පාරුවේ පුවක්

988

විදුලි අර්බුදය ගෙයි දොරකඩට පැමිණ නොව, ගෙට ඇතුළු වී පෑල දොරෙන් පිටව යන්නට පටන්ගෙන තිබේ. දිනකට පැය එක හමාරක්වත් විදුලිය නොකැපුවහොත් ලබන මාසයේ සිට රට සම්පූර්ණයෙන්ම අඳුරට යනු ඇතැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා කියයි. මේ දිනකට විදුලිය කැපිල්ලේ තේරුම, ඉන් ඉතිරිකරගන්නා විදේශ විනිමය මගින් ලබන මාසයේ නිවසේ විදුලි පහන් දල්වන්නට බවද ඇමැතිවරයා පවසයි.

එසේම, ගම්මන්පිල ඇමැතිවරයා කියන්නේ වාහන දුවන්නට තෙල් දෙන්නට නම් විදුලිය කපා අඳුරේ සිටීම කළ යුතුව ඇති බවයි. එසේම, තමන්ටත් තෙල් නැති කොට විදුලිය නිපදවන්නට විදුලි බල මණ්ඩලයට තෙල් දෙන්නේ කෙසේ දැයි ලංකාවේ බලශක්ති ඇමැතිවරයා ජනතාවගෙන් අසයි. ඡුන්දය ඉල්ලන කාලේ හෝ ආණ්ඩුව ගන්නා විට ඔවුන් මේ බව කීවේ නැත. එදා ඔවුන් දුටුවේද, කීවේද යහපාලන ආණ්ඩුවේ වැරදි පමණි. එසේම, බලශක්ති ඇමැතිකම වැනි බලවත් ඇමැතිකමක් එදා නොදුන්නේ නම් බලාගන්නට තිබුණා මොවුන්ගේ තරම. නමුත් මේ ඇමැතිකම් දැන් බලූවටින්නේ නැති බව අපි නොකිව්වාට ඒ ඒ ඇමැතිවරුන්ම දන්නා කරුණකි. මන්ද අම්මා මුත්තා කාලෙදීවත් ඇහුවේ නැති බැණුම් මේ ටික කාලෙදී විදුලි බල ඇමැතිවරයා සහ බලශක්ති ඇමැතිවරයා අසන්නට ඇත.

ඇයි….ඔවුන් පමණද? බැණුම් අසන තවත් ඇමැතිවරුද සිටිති. ඔවුන්ගේ නම් නොව තනතුරු කිහිපයක් හෝ නොකීවෝතින් ඔවුන්ට හොඳ නැත. ගෑස්, එළවළු, සහල්, පොල්, පොහොර, සිමෙන්ති, ආදී වශයෙන් බැණුම් අසන පාරිභෝගික කටයුතු රාජ්‍ය ඇමැතිවරයා, වෙළෙඳ ඇමැතිවරයා, කෘෂිකර්ම ඇමැතිවරයා, කාබනික පොහොර ඇමැතිවරයා මේ බැණුම් ලයිස්තුවේ ඉහළින්ම සිටින්නෝය.

හුදී ජනයා මෙසේ ඇමැතිවරුන්ට හා ආණ්ඩුවට බැන අඬගසන්නේ තවත් කර කියා ගත හැකි දෙයක් නැති තැනය. ජනතාව කොහොමත් කළේ තමන් හම්බකරගත්තොත් කන න්‍යායය. ආණ්ඩුවට හා ඇමැතිවරුන්ට තිබුණේ ඊට අදාළ පහසුකම් සැලසීමය. ජනතාවම වෙසක් කාලයට දන්සල් දී තවත් අයට නිකං කන්නට දුන්නාට, ආණ්ඩුව කවරදාකවත් ජනතාවට දන්සැල් දුන්නේ නැත. දුන්නානම් ඒ ඡුන්ද කාලෙට අරලිය ගහ මන්දිරය පැත්තේදී දුන් දන්සලක් පමණි.

ශ‍්‍රී ලංකාවේ ගොවිතැනට නොහොත් වගාවට රජයෙන් දුන්නේ පොහොර සහනාධාරයක් වැනි දෙයක් පමණි. එසේ නැතිව රටේ කුඹුරු කරන ප‍්‍රමාණය අවසන් අක්කර කාලටම හා එළවළු, පලතුරු අක්කර ප‍්‍රමාණය තීන්දු කරනු ලබන්නේ ගොවි ජනතාවමය. ඊට ආණ්ඩුව කළ කෙහෙල් මලක් නැත. ඔවුන්ට පුළුවන් වුණොත් වැව්වේය. බැහැයි කියා හිතූ දවසට කුඹුරු අතහැර පුරන්වන්නට හැරියේය. අඩුම තරමේ ඒ පුරන් වන අක්කරයට දෙකට තුනට, තුන්කාලට වෙනත් කුඹුරක් අස්වද්දන්නට තරම්වත් මේ දක්වා කිසිදු ආණ්ඩුවකට හැකියාවක් තිබුණේ වී නැත. ඉලක්කම් කීවාට වගාකරන වපසරියක් හෝ අස්වැන්න ප‍්‍රමාණයක් ගැනවත් දන්නා ආණ්ඩු ඇති බව අපට පිළිගන්නට නොහැකිය. ඉතිං මොකටද…? කෘෂිකර්ම දෙපාර්තමේන්තු, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු සහ හැට හුට හමාරක් පඩි ගෙවා නඩත්තු කරන නිලධාරීන්. ගොවියෝ වැව්වොත් අපි කන්නෙමු. නැතොත් බඩගින්නේය. (හාල් මෝල් හිමිකරුවන්ගේ මාෆියාව නිසා ගොවියෝ වැව්වත් අධික සහල් මිල නිසා ජනතාව බාගෙට බඩගින්නේය.)

