පාස්කු නඩුවේ 11 වැනි විත්තිකරුගේ පාපොච්චාරණය ගැන කරුණු දක්වන්න ගල්කිස්ස හිටපු මහෙස්ත්‍රාත්ට නොතීසි

138

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවේ 11 වන විත්තිකරු වන කලීඩ් සමීන් නමැත්තා ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා හමුවේ කළ පාපොච්චාරණය ස්වෙච්ඡාවෙන් කළ පාපොච්චාරණයක් බවට නිගමනය කළ අධිකරණය ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට එවකට ගල්කිස්ස හිටපු මහෙස්ත්‍රාත්වරයාට ඊයේ (24) නොතීසි නිකුත් කළේය.

නඩුව ඊයේ දමිත් තොටවත්ත, අමල් රණරජා සහ නවරත්න මාරසිංහ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී එහි 11 වන විත්තිකරු වන කලීඩ් සමීන් නමැත්තා ඔහුට මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබා දිය යුතු බව පවසා තිබේ. ඒ අනුව ඔහු මහෙස්ත්‍රාත්වරයා හමුවේ පාපොච්චාරණයක් කර ඇති අතර එම ප්‍රකාශය ස්වෙච්ඡාවෙන් කළ එකක් ද, එසේත් නැතිනම් කිසිවකුගේ බලපෑමක් මත කළ ප්‍රකාශයක් ද යන්න සම්බන්ධයෙන් නිලධාරීන් විසින් විමර්ශනයක් කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විමර්ශන ප්‍රගතිය ඊයේ අධිකරණයට දැන්වූ අතර ඒ අනුව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එම ප්‍රකාශය ස්වේච්ඡාවෙන් සිදු කළ එකක් බව නිගමනය කළේය.

එබැවින් එම ප්‍රකාශය රජයේ සාක්ෂියක් බවට පත් කිරීමට තීරණය කළ විනිසුරු මඬුල්ල විත්තිකරු මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙස දන්වා එවකට ගල්කිස්ස හිටපු මහෙස්ත්‍රාත්වරයාට නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළේය.
ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment