. මේ සමාජ ආර්ථික ක්‍රමය එම තැනට පත් කරලා තියෙනවා. දරුවන් නිරුවත් පින්තූර විකුණලා ජීවත් වෙන තැනට තල්ලු කළේ මේ පාලකයන්. දරුවාව බේරාගන්න තම ස්වාමි පුරුෂයා මරන්න බිරිඳට සිදුවෙනවා නම් ඒ තැනට ත්ලලු කළේ මේ පාලකයෝ. ඒ තැනට සමාජය පත් කළා. කාන්තාවන් හා දරුවන් ආරක්ෂා කරන්න ගෙනා පනත් ගොඩක් ඒවා පිටුපස තියෙන්නේ වෙන අරමුණු. තවදුරටත් තම බලය රැකගෙන පාලක පංතිය රැකගැනීමට කළහැකි හැමදේම කරනවා.

අපි ඔක්කොම විවාදවලට කතා කළාට මේ විවාදවලදී කරන්නේ මහා බොරුවක්. මේ කියන කිසිදෙයක් කෙරෙන්නේ නෑ. කිසිම වැඩක් නෑ. මේ කිසි දේකින් ජනතාවට අබමල් රේණුවකින් සෙතක් නෑ. මේ ආණ්ඩුව යන්නේ වෙනම ගමනක. ආණ්ඩුව ඒ ගමන යෑමට සියලු ආයතන පාවිච්චි කරනවා. පාර්ලිමේන්තුවට එන එකත් විවාදවලට සහභාගිවන එකත් දැන්නම් හිරිකිත සහගතයි. එක ආයතනයක්වත් ජනතාව වෙනුවෙන් වැඩ කරන්නේ නෑ.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම

ළමා අපයෝජන 10 ක් වුණොත් ඉන් 7 ක් පැමිණිලි ලෙස ඉදිරිපත් වන්නේ නෑ සමාජයේ විවිධ හේතු නිසා. ඒවා ඉදිරිපත් වුණොත් කොයි වගේ වෙයිද. දෙමාපියන් මේ ගැන අවධානය යොමු කළ යුතුයි.

පාසල් දරුවන්ගෙන් සියයට 34 ක් කිසිම අධ්‍යාපනයක් ලබන්නේ නෑ. සියයට 71 ක් කිසිම ආර්ථික කටයුත්තකට සම්බන්ධ වන්නේ නෑ. කොයි තරම් ඛේදවාචකයක්ද. ලංකාවේ දෘෂ්‍යාබාධිතයන් ලක්ෂ 5ක් විතර ඉන්නවා. ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැකලා නෑ. ඒ නිසා බ්‍රේල් ක්‍රමයට හෝ යම් සැලැස්මක් ඒ සඳහා යොදන්න.

පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ

77 න් පස්සෙ පත්වූ වැඩි ප්‍රමාණයක් බලයට ආවේ භාණ්ඩගාරයෙන් කොටසක් ගෙදර ගෙනියන්න. ඒකට කියන්නේ සුදුකරපටි වංචාව කියලයි. මේ ආණ්ඩුව දූෂණයට ඉඩදීලා කළු පැල්ලමක් ඇතිකර ගත්තා. මම පාර්ලිමේන්තුවේ වැටුප් ගන්නේ නෑ. පෞද්ගලික මුදලින් ගුවන් ටිකට්පත් ගන්නේ. දූෂිතයෝ හෙළි කරපු ගමන් ඇමැතිව එළියට දානවා. මේක දූෂණය පිළිගත් ආණ්ඩුවක්. ව්‍යවස්ථාදායකය නිවට වෙලා. ආණ්ඩුව හැටනවලක්ෂයේ ජනවරමට පයින් ගහලා. මට කතා කරන අයිතියත් නැති කරලා තිබුණා. කාටද මේ කඩේ යන්නේ.

මම කථානායකගෙන් ආරක්ෂා ඉල්ලුවේ නෑ. මහජනයා වෙනුවෙන් කතා කිරීමේ අයිතිය කෝ. වාහනවල ෆයිල් ගොඩගහගෙන හිටියත් වැඩක් නෑ හොරා අල්ලන්නේ නැතිව. අපි හොරා ඇල්ලුවා. ඒ රජයේ විගණනයෙන්. විගණන දෙපාර්තමේන්තුව තව ශක්තිමත් කළ යුතුයි. නඩු පැවරීමේ, අස්කිරීමේ හා දඬුවම් දීමේ බලයත් දිය යුතුයි. 2019 සිට ක්‍රීඩාවේ දූෂණ ගැන නඩුදාන්න මම භාරදුන්නා තාම නෑ. කෝප් එකේ කොපමණ කතා කළත් වැඩක් නෑ. නඩු දාන්න බෑ. වහාම නීති වෙනස් විය යුතුයි.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment