පාර වසා වාහන අටකින් ගිය ඇමති කවුද? මම නෙමෙයි- බැසිල් – මමත් නෙමෙයි- ඩලස්

418

වෙළෙඳපොළේ පාරිභෝගික භාණ්ඩ තමන්ට හිතෙන පරිදි මිල ඉහළ දමමින් වෙළෙඳපොළ පාලනය කරන කූට වෙළෙඳුන්ට එරෙහිව රජයේ අවධානය යොමු වී දැන් බොහෝ කල් ය. පාරිභෝගික ආරක්‍ෂණ පනත තුළින් මේ වෙළෙඳ මාෆියාව පාලනය කරන්නට රජය කොතෙක් උත්සහ කළත් ඒ කිසිවකින් පලක් නොවූයේ පාරිභෝගික පනත තුළම ඇති අඩුලූහුඬුකම් තුළින් රිංගා යෑමට ඔවුන් කාලාන්තරයක් තිස්සේ පුරුදු පුහුණු වී සිටිය නිසාය.

එක් පැත්තකින් කොවිඞ් රෝග බියෙනුත්, තව පැත්තකින් මරණ බියෙනුත් තවත් පැත්තකින් ආදායම් මාර්ග අහිමි වීම නිසාත් ආර්ථික අහේනියෙනුත් පීඩා විඳිමින් සිටි ජනතාවට මේ වෙළෙඳපොළ මාෆියාවේ ත‍්‍රස්තවාදය උසුලාගත නොහැකි විය.

රජය මේ වෙළෙඳපොළ මාෆියාව මර්දනය කරන්නට කළ හැකි හොඳම පිළියම යොදන්නට අවධානය යොමු කරන්නේ ඒ අනුවය. මේ සඳහා රජය පියවර කීපයක් ම අලූතෙන් ගන්නට තීරණය කළහ. ඒ අනුව මුලින්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික ආරක්‍ෂණ පනත සංශෝධන කිහිපයක් ගෙන එමින් ගැසට් පත‍්‍රයක් නිකුත් කළේය. යමෙකු ආහාර තොග සඟවා කෘත‍්‍රිමව ආහාර හිඟයක් මවා පා මිල ඉහළ දමන්නට වෑයම් කරයි නම් එම ගබඩා වටලා අල්ලා ගන්නට වෙනමම පාරිභෝගික සේවා කොමසාරිස්වරයෙක් පත් කළේය.

මෙම කොමසාරිස්වරයාට හා අදාළ පාරිභෝගික පනතට බලය ලබාගැනීම සඳහා මහජන ආරක්‍ෂණ පනත යටතේ හදිසි තත්ත්වයක් ඇති කරන්නට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්නට ද තීරණය කෙරිණි. එහෙත් මෙහිදී මහජන ආරක්‍ෂණ පනත යටතේ වෙනස් වන්නේ හා බලාත්මක වන්නේ පාරිභෝගික ආරක්‍ෂාවට අදාළ කොටස පමණක් බව ද කියැවිණි. මේ තීන්දු තීරණවලට අදාළ පනත සැප්තැම්බර් 6 වැනි සඳු\ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ගන්නට ද තීන්දු විය. ඒ අනුව කොවිඞ් නීති රීතිවලට අනුකූලව 6 වැනිදා හා 7 වැනිදා පාර්ලිමේන්තුව පවත්වන්නට ද තීන්දු විය.

මහජන ආරක්‍ෂණ පනත යටතේ රටේ ඇති කරන මේ නව වෙනස්කම් ගැන රට තුළ ලොකු ආන්දෝලනයක් ද ඇතිවිය. සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්‍ෂය මේ පිළිබඳව බරපතළ විවේචන ගෙන එන්නට වූහ. රජය මේ සූදානම් වන්නේ පාරිභෝගික සේවාවන් ආරක්‍ෂා කර ගැනීමට මුවා වී රජයට එරෙහිව නැෙඟන විරෝධතා හා උද්ඝෝෂණ පාලනය කිරීමට හදිසි නීතිය යොදා ගන්නට ඔවුන් තර්ක කළහ. පසුගිය සතිය පුරාම මේ පිළිබඳ විවාදයක් රටේ දේශාපාලන කතිකාව තුළ උණුසුම්ව පැවැත්වෙන අයුරු අපට දැකගත හැකි විය. මුලින්ම මේ පිළිබඳව බරපතළ විවේචනයක් ගෙන ආවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ය.

අවදානමින් මුදාගෙන
රට බේරාගත් කතාව

සැප්තැම්බර් මාසයේ පළමු සති අන්තය පැමිණෙන විට අපේ රටේ කොවිඞ් මර්දන ක‍්‍රියාන්විතය එක්තරා මට්ටමක සතුටුදායක ප‍්‍රගතියක් අත්පත් කරගෙන සිටියේය. අගෝස්තු 31 වැනිදා වන විටත් අපේ රටේ සිදුවන දෛනික මරණ සංඛ්‍යාව 215ක අගයක පැවතියේය. දිනකට හමුවන රෝගීන් සංඛ්‍යාව 31 වැනි දා වන විට සැලකිය යුතු මට්ටමකින් අඩුවී තිබුණත් එය 4000 සීමාවෙන් පහතට පැමිණ තිබුණේ නැත. එහෙත් සීඝ‍්‍ර ලෙස දවසින් දවස මෙම අගය පහත බසින බව නම් පැහැදිලි විය. සැප්තැම්බර් පළමු වැනි දා වනවිට 3828ක් දක්වා දෛනික රෝගීන් සංඛ්‍යාව අඩු වී තිබීමෙන් ම එය පැහැදිලි වේ.

සෞඛ්‍ය අංශවල නිගමනය වූයේ රට වසා තැබීමේ ප‍්‍රතිඵලය ආපස්සට ලැබෙන්නට නම් යම් සැලකිය යුතු කාල සීමාවක් අවශ්‍ය බවකි.

ඒ අනුව සැප්තැම්බර් 6 වැනිදා සිට තවදුරටත් රට වසා තබනවා ද නැද්ද යන කාරණය පිළිබඳව තීරණාත්මක තීන්දුවක් ගැනීම සඳහා කොවිඞ් මර්දනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ තීරණාත්මක රැස්වීමක් පැවැත්විණි. ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම කමිටු රැස්වීම උදාවී ඇති තත්ත්වය හමුවේ ප‍්‍රථම වතාවට සූම් තාක්ෂණය ඔස්සේ සිදු කිරීම විශේෂත්වයක් විය.

මෙම රැස්වීම සඳහා පළාත් මට්ටමින් ලංකාව පුරාම සිටින සියලූ පළාත් හා ප‍්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් හා බලධාරීන් ද කැඳවනු ලැබ සිටියහ. මුලින්ම රැස්වීම හමුවේ ප‍්‍රාදේශීය වශයෙන් සහභාගි වන සෞඛ්‍ය නිලධාරීන් ද පිළිගනිමින් ජනාධිපතිවරයා කතා කළේය.

‘‘දැන් සති කීපයක් ම රට වහල තිබුණා. පහුගිය දවස්වල ඩෙල්ටා ප‍්‍රභේදයේ හිස එසවීමත් සමගම රට පුරා වේගයෙන් පැතිර ගිය වසංගත තත්ත්වය දැන් හොඳටම පාලනය වෙලා ඉවරයි. මරණ ප‍්‍රමාණය දවසින් දවස අඩු වෙනවා. එතකොට දවසකට හමුවෙන රෝගීන් සංඛ්‍යාව දැන් සතුටුදායක ලෙස අඩුවෙලා.

රෝගය පැතිරීම පාලනය කරන්න අපට තියෙන හොඳම විසඳුම තමයි එන්නත් ලබාදීම වේගවත්ව ව්‍යාප්ත කරන එක. අපි දැන් ඒක හොඳටම කරගෙන යනවා. අපිට දැන් ඇති තරම් එන්නත් ලැබෙමින් තියෙනවා. ලබන 5 වෙනිදා වෙනකොට අපට තව එන්නත් මිලියන 4ක් එනවා. මේ වෙනකොට අපිට එන්නත් මිලියන 27.3 ක් ලැබිලා තියෙනවා. ඒ නිසා එන්නත් ලැබීම පිළිබඳ කාටවත් බයක් ඇති කරගන්න ඕන නැහැ. අපට දැන් ඇති තරම් එන්නත් ලැබිලා පිට පළාත්වලටත් එන්නත් ලබා දෙමින් ඉලක්ක සපුරා ගන්න පුළුවන් වෙලා තියෙනවා. අපිට විරුද්ධ අය මොන මොනවා කිව්වත් අපි දැන් මේ රැල්ල අනිත් පැත්තට හරවල ජයග‍්‍රහණය කරමින් ඉන්නවා.”

‘‘මේක අපි හැමෝගෙම ජයග‍්‍රහණයක්. අපි අතර විවිධ මතවාද විවිධ තර්ක විතර්ක ඇති වුණා. ඒවා ලංකාවට අලූත් දේවල් නෙවෙයි. හැබැයි අපි ඒ ඔස්සේ අපේ ඉලක්ක ජය ගත්තා.”

ඉන් අනතුරුව ජනාධිපතිවරයා වෛද්‍ය විශේෂඥයන්ගෙන් ඉල්ලීමක් කළේ ය.

‘‘දැන් අපි ජනතාව අතර එන්නත් ගහගෙන ගහගෙන ගියා. හැබැයි අපි ජනතාව අතර මේ එන්නත ක‍්‍රියාත්මක වෙන්නෙ කෝමද කියලා හොයලා බලනවා අඩුයි… වෛද්‍යවරු මේ පිළිබඳ නිතර විමසිල්ලෙන් ඉන්න. ජනතාව අතර මේ එන්නතේ හැකියාවෙන් ලෙඩ රෝග පැතිරීම අඩු වෙනවද? එන්නත් ගහපු අයටත් හැදෙනවද? එහෙම නැත්තං එන්නත ගහලත් ලෙඬේ හැදෙනව නම් ඒ මොන මොන වයස් කාණ්ඩවලට ද කියලා පසු විපරමක් කරන්න. පසුවිපරම තුළින් තමයි ඊළඟට අපි කරන්නේ මොනවද? ගන්න පියවර මොනවාද කියලා හිතාගන්න පුළුවන් වෙන්නේ…” වෛද්‍යවරු කිහිප දෙනෙක්ම මෙහිදී අදහස් දක්වනු ලැබූහ.

‘‘රට ලොක්ඩවුන් කරනවා කියන එක රෝගය පැතිර යෑම සීමා කරන්න ඉතාමත්ම වැදගත් වෙනවා. එක් අවස්ථාවක අපි රට මාසයකටත් වඩා වහලා තියලා හොඳටම කොවිඞ් පාලනය කළා. ප‍්‍රතිඵල සතුටුදායකයි. හැබැයි බලා ඉඳිද්දි ආර්ථිකය දුර්වල වුණා.

මේ වෙලාවේ තවදුරටත් රට වහලා තබා ගනිමින් රෝගය පැතිරීම පාලනය කරන්න ඕන කියලා සෞඛ්‍ය අංශ තුළින් මතයක් ඉදිරිපත් වෙනවා. මං මේ අපේ මුදල් ඇමැතිතුමාගෙන් අහන්නේ. 13 වැනිදා වනතුරු මේ රට වසා දැමීම දීර්ඝ කරන්න කියලා ඉල්ලීමක් තියෙනවා. ඔබතුමා මොකද හිතන්නේ. අපට තවදුරටත් රට වහගෙන ඉන්න පුළුවන්ද….?” ජනාධිපතිවරයා ඇමැති බැසිල්ගේ අදහස කුමක්දැයි විමසා බැලූවේ එසේය.

‘‘මේ දවස්වල ඇත්තම කියනවා නම් සුරාබදු ආදායම තමයි විශාල වශයෙන් රටට අහිමි වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් ආදායම් ලබන අපනයනයන් සියල්ල සිදු වෙනවා. බැංකු හා මූල්‍ය කටයුතු බොහෝදුරට ක‍්‍රියාත්මක වෙනවා. ග‍්‍රාමීයව සිද්ධ වෙන සංවර්ධන ක‍්‍රියාකාරකම් එහෙමත් සිදු වෙනවා. කර්මාන්තවලට, කෘෂිකර්මාන්තයට ලැබිච්ච සහන නිසා ඒවා නිසි පරිදි ක‍්‍රියාත්මක වෙනවා. හැබැයි ඉතින් මේ වෙලාවේ යම් යම් නීති විරෝධී වැඩ කටයුතු හිස ඔසවමින් තිබෙන බව පැහැදිලි වෙනවා.’’ සිදුවී තිබෙන දේවල් ගැන විස්තර කළා මිස තවදුරටත් ඉදිරියට රට වසා තැබිය යුතුය ද නැද්ද කියා බැසිල් උත්තර දෙන්නට ගියේ නැත.

ඉන් පසුව ජනාධිපතිවරයා හමුදාපති දෙසට හැරෙමින් රටපුරා එන්නත්කරණ මධ්‍යස්ථාන පිළිබඳ ගණන් හිලව් විමසා බලන්නට විය.

‘‘දවසකට අපි එන්නත්කරණ මධ්‍යස්ථාන 450 – 500ත් අතර ගාණක් කරනවා. හමුදාවෙනුත් ඊයේ 37ක එන්නත්කරණය කළා. එක්තරා තැන් දෙකකදී විතරක් ප‍්‍රශ්න ඇති වුණා. නමුත් සමහරුන්ට මධ්‍යස්ථාන අතිවිශාල ප‍්‍රමාණයක් හොඳට කරලා තියෙද්දිත් පේන්නේ අර වැරදිච්ච දෙක විතරයි…”

‘‘ඒ මෙහේ හැටි. 499 ක් හොඳට කරලා 1ක් වැරදුනත් එයාලට පේන්නේ වැරදුන එක විතරයි. මාධ්‍යවලිනුත් උඩ දාගෙන පෙන්නන්නෙ අර වැරදිච්ච එක. හරියට කරපු දේවල් ගැන කවුරුවත් කතා කරන්නේ නෑ…” ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

‘‘ප‍්‍රවාහනය, සත්ව උද්‍යාන වගේ දේවල් තවදුරටත් මේ පවතින තත්ත්වයෙන්ම තියාගන්න වෙනවා…” නිලධාරීන් කරුණු පැහැදිලි කළේය.

‘‘මේ දුෂ්කර තත්ත්වය යටතේ උනත් සර් ලබාදීපු සහයෝගය නිසා අපට පුළුවන් වුණා විදේශීය සංචාරකයෝ ටිකක් හරි මේ දිනවල ගෙන්න ගන්න. සංචාරකයෝ 600ක් විතර ඇවිත් තියෙනවා. ඒ ගාණ 1000ක් විතරවත් වැඩි කරගන්නයි ගන්නයි අපට ඕන”ප‍්‍රසන්න රණතුංග කීවේය.

‘‘මොනවද ප‍්‍රසන්න ඒවට මේ තත්ත්වය යටතේ ඔයාලට තියන ගැටලූ…”

”සංචාරකයෝ සල්ලි දීලා වියදම් කරගෙන එන්නේ ලොකු හෝටල්වලට විනෝද වෙන්න. ඒ උනාට මෙහෙ විනෝද වෙන්න ඉඩක් නෑ. හෝටල්වල ස්විමිං පූල්වලට බහින්න දෙන්නෑ. සමහර තැන්වල බාර් වහල දාලා. ඒ වගේ පහසුකම් සාමාන්‍යකරණය කරේ නැත්තන් සංචාරක කර්මාන්තයෙන් අපිට මුදල් බලාපොරොත්තු වෙන්න බෑ…. ප‍්‍රසන්න රණතුංග තිබෙන ගැටලූ කිහිපයක් ගැන ජනාධිපතිවරයා දැනුවත් කළේය.

ඒව ගැන නම් ප‍්‍රශ්නයක් නෑ… මං හිතන්නේ ඒවා කළ යුතුයි… අපි අපේ සෞඛ්‍ය අධ්‍යක්ෂතුමාගෙන් අහමු… අසේල කියන්න බලන්න මොනවද ඒවට තියෙන ප‍්‍රශ්න කියලා…”

‘‘එහෙම ප‍්‍රශ්නයක් නැහැ සර්… මම ඒ අදාළ අංශවලට උපදෙස් දෙන්නම් ඒ පහසුකම් ඇති කරන්න කියලා… අසේල ගුණවර්ධන කීවේය.

