පාසල් බාලිකා රග්බි ක්‍රීඩාවේ මහනුවර රැජින සරසවි උයන විදුහලේ තිසලි සෙනෝත්මා
මෙරට පාසල් ක්‍රීඩා අතරට අලුතින් එක්වූ බාලිකා රග්බි ක්‍රීඩාව ක්‍රමයෙන් මෙරට පාසල් අතර ජනප්‍රිය වෙමින් පවතී.
ලොව රටවල් ගණනාවක මේ වන විට ජනප්‍රියත්වයේ අංක එකේ සිටින ජාත්‍යන්තර කාන්තා රග්බි ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩිකාවන් එක් කෙරෙන මෙරට පාසල් පද්ධතිය තුළ බාලිකා රගර් ක්‍රීඩිකාවන් රැසක් දස්කම් දක්වමින් සිටින අතර ඒ අතුරින් මහනුවර සරසවි උයන මහ විදුහලේ කේ.ඒ. තිසලි සෙනෝත්මා ක්‍රීඩිකාව හඳුන්වා දිය හැකිය.
වයස අවුරුදු 16 න් පහළ පාසල් බාලිකා රග්බි ක්‍රීඩාවේ දස්කම් අතින් ඉදිරියෙන් සිටින සෙනෝත්මා ඇයගේ නායකත්වය යටතේ ඇති සරසවි උයන බාලිකා කණ්ඩායම මධ්‍යම පළාතේ හොඳම බාලිකා රග්බි කණ්ඩායම ලෙස ඉදිරියට ගෙන ඒමට සමත් වී ඇත. වේගය, පෙරමුණ ගැනීම, කණ්ඩායම් හැඟීම, ඉලක්කය වෙත හඹා යෑම වැනි රග්බි ක්‍රීඩාවේ මූලික අංග අතින් පෙරමුණේ සිටින සෙනෝත්මා පාසල් රග්බි ක්‍රීඩාවේ මහනුවර රැජින ලෙස නම් දරා සිටී.
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය විසින් සංවිධානය කරන ලද වාර්ෂික බාලිකා රග්බි තරගාවලියේදී ඇගේ නායකත්වයෙන් යුතු සරසවි උයන විදුහල් රග්බි කණ්ඩායමට ball runarup ශූරතාවය දිනා ගැනීමට හැකි විය. පාසල් බාලිකා රග්බි ක්‍රීඩාවට අලුත් අත්දැකීම් රැසක් එක් කරන මහනුවර සරසවි උයන විදුහල් රග්බි කණ්ඩායම එම ක්‍රීඩාවට නව පිටුවක් එක් කරමින් කෑගල්ල ස්වර්ණ ජයන්ති මහ විදුහල සමග වාර්ෂික මහා තරගයක් පවා සංවිධානය කිරීමට කටයුතු කර ඇත්තේ සෙනෝත්මා ඇතුළු ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා තව දුරටත් පෙරට ගැනීම සඳහාය.
සරසවි උයන විදුහලේ බාලක රග්බි කණ්ඩායම දක්ෂ ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත වන අතර සෙනෝත්මා රග්බි ක්‍රීඩාවට යොමු වන්නේ එම ක්‍රීඩකයන් සමගය. ඒ ඇය හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවධියේ සිටය. පිරිමි ළමුන් සමග උරෙන් උර ගැටී ක්‍රීඩා කරමින් ලබාගත් රග්බි ක්‍රීඩා පන්නරය නිසා අද වන විට ඇය බාලිකා රග්බි ක්‍රීඩාවට අලුත් තරග අත්දැකීම් රැසක් එක් කරමින් පාසලට මෙන්ම ශ්‍රී ලංකාවේ කාන්තා රග්බි ක්‍රීඩාවට නව ජීවයක් ලබාදීමට සමත්වී සිටින්නීය.
ඇයගේ දක්ෂතා හඳුනාගත් මෙරට ප්‍රධාන පෙලේ රග්බි ක්‍රීඩා සමාජයක් වන CR&FC ක්‍රීඩා සමාජය ඇයට දක්ෂතා අතින් තවදුරටත් ඉදිරියට යෑම සඳහා පුහුණුවීමේ අවස්ථාව හිමි කරදීමට කටයුතු කර තිබේ.
රග්බි ක්‍රීඩාවට අමතරව මළල ක්‍රීඩාවෙන් ද දක්ෂතා දක්වන ඇය 2019 – 2023 මලල ක්‍රීඩා කණ්ඩායමේ උප නායිකාව, 2023 අවුරුදු 16 පහල රගර් කණ්ඩායමේ නායිකාව, 2024 අවුරුදු 18 පහල රගර් කණ්ඩායමේ නායිකාව 2023 පාසලේ ප්‍රධාන ක්‍රීඩා නායිකාව මෙන්ම පාසල් මට්ටමින් නෙට්බෝල්, එල්ලේ, යගුලිය, වොලි බෝල්, දුර පැනීම හා කඩුලු පැනීමේ ක්‍රීඩාවන්ගෙන් ද විශේෂ දක්ෂතා දක්වා සහතික ලබා ඇත. තවද 2019 සිට පාසල් 100M, 200M, 400M සහාය දිවීමේ කණ්ඩායම නියෝජනය කරමින් පාසල් මට්ටමෙන් හා අන්තර් පාසල් මට්ටමින් විශේෂ දක්ෂතා දක්වා ප්‍රථම ස්ථානයන් දිනා ඇත. 100M හා 400M කඩුලු පැනීමේ ඉසව්වෙන් ද පාසල් මට්ටමින් ඉදිරියෙන් සිටී. 2024 වර්ෂයේ වසරේ ක්‍රියාශීලීම ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් ද ඇය පිදුම් ලැබීය.
මෙවර ඇය මධ්‍යම පළාත් රගර් ශුරතාවයත් ජාතික පාසල් තෙවන ස්ථානයත් ලබාගැනීමට විශිෂ්ඨ දස්කම් දක්වමින් කණ්ඩායම මෙහෙයවා ඇත. එම දක්ෂතා හේතුවෙන් පසුගියදා මහනුවර දී පැවැති මධ්‍යම පළාත් වර්ණ ප්‍රදාන උත්සවයේ පළාත් වර්ණ දිනා ගැනීමට ද ඇයට හැකි විය.
සෙනෝත්මා ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ හිටපු ආරක්ෂක හා ක්‍රීඩා නියොජ්‍ය ආමාත්‍යවරියකි, පාසල් ව්‍යවසායක කවයේ නායිකාව වගේම බිම්මල් ආශ්‍රිත නිෂ්පාදන වලින් ව්‍යවසායිකාවක් ලෙස ඉදිරියට යමින්ද ආහාර වර්ග නිෂ්පාදනය මගින්ද ව්‍යවසායිකාවක් ලෙස කැපිපෙණෙන දස්කම් දැක්වූ හෙයින් 2024 කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී විශිෂ්ඨයන් ඇගයීමේදී ඉහළම ඇගයීමට ද ඇය ලක් විය.
සරසවි උයන විදුහලේ වත්මන් විදුහල්පති ජයන්ත බණ්ඩාර මහතා ඇයගේ ඉදිරි ගමනට නිරතුරුව දිරියක් වන අතර රග්බි පුහුණුකරු ලෙස හේෂාන් ගමගේ හා මළල ක්‍රීඩා පුහුණුකරු ලෙස බී. එම්. සුසන්ත මහතා ද ක්‍රීඩා භාර ආචාර්යවරිය ලෙස මල්කා විජේසූරිය මහත්මිය ද ඇය වෙනුවෙන් කටයුතු කරති.
ගම්පොළ – සුරංග දිල්හාන්