පාස්කුවේ ගැස්සුනු ඇස් සහ අරගලයේ සසල වූ හිත්

33

අප්‍රේල් 21 දිනය අප රටේ ඉතිහාසයේ අඳුරුම දිනයක් විය. මේ දිනය මුළු රටම සසළ කළ අවාසනාවන්ත දිනයකි. එදින සිදුවූ පාස්කු ප්‍රහාරයට දැන් වසර තුනක් ගතවී ඇත.

මෙය, අප රට තුළ සමගියෙන් සිටි ඉස්ලාමීය සහ කතෝලික, ක්‍රිස්තියානි ප්‍රජාව අතර කිසිසේත් අපේක්ෂා කළ නොහැකි ලෙසින් විශාල අනවබෝධයක්, අප්‍රසන්න තත්ත්වයක් ඇති කිරීමට මුලපුරන සිද්ධියක් විණ.

එහෙත් එම අවස්ථාවේදී ගරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ගේ දුරදැක්මෙන් සහ බුද්ධිමත්වූ මැදිහත්වීමෙන් මහා ගින්නක් ඇවිලීමට මගපාදන එම සිද්ධිය නිසි පාලනයකට ගෙන ඒම සිදුවිණ.

එම සිද්ධියෙන් පසු උන්වහන්සේ හමුවීමට ගිය, ශ්‍රී ලංකාවේ සිටින ලොව ඉස්ලාමීය රටවල් දහසයක තානාපතිවරුන් හමුවේ උන්වහන්සේ කළ ප්‍රකාශය මගේ මතකයට නැඟේ.

“මුස්ලිම් තරුණයන් කිහිපදෙනකුගේ සම්බන්ධය මේ සිද්ධියට ඇති බව ඇත්ත. එහෙත් මේ සිද්ධියේ මතුපිට පමණක් බලා නිගමනවලට එන්නට අපට පුළුවන් කමක් නැහැ. මේවා පිටුපස ඇති අරමුණු, න්‍යාය පත්‍ර මෙන්ම බලවේග ගැන ගැඹුරින් විමසා බලා අප සත්‍යය සොයා ගත යුතු වෙනවා.”

මෙම අවස්ථාවේදී අප රටේ රජයට අවනත මාධ්‍යය ජනකොටස් අතර වෛරය, කෝපය ඇතිකරමින්, ගැටුම් ඇවිලවීමට කටයුතු කළ පිළිකුල්සහගත හැසිරීම සැබැවින්ම අමානුෂික හැසිරීමක්ම විය. එසේ වුවද ගරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් ඒ අවස්ථාවේදී ගැටුම් ඇතිවීම සහ ජීවිත විනාශයන් ඇතිවීම වළක්වමින් ජනකොටස් අතර අන්‍යයෝන්‍ය අවබෝධයක් සහ සංහිඳියාවක් ඇතිකිරීමට ලබාදුන් දායකත්වය තුළින් තත්ත්වය බොහෝදුරට සාමාන්‍ය වීම සිදුවිණ.

මේ සිදුවීම් මාලාවේ අගමුල සොයා ගැන්ම සහ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමට වසර තුනක් ගතවී තිබියද තවමත් සාර්ථක වී නොමැත. අද රට තුළ පමණක් නොව ලොව පුරාද, මේ පිටුපසද ඇති මෙහෙයුම් බලවේග සොයා ගැන්ම පිළිබඳව සහ වින්දිතයනට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් ප්‍රබල ජනමතයක් ගොඩනැඟී ඇත.

මිනිසුන්ගේ ජීවිත අපේක්ෂාව ඇතුළු මිනිස් අයිතිවාසිකසම් ගැන සැලකිල්ලක් නොදක්වන පාලනයක පැවැත්ම ගැන හැම අතින්ම ඇඟිල්ල දික්වීම අද අපි දකිමින් සිටිමු. ලසන්ත වික්‍රමතුංගගෙන් පටන්ගෙන රතුපස්වල, මීගමුව ඇතුළු උතුරේත්, දකුණේත් සිදුව ඇති ඝාතනයන්, අතුරුදන්වීම පෙළගැස්විය හැක. පසුගිය සතියේ රඹුක්කන සිදුවූ වෙඩිතැබීම් සහ මිනිසුන් ඝාතනය ආසන්නතම සිද්ධියයි.