‘‘සංචාරක කර්මාන්තය නම් වැටෙන්න දෙන්න බෑ… ඉස්සර අපිට ඩොලර් බිලියන 5යි එකෙන් ලැබුණේ. අපි ඉලක්ක කළා බිලියන 10ක් වත් අවුරුද්දකට ලබාගන්න. නමුත් අපිට අද ආදායම බිංදුවයි. නමුත් හොඳට ඇස් ඇරලා ලෝකෙ රටවල් දිහා බලන්න. ගොඩක් රටවල් තමන්ට ආදායම් ලැබෙන මාර්ග නැතිකර

ගන්නේ නෑ. ඔය බීබීසී එකේ, පිටරට චැනල්වල මේවා ගැන හොඳ විස්තර යනවා. චුට්ටක් ඒවත් අපි බලන්න ඕන…” ජනාධිපතිවරයා දිගින් දිගටම පැහැදිලි කළේය.

‘‘එන්නත්කරණය 70% ඉක්මවලා සාර්ථක උනාම අපටත් පුළුවන් රට සාමාන්‍යකරණය කරන්න…” සෞඛ්‍ය අංශ කීවේය.

අපි දැන් පුරුදු වෙන්න ඕන කොවිඞ් එක්ක ජීවත් වෙන්න ජනාධිපති කීවේය.

සෞඛ්‍ය බලධාරීන්ට
ජනපති දුන්න රතුඑළිය

‘‘අනිත් එක සෞඛ්‍ය බලධාරීන්, සෞඛ්‍ය අංශවල උගත් වෛද්‍යවරු කරන්න ඕන තියෙන ප‍්‍රශ්න ටික ගිහිල්ලා ජනතාව ඉස්සරහ කියවන එක නෙවෙයි. ආණ්ඩුව කරන්න ඕන දේවල් ඒගොල්ල ජනතාවට ගිහින් කියලා වැඩක් නෑනේ. එහෙම අදහස් තියනවා නං ඒව මට ඇවිල්ල කියන්න ඕන. මම ඕනම වෙලාවක ඒ උපදෙස් අහන්න කැමතියි. රජයට කියන්න ඕන ටික ගිහිල්ලා මේවා වෙන්නේ නෑ කියලා මිනිස්සුන්ට කියනකොට මිනිස්සු නිකම්ම බය වෙනවා. රට වහන්නෙයි කියන එක වුණත් මේ වගේ කමිටුවකට ඇවිල්ල කියන්නැතුව ජනතාව ඉස්සරහට චැනල් එකකින් ගිහිල්ලා කියනකොට මිනිස්සු නිකංම කලබල වෙනවා. වැඩක් තියනවද… මිනිස්සුන්ට පුළුවන්ද රට වහන්න. රට වහන්න පුළුවන් රජයට විතරයි…” ජනාධිපතිවරයා දැඩි ලෙස කියා පෑවේය.

‘‘මිනිස්සු බය කරන්න හොඳ නෑ. මම ඒ සියලූ චැනල් එක්ක කතාබහ කරා. මම ඉල්ලූවා අපට හොඳම ටයිම් එකේ තප්පර 45 ක වෙලාවක් දෙන්න හැම නාලිකාවක්ම මිනිස්සු මෝටිවේට් කරන්න. මම කිව්වා මිනිස්සුන්ගෙ හිතේ විශ්වාසය ඇති කරන්න. මේක අපිට ජයගන්න පුළුවන් කියන එක මිනිසුන්ගේ ඔළුවලට සියුම්වම යවන්න. මිනිස්සු බය කරන වැඬේ නතර කරන්න. මට හොඳ ප‍්‍රතිචාරයක් තිබ්බා.

හැබැයි මාධ්‍යයත් එක ඉල්ලීමක් කළා. ඒගොල්ලෝ කිව්වා ආණ්ඩුවට එක තනි මතයක් නෑ. ආණ්ඩුව එකයි ඇමැතිවරු එකයි නිලධාරියෝ එකයි හැටියට විවිධ මත පළ කරන්නේ නැතුව රජයක් හැටියට එක මතයක් මාධ්‍යවලට දෙන්න කියලා.” ඩලස් අලහප්පෙරුම කීවේය.

‘‘එන්නත්කරණය ගැන ජනතාවට විශ්වාසය තහවුරු කරන්න ඕන. දැන් සමහර වගකිවයුතු අය එන්නත් ගැනීම ගැන විවිධ කතා කියන්ට පටන් අරන් තියනවා… වහාම ඒ තත්ත්වය නැති කරන්න ඕන…” බැසිල් රාජපක්ෂ කීවේය.

‘‘නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය වේගවත් වෙලා… ප‍්‍රමිතියෙන් යුතු මත්පැන් ලබාගන්න ක‍්‍රමයක් නැති උනාම ජනතාව විෂ ද්‍රව්‍ය යොදාගෙන නිපදවන නීති විරෝධී මත්පැන් හොයන් පානය කරනවා. වැරදි ක‍්‍රමවලට හදන ඇල්කොහොල් ශරීරවලට විසයි. භයානක ලෙඩ රෝග හැදෙනවා… මේ ප‍්‍රවණතාවය පාලනය කරන්නත් මොනවා හරි තියෙන්න ඕන… පොලිස්පති ලොකු පැහැදිලි කිරීමක් කළේය.

මේ අවස්ථාවේ සංචාරක මණ්ඩලයේ සභාපතිනිය කතා කරමින් අලූත් කතාවක් කීවාය.

‘‘පිටරටවල්වලින් පවුල් පිටින් එන සංචාරකයෝ ඒගොල්ලන්ගෙ කුඩා දරුවන්ව පී සී ආර් කරන එක ගැන සතුටු නෑ. ඒ වෙනුවට වෙනත් සිස්ටම් එකක් ්චචකහ කරන්න බැරිද…”

අසේල… බලන්න ලෝකයේ දියුණු රටවල්වල මේ පොඩි ළමයින්ගේ රෝග විනිශ්චය වෙනුවෙන් කරන දේවල් මොනවද කියලා…”

‘‘ ඕක මමත් කලින් කිව්වා… පුංචි දරුවන්ව පී සී ආර් කරන එක වැරදියි.” බැසිල් කීවේය.

‘‘මේ අය වෙනුවෙන් වෙනත් විධික‍්‍රමයක් අනුගමනය කරන්න පුළුවන්ද කියලා තාක්ෂණික කමිටුවක් එක්ක කතා කරලා බලන්න” ජනාධිපති කීවේය.

‘‘ඒකෙ ප‍්‍රශ්නයක් නෑ… අපට පුළුවන් ඒ ගැන ටිකක් වැඩිපුර අවධානය යොමු කරල හොයල බලල හොඳම දේ කරන්න…” කෙහෙලිය උත්තර දුන්නේය.

‘‘සංචාරකයන් හැටියට පිටරට ඉඳලා එන අයගෙන්

1%ක් වත් positive වෙලා නෑ… අපි මේ විදියට පී සී ආර් කරනකොට සංචාරකයෝ පවුල් පිටින් එන එක නතර වෙනවා. නමුත් එයාල පවුල් පිටින් එන එක තමයි අපට වාසිදායක” ප‍්‍රසන්න රණතුංග පෙන්වා දුන්නේය.

‘‘කෝ…. මෙතන ඇවිල්ල ඉන්නවා අපේ පළාත් මට්ටමේ සෞඛ්‍ය බලධාරීන්…. එක්කෙනෙක්වත් කට ඇරලා මුකුත් කියන්නේ නෑ නේ… ටිකක් කතා කරන්න…” ජනාධිපති කීවේය.

මධ්‍යම පළාතේ සෞඛ්‍ය බලධාරියා කතා කරමින් එන්නත්කරණය අගය කළේය. එය ඉතා විශ්වාසදායක ලෙස කඩිනමින් කරගෙන යෑම තුළ දැන් එම පළාත්වල රෝගය පැතිරයෑමේ අවදානම ටික ටික පහව යමින් තිබෙන බව ඔහු කීවේය.

ස්පුට්නික් එන්නතේ යම්කිසි කොටසක් හිඟව තිබීම ගැන මෙහිදී කරුණු සාකච්ඡා විය.

‘‘ඔබතුමා කියනවා හිඟයි කියලා… ඒ අතරේ මට අහන්න ලැබුණා ස්පුට්නික් එන්නත විදිනවා…. එන්න ඇවිත් විදගන්න කියලා සමහරුන්ට මැසේජ් ගිහිල්ලා…. බැසිල් මධ්‍යම සෞඛ්‍ය බලධාරීන් ගෙන් ඇසීය.

‘‘ඒ දෙවැනි මාත‍්‍රාව… කොහොමටත් දෙවැනි වාර්තාව සඳහා එන්නත් අපි ඉතුරු කරගෙනයි හිටියේ.”

බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා මෙහිදී පෙන්වා දුන්නේ ජංගම එන්නත්කරණ මධ්‍යස්ථාන මගින් වැඩිහිටි අය සොයමින් ගෙයින් ගෙට ගොස් එන්නත් කිරීමේ වැඩසටහන සාර්ථක වූ ආකාරය ගැනය.

කොවිඞ් හැදුන රෝගීන්ගේ පවුල්වල අයට ආහාරපාන ලබාදීම සඳහා ඇති වැඩපිළිවෙළ තුළ තිබෙන මදි පාඩු ගැන ප‍්‍රසන්න ගුණසේන අදහස් දක්වන්නට විය. දේශපාලනඥයෝ ප‍්‍රාදේශීය මට්ටමින් මැදිහත් වී ඒවාට අවශ්‍ය පිළියම් යෙදිය යුතු බව ඔහුගේ අදහස විය. ඉන්පසුව විශේෂඥ වෛද්‍ය දොස්තර පාදෙණිය කතා කළේය.

‘‘අපේ රටේ කුඩා දරුවෝ මිලියන දෙකක් විතර තමයි ඉන්නේ. ඇත්තම කියනවා නම් අපි තවම තීන්දු කරලා නැහැ කුඩා ළමයින්ට හරියටම හරියන එන්නත මොකක්ද කියන එක. විශේෂඥ කමිටු හා තාක්ෂණ කමිටු රැස් කරලා අපි මේ ගැන ඉක්මන් තීන්දුවක් ගත යුතුයි. පාසල් දරුවන්ට මොඩර්නාද ෆයිසර් ද මොකක්ද දෙන්නේ කියලා… මොකද මම ඉන්න රෝහලේත් කොවිඞ් හැදුණ දරුවෝ 105 දෙනෙක් පමණ ඉන්නවා. 18 දෙනෙක් දැනට මැරිලා තියෙනවා. පුංචි දරුවෝ මියයන එක අපි හැමෝටම වාවගන්න බැරි සංවේදී කාරණාවක්.”

‘‘හරි ඉතිං… ඩොක්ටර්ස්ලා විශේෂඥයෝ හැටියට එකතුවෙලා සාකච්ඡා කරලා තාක්ෂණික කමිටුවත් එක්ක එකට වාඩි වෙලා තීන්දුවක් ගන්න. මොකක්ද වඩාත් හොඳ එන්නත කියලා තීරණය කරන්න… ඊට පස්සේ අපිට පුළුවන් තීන්දුවක් ගන්න.”

ඉන් පසුව කතාබහට ලක් වූයේ ප‍්‍රාදේශීය වශයෙන් එන්නත්කරණ මධ්‍යස්ථානවල ඇතිවන පොඩි පොඩි අර්බුද ගැනය.

‘‘පිට පළාත්වල රෝහල්වලට අවශ්‍ය ප‍්‍රමාණයට එන්නත් ගණන් බලලා යැව්වා නම් ඔය අඩුපාඩු වෙන්නේ නෑ… මෙතන වෙන්නේ එන්නත් 500ක් විතර යවනවා… ඒක ගහගන්න ගමේ මිනිස්සු දාහක් 5000ක් විතර එතැනට එනවා. ඔතනයි ප‍්‍රශ්නේ තියෙන්නේ…” දොස්තර පාදෙනිය විස්තර කළේ ය.

‘‘ඉස්සර යුද්ධය තිබුණ කාලේ මාධ්‍ය ඔක්කොම එකතුවෙලා මිනිසුන්ගේ මොරාල් එක හදන්න ලොකු සේවය කළා. හැබැයි අද ඒ සපෝට් එක මාධ්‍යවලින් නෑ. විනාඩි විස්සක් විතර තියෙන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය ඇතුළෙ විනාඩි හතරක් විතර ඒගොල්ල පෙන්නනව එන්නත්කරණ මධ්‍යස්ථානයක පුංචි ගෝරියක්… මේ මාධ්‍ය මෙහෙයුම් ගැන මීට වඩා හිතන්න වෙනවා…” රෝහිත අබේගුණවර්ධන කීවේය.

උතුරු නැගෙනහිර පළාත්වල සෞඛ්‍ය අධ්‍යක්ෂවරු ඔවුන්ගේ පළාත්වල රෝහල්වලට ඇති අඩුපාඩු ගැන කරුණු දක්වන්නට වූහ. විශේෂයෙන්ම දැඩි සත්කාර ඒකකවල තිබෙන අඩුපාඩු හා ගිලන් රථවල අඩුපාඩු ගැන කරුණු රාශියක් සාකච්ඡාවට ලක්විය. හුඟක් අඩුපාඩුවලට විසඳුමක් ලෙස නිවෙස්වල තබා රෝගීන් බලා ගැනීමේ ක‍්‍රමය තවදුරටත් දියුණු කළ යුතු බව වෛද්‍යවරුන්ගේ අදහස වූහ. ජනාධිපතිවරයා ඒ ගැන කීවේ හෝම් කෙයා සිස්ටම් එක තව පුළුල් කරන්න යැයි කියාය. ඒ පිළිබඳ දොස්තර පාදෙණිය ද කරුණු කීවේය.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා සිසිර ජයකොඩි ඇමැතිවරයා අමතමින් ඔහුගෙන් ආයුර්වේද රෝහල්වල ව්‍යාපෘති ගැන විමසා සිටියේය. විශේෂයෙන්ම ජනතාවගේ ප‍්‍රතිශක්තිකරණය වැඩි කිරීම් සඳහා ආයුර්වේදය විසින් ලබා දෙන ඖෂධ මංජුසාවේ බෙදාහැරීම් කටයුතුවල ප‍්‍රගතිය විමසා බැලිය. ඒ අයුරින් පසුගිය සතියේ කොවිඞ් පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ සාකච්ඡාවේ වැඩකටයුතු අවසන් විය. කෙසේ වෙතත් අවසානයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හා සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි ඉල්ලීම් පිට තවත් සතියකින් රට වැසීම දීර්ඝ කරන්නට ජනාධිපතිවරයා ඇතුළු විශේෂ කමිටුව එකඟ විය. මේ වෙලාවේ රට වසා දැමීමෙන් මේ වන විට අත්පත් කරගෙන සිටිනු ලබන ජයග‍්‍රහණ තවදුරටත් අර්ථවත් කිරීම සඳහා තවත් සතියකින් රට වසා තැබීම දීර්ඝ කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ අදහස වූහ.

නිමල්ගේ උපන් දිනේට
දිනේෂ් දුන්න තෑග්ග

පාර වසා වාහන අටකින් ගිය ඇමති කවුද? මම නෙමෙයි- බැසිල් - මමත් නෙමෙයි- ඩලස්

පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභා රැස්වීමක්ද පැවැත්විණි. ”මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප‍්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව” පසුගිය සතියේ අවස්ථා දෙකකදී පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූයේ එහි සභාපති, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

පසුගිය සඳුදා(06) පාර්ලිමේන්තුවේ කමිටු අංක 02හි විශේෂ කාරක සභාව රැස්වූ අවස්ථාවේ කරුණු ඉදිරිපත් කළේ දේශ විමුක්ති ජනතා පක්ෂයයි. ඔවුන් කරුණු දැක්වීමෙන් අනතුරුව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා…

”මම සභාපති හැටියට මූලාසනය දැරුවට, අද මම වෙනත් කෙනෙක්ව මූලාසනයට කැඳවනවා.”

එසේ කියමින් එහි සිටි කාරක සභාවේ සාමාජික අමාත්‍ය නිමල් සිරිපාල දෙසට හැරුණු දිනේෂ් අමාත්‍යවරයා ඔහුට මූලාසනයට ආරාධනා කළේය. ඔහු නැගිට පැමිණෙන විට අමාත්‍ය දිනේෂ්, හෙළි කළ කරුණ තවත් විශේෂ විය.

”අද නිමල් ඇමැතිතුමාගේ උපන් දිනය.”

එය ඇසූ කාරක සභා සාමාජික මන්ත‍්‍රීවරයෙක් ”උපන් දින තෑග්ගක්” යැයි කීය.

පසුව සභානායකවරයා වෙනත් කටයුත්තකට කාරක සභාවෙන් ඉවතට ගිය අතර, මහජන එක්සත් පෙරමුණ හා ඊ පී ඞී පී සංවිධානය කරුණු දැක්වූයේ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා කාරක සභාවේ මූලාසනයේ සිටියදීය.

මහජන එක්සත් පෙරමුණේ උප සභාපති රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි කරුණු දැක්වීම ආරම්භ කළේ ම චෝදනාවක් එල්ල කරමිනි. ඔහු කියා සිටියේ ”කලින් පළාත් ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීමේදී, පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ එහි කරුණු ක්ෂණික වෙනස්කම් කළ නිසා තමයි පසුගිය පළාත් පාලන ඡන්ද ක‍්‍රමය විකෘති වුණේ.”

”යම් ඡන්දයක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පවතී නම් එම සියලූ මැතිවරණ නියමිත කාලයේදී පැවැත්වීම අවශ්‍යයෙන් ම කළ යුතුයි. ඒ අනුව පළාත් සභා ඡන්දය පැවැත්විය යුතුයි. තරුණ නියෝජනය වැඩි කළ යුතුයි” ම.එ.පෙ. නියෝජ්‍ය ලේකම් යදාමිණි ගුණවර්ධන පෙන්වා දුන් කරුණ ද කාරක සභා සාමාජිකයන්ගේ අවධානයට ලක්විය.

එක්සත් ජාතික පක්ෂය කරුණු ඉදිරිපත් කළේ අඟහරුවාදායි. ඊට හිටපු අමාත්‍ය සාගල රත්නායක ද එක්ව සිටියේය. ”පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා පොදු මැතිවරණ ක‍්‍රමයක් හඳුන්වා දිය යුතුයි” ඔහු සඳහන් කළේය.

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ පසුගිය දිනවල සමගි ජන බලවේගයේ සෙසු පක්ෂවල නායකයෝ කීපදෙනකු සමගම දේශපාලනමය කාරණා මත සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබුණැයි පසුගිය දිනවල දේශපාලන ලෝකයේ කතාබහක් පැතිර ගියේය. සැබැවින්ම සමගි ජන බලවේගයේ හරීන් ප‍්‍රනාන්දු සමඟ මීට පෙර අවස්ථා කිහිපයකදීම එජාප නායකයා කතාබහ කර තිබිණි. ඊට අමතරව පසුගිය දිනක කඳුරට ප‍්‍රදේශයේ ප‍්‍රබල දේශපාලනඥයකු වන දිගම්බරන් ද රනිල් වික‍්‍රමසිංහ හමුවන්නට ගිය බව වාර්තා විය. මුස්ලිම් කොන්ග‍්‍රසයේ නායක රවුෆ් හකීම් සමග ද දේශපාලනමය වශයෙන් රනිල්ට ලොකු සම්බන්ධතා රැසක් තිබේ. රනිල් තනි මන්ත‍්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ සිටියත් ඔහුට සහාය දෙන සැලකිය යුතු කණ්ඩායමක් මේ වන විටත් සමගි ජන බලවේගයේ සිටින බව එජාපයට හිතවත් පාර්ශ්වවල අය මෙන්ම හිටපු මන්ත‍්‍රීවරු ගණනාවක්ම පසුගිය දිනවල යම් යම් තැන්වලදී අදහස් දක්වා තිබුණි.

රනිල් මේ අය හමුවෙමින් නිතර නිතර කුඩා පක්ෂවල නායකයින් සමඟ සාකච්ඡා කරමින් තනිවම පාර්ලිමේන්තු දේශපාලනයක් කරමින් අනාගතය දෙස කෙබඳු බලාපොරොත්තුවක් සහිතව සිටින අයෙක් විය හැකිද…

එය මේ දිනවල සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන් අතර ද කතාබහට ලක් වූ මාතෘකාවක් විය. කතාබහට ලක්වූවා පමණක් නොව, ඔහු මේ දිනවල කරන්නේ මොනවාද කියා සොයා බලන්නටද සමගි ජන බලවේගයට එයම හේතුවක් ව තිබිණි.

පක්ෂ සම්මේලනය පැවැත්වීමෙන් පසු නව ජවයකින් යුතුව දේශපාලන කරළිය දෙස බැලූ රනිල් ඉදිරි වැඩ කටයුතු කරගෙන යෑම සම්බන්ධයෙන් ලොකු අවධානයක් යොමු කළේය.

සමුළුවෙන් පසු නායකයා හා පක්ෂ ක‍්‍රියාකාරීන් පළමුවරට සූම් තාක්ෂණය ඔස්සේ මුණ ගැසුණේ ඉකුත් අඟහරුවාදාය. එක් කණ්ඩායමක් ලෙස පක්ෂ සංවත්සරය ඉතා ඉහළින් සැමරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් නායකයා සියලූ දෙනාට ස්තූතිය පුද කළේය.

”අපි සැලසුම් කළ ආකාරයටම සාමාජිකයන් බඳවා ගැනීමේ කටයුතුත්, ඔන්ලයින් සමුළු 75 ත් පවත්වන්න ඕනා. එය ඉතා ඉක්මනින් පවත්වන්න කටයුතු කරන්න.” නායකයා පිරිසට උපදෙස් දුන්නේය.

”සාමාජිකයන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් අලූතින් බැංකු ගිණුමක් විවෘත කරන්න වෙනවා. මොකද මේක ඔන්ලයින් බඳවා ගැනීමක්නේ. මේ සතියේ සිරිකොතට පිරිස කැඳවන්නේ නැති නිසා ලබන සතියේ ඔවුන් ආවහම මේ වැඩපිළිවෙළ අවසන් කරන්න පුළුවන් වෙයි.” මහලේකම් රංගේ කරුණු පැහැදිලි කළේය.

”නායකතුමා ඉදිරිපත් කළ සිව් වැදෑරුම් වැඩපිළිවෙළ අපි සමාජ කතිකාවක් කරගන්න ඕනේ. ඒ වෙනුවෙන් අලූත් වැඩසටහන් ලැහැස්ති කරන්න අපි සාකච්ඡා කරගෙන යනවා.” නියෝජ්‍ය නායක රුවන් කීවේ ඉදිරි වැඩසටහන් ගැන කරුණු ඉදිරිපත් කරමිනි.

”සම්මන්ත‍්‍රණ 75 න් එන කරුණුත් අරගෙන අපට මේ වැඩපිළිවෙළ ඉදිරියට අරගෙන යන්න පුළුවන්.” වජිර ද කතාවට එකතු වූවේ එලෙසිනි.

”ජාතික ප‍්‍රතිපත්ති කේන්ද්‍රයක් ආරම්භ කරන්න ඕනේ. මොකද මගේ කතාවෙදි මම කිව්වා යකඩ ප‍්‍රතිපත්තියක් හදනවා කියලා. ඒ වෙනස් නොවන යකඩ ප‍්‍රතිපත්තිය හදන්න අපිට හැම කෙනාගේම අදහස් ඕන වෙනවා. රටට ගැලපෙන ජාතික ප‍්‍රතිපත්තියකට යන්න නම් හැමෝගෙම අදහස් අරගෙන පුළුල් ප‍්‍රතිපත්තියක් සකස් කරන්න ඕනේ. ඒ සකස් කළ ප‍්‍රතිපත්තිය ඊට පස්සේ සමාජ කතාවකට යොමු කරන්න පුළුවන්. මේ සියල්ල අපිට කරන්න වෙන්නේ ඔන්ලයින් ක‍්‍රමයට. ඒ වෙනුවෙන් ක‍්‍රමවේදයක් සකස් කරන්න.” නායකයා සිය අලූත් වැඩපිළිවෙළ ගැන දීර්ඝ විස්තරයක් කළේය.

