පාර්ලිමේන්තු යන්නේ සහතික පෙන්වන්න නොවේ.. – මොකක්ද සම්ප්‍රදාය? ඕවා තුට්ටු දෙකේ වැඩ

870

හිටපු කථානායක රන්වල බීබීසීයට කියයි

‘පාර්ලිමේන්තුවට යන්නේ තමන්ගේ සහතික පෙන්නන්න නොවේ’ යැයි හිටපු කථානායක අශෝක සපුමල් රන්වල මහතා පවසා තිබේ. කවර තර්ජන ගර්ජන ආවත් තමන්ට පැවරී ඇති වගකීම ඉතාමත් ඉහළින් ඉෂ්ට කරන බවත් හෙතෙම කියයි. ධුරයෙන් ඉල්ලා අස්වූ කථානායකවරයා මේ කරුණු හෙළිකර තිබුණේ බීබීසී සිංහල සේවය සමග පැවති සාකච්ඡාවකදීය.

ප්‍රශ්නය – ඔබ හිතන්නෙ නැද්ද ජාතික ජන බලවේග ආණ්ඩුව ආරම්භයේදීම ඔබ නිසා කළු පැල්ලමක් එකතුවුණා කියලා?

“එහෙම හිතනවා නම් ඒක සම්බන්ධයෙන් කනගාටු වෙනවා. ඒක නිවැරදි කරගන්න මගේ පැත්තෙන් කරන්න පුළුවන් සියලුම ක්‍රියාවලියන් කරනවා”

ප්‍රශ්නය – ඔබතුමා ඉල්ලා අස්වන බව සඳහන් ලිපියේ සඳහන් කර තිබුණා ඔබතුමාගේ ආචාර්ය උපාධිය පිළිබඳ තත්ත්වය ජනතාවට ඉදිරිපත් කරනවා කියලා. ඒ සම්බන්ධයෙන් මේ වෙනකොට ඔබතුමා නැවත ජපානයට ගිහිල්ලා තියෙනවාද, ඒ විශ්වවිද්‍යාලයෙන් අවශ්‍ය සහතික පත් ඉල්ලලා තියෙනවාද, මොකක්ද තත්ත්වය ?

“මම නැවත නැවතත් කියන්නේ ජනතාවට ඉදිරිපත් කරන ක්‍රමවේදය මොකක්ද කියන්නකෝ ? ජනතාවට එහෙම දෙයක් තියෙනවා නම් ඉදිරිපත් කරන ක්‍රමවේදය ?”

ප්‍රශ්නය – ඔබතුමාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන් සහතික ?

“පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න එහෙම ක්‍රමවේදයක් තියෙනවාද ? ඒ සම්ප්‍රදාය මොකක්ද ? ඕවා තුට්ටු දෙකේ වැඩ. පාර්ලිමේන්තුවට යන්නේ තමන්ගෙ සහතික පෙන්නන්න නෙවෙයි හරිද ? ඒක නෙවෙයි ඊට වඩා විශාල දෙයක් අපි කරන්න යන්නෙ පාර්ලිමේන්තුවේ. නමුත් අපි ජනතාවත් එක්ක සාකච්ඡා කරනවා. ඒකට මැදිහත් වෙනවා, ඒකට අවශ්‍ය දේවල් ඉදිරිපත් කරනවා. ඒ සම්බන්ධව කිසි ගැටලුවක් නෑ, අපි කරගෙන යනවා වැඩ ටික”

චතුර පමුණුව


advertistmentadvertistment