පාසලේ කොන්ක්‍රීට් බැම්මට බිලිවූ සෙහන්සාගේ අම්මා රට ඉඳන් එයි

586

මොනාද ඕනේ කියලා ඇහුවාම කේක් කියලා එදා දුව කිව්වා – මව හඬමින් කියයි

වැල්ලම්පිටිය වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සහ ජල බේසම් සවි කර ඇති කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටීම නිසා මිය ගිය හය හැවිරිදි සෙහන්සා තත්සරණි සිසුවියන්ගේ මව ඊයේ (16 දා) පස්වරුවේ සෞදි අරාබියේ සිට සිය නිවෙසට යෑම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියාය.

ඇය එරට අවුරුදු 01 යි මාස 02 ක් පමණ ගෘහ සේවයේ යෙදී සිටියදී මෙම අනතුර සැලවීමෙන් මෙසේ හදිසියේම මෙරටට පැමිණීමට කටයුතු කර තිබුණි.

මෙහිදී ගුවන්තොටුපළේ දී මාධ්‍යවේදීන් හමුවේ සිය අදහස් ප්‍රකාශ කළ මව වන නිරෝෂා සමන්මලී මහත්මිය මෙසේ පැවසුවාය. මම රට ගියේ මගේ දරුවෝ තුන් දෙනාගේ අනාගතය හදා ගන්න. ඉන්න ගෙයක් හදා ගන්න. ඊයෙ දුවගෙ උපන් දිනේ. මම කතා කරල ඇහුවා, මොනවාද ඕනෙ කියලා. එයා කිව්වා කේක් ඕන කියලා. මම කිව්වා මට තව මාස 08 ක් තියෙනවා එන්න, ඒ එනකොට කේක් අරං එන්නම් කියලා.

ඒත් මට කේක් අරං එන්න බැරි වුණා. ඉස්කෝලෙ බිත්තිය කඩා වැටිලා, අන්තිමේ දී මගේ දුව නැති වුණා. දැන් ඉන්නේ මගේ පුතාල දෙන්න විතරයි. අනේ අපිට ගෙයක් හදා ගන්න උදව් කරන්න” යැයි අඬමින් පැවසුවාය.

නිරෝෂා සමන්මලී මහත්මිය ඊයේ (16 දා) පස්වරු 02.25 ට මස්කට් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 2273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි අතර ඇය රැගෙන යාම සඳහා ඇයගේ සමීපතම ඥාතීහු පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

වෙහෙරගොඩ කඳුළු කතාවට පංච පුද්ගල කමිටුවක් – ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

වැල්ලම්පිටිය වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ තාප්පයක් කඩා වැටී සිසුවියක මිය යෑමේ සිද්ධිය ගැන සොයාබැලීමට බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් පත්කර ඇතැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (16දා) පැවසීය.

ඇමැති ප්‍රේමජයන්ත මහතා මේ බව කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි. එහිදී ඔහු මෙසේද කීය.

වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ අනතුරුදායක තත්ත්වයක් ඇති වුණා. ඉන් සිසුන් හයක් ආපදාවට ලක් වුණා. එක සිසුවියක් මියගොස් තියෙනවා. තවත් දරුවන් පස්දෙනකු රෝහල් ගත කරලා තියෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් යම් පිරිසක් විදුහල්පතිට පහර දීලා තියෙනවා. ඔහු ඒ ජාතික රෝහලේ ඇස් වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා. වසර 10කට අධික පැරණි පානීය ජල පද්ධතියක කොන්ක්‍රීට් තට්ටුව කඩා වැටිලා තියෙන්නේ. මේ ගැන වැල්ලම්පිටිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ඒ ස්ථානයට ගොස් සොයා බලා තිබෙනවා. දැනට අවශ්‍ය පියවර අරගෙන තියෙනවා.

මේ සිද්ධිය ගැන කරුණු සොයා බැලීමට බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් සහ අධ්‍යාපන ලේකම්ගේ උපදෙස් පරිදි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් පස්දෙනකුගෙන් යුතු විශේෂ කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ පාසලට අද නිවාඩු දුන්නා. පළාත් පාසලක් ලෙස මේ ගැන පළාත් නිලධාරීන් ඉදිරි පියවර අරගන්නවා ඇති. ඒ ගැන පාර්ලිමේන්තුව දැනුවත් කරනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන


advertistmentadvertistment