එක්සත් ජාතික පක්ෂය යටතේ පැවැති ජාතික වතුකම්කරු සංගමයේ පරිපාලන කටයුතුවලට එරෙහිව ඉකුත් වසරේ පක්ෂයෙන් කැඞී ගිය කණ්ඩායමක් විසින් අධිකරණයෙන් තහනම් නියෝගයක් ගෙන තිබුණි. එම නඩු විභාගය අතරවාරයේ පක්ෂය ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය එම තහනම් නියෝගය ඉවත් කරමින් ජාතික වතු කම්කරු සංගමයේ පරිපාලනය නැවත පක්ෂයට පැවරුවේය. ජාතික වතු කම්කරු
සංගමයේ කටයුතු ඒ අනුව නැවත ආරම්භ කරන්නැයි නියෝජ්‍ය නායක රුවන්ට, ජාතික සංවිධායක නවීන්ට හා වතු කම්කරු සංගමයේ ලේකම් ලෙස පත් කර සිටි ආර්. යෝගරාජන්ට නායකයා උපදෙස් දුන්නේය.

පිරිස ඉකුත් බදාදා රාජගිරියේ පිහිටි ජාතික වතු කම්කරු මූලස්ථානයට ගොස් එහි සේවකයන් සමග සාකච්ඡා කොට ඉදිරි වැඩකටයුතු ආරම්භ කළහ.

නවීන් හා රුවන් ඉන් පිටව ගිය පසු එම ස්ථානයට පැමිණි වතු කම්කරු සංගමයේ හිටපු ලේකම් වඩිවෙල් සූරේෂ් එහි සිටි යෝගරාජන්ගේ කාර්ය මණ්ඩලයට තර්ජනය කර තිබුණේ සිය ගිනි අවිය ද පිටතට ගනිමිනි. සිද්ධිය සැලවූ වහාම යෝගරාජන් රුවන්ටත්, නවීන්ටත් වූ දේ කීවේය. ඔවුන් උපදෙස් දුන්නේ වහාම සිද්ධිය පොලිසියට පැමිණිලි කරන ලෙසය.

ඒ අනුව යෝගරාජන් වහාම වැලිකඩ පොලිසියට ගොස් සිද්ධිය ගැන පැමිණිලි කර තිබුණි. පසුව දෙපාර්ශ්වය සාකච්ඡා කොට සමථයකට පැමිණියහ.

සූම් තාක්ෂණය ඔස්සේ ඉකුත් බ‍්‍රහස්පතින්දා නායකයා ඇතුළු පිරිස සාකච්ඡා කළේ පවතින දේශපාලන වාතාවරණය ගැනය.

”කොවිඞ් ප‍්‍රශ්නය බොහොම බරපතලයි. ජී.එම්. ඕ. එකත් දැන් රජයේ කොවිඞ් මර්දන වැඩපිළිවෙළට විරෝධය පළ කරනවා. ඒ අස්සේ සංචාරකයෝ ගේන්නත් ආණ්ඩුව වැඩ කරනවා රට වහලා කිව්වට හැමෝම පාරේ.” සංදිත් සමරසිංහ කතාව ආරම්භ කළේ එලෙසිනි.

අශෝක අබේසිංහ ගැන
රහසක් හෙළිවෙලා

පසුගිය සතියේ පාර්ලිමේන්තුව පැවැතුණත් පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසා මන්ත‍්‍රීවරුන්ගේ ඇවතුම් පැවතුම්වල ලොකු වෙනසක් දක්නට ලැබිණි. වෙන දා මෙන් ආලින්දවල සිට කතාබහ කිරීම මෙන්ම භෝජනාගාරයේ මේස වටකරගෙන සාකච්ඡා කිරීම් මෙවර සුලබ දසුන් නොවීය. එම නිසා පුවත්පත්වල ටදිිසච පුරවන්නට හැකි කතාවන් ද මේ දිනවල බොහෝ සේ හිඟ විය. කෙසේ වෙතත් විපක්ෂයේ මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක් පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ හමු වූ අවස්ථාවේ අවධානය යොමු කරමින් කතා කරන ලද කාරණාවක් විය. ඒ වූකලී එක්සත් ජාතික පක්ෂයේ අනාගතයයි. එජාප නායක රනිල් නිතර නිතර පාර්ලිමේන්තුවේ සිටින සෙසු පක්ෂවල නායකයන් හමුවෙමින් කතාබහ කරමින් ඉදිරියේ දී සැලසුම් කරමින් ඒ කුමක්දැයි කියා බොහෝ දෙනෙකුට ප‍්‍රශ්න තිබිණි. ඔවුන් කතාබහ කළේ ඒ මාතෘකාව ගැනය.

සමගි ජන බලවේගයේ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම මේ සතියේ ද පැවැත්වුණේ සූම් ක‍්‍රමයටය. රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, ගයන්ත කරුණාතිලක සහ අශෝක අබේසිංහ යන මන්ත‍්‍රීවරු කල් ඇතිවම රැස්වීමට එක්ව සිටියහ. අශෝක අබේසිංහ මන්ත‍්‍රීවරයා එයට එක්ව සිටියේ ලස්සන කමීසයක් ඇඳගෙනය.

”අශෝක අද මඟුල් ගෙදරක යන්නද ලෑස්තිවෙලා ඉන්නේ. අශෝක අබේසිංහ මන්ත‍්‍රීවරයාගේ කමීසය දුටු සරත් ෆොන්සේකා ඇසුවේය.

”නෑ… නෑ… මම මේ මීටිං එකට තමයි ආවේ. අශෝක පිළිතුරු දුන්නේය.

”ඉතිං සූම් මීටිං එකක් නේ තියෙන්නේ’ ෆොන්සේකා සිහිපත් කළේය.

”අශෝක ඉතිං ගෙදරටත් ලස්සනට ඇඳලනේ ඉන්නේ’ ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයාත් කතාවට එක්විය.

”මම ඉතිං ලස්සනට කොල්ල වගේ ඇඳලා ඉන්නවානේ.’ අශෝක කීවේය.

”ඒක නිසා තමයි අශෝකට නෝන වැඩිය ගෙදරින් එළියට යන්න දෙන්නේ නැත්තේ’’ ෆොන්සේකා කීවේ සියල්ලෝම සිනා ගන්වමිනි.

ඒ අතරම මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරත් සාකච්ඡාවට ආවේය.

”මේ ඉන්නේ අනිත් කෙනා’’ ෆොන්සේකා කියන විට මහලේකම්වරයත් මොකක්ද කියන්නේ කියා වට පිට බලන්න විය.

”ඔබතුමාටත් වැඩිය එළියට යන්න දෙන්නේ නෑලූනේ. ලස්සනට ඉන්න නිසා නෝන යන්න දෙන්නේ නෑ කියන්නේ’’ ෆොන්සේකා කියන විට සියල්ලෝම සිනාසෙන්නට වූහ. මේ විහිළු කතාබහ අතරේ සියලූ දෙනාම සූම් සාකච්ඡාවට ඇතුළුවූයේ සූම් සාකච්ඡාවලදී විඳින්නට සිදුවන අකරතැබ්බයන් ගැනද සිහිපත් කරමිනි.

ඇතැම් විට සමහරුන්ට තමන්ගේ මයික‍්‍රපෝන නිහඬ කරගැනීමට අමතක වන අතර එවිට ගෙදර සියලූ දෙනාම කතා කරන දේවල් අනෙක් අයටද ඇසෙන්නේය. බොහෝ විට මේ අකරතැබ්බයට මුහුණ දෙන්නේ තුෂාර ඉඳුනිල් මන්ත‍්‍රීවරයා ය.

පාර වසා ගිය ඇමැතිව
ජනාධිපති සොයනවලූ…

2022 අයවැය සඳහා සූදානම් වන මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඊට අදාළ මාධ්‍ය ක්ෂේත‍්‍රයේ තොරතුරු සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප‍්‍රධානීන්ගේ හමුවක් කැඳවනු ලැබීය. සිකුරාදා උදේ මුදල් අමාත්‍යාංශයේ දී එම හමුව පැවැත්විණි. ජනමාධ්‍ය අමාත්‍ය ඩලස්, මුදල් ලේකම් හා ජනමාධ්‍ය ලේකම් ද මේ සඳහා පැමිණ සිටියහ.