පොහොර අර්බුදයෙන් වුණේ එසේ සාමාන්‍ය පරිදි රටේ කරගෙන ගිය ගොවිතැනද කඩාවැටීමය. මේ සියල්ලට හේතුව රටේ ඩොලර් අර්බුදය නොහොත් රටේ ආර්ථික පරිහානියය. ඒ පරිහානිය කොවිඞ් වසංගතය පිට දැමීමම සාධාරණ නොවන බව අපගේ වැටහීමය. රට ගොඩනැගීමට නිදහසින් පසු වසර 73 ක් පමණම අප විවිධ ආණ්ඩුවලට, පක්ෂවලට බලය දුන්නෝය. නමුත් අල්ලසින්, දූෂණයෙන්, කපටිකමෙන්, වංචාවෙන්, හොරකමෙන්, බොරුවෙන්, බල තණ්හාවෙන් ඒ සියලූ දේශපාලකයන් කටයුතු කිරීමේ ප‍්‍රතිඵලය නිසා මෙසේ රට ප‍්‍රපාතයට ඇද වැටී ඇති බව දැන්වත් පිළිගත යුතුව ඇත. ඊට තවත් නිදහසට කාරණා වුවමනා නැත.

ඒ කතාව අප කියන්නේ පාලක පොහොට්ටු පක්ෂය ඇතුළු සන්ධානයට පමණක් නොවේ. ශ‍්‍රී ලංකාද,

යූ එන් පී ද නොව මෙතෙක් බලයට පැමිණ ආණ්ඩු කළ සියල්ලෝම මීට වගකිව යුතුව ඇත. පාර්ලිමේන්තුව, පළාත් සභාව, ප‍්‍රාදේශීය සභාව නියෝජනය කළ සියල්ලෝම මීට වගකිව යුතුව ඇත. ඔවුන්ට ඡුන්දය දී බලයට පත්කළාට ජනතාවද වගකිවයුතු බව ඇත්තකි. නිදහසින් පසු වසර 73 ක් ගතකර මේ මජර දේශපාලකයන් දැන් ජනතාවට අවශ්‍ය ආහාර, ජලය, විදුලිය, දීගන්නට නොහැකිව රටට ඩොලර් නැතැයි පැවසීම ජනතාවගේ දෝෂ දර්ශනයට ලක්වීම නොව ජනතා ශාපයට ලක්වන්නට තරම් දෙයකි.

එහෙත්, තවමත් මේ රටේ දේශපාලකයන් කරන්නේ ජනතාවගේ මුදලින්, හා පාර්ලිමේන්තුවේ සම්පත් භුක්ති විඳිමින් දෙපිල, තුන්පිල බෙදී බොරුවට කෑ මොර දෙමින් එකිනෙකාට මඩ තලිවලින් ගසාගනීමය. තවමත් ජනතාව ගොනාට ඇන්දවීමය. රටට ඩොලර් නැතිනම් ඒ ජනතාවගේ වරදක් නොවේ. ඒ මෙතෙක් ආණ්ඩු කළ සියල්ලගේම දැඩි කළමනාකරණ දුර්වලතාවයි.

පිටරට ගොස් අනුන්ට කඹුරා තම ජීවිත, ලේ, ඇට, මස්, නහර දන්දී කීයක් හෝ උපයා එවන රට විරුවන් හෝ ගාමන්ට් කෙල්ලන් නැතිනම් මීටත් වඩා ආර්ථිකය අඳුරේය. පෙර කී පරිදි ස්ව උත්සාහයෙන් ගොවිතැන, බත කරන ගොවි ජනයා නැත්නම් මීට වඩා ආර්ථිකය අඳුරේය. එවන් තත්ත්වයක් තුළ මොනතරම් ආර්ථික කළමනාකරණයක් මේ රටට අවශ්‍යද…? එහෙත් තියනකොට සහ ඇති තරම් ණය ලැබෙන විට ඒවා ගසාකන්නටම මාන බලන දේශපාලූවන් කොටසක් රටේ බිහිව සිටිනා හෙයින් මෙතරම් අගාධයකට රට වැටී ඇති බව අපි කල්පනා කරමු. එවන් තත්ත්වයක් තුළ අද දවසේ විදුලිය කපා අඳුරේ සිටින්නට සිදුවීම, ගෑස් පෝලිම්වල, සිමෙන්ති පෝලිම් තුළ ලැගීමට සිදුවීම උන්ගේ ශාපය ජනතාව මතම කඩාවැටීමකි. පූරුවේ කළ පව් පළදීමකි.

advertistmentadvertistment
advertistmentadvertistment