පාසල්වලට බෙදන්න ගෙනා ස්මාර්ට් බෝඩ් දිරන්න දාපු අයට නීතිය ක්‍රියාත්මක කරන්න – ස්ටාලින් රජයෙන් ඉල්ලයි

39

පාසල් සඳහා ලබාදීමට චීනයෙන් ගෙන්වන ලද සුහුරු පුවරු (ස්මාර්ට් බෝර්ඩ්ස්) 1000ක් පමණ පත්තලගෙදර ගබඩාවක දිරාපත් වෙමින් පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි කෞශල්‍යා ආරියරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කර ඊට වගකිවයුතු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඉල්ලා සිටී.

2024 වර්ෂයේදී මෙරටට චීනයෙන් ගෙන්වා ඇති මෙම උපකරණ සඳහා රජය රුපියල් බිලියන එකයි දශම පහක් (1.5) වෙන්කර ඇති බවට මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේදී හෙළි කළ තොරතුරු සත්‍ය බවත් ස්ටාලින් මහතා කීය.

කෞශල්‍යා මන්ත්‍රීවරිය විපක්‍ෂයේ නොවන බවත් දැන් ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරියක් නිසා මේ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කර සතියක් වැනි කාලයකින් ඊට වගකිවයුතු අය හඳුනාගෙන ඔවුන්ට එරෙහිව කටයුතු කළ යුතු බවත් ඔහු කීය. විවිධ චෝදනා එල්ල වී ඇති නිලධාරීන් සමග නව රජය ද තවත් ඉදිරියට යෑමට උත්සහ කරනවා නම් නව රජයක් පත්කර ගැනීමෙන් ජනතාව අපේක්‍ෂා කළ අරමුණු ඉටුනොවනු ඇති බවත් ස්ටාලින් මහතා කීය. ටෙන්ඩර් ඇතුළු උපකරණ මිලදී ගැනීමට එකම නිලධාරීන් පිරිසක් කාලයක සිට කටයුතු කරනවා ද ඔවුන් හරහා රජයන්වලට වාසි සහගත තීරණ ගෙන තිබෙනවා ද යන්න නව රජය මගින් විධිමත් විමර්ශනයකින් සොයා බැලිය යුතු බවද ස්ටාලින් මහතා අවධාරණය කර සිටියේය.

අධ්‍යාපන උපකරණ මිලදී ගන්නා කමිටුවල ඇතැම් නිලධාරීන් වසර 12ක් 13ක් ඒවායේ සිටින අය බවටත් එවැනි නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලැබී ඇතත් ඔවුන් එම ස්ථානවලම රැඳී සිටින බවටත් චෝදනා එල්ල වී ඇත.

චමින්ද සිල්වා


advertistmentadvertistment