”අපි මේ පාර ඉදිරිපත් කරන්නේ කර්මාන්ත නගාසිටුවීමේ අයවැයක්. කර්මාන්ත නගා සිටුවීම තුළින් ආර්ථික සංවර්ධනය තමයි අපි ඉලක්කය…”

මෙසේ කතාබහ ආරම්භ කළ ඇමතිවරයා ඉන්පසුව සුභවාදීව මෙම කොවිඞ් වසංගතයෙන් පසුව රට ගොඩනගන ආකාරය ගැන ද සාකච්ඡා කළේය…

”කොවිඞ් සුවපත් කරන්න පුළුවන් වේවි. හැබැයි කොවිඞ් නිසා බිඳ වැටුණ ජනතාවගේ මානසිකත්වය සුවපත් කරන්න ගොඩක් කල්යාවි. මේ ගෙදර දරුවා අල්ලපු ගෙදර දරුවා එක්ක සෙල්ලම් කරන්නෙ වත් නැති සමාජයක් තමයි දැන් දැන් නිර්මාණය වෙලා තියෙන්නේ…”

මේ අයුරින් කතාබස් කරමින් සිටින අතරවාරයේ බැසිල් හරි අපූරු කතාවක් කීවේ ජනාධිපතිතුමා පසුගිය දිනක මුහුණ පෑ සිදුවීමක් ගැන ය…

”ජනාධිපතිතුමා කොහේදෝ ගමනක් ගිහින් එනවා. එනකොට කලර් ලයිට් තියන හතරමං හන්දියක එකපැත්තක පාර වහලා. අනිත් පැත්තට විතරක් පාර ඇරලා… මේ වගේ දේවල් දැක්කහම එතුමට කේන්ති යනවා…’

ඇයි මේ විදිහට මට යන්න පාරවල්වල පැත්තක් වහන්නේ කියලා ජනාධිපතිතුමා ආරක්ෂක නිලධාරීන්ට හොඳටම බැන්නාලූ?..” ඒත් පාර වහන්න කියලා නිලධාරීන් කියලා නෑ. නමුත් නිලධාරීන් බැණුම් අහගෙනම ගිහිල්ලා වෙලා තිබුණෙ මොකක්ද කියලා හොයාගෙන ජනාධිපතිතුමාට කියලා.

බැලින්නම් ජනාධිපතිතුමා එන්න මොහොතකට කලින් එතනින් අපේ ඇමැති කෙනෙක් ගිහින්. එක දිගට වාහන අටයිලූ. ඒකට තමයි පාර වස්සවලා තියෙන්නෙ…”

”ඇත්තටම එහෙම උනාම මිනිස්සු බණින්නේ ජනාධිපතිතුමාට… කවුද ඉතින් ඒ ගිය ඇමැති…”

”ඔන්න මම නං නෙමෙයි…” බැසිල් කීවේය.

”ඔන්න මමත් නෙවෙයි…” ඩලසුත් කීවේය. සියල්ලෝම හඬනගා සිනාසෙන්නට පටන් ගත්හ.

මේ අතර ගුවන් විදුලිය වෙනුවෙන් සභාපති හඞ්සන් සමරසිංහ ලොකු අවනඩුවක් කියන්නට පටන් ගත්තේය.

”මේවා ගොඩ ගන්න බැරි විදියට වට්ටලා තියෙන්නෙ. මේ පාපෙට කරගහලා මමත් දැන් මාස දෙකක් වෙනවා…”

”මටත් ඕකමනේ වෙලා තියෙන්නේ… මමත් මේකට කර ගහලා මාස දෙකයි දවසයි. ඔබට වඩා දවසයි වැඩි. නමුත් ඉතින් මම නං මේක කරුමයක් හැටියට සලකන්නෙ නෑ. මේ ආර්ථිකය නගා සිටුවන්න අපි අපිට පුළුවන් හැම දෙයක්ම කරනවා. මේවා අභියෝග. අභියෝග දමල පැනලා දුවන්න අපිට බැහැ…

අනිත් එක තමයි ආයතනයක් කරනකොට හොයන්න ඕන සේවකයෝ ඉන්නේ සතුටින් ද කියලා. සේවකයෝ සතුටින් නැති කිසිම ආයතනයක් දියුණු වෙන්නේ නෑ…” බැසිල් හොඳ අවවාදාත්මක කතාවක් කළේය.

මුවවැසුම් නොදමන
රුසියානු පුරවැසියෝ

පාර වසා වාහන අටකින් ගිය ඇමති කවුද? මම නෙමෙයි- බැසිල් - මමත් නෙමෙයි- ඩලස්

සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග හා විදේශ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු දූත කණ්ඩායමක් පසුගිය සතියේ රුසියාව බලා පිටත්ව ගියේ සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහනකට සහභාගි වීමටයි. වසරකට වැඩි කාලයක් මෙවැනි වැඩසටහන්වලට සහභාගී නොවී රටක් වශයෙන් තවදුරටත් හුදකලා වී පැවතීම කළ නොහැකි දෙයකි. මේ නිසා සංචාරක සංවර්ධන අධිකාරිය ඉදිරියේ දී පැවැත්වෙන සෑම සංචාරක අලෙවි ප‍්‍රදර්ශනයකට රට වෙනුවෙන් පෙර පරිදි සහභාගි වීමට තීරණය කර තිබේ. මාස්ක් නොපලඳින නිදහසේ සිය කටයුතුවල යෙදෙන රුසියානු ජනතාව දුටු සංචාරක අමාත්‍යවරයා මවිතයට පත්විය. රුසියාවේ පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණි වහාම අමාත්‍යවරයා මේ පිළිබඳව විමසීය.

”මෙහෙ කොවිඞ් මර්දන කටයුතු සෞඛ්‍ය අංශ කරනවා. එහෙම උනා කියලා ජනතාවගේ එදිනෙදා කටයුතු නැවතිලා නැහැ.” තානාපති කාර්යාල නිලධාරියෙක් පැහැදිලි කළේය.

පසුදින රුසියානු මාධ්‍යවේදීන් හා සංචාරක අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡා පැවැත්වීමට පෙර රුසියාවේ සෞඛ්‍ය නීති රීති පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා සහ සංචාරක අමාත්‍යවරයා අතර කතා බහක් ඇති විය.

”අපේ රටේ වගේ නෙමෙයි. මෙහෙ මිනිස්සු මාස්ක් එක දාන්නෙ නැහැ. සමහර මිනිස්සු හැසිරෙන්නේ ලෝකයේ වසංගතයක් නැහැ වගේ ” ප‍්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කීවේය.

”අපේ රට සෞඛ්‍ය නීතිරීති දැඩි කළාට අනෙක් රටවල දැන් ඒ තත්ත්වය දකින්න ලැබෙන්නේ නැහැ. ඒ රටවල් ෆුල් ඕපන්” තාරක බාලසූරිය රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

”මිනිස්සු කොරෝනා එක්ක ජීවත් වෙන්න පුරුදු වෙනවා” ප‍්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ද කීය.

මාධ්‍ය හමුව ආරම්භ වීමෙන් අනතුරුව රුසියානු මාධ්‍යවේදියෙක් ”ඔබේ රටේ සෞඛ්‍ය නීති රීති දැඩි නේද” විමසීය.

”ඔව් අපේ රටේ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂාවට මූලිකත්වය දීලා තියෙනවා. අපි පළමුව එන්නත් කරන වැඩපිළිවෙළ සම්පූර්ණ කර ගන්නවා. ඊට පස්සේ දැනට තියෙන සීමාකිරීම් ලිහිල් කරන්න සූදානම්.” සංචාරක අමාත්‍යවරයා පිළිතුරු දුන්නේ ය.

”ඇත්තටම ඒක හොඳයි. ලංකාව කියන්නේ හරිම ලස්සන රටක්.” මාධ්‍යවේදියා නැවතත් කීවේය.

” ඕගොල්ලො ඕන වෙලාවක අපේ රටට එන්න. අපි ඕගොල්ලන්ට අපේ රටේ ලස්සන තැන් පෙන්නන්නම්.”

”ඔබේ රටේ ඔබ වැඩිපුරම ආසා කරන්නේ මොන වගේ තැනකට ද” තවත් රුසියානු මාධ්‍යවේදියෙක් අමාත්‍යවරයා ගෙන් විමසීය.

”සමහර රටවලට නොලැබෙන දෙයක් මගේ රටට ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මගේ රට වටේම මුහුද තියෙනවා. මුහුද අද්දරට ගියාම හරිම නිදහස්. නිදහසේ ඉන්න මම තෝරගන්නෙ මුහුද අවට පරිසරයයි. ඕගොල්ලන්ට මගේ රටට ආවම මම කියන දේවල් දැකගන්න පුළුවන්.”

එදින සවස රුසියානු සංචාර සංවිධානය කරන්නන් හා අමාත්‍යවරයා අතර තවත් සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී ද අමාත්‍යවරයා දීර්ඝ වශයෙන් පෙන්වා දුන්නේ එලැඹෙන ශීත සෘතුවේදී ශ‍්‍රී ලංකාව රුසියානු සංචාරකයින්ගේ සංචාරක ගමනාන්තයක් කරගන්නා ලෙසයි. විශේෂත්වය වන්නේ සංචාරක අමාත්‍යවරයා එහිදී රුසියානු බසින් ම ශ‍්‍රී ලංකාවේ සුන්දරත්වය දැක බලා ගැනීමට එන ලෙස ආරාධනා කිරීමයි. මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සංචාරක අමාත්‍යවරයාට දුරකථනයෙන් අමතා ”ප‍්‍රසන්න වැඬේ හොඳට යනවා නේද” විමසීය.

”ඔව් ඇමැතිතුමා. අපි ආපු වැඬේ සීයට සීයක් සාර්ථකයි. අපිට පුළුවන් ඉක්මනටම සංචාරක ව්‍යාපාරය තිබුණු තත්ත්වයට ගේන්න.”

සංචාරක අමාත්‍යවරයා පිළිතුරු දුන්නේ ය.

අය – වැයේ වැඩි අවධානය
ගම දියුණු කරන්නලූ

මෙවර අයවැය යෝජනා ගැන කතා කරන්නට හා සාකච්ඡා කරන්නට බැසිල් රාජපක්ෂ පසුගිය දිනවල දිගින් දිගටම සිය කාලය හා අවධානය යොමු කරමින් සිටියේ ය.

‘‘අපේ ගම නිර්මාණය වෙලා තියෙන්නෙ මිනිස්සුන්ට ජීවත් වෙන්න අධ්‍යාත්මිකවත් භෞතිකවත් අත්‍යවශ්‍ය සාධක එකතුවකින්.. ගමේ පංසල හෝ ආගමික සිද්ධස්ථානය, වගේ දේවල් අපි දියුණු කරන්න කැමතියි. ජනජීවිතය වඩාත් යහපත් තැනකට ඔසවා තැබීම ගැන අපි අලූතින්ම හිතන්න ඕන. ඒ වගේම අලූත් සමාජ ගැටලූ අවම කිරීම වෙනුවෙන් අපිට ලොකු වගකීමක් තියෙනවා. මෙවර අයවැයෙන් ඒ සඳහා උපරිමයෙන් ප‍්‍රතිපාදන සපයන්න ආණ්ඩුව සූදානම්…

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මේ ආරම්භය ගත්තෙ අයවැය වෙනුවෙන් ග‍්‍රාමීය යෝජනා කැඳවීම ගැන මූලික දැනුවත් කිරීම සඳහා දිස්ත‍්‍රික් මට්ටමින් කැඳවා තිබූ පොහොට්ටුවේ නියෝජිත හමුවේදීය. පසුගිය දින කිහිපයකම අරලියගහ මන්දිරයේදි පැවති මේ සාකච්ඡා වාරය එක් එක් දිස්ත‍්‍රික්ක වෙන් වෙන්ව කැඳවල තිබුණා.

‘‘ඔබතුමා මහින්ද ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙ ආර්ථික සංවර්ධන ඇමැති කාලෙ ගම වෙනුවෙන් කරපු වැඩ කන්දරාව නිසා තමයි ගම් මට්ටමින් අලූත් දේශපාලන පක්ෂයක් හදාගෙන නැවතත් ආණ්ඩු බලය දක්වාම අපිට එන්න පුළුවන් වුණේ….” ගාල්ල දිස්ත‍්‍රික් නියෝජිත හමුවේදී ඇමැති රමේශ් පතිරණ මුදල් ඇමැතිතුමා මෙසේ කීවේය.

ඇමැති රමේෂ්ගේ අදහස මුළු සභාවම අනුමත කළ බව තේරුණේ හැමෝම ගහපු අත්පුඩියෙන්.

බැසිල් රාජපක්ෂ යළි පැහැදිලි කිරීම පටන් ගත්ත.

‘‘ඔබ හරහා එන යෝජනා ගමත් එක්ක කතා කරල පොදු එකඟත්වයකට පැමිණි ගමේ ජනතාවගේ යෝජනා විය යුතුමයි. ඒවා ජීවනෝපාය, යටිතල පහසුකම්, සංස්කෘතික සහ පාරිසරික කියන සංවර්ධන ක්ෂේත‍්‍රයන් සියල්ල අතරේ සාධාරණ ලෙස බෙදී යා යුතුයි. රජයේ නිලධාරීන් සහෝදර දේශපාලන නියෝජිතයන් මේ හැමෝම එක්කම බොහොම සුහදව මේ වැඬේ ඔබ හරියට කරයි කියල මම බලාපොරොත්තු වෙනව…”

ඉන් පසුව ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ නියෝජිත හමුව බ‍්‍රහස්පතින්දා පැවැත්විණි.

”සර්… මම තඹලගමුවෙ… ති‍්‍රකුණාමලය දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් පැමිණ සිටි කණ්ඩායමේ අයෙකු බැසිල් අමතා එසේ කියද්දී ඔහු දෙස බලා ලෙන්ගතුව සිනාසෙමින් මෙසේ කීවේය.

‘‘ආ ඔව් ඔව් මම දන්නව අලූතින් පත්වුණ සභාපතිතුමනෙ… මම සුබ පතනව ඔබතුමාට…

චමල් රාජපක්ෂ මහතාට නිරන්තරයෙන් අසන්නට ලැබෙන ජනතා මැසිවිලි බොහෝය. ඒ අතර විශේෂ කාරණාවක් ලෙස පුරාවිද්‍යා භූමි අනවසරයෙන් අත්පත් කරගැනීම් හෝ පුරාවස්තු කොල්ලකෑම් කැපී පෙනෙන්නට විය.

නොබෝදා ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථාන පරිශ‍්‍රයේ සිදු වූ සංවිධානාත්මක නිධන් කොල්ලය ඇතුළුව අනාගත පරපුර සඳහා සංරක්ෂණය විය යුතු බොහෝ පුරාවිද්‍යාත්මක ස්මාරක සහ ස්ථාන ආරක්ෂා කිරීම සඳහා විශේෂ පියවර ගැනීමේ අභිලාෂයෙන් සිටි චමල් රාජපක්ෂ මහතා දීර්ඝ අධ්‍යනයකින් පසු දකුණු ලක පුරාවිද්‍යා සහ ඓතිහාසික උරුමය ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ ආයතනයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය රජයට අවධාරණය කරනු ලැබීය. ඒ අනුව ඉතාම වැදගත් අවශ්‍යතාවයන් කිහිපයක් මුල් කරගෙන ”රුහුණු සංස්කෘතික අරමුදල” නමින් ව්‍යවස්ථාපිත ආයතනයක් ගොඩ නැගීම පිළිබඳ යෝජනාව වර්තමාන සංස්කෘතික කටයුතු අමාත්‍ය ලෙස කටයුතු කරන අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කරන ලදී.

එම යෝජනාව ලැබුණු වහාම ක‍්‍රියාත්මක වූ අග‍්‍රාමාත්‍යවරයා සිය අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහතාට නියෝග කරනු ලැබුවේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා වෙත යොමු කොට රුහුණු සංස්කෘතික අරමුදල පිහිටුවීම සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාව සකසා කඩිනමින් ඉදිරිපත් කරන ලෙසය.

බුලිත ප‍්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment