පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රසිද්ධ නොකළ එස්.අයි. ඉමාම් වාර්තාව දින 7ක් තුළ ප්‍රසිද්ධ කරන්න

71

උදය ගම්මන්පිල රජයෙන් ඉල්ලයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන දැනට ප්‍රසිද්ධ නොකළ එස්.අයි. ඉමාම් වාර්තාව සහ ඒ.එන්.ජේ. ද අල්විස් වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට තමන් ආණ්ඩුවට දින 7ක කාලයක් ලබාදෙන බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

එසේ නොමැති නම් තමන් විසින් එම වාර්තා ප්‍රසිද්ධියට පත්කරන බවත් එම වාර්තා ප්‍රසිද්ධ කළ පසු අනුරපානයෙන් මත්ව සිටින ජනතාවකට සිහි එළවා ගත හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙම අදහස් දැක්වීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙසේද පැවසීය.

පසුගිය සඳුදා මාධ්‍ය හමුවේදී ජනාධිපතිතුමා හිස් අතින් කටුවපිටිය පල්ලියට ගිය එක වැරදියි. පල්ලිය හැමදාම ඉල්ලන පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කමිටු දෙකේ වාර්තා දෙක අරගෙන යන්න තිබුණා කියා මම ප්‍රකාශ කළා. තවදුරටත් පමා නොකර මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න කියලා මම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. මේ පිළිබඳ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ඇමතිතුමාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. එවිට ඇමතිතුමා කිව්වේ පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තා නැතිවුණේ කොහෙමද, ඒවායේ පිටු ගැලවුණේ කොහොමද කියලා අපි සොයා බලනවා කියලා.

ගරු ඇමතිතුමනි, කිසිම වාර්තාවක් නැති වෙලත් නෑ, පිටු අඩු වෙලත් නෑ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් තිබුණු ජනාධිපති කොමිසමේ වාර්තාවේ ජාතික ආරක්ෂාවට සංවේදී කොටසක් ප්‍රසිද්ධ නොකිරීමට කොමිසම නිර්දේශ කරලා තිබුණු නිසා ඒ කොටස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණේ නෑ. නමුත් ඒ කොටසේ තමයි මහමොළකරු ගැන තිබෙන්නේ. ඒ නිසා ඒකත් ප්‍රසිද්ධ කළ යුතුයි කියලා එදා විපක්ෂයේ සිටිය මාලිමාව වගේම කතෝලික පල්ලියට සම්බන්ධ සමහරු ඉල්ලා සිටි නිසා ඒ සංවේදී කොටසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මහජන ආරක්ෂක ඇමැතිතුමා කතෝලික රදගුරු සභාවේ සභාපති හැරල්ඩ් ඇන්තනි රදගුරුතුමාට භාර දුන්නා. ඒ කොටස්වලින් මහමොළකරු සොයාගන්න නම් බැරිවෙලා තිබෙනවා. ඒ වාර්තාවේ ප්‍රසිද්ධ නොකළ කොටස ගැන නම් විජිත හේරත් ඇමතිතුමා කතා කරන්නේ ‘ඒක දැන් ජනාධිපති ලේකම්ගෙන් ඉල්ලා ගන්නත් පුළුවන්, නැත්නම් හැරල්ඩ් ඇන්තනි රදගුරුතුමාගෙන් ඉල්ලා ගන්නත් පුළුවන්.’

අපි වගේම කතෝලික පල්ලියත් ආණ්ඩුවට ප්‍රසිද්ධ කරන්න කියලා ඉල්ලන්නේ දැනටමත් ප්‍රසිද්ධ කරපු ජනක් ද සිල්වා වාර්තාව නොවේ, දැනට ප්‍රසිද්ධ නොකරපු එස්.අයි. ඉමාම් වාර්තාවයි, ඒ.එන්.ජේ. ද අල්විස් වාර්තාවයි ප්‍රසිද්ධ කරන්න කියලා අපි කිය්නනේ. විශ්‍රාමික විනිසුරු එස්.අයි. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව 2024 ජුනි 25දාත්, විශ්‍රාමික විනිසුරු ඒ.එන්.ජේ. ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව 2024 සැප්තැම්බර් 14 දාත් හිටපු ජනාධිපතිතුමාට භාර දුන්නා.

සර්වජන බලය කොළඹ දිසා අපේක්ෂකවරුන් වන ශිරන්ත ජයලත්, සේනක මංගල යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.
ධර්මසේන වැලිපිටිය


advertistmentadvertistment