බංග්ලාදේශය තුළ සිදුවූයේ ජන අරගලයක් නොව, පරම්පරාවේ විප්ලවයක් ලෙස හැඳින්වුවහොත් එය වඩාත් නිවැරදිය. සහශ්‍රකයට පෙර හා පසු දශකයන්හි උපත ලැබ දැන් කරදඬු උස්මහත් වූ යවනයන් මෙම පරම්පරාවට අයත් වෙයි. අන්ත දුගී රාජ්‍යයක සිට පියවරෙන් පියවර ඉහළට යමින් සිටි බංග්ලාදේශය සංස්කෘතිමය වශයෙන් ඉතා පොහොසත් රටකි. අද්විතීය භාෂාවකට සහ සාහිත්‍යයකට උරුමකම් කියන රටකි.

රබීන්ද්‍රනාත් තාගෝර්ලාගේ සාහිත්‍ය පරම්පරාවේ වර්තමාන නියෝජනය බෙංගාලයේ විශ්වවිද්‍යාල පද්ධතියයි. අද වන විට පහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වී ඇති බංග්ලාදේශයේ නූතන සාහිත්‍ය වේදිකාව බවට පත්ව ඇත්තේ සමාජ මාධ්‍යයයි. ඒවා ඉතා ඉක්මනින් ශිෂ්‍ය ප්‍රජාව අතර පැතිරී යයි. රජයට එරෙහි අරගලයේ කොඳු නාරටිය වූයේ බෙංගාලයේ ශිෂ්‍ය ප්‍රජාවයි. අන්තර්ජාලය, සමාජ මාධ්‍ය හා ස්මාට් දුරකථන සමග උස් මහත් වූ මෙකී තරුණ කණ්ඩායම් අතට මේ වන විට බංග්ලාදේශයේ පාලන බලය විසිරී ගොස් ඇත. දශක ගණනාවක් තිස්සේ ජාතියේ ආධිපත්‍යය දැරූ 76 හැවිරිදි ෂීක් හසීනා අගමැතිවරිය පසුකාලීනව වඩාත් අධිකාරිවාදී පාලනයක් ගෙන ගිය බව පෙනෙන්නට තිබේ. ඇයට එරෙහි තරුණ ශිෂ්‍ය ප්‍රජාවේ නැගිටීම අවසානයේ ප්‍රචණ්ඩ මුහුණුවරක් ගත් අතර එකී නැගිටීම බංග්ලාදේශය අස්ථාවර රාජ්‍යයක් බවට පත්කර ඇත.

අගමැතිනිය පලා යයි

පාලනය නිමා කළ වළලු දැමූ යකඩ හස්තය

රජයට විරුද්ධ උද්ඝෝෂණ උත්සන්න වෙද්දී සමාජ මාධ්‍ය ඔස්සේ “March to Dhaka” නමින් පාගමනක් සංවිධානය වී තිබුණි. උද්ඝෝෂකයන් මහා ජනසන්නිපාතයක් වෙමින් කෙමෙන් කෙමෙන් අගමැති මන්දිරයට ළඟා වෙත්දී පවා අගමැතිනිය තවදුරටත් බලයේ රැඳී සිටීමට උත්සාහ දැරූ බවත් උපරිම බලය යොදවා උද්ඝෝෂකයන් පාලනය කරන ලෙස හමුදාවට නියෝග දුන් බවත් වාර්තා වෙයි. මාසයක් පමණ කාලයක් තුළ විරෝධතාකරුවන් 300ක් පමණ ආරක්ෂක අංශවල වෙඩි තැබීම්වලින් ඝාතනය වී තිබූ නිසා විරෝධතා දැඩි ප්‍රචණ්ඩ ස්වරූපයක් ගෙන තිබුණි. ජනතා නැගිටීම මර්දනය කිරීමට යොදවා තිබූ පොලිස් නිලධාරීන් ප්‍රචණ්ඩ ප්‍රතිවිරෝධයකට ලක්විය. ඔවුන්ගේ දේපල ද ගිනිබත් විය. මේ නිසා පොලිසියට නීතිය හා සාමය ආරක්ෂා කිරීමෙන් බැහැරව තම ආරක්ෂාව සලසා ගැනීමට සිදුවිය. අද වන විට බංග්ලාදේශ පොලිසිය වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කර ඇත.

ජනතා කෝපය අවි ආයුධවලින් පාලනය කිරීමට නොහැකි බව තේරුම් ගත් හමුදා ප්‍රධානී වකර් උස් සමාන් අගමැතිනිය හමුවී තම තීරණය දැනුම් දුන් අතර තවදුරටත් විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට නොහැකි බව පවසා ඇත. ඛේදජනක අවසානයකට පෙර විනාඩි 45 වැනි කාලයක් තුළ ධුරයෙන් ඉවත්වන ලෙස හමුදාපතිවරයා අගමැතිනියගෙන් ඉල්ලා තිබුණි. ඇය විසින් එකී ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විට අගමැතිනියගේ සහෝදරිය ඇතුළු පවුලේ සාමාජිකයන්ට කරුණු පහදා දීමට හමුදාපතිවරයාට සිදුව තිබුණි. සති ගණනක් තිස්සේ පැවති මාරාන්තික රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලින් පසුව අවසානයේ අගමැතිනි ෂීක් හසීනා ඉල්ලා අස්වී හෙලිකොප්ටරයක නැඟී ඉන්දියාවට පලා ගියාය.

හසීනා මහත්මිය මේ වන විට එක්සත් රාජධානියේ දේශපාලන රැකවරණ බලාපොරොත්තුවෙන් සිටින බව මාධ්‍ය වාර්තා කර තිබුණි. නමුත් බි්‍රතාන්‍ය රජය ඇයගේ ඉල්ලීමට තවමත් යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත. අගමැතිනියගේ නික්ම යෑමත් සමග දහස් ගණනක් විරෝධතාකරුවන් ඩකා අගනුවර පිහිටි ඇගේ නිල නිවසට කඩා වැදී යකා නටන්නට විය. අගමැති මන්දිරයෙන් කොල්ල කෑ විදුලි උපකරණ, මේස පුටු, හට්ටි මුට්ටි පමණක් නොව අල්මාරිවල තිබූ ඇඳුම් පැළඳුම් පවා ඇඳගෙන යන බංග්ලාදේශ වැසියන්ගේ දර්ශන සජීවීව ලොව පුරා රූපවාහිනී සේවා ඔස්සේ විකාශය විය. ජල තටාකවල සිටි සුරතල් මසුන් පවා ඇඹුල් තියල් විය. අගමැතිනියගේ නික්ම යෑමත් සමග ඩකා අගනුවර වීදි පුරා ප්‍රීති ඝෝෂා ඇති විය. මේ අනුව එක දිගට වසර 15 ක් එරට පාලනය කෙරූ වළලු දැමූ යකඩ හස්තය ඉවත් විය. හසීනාගේ සම්පූර්ණ පාලන කාලය වසර 20කි. ඇයගේ පාලන කාලය තුළ බංග්ලාදේශය ස්ථාවර හා වේගවත් ආර්ථික වර්ධනයක් සහිත රාජ්‍යයක් ලෙස ඉස්මතු වුවද, සිවිල් නිදහස සීමා කිරීම සහ විරුද්ධවාදීන් මර්දනය කිරීම සම්බන්ධයෙන් ඇයගේ රෙජීමයට බරපතල චෝදනා එල්ල විය.

රට වැල්පාලමෙන් එගොඩ කරන්නේ කවුද?

විරෝධතාකරුවන් එරට පාර්ලිමේන්තුව ද අත්පත් කරගත් අතර මේ වන විට ජනාධිපති මොහමඩ් සහබුදීන් විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැර ඇත. හමුදා ප්‍රධානියාගේ මැදිහත්වීමෙන් ජනාධිපතිවරයා හා විපක්ෂ කණ්ඩායම් අතර සාකච්ඡා ආරම්භ විය. වසර 50ක කෙටි ඉතිහාසය තුළ බංග්ලාදේශය තුළ හමුදා කුමන්ත්‍රණ 30ක් පමණ සිදුවී ඇති අතර මෙවර බල පෙරළිය හමුදා කුමන්ත්‍රණයක් නොවන බව පැහැදිලිය. හමුදා ප්‍රධානියා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයකින් කටයුතු කර ඇත. ශිෂ්‍ය නායකයින්ගේ ඉල්ලීම පරිදි නොබෙල් සාම ත්‍යාගලාභී ආචාර්ය මොහමඩ් යූනුස්ගේ නායකත්වය සහිත අන්තර්වාර රජයක් මගින් බංග්ලාදේශය පාලනය වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වහාම නිවේදනය කළේය. යූනුස් මහතා මේ වන විට ප්‍රංශයේ සිට මවුබිමට පැමිණ ඇති අතර අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක තනතුරේ වැඩ භාරගත් බව වාර්තා විය. මෙය තාවකාලික අගමැති තනතුරකට සමානය. අන්තර්වාර රජයට උපදේශකයන් 16 දෙනෙකු පත්කර ඇති අතර ඒ කිසිවකු දේශපාලනඥයන් නොවේ. ඒ ඒ ක්ෂේත්‍රවල විශේෂඥයන් ඇතුළු වෘත්තීයවේදීන්ගෙන් මෙම උපදේශක මණ්ඩලය සමන්විත වේ. රටේ ප්‍රධාන විරුද්ධ පක්ෂ හා ශිෂ්‍ය විරෝධතාකරුවන් මෙම තාවකාලික රජයට සිය පූර්ණ සහයෝගය ලබා දී ඇති අතර සිසු අරගලයට නායකත්වය දුන් ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකුත් මෙම පාලක මණ්ඩලයට තොරාගෙන ඇත. බංග්ලාදේශය වැල්පාලමෙන් එගොඩ කරන්නට භාර වී ඇත්තේ ලෝකයේ සම්භාවනාවට පාත්‍ර වූ පුද්ගලයෙකුව වීම විශේෂත්වයකි. ඔහු සම්ප්‍රදායික දේශපාලනඥයකු නොවේ. එරට දුප්පත්කම තුරන් කිරීමට හඳුන්වා දුන් ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහනක් වූ ග්‍රාමීන් ව්‍යාපාරයේ නිර්මාතෘවරයාය. ඔහුට නොබෙල් සාම ත්‍යාගය හිමි වූයේත් ඒ සඳහාය.

බංග්ලාදේශ නිදහස් සටන

1947 දී පාකිස්තානය හා ඉන්දියාව රාජ්‍ය දෙකක් බවට පත්වීමෙන් පසුව බංග්ලාදේශය පැවතුනේ පාකිස්තානයේ කොටසක් ලෙසයි. එය නැගෙනහිර පාකිස්තානය ලෙස හැඳින්වුණි. ජනගහනය අනුව කලාප දෙකම සමාන වුවද දේශපාලන බලය බටහිර පාකිස්තානය තුළ කේන්ද්‍රගතව තිබුණි. නැගෙනහිර පකිස්තානය ආර්ථික වශයෙන් සූරාකෑමට ලක්වන බවට බොහෝ දුක්ගැනවිලි ලැබුණද බටහිර පාකිස්තානයේ මිලිටරි බලය හමුවේ ඒවා යටපත් විය. බෙංගාලයේ ජාතිකවාදී නායකයකු වූ ෂෙයික් මුජිබර් රහුමාන්ගේ අවාමි ලීගය 1970 දී පැවැති පාකිස්තාන මැතිවරණයෙන් ජය ලබා ගත්තේය. නූතන බංග්ලාදේශයේ පියා ලෙස සැලකෙන්නේ ඔහුයි. ඒ වන විට පාකිස්තානය පාලනය කළ ෆීල්ඩ් මාෂල් අයූබ් කාන්ගේ මිලිටරි ජුන්ටාව අවාමි ලීගයට බලය හුවමාරු කිරීම ප්‍රතිෂේප කළේය. ඉන් පසුව මුජිබර් රහ්මාන් විසින් 1971 මාර්තු 26 දින බංග්ලාදේශය නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. එදිනම පාකිස්තාන ආණ්ඩුව නැගෙනහිර පාකිස්තානය හෙවත් බෙංගාලයේ ජනතාවට එරෙහිව රාජ්‍ය ප්‍රචණ්ඩත්වය මුදා හැරියේය.

ප්‍රචණ්ඩත්වයට ප්‍රතිචාර වශයෙන්, බෙංගාලි හමුදා සහ පැරාමිලිටරි කණ්ඩායම් බටහිර පාකිස්තාන හමුදාවන්ට එරෙහිව යුද වදින්නට විය. සිවිල් වැසියන් විසින් පිහිටුවන ලද ගරිල්ලා ව්‍යාපාරයක් වූ මුක්ති බානි (Mukti Bahini) සාමාජිකයින් විසින් පකිස්තාන හමුදාවට එරෙහිව මහා ගරිල්ලා යුද්ධයක් දියත් කරන ලදි. ඉන්දියාව බෙංගාලයේ හමුදාවන්ට අනියමින් සහාය ලබාදුන් අතර පාකිස්තාන හමුදා උතුරු ඉන්දියාවට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයත් සමග ඇය සෘජුවම යුද්ධයට සම්බන්ධ විය. පසුව එය ඉන්දු-පාකිස්තාන යුද්ධයක් බවට පරිවර්තනය විය. ඉන්දීය හමුදාව, බෙංගාලි හමුදා ඒකක, ඉන්දීය සහාය යටතේ ගොඩනැගුණු නව බංග්ලාදේශ ගුවන් හමුදාව හා මුක්ති බානි ගරිල්ලා හමුදාව එක්ව මිත්‍ර හමුදාවක් සේ පෙරමුණු දෙකක සටන් කරන්නට වූහ. අවසානයේ 1971 දෙසැම්බර් 16 වැනිදා පාකිස්තාන හමුදාව ඩකා නගරයේදී යටත් විය. මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසුව සිදු වූ විශාලතම හමුදා යටත්වීමයි.

පාලනය නිමා කළ වළලු දැමූ යකඩ හස්තය

බංගලි සිසුන් පාරට බැස්සේ ඇයි?

1971 දී පකිස්තානයෙන් බංග්ලාදේශය නිදහස් කර ගැනීම උදෙසා ක්‍රියාත්මක වූ බංග්ලාදේශ නිදහස් ව්‍යාපාරය සමග එක්ව සටන් කළ යුද විරුවන්ගේ ඥාතීන්ට සිවිල් සේවා තනතුරුවලින් 30% ක් වෙන් කරන රැකියා කෝටා ක්‍රමයක් එරට තුළ ක්‍රියාත්මක විය. බංග්ලාදේශය අධ්‍යාපනය ක්ෂේත්‍රයෙන් ඉහළට යන විට තරුණ ප්‍රජාව වැඩි වැඩියෙන් රජයේ රැකියා බලාපොරොත්තු වූහ. තවමත් එරට බොහෝ පිරිසක් නිසි අධ්‍යාපනයක් ලබා නැත. දරිද්‍රතාවයේ පතුලේම සිටි බංග්ලාදේශය ෂික් හසීනාගේ ආර්ථික ප්‍රයත්නවල ප්‍රතිඵලයක් ලෙස මැදි ආදායම් ලබන රටක් බවට පත්විය. එහි පහළ මධ්‍යම පන්තිය කෙමෙන් කෙමෙන් පුළුල් වන්නට විය. මෙම රැකියා කෝටාව ස්ථාපිත කළේ ෂික් හසීනා නොවේ. ඇයගේ පියා විසිනි. කෙසේ නමුත් 2018 වසරේදී රැකියා කෝටාව අහෝසි කිරීමට හසීනා රජය කටයුතු කළේ එය තවදුරටත් ප්‍රායෝගික නොවන බව අවබෝධ කර ගෙනය. කෙසේ නමුත් අධිකරණය විසින් 30% රැකියා කෝටාව නැවත ස්ථාපිත කරන ලදී. ඊට එරෙහිව ඩකා විශ්වවිද්‍යාලයේ සිසුන් මුලින්ම සාමකාමී විරෝධතාවක් ආරම්භ කළේ පසුගිය ජූලි 01 වැනිදාය. ෂික් හසීනා යනු මුජිබර් රහ්මාන්ගේ දියණියකි. ඇය ඇතුළු රටේ සමකාලීන දේශපාලන ප්‍රභූන් බොහොමයක් එම යුද විරු පරම්පරාවට අයත්ය.

යුද විරු පවුල්වලට වෙන් කර ඇති රැකියා ඉහළ වැටුපක් සහිත උසස් රැකියා බව නොරහසකි. මෙම අසාධාරණ රැකියා කෝටා ක්‍රමය සාමාන්‍ය පන්තියේ ජනතාවට කරන මදි පුංචිකමක් ලෙසත් පාලක අවාමි ලීග් පක්ෂයේ ආධාරකරුවන්ට පමණක් එයින් සෙත සැලසෙන බවත් විරෝධතාකරුවෝ කියා සිටියහ.

සිසුන්ගේ කෝපයට හේතු වූයේ තරුණයන් අතර විරැකියාව ඉහළ මට්ටමක පැවතීමයි. හසීනා යුගයේදී බංග්ලාදේශය ශක්තිමත් ආර්ථික වර්ධනයක් අත්පත් කර ගෙන තිබුණි. පසුකාලීනව ලෝකයේ වේගවත්ම ආර්ථික වර්ධනය සහිත රටක් බවට පත්වීමට ද එරට සමත්ව තිබුණි. කෙසේ නමුත් කොරෝනා වසංගතයෙන් පසු ආර්ථික වර්ධන වේගය මන්දගාමී විය. උද්ධමනය ඉහළ ගොස් විදේශ මුදල් සංචිත පහළ බසින්නට විය. මිලියන 170 ක ජනතාවක් සිටින රටක මිලියන 30 කට වඩා වැඩි පිරිසක් රැකියා විරහිතභාවයට පත්වූහ.

විරෝධතාව මුලින්ම එල්ල වූයේ අධිකරණයටය. කෙසේ නමුත් අගමැතිනියගේ අධිකාරිවාදී පාලනය නිසා එරට අධිකරණය තීන්දු ලබා දෙන්නේ ඇයගේ බලපෑමට යටත්ව බව විපක්ෂ කණ්ඩායම් මතයක් රෝපණය කර තිබුණි. කෙසේ නමුත් විරෝධතාවන් උත්සන්න වෙද්දී යුදවිරු රැකියා කෝටාව 7% දක්වා අඩු කිරීමට අධිකරණය නැවත තීන්දුවක් ලබා දුන්නේය. ඒ වන විට විනිසුරුවන්ගේ නිවාස කිහිපයක් ද ගිනිබත් වී තිබුණි. මුල් අවස්ථාවේ මියගොස් තිබුණේ විරෝධතාකරුවන් 20 ක් පමණ පිරිසක් වූ අතර අධිකරණ තීන්දුවත් සමග යම් සාමකාමී වාතාවරණයක් ස්ථාපිත විය.

විරෝධතාවන්ට ආණ්ඩුව විසින් ලබා දුන් මාරාන්තික ප්‍රතිචාරය ආපසු හරවන්නට බැරි තරම් ජනතාව කෝප ගන්වා තිබුණි. අළු යට ගිනි පුපුරු මෙන් තිබුණු කෝපය අගමැතිනිය පලවා හැරීම දක්වා පරිවර්තනය වූයේ නොසිතූ වේගයකිනි. ඉන්පසුව අවාමි ලීගයේ තරුණ කාඩරය හා මැර කණ්ඩායම් යොදවා විරෝධතාකරුවන්ට පහර එල්ල කිරීමට යෑම පාරාවළල්ලක් බවට පත් විය. කෙසේ නමුත් පසුව ඇති වූ ප්‍රචණ්ඩ විරෝධතා තුළ සැලසුම් සහගත ස්වභාවයක් දක්නට ලැබුණි. ඒ නිසා කාලයක් යටපත් වී සිටි අන්තවාදී බළල් අත් ක්‍රියාත්මක වූ බවට ද සැක සංකා මතුව ඇත. ප්‍රබල විදෙස් රටකට තමන්ව පන්නා දැමීමට අවශ්‍ය වූ බව හසීනා මහත්මිය ද පවසා ඇත.

වළලු දැමූ යකඩ හස්තය

ෂික් හසීනා දේශපාලනයට පැමිණියේ ලේ උරුමයෙනි. ඩකා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායිකාවක ලෙස කීර්තියක් අත්කර ගෙන සිටි ඇය රහුමාන් පරම්පරාවේ ඔටුන්න හිමි කුමරිය බව ඒ වන විටත් පෙනෙන්නට තිබුණි. 1975 හමුදා කුමන්ත්‍රණයකින් ඇගේ පියා, මව, සහෝදරයන් ඇතුළු පවුලේ බොහෝ සාමාජිකයන් ඝාතනය විය. ඒ වන විට විදේශගතව සිටි හසීනා සහ ඇගේ බාල සොහොයුරිය පමණක් දිවි ගලවා ගත්හ. බොහෝ කාලයක් ඉන්දියාවේ ජීවත් වූ හසීනා 1981 දී නැවත බංග්ලාදේශයට පැමිණි අතර ඇගේ පියාගේ අවාමි ලීගයට නායකත්වය ලබා දුන්නාය.

ජනරාල් හුසේන් මොහමඩ් එර්ෂාඩ්ගේ ඒකාධිපති හමුදා පාලනට එරෙහි විරොධතාවන්ට නායකත්වය ලබා දුන් ඇය බංග්ලාදේශ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ජාතික සංකේතය බවට පත්විය. එර්ෂාඩ් පාලනය පෙරළා දැමීමට සියලුම දේශපාලන පක්ෂ නායකයෝ ඇය සමග අත්වැල් බැඳ ගත්හ. පසුකාලීනව ඇයගේ ප්‍රබලම දේශපාලන පසමිතුරිය වූ බංගලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) නායිකා බෙගම් කලීඩා සියා ද මෙහිදී ඇය සමග කරට කර සටන් කළාය. කෙසේ නමුත් 1991 මැතිවරණයෙන් කලීඩා සියාට පරාජය වී විපක්ෂ නායකත්වයෙන් සෑහීමට පත්වීමට ඇයට සිදුවිය. 1996 දී මුල්වරට එරට අගමැතිනිය බවට පත්වූ ෂික් හසීනා ඉන්දියාව සමග ජලය බෙදාගැනීමේ ගිවිසුමක් අත්සන් කිරීම සහ ගෝත්‍රික කැරලිකරුවන් සමග සාම ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් ලෝකයේම ගෞරවයට පාත්‍ර විය. නමුත් ඇයගේ කුලුඳුල් රජය බොහෝ දූෂිත ව්‍යාපාරික ගනුදෙනු නිසා අපකීර්තියට පත්විය. එසේම ඉන්දියාව සමග ඕනෑවට වඩා මිතුරුකම් පැවැත්වීම සම්බන්ධයෙන් ද ඇය විවේචනයට ලක් විය. කෙසේ නමුත් ඇයට ඉන්දියාව සමග තිබූ පාරම්පරික බැඳීම දකුණු ආසියානු කලාපයේ ස්ථාවරත්වයට අඩිතාලමක් සපයා තිබුණි.

නැවතත් 2001 මැතිවරණයේදී කලීඩා සියා විසින් ඇයව පරාජයට පත්කරන ලදි. කෙසේ නමුත් 2009දී පැවැති මැතිවරණයෙන් ෂික් හසීනා නැවත ජය ගත්තාය. එදින සිට පසුගියදා ඉල්ලා අස්වන තෙක්ම එකදිගටම බංග්ලාදේශය පාලනය කිරීමට ඇය සමත් වූවාය. දේශපාලන පවුල්වල උරුමක්කාරයන් වන මෙම කාන්තාවන් දෙදෙනාම දශක තුනකට වැඩි කාලයක් බංග්ලාදේශ දේශපාලනයේ ආධිපත්‍යය දැරූ නමුත් දෙදෙනා දැඩි දේශපාලන එදිරිවාදිකමකින් කටයුතු කරන බව නිරීක්ෂණය වෙයි. මෙම එදිරිවාදීකම් දෙපක්ෂයේ විරුද්ධවාදීන් සිරගත කිරීම, ඝාතනය කිරීම හා අතුරුදන් කිරීම දක්වා පැතිර පවතී. හසීනා පාලනය යටතේ නිවාස අඩස්සියට පත්වූ කලීඩා සියා ඉන් නිදහස් කිරීමට පසුගියදා එරට ජනාධිපතිවරයා කටයුතු කළේ හසීනාගේ බලය ගිලිහීමෙන් පසුවය.

2024 දී ෂික් හසීනා සිවුවන වරටත් ජයග්‍රහණය කළාය. එම මැතිවරණය ප්‍රචණ්ඩ හා අන්ත දූෂිත එකක් බව විපක්ෂය චෝදනා කළත් බලය ස්ථාපිත කිරීමට ඇය සමත් විය. ප්‍රධාන විපක්ෂය වූ කලීඩා සියාගේ BNP පක්ෂය හා ජමාත්-ඊ- ඉස්ලාමීය පක්ෂය ඡන්දය වර්ජනය කළේ එහි නායකයන් හා දේශපාලන ක්‍රියාකාරීන් දැඩි සේ මර්දනය කර තිබූ පසුබිමකය. ඔවුන් මහජනතාවගෙන් ද ඉල්ලා සිටියේ ඡන්දපොළට නොයන ලෙසයි. මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව ඉතා අඩු ප්‍රතිශතයක් විය. එම නිසා පාර්ලිමේන්තු විපක්ෂය බවට පත්ව ඇත්තේ ෂික් හසීනාගේම බළල් අත් බවට චෝදනා එල්ල විය. 2014 සිටම ඇගේ ආණ්ඩුව තනි පක්ෂ ක්‍රමයක් කරා ගමන් කරමින් සිටින බවට මානව හිමිකම් සංවිධාන අනතුරු අඟවා තිබුණි. කෙසේ නමුත් 2017 දී මියන්මාරයෙන් පලාගිය මිලියනයකට ආසන්න රෝහින්ග්‍යා වැසියන්ට දේශපාලන රැකවරණය ලබා දීම සම්බන්ධයෙන් එකී මානව හිමිකම් සංවිධාන විසින්ම ඇයට ගෞරවය පුද කරන ලදි.

පාලනය නිමා කළ වළලු දැමූ යකඩ හස්තය

අන්තවාදී බළල් අත්

මේ වන විට මෙතෙක් අකර්මණ්‍යව තිබූ විපක්ෂය පිබිදී ඇත. බොහෝ විට කලීඩා සියාගේ BNP පක්ෂය ඉදිරියට එනු ඇත. කෙසේ නමුත් සාමකාමී ශිෂ්‍ය අරගලය ප්‍රචණ්ඩත්වයක් දක්වා රැගෙන ගියේ ජමාත්-ඊ-ඉස්ලාමීය සංවිධානය බවට මතයක් පවතී. එය බංග්ලාදේශයේ විශාලතම ඉස්ලාමීය දේශපාලන පක්ෂයයි. ශ්‍රේෂ්ඨාධිකරණය ජමාත්-ඊ-ඉස්ලාමීය සංවිධානයේ ලියාපදිංචිය අවලංගු කරන ලද අතර පසුගිය අගෝස්තු 1 දින රජය විසින් එය සම්පූර්ණයෙන්ම තහනම් කරන ලදි. අවාමි ලීගයේ බලය නිමා වීමත් සමග දැන් නැවතත් එකී තහනම ඉවත් කර ඇත. ජමාත්-ඊ-ඉස්ලාමීය පූර්වගාමියා වූයේ පාකිස්තාන ජමාත්-ඊ-ඉස්ලාමීය සංවිධානයයි. එය බංග්ලාදේශයේ නිදහසට සහ පකිස්තානය කැඩීමට දැඩි ලෙස විරුද්ධ විය. 1971 දී පක්ෂයට සම්බන්ධ පැරාමිලිටරි හමුදා විසින් බෙංගාල ජාතිකවාදීන් සහ බුද්ධිමතුන් ඝාතනය කිරීමේදී පකිස්තාන හමුදාව සමග සහයෝගයෙන් කටයුතු කරන ලදි. අවාමි ලීගය සම්ප්‍රදායිකවම ජාතිකවාදී, අනාගමික දේශපාලන පක්ෂයක් වන අතර ජමාත්-ඊ-ඉස්ලාමීය සංවිධානය දැඩි ආගමික ස්වරූපයකින් කටයුතු කරයි.

මේ වන විට ප්‍රචණ්ඩත්වය අවාමි ලීගයේ ප්‍රාදේශීය නායකයන්ට පමණක් නොව එරට ජීවත්වන හින්දු ප්‍රජාව වෙතද මුදා හැරීමේ උත්සාහයන් දක්නට ලැබේ. කෙසේ නමුත් තරුණ කණ්ඩායම් විසින් හින්දුවරුන්ගේ කෝවිල්වලට ස්වේච්ඡාවෙන්ම ආරක්ෂාව සපයා ඇත. විරෝධය ඉන්දියාවට ද එල්ල වෙමින් ඇත. අවාමි ලීගයේ නායකයකුට අයත්ව තිබූ හෝටලයක් ගිනි තැබීමෙන් එහි ලැගුම්ගෙන සිටි විදේශික සංචාරකයන්ද ඇතුළුව පුද්ගලයන් 24 දෙනෙකු පිලිස්සී මිය ගොස් තිබුණි. අවාමි ලීගයේ ක්‍රියාකාරීන් 20 දෙනෙකුගේ පමණ මළසිරුරු හමුවී ඇත. තවත් සිය ගණනක් අතුරුදන්ව ඇත. රට පුරා ඉදිකර ඇති ජාතියේ පියාගේ දැවැන්ත ප්‍රතිමා කඩා බිඳ දමමින් ඇත. ඒ සඳහා හමුදා සෙබළුන්ද උපකාර කරනු දක්නට ඇත. හමුදාව උද්ඝෝෂකයන්ගේ පැත්ත ගැනීම නිසා ඔවුන්ට මල් පොකුරු පිරිනමනු දක්නට ලැබුණි.

ශ්‍රී ලාංකියන්ගේ අපේක්ෂාව

ක්‍රිකට් ක්‍රීඩාවේදී කෙතරම් රණ්ඩු සරුවල් වුවත් බංග්ලාදේශය ශ්‍රී ලංකාවේ අතිශය මිතුරු රටකි. දෙරට අතර ඉතා ගැඹුරු ඉතිහාසමය බැඳීමක් පවතී. පැරණි මහාවංශයට අනුව විජය කුමරුගේ මුතුන් මිත්තන් ජීවත් වූයේ වර්තමාන බංග්ලාදේශයේ පිහිටි වංග රාජධානියේ බව කියැවේ. ඇඟලුම් ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකික ආයෝජන බංග්ලාදේශය තුළ විශාල වශයෙන් ඇති අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 3500 ක් පමණ එරට වාසය කරයි. එසේම ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන් 500 කට වැඩි පිරිසක් බංග්ලාදේශයේ ඉගෙනුම ලබති.

දිගු කාලයක සිට බංග්ලාදේශ රජය, ශ්‍රී ලංකාවේ තෝරාගත් ආරක්ෂක නිලධාරීන්ට පුහුණුව ලබා දීම සිදු කරනු ලබයි. අප රටේ LTTE ත්‍රස්තවාදය පරාජය කිරීමේදී හා ඉන් පසුව ඇතිවූ ජාත්‍යාන්තර පීඩනය හමුවේ බංග්ලාදේශය අප රට වෙනුවෙන් පෙනී සිට ඇත. පසුගිය කාලයේ අප රට බංකොලොත් වූ අවස්ථාවේ තමන්ට ඇති හැටියෙන් උපකාර කිරීමට එරට අගමැතිනිය කටයුතු කළාය. මේ බව සඳහන් කරමින් ගිනිගෙන ඇති බංග්ලාදේශය ඉක්මනින් සුවපත්වනු දැකීම තම අපේක්ෂාව බව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ද පවසා ඇත. එය දේශපාලනික අපේක්ෂාවක් නොවේ. අප සැමගේ ප්‍රාර්ථනයයි.

ශානක ලියනගම

advertistmentadvertistment
advertistmentadvertistment