පාර්ලිමේන්තුව – රාජ්‍ය ව්‍යවසායකයන්ට ජාත්‍යන්තරයට මුහුණ දිය හැකි ලෙසින් නීතියක් ගෙන එනවා

34

රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය
ජාත්‍යන්තරයට අවශ්‍ය ව්‍යවසායකයන්ට අපි සහාය ලබාදිය යුතුයි- හර්ෂ ද සිල්වා (සජබ)
ඉස්සර සල්ලි අච්චු ගහලා අවශ්‍ය දේ කළත් දැන් ඒක කරන්න බැහැ – ඇමැති බන්දුල ගුණවර්ධන
සංවර්ධනය මුවාවෙන් දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා- විජිත හේරත් (ජාජබ)

රාජ්‍ය ව්‍යවසායයන් ලාභදායීව, තරගකාරීව හා ජාත්‍යන්තරයට මුහුණ දිය හැකි ආකාරයේ ක්‍රමවේදයකට ලක්කිරීමට අවශ්‍ය නීති ළඟදීම ගෙනඑන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (13දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මුදල් අමාත්‍යාංශය යටතේ නිකුත් කළ ඇතැම් නිවේදන කිහිපයක් අනුමත කරගැනීම සඳහා ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති සභාවේදී රාජ්‍ය ඇමැතිවරයා ඒ බව කීය.

විවාදය ආරම්භ කරමින් කතා කළ මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා,

ආර්ථික ප්‍රතිපත්ති ගොඩනඟමින් ඉන්නවා. රාජ්‍ය ආදායම වැඩිකිරීමට බදු වැඩිකිරීමක් කළ යුතුයි. එය සැමටම යම් දරාගැනීමක් සමගමයි ඉදිරියට යන්නේ.

ජවිපෙ අලුත් දෙයක් කතා කරයි කියලා ජනතාව බලාපොරොත්තු වුණා. එහි නායකයා මාධ්‍ය සාකච්ඡාවකදී කළ දේවල් සංවාදයකට ලක්විය යුතුයි. ජනතාවට සහන දෙන ක්‍රමවේද පැහැදිලි නැහැ.

ජවිපෙ කියනවා ජනවරම අරන් මූල්‍ය අරමුදල් ගිවිසුම සංශෝධනය කරනවාලු. දැන් තියෙන ආදායම අඩුකර රට ඉදිරියට යන්න බෑ. රාජ්‍ය ව්‍යවසායයන් ලාභදායීව, තරගකාරීව ජාත්‍යන්තරයට මුහුණ දී ක්‍රියාකළ හැකි ක්‍රමවේදයකට ලක්කිරීමට අවශ්‍ය නීති අපි ගේනවා. ව්‍යාපාර විකුණන්නේ නෑ. අවශ්‍ය නීති අපි ළඟදීම ගේනවා.

පත්කළ මන්ත්‍රී මුජිබර් රහුමාන් (ස.ජ.බ.) – ජීවිතවලට අවංකව ක්‍රියාකළ යුතුයි. අවංකව ක්‍රියා නොකිරීමෙන් විනාශය ඇති වෙනවා. ඩයනා ගමගේ විදේශ පුරවැසිකමක් ඇති අයකු බව අපි දැනගෙන හිටියේ නෑ. අපිටත් කොළේ වැහුවා. අපි එය අධිකරණයට ගිහින් නිවැරැදි කරන්න ගියාම ආණ්ඩුව ඇයව ආරක්‍ෂා කළා. සජබයට එරෙහිව කුමන්ත්‍රණයක් කරන්න ආණ්ඩුව මන්ත්‍රීවරියව පාවිච්ච් කළා. අවසානයේ ආණ්ඩුව පැත්තකට වුණා. ඇය තනි වුණා.

අද සාධාරණයක් බලාපොරොත්තු විය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පමණයි. මේ පාලකයන්ගෙන් සාධාරණයක් නෑ. නීතිපති දෙපාර්තමේන්තුව ඩයනා වෙනුවෙන් පෙනී සිටියේ. අවසානයේදී ජනතාවගේ බදු මුදලින් යැපෙන ආයතන විහිළුවට ලක් වුණා, අධිකරණ තීරණයත් සමග.

ප්‍රවාහන මහමාර්ග ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන – රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ හිඟයත් ආර්ථිකය කඩාවැටීමට බලපෑවා. දවසකට කෝටි 625ක් රට ගෙනියන්න මදි. ආදායම කෝටි 847යි. වියදම කෝටි 1467යි. දිනකට කෝටි 625 ගාණේ මදි. විවිධ කතන්දර කියනවා. සංවර්ධනය නෑ. සමාජ සුබසාධනය නෑ. ජනතාව රජයට දොස් කියනවා. ඉස්සර නම් මහ බැංකුව සල්ලි අච්චු ගහලා අවශ්‍ය දේ කළා. දැන් ඒක කරන්න බෑ.

ණය ප්‍රතිව්‍යුහගත කර නොගත්තොත් අපට රටේ කිසිම සංවර්ධන වැඩක් කරන්න බැහැ. විදේශ ණය ආධාර අවශ්‍යයි. අපි ණය ප්‍රමාණය නිරාකරණය කරගත යුතුයි. අපි මූල්‍ය අරමුදල සමග ගිවිසුම් අත්සන් කළා. ඒ ගිවිසුමට අනුව 2025දී ජාත්‍යන්තර මුදල් හිඟයක් ඇතිවෙනවා. ඇ. ඩො. මිලියන 50018ක්. ඉන් මූල්‍ය අරමුදල ලබන වසරේ ඩොලර් මිලියන 603ක් ලබා දෙනවා. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව අපට ණය දෙන්න එකඟවෙලා තියෙනවා. ජනවාරි සිට ගිවිසුමට අනුව මුදල් ලැබෙනවා. මේවා පිළිවෙළට නොලැබුණොත් අපට එල්.සී. අරින්න බැරිවෙනවා. අපි ඉන්න තැන තේරුම් ගත යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ) – ආර්ථිකයේ ප්‍රශ්න උග්‍ර වුණේ ගෝඨාභය ජනපති බදු කපාහැරීමක් කළ නිසයි. ප්‍රශ්නයට හරි විසඳුමක් ගත්තේ නෑ. පොහොර තහනමත් සමග ප්‍රශ්නය වැඩි වුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩපිළිවෙළ එසේම යා යුතු බවට ඇමැතිවරු කිව්වත් අපි ඒ මතයේ නෑ. මූල්‍ය අරමුදලේ සහය අවශ්‍යයි. රටේ ඩොලර් අර්බුදයට විසඳුම් ආවේ නෑ. හම්බන්තොට ඩොලර් ණය යොදා කරපු ව්‍යාපෘතිවලින් ආදායමක් ආවේ නෑ. අපි මූල්‍ය අරමුදල සමග ඍජුව කතා කරනවා. අපි වෙනස්කම් කරන බව මූල්‍ය අරමුදලට මූණටම කිව්වා. අපි අපනයනකරුවන්ගේ ආදායමට සියයට 30ක බද්ද ගහන්නේ නෑ. විදේශ අපනයනකරුවන්ගේ බද්ද අඩු කරනවා. අද සේවා අපනයනයේදී අපනයන බද්ද 0යි. භාණ්ඩ අපනයනයේදී බද්ද සියයට 30යි. අපි එය වෙනස් කරනවා. අපි ජාත්‍යන්තරයට අවශ්‍ය ව්‍යවසායකයන්ට සහන දෙනවා. එයයි අපේ වෙනස.

ඊළඟ දශකයේදී සියයට 10ක ආර්ථිකය වර්ධනය කිරීමයි අපේ ආණ්ඩුවක සැලැස්ම. ආර්ථික ප්‍රතිසංස්කරණය කරලා ඉන්දියාව දියුණු වෙන්න පටන් ගත්තේ කොහොමද කියලා බලන්න.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන (ශ්‍රීලපොපෙ) – ඩයනා ගමගේගේ පක්‍ෂය සජබය ඉල්ල ගත්තා. පාටි දැම්මා. එතකොට ඩයනා හොඳයි. පුරවැසිභාවය ප්‍රශ්නයක් නෑ. ජාතික ලැයිස්තුවෙන් ඩයනව දැම්මා. එතකොටත් හොඳයි. පක්‍ෂයට යකඩ ගැහැනියක් වුණා. අපේ ආණ්ඩුවට සහාය දෙන්න ආවාට පස්සේ සජබයට පුරවැසිභාවය ගැන ප්‍රශ්නයක් ආවා. අපි ද මේකට වැරදිකරු. එතුමිය සභාවේ විශාල කාර්යයක් කළා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජාජබ) – ඔන් මැක්ස් ආයතනය පිරමිඩ ජාවාරම කළා. ලක්‍ෂ හතරහමාරක් පමණ ජනතාව එම ආයතනයේ නීති විරෝධී ගනුදෙනුවලට අහුවෙලා තියෙනවා. කෝටි 4500ක් පමණ මෙහි ගනුදෙනු වෙලා. අවුරුදු එකහමාරකට පස්සෙ තමයි මහ බැංකුව කිව්වේ මේක ලියාපදිංචි නෑ කියලා. අවසානයේදී ජනතාව අසරණයි. කිසිම පිළිසරණක් නෑ.

මීට පෙර මෙවැනි ආයතන ගැන නීති ක්‍රියාමාර්ග ගත්තා. ඒත් ජනතාවට මුදල් නැවත ලැබුණේ නෑ. වහාම මේ ආයතන ගැන මුදල් ගන්න ක්‍රමවේද හදන්න.

සංවර්ධනය මුවාවෙන් දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. පළාත් පාලන ආයතනවලට ප්‍රජා උපදේශන කමිටු පත් කරන්න චක්‍රලේඛ ගැහුවා. මෙය නීති විරෝධියි. මැතිවරණ කාලසීමාවක්. මේ ව්‍යුහය ඉතා බරපතළයි. දේශපාලන මැදිහත්වීම් බරපතළව සිදුවෙනවා. මෙය නතර කරන්න.

ජනපති ළඟ ඉන්නවා, පැරදුණු දේශපාලකයන් උපදේශක වෙලා. මේ දවස්වල ඔවුන්ට වාහන ගන්නවා. ජනාධිපති ලේකම්ගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට ලිපි ඇවිත් තියෙනවා වහාම එහි ඇති වාහන එවන්න කියලා. අමාත්‍යාංශයේ තියෙන හොඳම වාහනය අරන් යන්න උත්සහ කරනවා. මේ ක්‍රියාදාමය වහාම නවත්වන්න.

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය භාවිත කළ වාහනය හා සම්පත් ඒ විදියටම තවම තියෙනවා. තවම වත්මන් ඇමැතිට භාර දී නෑ. අල්ලස් කොමිසම ඒ ගැන සිහි කැඳවුවත් තවම භාරදී නෑ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. මරික්කාර් (සජබ) – ඩොලර් ආදායම වැඩිවීමට සංචාරකයන් වැඩිපුර පැමිණිය යුතුයි. ඔවුන්ගේ වීසා සඳහා වෙනම මුදලක් අයකර ඩොලර් බිලියන 15ක් කඩා ගන්න යමෙක් උත්සාහ කරනවා. මේ ගැන අපි වැඩි තොරතුරු හෙළි කරනවා. බදු ගහන එක විතරයි කරලා තියෙන්නේ. රාජ්‍ය ආදායම වැඩි කරන්න ජාත්‍යන්තර වෙළෙඳපොළට ඇතුළුවී නව තාක්‍ෂණය ඇති කරගත යුතුයි. බදු වලින් විතරයි දුවන්න බලන්නේ.

පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන


advertistmentadvertistment