පාසල් සිසුවකු පැහැරගෙන පලායද්දී පොලිසියේ 2ක් ඇතුළු 4ක් මාට්ටු

84

ඇඹිලිපිටිය නගරයේ 16 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු පැහැරගෙන පලායමින් සිටි පොලිස් නිලධාරින් දෙදෙනකු ඇතුළු සවු දෙනකුගෙන් සමන්විත සංවිධානාත්මක කණ්ඩායමක් පොලිස් නිලධාරීන් විසින් නගර මධ්‍යයේදීම අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවු දෙනාගෙන් පොලිස් නිලධාරීන් දෙදෙනා සොහොයුරන් වන අතර ඔවුන් අතුරුගිරිය සහ මීගොඩ පොලිසිවල රාජකාරි කරන බව පොලිසිය පවසයි.

පැහැර ගැනීමට ලක්වූ 16 හැවිරිදි ශිෂ්‍යයාගේ පියා ඇඹිලිපිටිය නගරයේ අමතර පංති පවත්වන ගොඩනැඟිල්ලක හිමිකරුවෙකි.

ඊයේ දහවල් මෙම ශිෂ්‍යයා ඇඹිලිපිටිය නගරයට පැමිණි අවස්ථාවේ මෝටර් රථයකින් පැමිණි සැකකරුවන් ඔහු බලහත්කාරයෙන් එහි දමාගෙන පැහැරගෙන ගොස් ඇත.

එහිදී නගරවාසීන් වහා ක්‍රියාත්මක වී පොලිසිය දැනුවත් කළ අතර නගරයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු ඔවුන් ලුහුබැඳගොස් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් පාසල් ශිෂ්‍යයා සතුව තිබූ මුදල් ද කොල්ලකා ඇති අතර පසුව ඒවා පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මෙම සැකකරුවන් කුමන හේතුවක් නිසා දරුවා පැහැරගෙන ගියේ ද යන්න මෙතෙක් හෙළිවී නොමැත.

සැකකරුවන් පවසා ඇත්තේ තමන් එනු දුටු ශිෂ්‍යයා කලබලයට පත්ව දිවයෑම නිසා ඔහු අත්අඩංගුවට ගෙන පොලිසියට භාරදීමට රැගෙන ගිය බවයි.

එහෙත් පොලිසිය සැකකරුවන්ගේ ප්‍රකාශ පිළිනොගන්නා අතර ඔවුන් සැබවින්ම දරුවා පැහැරගෙන ගියේ මන්දැයි සොයා විමර්ශන ආරම්භ කර ඇත.

සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ඇඹිලිපිටිය පොලිසිය විමර්ශන පවත්වයි.

හේමන්ත රන්දුණු සහ නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment