පාස්කු ප්‍රහාරයේ විමර්ශනයට ජනපතිට සම්පූර්ණ සහය ලබාදීමට සජබ සූදානම් – හිටපු පා. මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

48

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීමට අවශ්‍ය සම්පුර්ණ සහය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන සන්ධාන කණ්ඩායම සුදානම් යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේ දී (07 දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙසේ අදහස් දැක්වීය.

අපේ රටේ සිදුවුණ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වවලට තවම සාධරණයක් ඉටුවී නෑ. ඒ වගේම වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුවාපිටිය පල්ලියට ගොස් පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වුණ පිරිස සමග සාකච්ඡා කළා. පාස්කු ප්‍රහාරය සහ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වුණ පිරිස පිළිබඳව විශේෂ අවධානයක් ජනාධිපතිවරයා යොමු කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා. සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන සන්ධානයේ කණ්ඩායමට අවශ්‍යව තිබෙන්නේ පාස්කු ප්‍රහාරයේ සුළු මුල සහ එම ප්‍රහාරයේ මහ මොළකරු කවුරුන්ද මෙම ප්‍රහාරය පිටුපස තිබෙන දේශපාලන කුමන්ත්‍රණය පිළිබඳව දැන ගන්න. ඒ වගේම රටේ ජනාධිපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්වුණානම් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයන්න විශේෂ වැඩපිළිවෙළක් අපි සකස් කර තිබුණා. එම වැඩසටහන පිළිබඳව අපි කාදිනල් හිමියන්ටත් දැනුම් දී තිබෙනවා. ජාත්‍යන්තර සහාය ලබාගෙන පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ ශක්තිමත් කරන්න තමයි අපි බලාපොරොත්තුවෙන් සිටියේ. කෙසේ නමුත් පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීමට අවශ්‍ය සම්පුර්ණ සහය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන සන්ධාන කණ්ඩායම සුදානම්. මේ සම්බන්ධයෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරලා හැකි ඉක්මනින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වුණ පිරිසට සාධාරණයක් ඉටු කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ සඳහා අවශ්‍ය වන සම්පුර්ණ සහාය ලබාදෙන්න සමගි ජන සන්ධානය සහ සජිත් ප්‍රේමදාස මහතා සුදානම්.

ඒ වගේම මේ වනවිට මහ මැතිවරණය සඳහා අවශ්‍ය අපේක්ෂකයන් තෝරා ගැනීම සිදුවෙනවා. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකටම උගත්, බුද්ධිමත්, නියෝජනයක් ඇතුළත් තරුණ කාන්තා නියෝජනය ඇතුළත්, චෝදනාවලට ලක් නොවුන පිරිසිදු කණ්ඩායමක් මෙවර මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයෙන් ඉදිරිපත් කරන්න කටයුතු කරනවා. පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත් කරන විට සුදුසු – වගකීමක් දැරිය හැකි නියෝජිතයන් පත් කරන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම සමගි ජන බලවේගයට වැරදි නිවැරදි කර ගැනීමට තිබෙන අවස්ථාවක් තමයි පාර්ලිමේන්තු මැතිවරණය. ඒ නිසා අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියට යන්න යන්න සමගි ජන බලවේගය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ සහ රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේ දී ඡන්දය ලබාදුන්න විශාල ප්‍රමාණයක් මේ වනවිට අපිත් එක්ක එකතු වෙලා සිටිනවා. ආසන සංවිධායකවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුලු පිරිසක් අපි සමග මේ වනවිට එකතු වී සිටිනවා.

එක්සත් ජාතික පක්ෂය සමග සිදුකරන සාකච්ඡා කඩාකප්පල් කරන්නේ සමගි ජන බලවේගය සහ සජිත් ප්‍රේමදාස මහතා බව ඇතැම් පිරිස් චෝදනා කරනවා. සමගි ජන සන්ධානය සමග එකතුවෙන කණ්ඩායම් සමග අපි සාකච්ඡා කළා. ඒ වගේම අපි ඔවුන්ට විවිධ කොන්දේසිත් පනවලා තිබෙනවා. අපි යම් යම් කොන්දේසි ඉදිරිපත් කරන්නේ පක්ෂයේ තිබෙන පිරිසිදුකම රැක ගන්න. සමගි ජන සන්ධානයට එකතු වෙන්න සාකච්ඡා කරන සියලුදෙනා අපි එකතු කරගන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි එක්සත් ජාතික පක්ෂයේ සිටින ජනතා විශ්වාසය නැති පිරිස් සමගි ජන සන්ධානයට එකතු කරගන්නේ නෑ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා ලබාදෙන්න කියලා අපි පැහැදිලිවම කිව්වා. එවිට අපිට පිරිසිදු දේශපාලන ගමනක් ගමන් කරන්න හැකියාව තිබෙනවා. එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනත් කෙනෙකුට ලබාදීලා සමගි ජන සන්ධානයට එකතු විය යුතුයි. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අත්හැරදාලා යන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා පාර්ලිමේන්තුවට එන්නේ නෑ කියලා. එසේනම් පක්ෂ නායකත්වයේ තවදුරටත් ඔහු සිටීම තේරුමක් නොමැති කාරණයක්. ඒ නිසා තමයි අපි යෝජනා කළේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. නමුත් එවැනි අවශ්‍යතාවක් ඔවුන්ට නෑ.

පසුගිය රජය මැති ඇමැතිවරුන්ට සහ රජයේ නිලධාරින්ට ලබාදී තිබු වාහන සම්බන්ධයෙන් පසුගිය දවස්වල රටේ දැඩි කතාබහක් නිර්මාණය වුණා. ඒ සම්බන්ධයෙන් එම මැති ඇමැතිවරු සහ නිලධාරින් වැරැද්දක් සිදු කර තිබෙනවානම් ඒ සඳහා නිසියාකාරව නීතිය ක්‍රියාත්මත කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒය ප්‍රවෘත්තියක් බවට පමණක් පත්වී නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් එයින් වැඩක් නෑ. ඒ සම්බන්ධයෙන් වැරැද්දක් සිදුවෙලා තිබෙනවානම් ඒ වැරැද්ද හෙළි කරන්න කියලා අපි වර්තමාන රජයෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය රජය පෙනී සිටින්නේ ජනතාව වෙනුවෙන් නෙවෙයි ව්‍යාපාරිකයන් වෙනුවෙන් කියලා ජාතික ජන බලවේගය චෝදනාල එල්ල කළා. ඒ නිසා මිල පාලනය කරන්න නොහැකි බවත් ඔවුන් ප්‍රකාශ කළා. රටේ ජීවන බර අධික වෙලා තිබෙනවා කියලත් ඔවුන් ප්‍රකාශ කළා. ඔවුන්ට දැන් අවස්ථාව ලැබිලා තිබෙනවා භාණ්ඩවල මිල පාලනය කරලා රටේ ජනතාවට සහන ලබාදෙන්න. අපිත් කියන්නේ පුලුවන් ආකාරයට ජනතාවට සහන ලබාදෙන්න කටයුතු කරන්න කියලා. ජාතික ජන බලවේගය ව්‍යාපාරිකයන්ට යටත් වෙලාද කියලා අපිට සැක මතුවෙනවා. ජනතාව වෙනුවෙන් ඉටු කරන්න පුලුවන් සෑම දෙයක්ම ඉටු කරන්න වහාම කටයුතු කරන්න කියලා අපි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඒ සඳහා අවශ්‍ය සහාය අපි ලබාදෙන්න සුදානම්.

අකිත පෙරේරා


advertistmentadvertistment