මෙහිදී මියගිය අයගේ දරුවකුගේ මුවින් පිටවූ වචන මම සමාජ මාධ්‍ය ජාලා තුළින් දුටුවෙමි. “කවුරු ඇවිත් අපේ හිත හදන්නට හැදුවත්, අපේ තාත්තා ආයෙ එන්නෙ නැහැනේ.”

මේ තමයි තිත්ත ඇත්ත. අපේ රට දශක පහක පමණ කාලයක් ප්‍රචණ්ඩත්වය වැළඳගෙන තිබූ රටක්. උතුරේ මෙන්ම දකුණේද තරුණ කැරලි හේතුවෙන් දහස් ගණනක් දරුවනට දෙමව්පියන් අහිමි විණ. දහස් ගණනක් බිරින්දෑවරුන්ට ස්වාමිපුරුෂයන් අහිමිවුණා මෙන්ම ස්වාමිපුරුෂයන්ට බිරින්දෑවරුන් අහිමිවුණි. මේ අයුරින් රටක් ලෙසින් අප මුහුණ දුන් ඒ ශෝකාන්තය පෙළගැස්විය හැක. ඒ ජීවිත කැරලි පාර්ශ්වයේ වුවද, ආරක්ෂක අංශයේ වුවද, සාමාන්‍ය ජනතාවගේ වුවද රටක් හැටියට ඒවායේ කම්පනය අපේ සමාජයට තිබිණ.

අද මේ රඹුක්කන සිදුවූ ඝාතනය අවසන් ඝාතනය බවට පත්කරගත යුතුවෙමු. මින් මතු තවදුරටත් මෙවැනි ඝාතන සිදුවීමට ඉඩ නොතැබිය යුතුව ඇත. රඹුක්කනදී මියගිය අයවලුන් මහ මගට බැස තිබුණේ ප්‍රාදේශීය සභා, හෝ පළාත් සභා හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීකම් ලබාගැන්මට නොවේ. ගෑස් ටික, ඩීසල් ටික, පෙට්‍රල් ටික, හාල් ටික, බෙහෙත් ටික ලබාගත නොහැකිව තම දුක, වේදනාව, කෝපය පිට කරන්නටය. ඔවුන් අත වෙඩි උන්ඩ, බෝම්බ නොතිබිණ. ඒවා අවිහිංසාවාදී, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධයන්ය.

එහෙත් සිදුවී ඇති දෑ ගැන මාධ්‍ය පළ කරන වාර්තා තුළින් අපට දකින්නට ඇත්තේ කුමක්ද? අප්‍රේල් 21 බ්‍රහස්පතින්දා සිංහල ජාතික පුවත්පතක පළමු පිටේ පළවූ ප්‍රවෘත්තියක සිරස්තලය මෙලෙස තිබිණ.

“මුහුණු වසාගත් පොලිසියේ දෙදෙනෙක් මගේ ත්‍රීවිල් එකට ගිනි තිබ්බා. උඹ දඟලනවා වැඩියි. පොඩි වුන් පොඩි වුන් විදියට ඉන්නට ඕනේ. ධ.ස.ජ මට තර්ජනය කළා. ගිනිගත් ත්‍රිරෝද රථයේ රියැදුරා කියයි.”

අප්‍රේල් 22 සිකුරාදා පළවූ තවත් සිංහල ජාතික පුවත්පතක පළමු පිටේ පුවතක සිරස්තලය පළකර තිබුණේ මෙලෙසිනි.

“මේක හරියන්නේ නැහැ. ඕකුන්ට වෙඩිතියලා මරපන්. පොලිස් නිලධාරීන් කියනු ඇසුණි” උසාවියේදී කියයි.”

මෙදිනම තවත් සිංහල ජාතික පුවත්පතක පළමු පිටේ පුවතක සිරස්තලය වූයේ,

“රඹුක්කන සිද්ධීයේ බී වාර්තාවේ ටිපෙස්ක් ගා මකලා. පොලිසිය සමාව ඉල්ලයි.”

මේ සියල්ල තුළින් අප දකින සත්‍ය කුමක්ද? මේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද? මේවායේ අරමුණ වන්නේ කුමක්ද? නීතිය රැකිය යුතු නිලධාරීන්, ගිනි ඇවිලීම් සඳහා යොදවා ගැනීම් ගැන ලැබෙන මේ ප්‍රවෘත්ති සිතාගත නොහැකි තත්ත්වයකි.

මිරිහානේදී සිදුවූ හමුදා බස් රථය ගිනි තැබීම ගැනද ඇත්තේ මෙවැනිම ප්‍රශ්නාර්ථයකි. මේ සිද්ධියට සම්බන්ධ අයවලුන් තවමත් හඳුනාගෙන, නීතිය ඉදිරියට ඉදිරිපත් කර නැත.

මේ තත්ත්වය අපේ පොලිසියට අවමානයකි. අපට තිබුණේ දක්ෂ, කාර්යක්ෂම පොලිසියකි. අපි අපේ පොලිසිය ගැන අවතක්සේරු නොකළ යුතුය. අතළොස්සකගේ හැසිරීම හේතුවෙන් සිදුවන්නේ බහුතරයක්ගේ නම කෙලෙසීමකී. 20 සංශෝධනය තුළින් සිදුවූ ස්වාධීන කොමිෂන් සභා අහෝසිය තුළින් පොලිසියේ ස්වාධීනත්වයට එල්ලවී ඇති මරුපහර තේරුම් ගත යුතුව ඇත්තෙමු.

රට පුරා බුර බුරා නැඟෙමින් පවතින මහජන හඬට පාලකයන් කන්දිය යුතුව ඇත. රාජ්‍ය මර්දනය හෝ රාජ්‍ය ප්‍රචණ්ඩත්වය හෝ රාජ්‍ය ත්‍රස්තවාදය තුළින් පැවැත්ම රැකගත හැකි යැයි පාලකයන් තවදුරටත් විශ්වාස කරමින් සිටින බවක් පෙනේ.

පසුගිය සතියේ ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා සහ කතෝලික සහ ඇන්ග්ලිකන් බිෂොප් තුමන්ලා නිකුත් කර තිබූ ප්‍රකාශනයන්හි අන්තරගතය අපගේ පාලකයන් කියවා, සිතට ගන්නේ නම් කළ යුත්ත ඔවුනට අවබෝධ වනු ඇත. අද පරිපාලන සේවා නිලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රජාව, රාජ්‍ය සේවය, කෘෂි ක්ෂේත්‍රය, ධීවර ජනතාව, තරුණ පරපුර මේ ආදී ලෙසින් මුළු රටම කිසිකලෙක නොවූ අයුරින් රට වෙනුවෙන් ඉදිරියට පැමිණ ඇත. තවදුරටත් රට අස්ථාවර නොකර, අරාජික නොකර, ජනතා හඬට ශිෂ්ඨ ලෙසින් හිස නැමීම සිදුවිය යුතුව ඇත.

බිෂොප්තුමන්ලා නිකුත් කළ ප්‍රකාශයේ එක් ඡේදයක් උපුටා දක්වමින් මේ ඡේදය සමාප්ත කරනු කැමැත්තෙමි.

“මේ තරම් ජනතා විරෝධයක් මැද, කලින් ලබාගත් වරම ගැන කියමින් තවදුරටත් රට පාලනය කිරීමට, මේ පාලනයට සදාචාරමය අයිතියක් නොමැත.”

● ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment