පාස්කු ප‍්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු නොදීම ගැන නිලන්ත සමාව ඉල්ලුවා: හිටපු ආරක්‍ෂක රාජ්‍ය ඇමැති සාක්‍ෂිදෙයි

333

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල වන බවට ලද බුද්ධි තොරතුරු ප‍්‍රහාර එල්ලවන තුරුම ජනාධිපතිවරයා රටින් බැහැරව සිටින අවස්ථාවේදී හෝ තමාට දැනුම්දීමට පියවර නොගත්තේ මන්දැයි රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධනගෙන් තමා විමසූ බවත් එකී තොරතුරු ලබාදීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් ඔහු තමාගෙන් සමාව අයැද සිටි බවත් හිටපු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කොළඹ විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේදී සාක්‍ෂි ලබාදෙමින් ඊයේ (14 දා) ප‍්‍රකාශ කළේය.

යහපාලන රාජ්‍ය පාලන සමයේ හිටපු ජනාධිපතිවරයා විදේශගතවූ පසු වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස අවස්ථා පහකදී පමණ තමාව පත් කළත් බොහෝ විට එකී පත්වීම්වලට අදාළ ලිපි තමාට ලැබුණේ ජනාධිපතිවරයා නැවත ශී‍්‍ර ලංකාවට පැමිණීමෙන් පසුව බවද පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‍ෂි ලබාදෙමින් රුවන් විජයවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.

එකී ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් ආරක්‍ෂක ලේකම්වරයා පොලිස්පතිවරයා ඇතුළු වගකිවයුතු අංශවලට වට්ස්ඇප් මාර්ගයෙන් දැනුම් දුන් බවත් ලැබෙන සෑම බුද්ධි තොරතුරක්ම රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාට දැනුම් දීමක් නොකරන නිසා එවැනි අතපසුවීමක් සිදුවූ බවද නිලන්ත ජයවර්ධන මහතා තමන්ට ප‍්‍රකාශ කළ බවත් සාක්‍ෂිකරු එහිදී ප‍්‍රකාශ කළේය.

පාස්කු ප‍්‍රහාර මාලාව පිළිබඳ දැනගත් වහාම තමාව දුරකථනයෙන් ඇමතූ එවකට අගමැතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික‍්‍රමසිංහ මහතා වහාම ආරක්‍ෂක මණ්ඩල රැුස්වීමක් කැඳවීමට පියවර ගන්නා ලෙසට උපදෙස් ලබාදුන් බවත් ඒ අනුව ආරක්‍ෂක ලේකම්වරයා පොලිස්පතිවරයා ඇතුළු පිරිසට අවස්ථා හතරකදී ඒ පිළිබඳව දැනුම්වත් කළත් ඒ කිසිවකුත් අරලියගහ මන්දිරයට නොපැමිණි බවත් හිටපු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා සාක්‍ෂි දෙමින් පැවැසීය.

ජනාධිපතිවරයාගේ අනුමැතියකින් තොරව ආරක්‍ෂක මණ්ඩල රැුස්වීමක් කැඳවීමේ හැකියාවක් නොමැති බව ඒ සම්බන්ධයෙන් කළ විමසීමේදී එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ විත්තිකාර හේමසිරි ප‍්‍රනාන්දු මහතා තමන්ට දැන්වූ බවත් පැවසූ රුවන් විජයවර්ධන මහතා ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා රටින් බැහැරව සිටි ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එම උත්සාහයත් ව්‍යර්ථ වූ බවද ප‍්‍රකාශ කළේය.

ආරක්‍ෂක අමාත්‍යවරයා ඇතුළු වගකිවයුතු නිලධාරීන් ආරක්‍ෂක මණ්ඩල රැුස්වීමට සහභාගි වීමට අරලියගහ මන්දිරයට නොපැමිණීම නිසා පාස්කු ප‍්‍රහාරයෙන් පසුව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ආරක්‍ෂක අමාත්‍යාංශයට පැමිණි බවද සාක්‍ෂිකරු එහිදී ප‍්‍රකාශ කළේය.

ප‍්‍රහාර එල්ල වන විට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් සහරාන් හෂීම් ප‍්‍රමුඛ මුස්ලිම් ආගමික අන්තවාදීන් පිරිසක් 2019.04.21 වැනිදා එල්ල කළ මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාව වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීම මගින් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් රාජකාරි වගකීම් පැහැර හැරීම ඇතුළු අධිචෝදනා 855 ක් යටතේ හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාට එරෙහිව පවරා තිබූ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි දෙමින් රුවන් විජයවර්ධන මහතා එලෙස ප‍්‍රකාශ කළේය.

නීතිපතිවරයා විසින් පවරා තිබූ එම නඩුව නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඞ් ඉර්සඞීන් යන විනිසුරු මඬුල්ල හමුවේදී පැවැත්විණි. එහිදී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‍ෂිදුන් රුවන් විජයවර්ධන මහතා මෙසේද කීය.

2015 ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් පසුව මෛති‍්‍රපාල සිරිසේන මහතා රටේ ජනාධිපතිවරයා ලෙස පත්වුණා. එතුමාගේ නායකත්වයෙන් පිහිටවූ යහපාලන රජයේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මා 2015.01.12 දා පත් කළා. 2018.08.17 වැනිදා වනතුරු මම එම රාජ්‍ය අමාත්‍ය ධුරය දැරුවා. මගේ රාජ්‍ය අමාත්‍යාංශයට ආරක්‍ෂක සේවා රණවිරු අධිකාරිය ඇතුළු ආයතන හතරක වගකීම පවරා තිබුණා. ජනාධිපතිවරයා විසින් විපක්‍ෂයේ සිටි මහින්ද රාජපක්‍ෂ මහතාව අගමැති ධුරයට පත්කිරීම නිසා අපේ රජය වෙනස් වුණා. 2018 දෙසැම්බර් 20 වැනිදා යළිත් මා ආරක්‍ෂක රාජ්‍ය ඇමැතිවරයා ලෙස පත්වීම් ලැබුවා. යහපාලන රාජ්‍ය පාලන සමය ආරම්භ වූ 2015 ජනවාරි සිට සතියේ සෑම බදාදා දිනකම වගේ ආරක්‍ෂක මණ්ඩල රැුස්වීමත් සෑම අඟහරුවාදා දිනකම ආරක්‍ෂක සමාලෝචන රැුස්වීමත් පැවැත්වුණා. නමුත් පසුකාලීනව ආරක්‍ෂක මණ්ඩල රැුස්වීම පැවැත්වූයේ බොහෝම අඩුවෙන්. සමහරවිට මාසෙකට දෙකකට වරක් ඒක පැවැත්වුණේ ජනාධිපතිවරයාට හිතුන විටෙකයි.

2018 වසරේදී ආරක්‍ෂක මණ්ඩල රැුස්වීමේදී මා යෝජනා කළා ජාතික බුද්ධි ප‍්‍රධානියාට පුළුල් බලතල ලැබෙන ලෙස කටයුතු කර සෑම අංශයකින්ම ලැබෙන බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමේ නිසි වැඩපිළිවෙළක් සැකසිය යුතු යැයි කියලා. ජනාධිපතිවරයා හා අගමැතිවරයා සහභාගිවූ රැුස්වීමකදියි මම එලෙස යෝජනා කළේ. නමුත් මගේ ඒ යෝජනාව කිසිදා කි‍්‍රයාත්මක වුණේ නෑ.

සහරාන් හෂීම් සමාජ මාධ්‍ය මගින් දැඩි මුස්ලිම් අන්තගාමී අදහස් පළ කිරීම නිසා අවස්ථා දෙකකදී විතර ආරක්‍ෂක මණ්ඩල රැුස්වීම්වලදී ඒ ගැන සාකච්ඡුා වුණා. ඔහුට අධිකරණයක් මගින් විවෘත වරෙන්තු නිකුත් කර තිබූ බව මම දැනගෙන හිටියේ නෑ. 2018.12.20 වැනිදා ඉඳලා පැවැති කිසිම ආරක්‍ෂක මණ්ඩල රැුස්වීමකට මට හෝ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ආරාධනා ලැබුණේ නෑ. එම රැුස්වීම් සංවිධානය කර දැනුම් දෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන්. මට හෝ රනිල් වික‍්‍රමසිංහ මහතාට එම රැුස්වීම්වලට ආරාධනා නොකිරීම සම්බන්ධයෙන් මම ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාගෙන් විමසා සිටියා. ඔහු කීවා ජනාධිපතිවරයා අපි දෙන්නා ඒවාට එනවට කැමති නෑ කියලා. ජනපතිගේ කැමැත්ත නොමැතිව ආරාධනා කරන්න බෑ කියලත් එතුමා කිව්වා. 2019 ජනවාරි මාසේදී විතර තමා ඔහු එලෙස කීවේ. මගේ කාර්යාලය තිබුණෙත් ආරක්‍ෂක අමාත්‍යාංශ ගොඩනැඟිල්ලේ තුන්වන මහලේ. ආරක්‍ෂක ලේකම්තුමාගේ කාර්යාලය හා ජාතික බුද්ධි ප‍්‍රධානියාගේ කාර්යාලය තිබුණෙත් එම මහලේමයි.

මගේ කාර්යාලයට පෙනෙන දුරින් ඒ රැස්වීම් පැවැත්වුණත් මට ඒ සඳහා ආරාධනා ලැබුණේ නැ. යහපාලන රාජ්‍ය සමයේ ආරක්‍ෂක ලේකම්වරුන් පස් දෙනකු විටෙන් විට පත්වීම් ලැබුවා.

පාස්කු ප‍්‍රහාර එල්ලවන විට ජනාධිපතිවරයා රටේ හිටියේ නැති නිසා තමයි අගමැතිවරයා මට උපදෙස් දුන්නේ රට තුළ වාතාවරණය ගැන ජාතික ආරක්‍ෂාව ගැන සාකච්ඡුා කරන්න. ආරක්‍ෂක මණ්ඩල රැුස්වීමක් කැඳෙව්වේ. නමුත් ඒ රැුස්වීමට කිසිවකුට යන්න එපා කියලා ජනපතිවරයා කියලා තිබුණ බවයි අපිට දැන ගන්නට ලැබුණේ. ආරක්‍ෂක ලේකම් ලෙස කටයුතු කළ හේමසිරි ප‍්‍රනාන්දු මහතා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය දරන අතරතුර ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය ඇතුළු වගකිවයුතු ආයතන කිිහිපයක ප‍්‍රධාන තනතුරු දැරුවා. වැඩබලන ආරක්‍ෂක ඇමැති ධුරයට කෙනෙක් පත්කර නොතිබීම නිසා ජනාධිපතිවරයා රටේ නොමැති අවස්ථාවකදී ජාතික ආරක්‍ෂාවට අදාළ පියවර ගැනීමේ වගකීම් තිබෙන්නේ ආරක්‍ෂක ලේකම්වරයාටයි. ජනාධිපතිවරයාට දුරකථනයෙන් හෝ දැනුම්වත් කර රට තුළ හදිසි නීතිය පැනවීම සිදුකර ඉදිරි ආරක්‍ෂක පියවර ගැනීමේ හැකියාව හා වගකීම තිබුණේ එතුමාටයි. රටේ ජනතාවගේ ඡුන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ධුරයට පත්වූ මට හිටපු ජනපතිවරයාගේ එම කි‍්‍රයාකලාපය නිසා මා වෙත පැවරුණ වගකීම් නිසිලෙස ඉටුකරන්න ලැබුණේ නෑ.

පාස්කු ඉරිදා දින දිව්‍ය පූජාව අවසන් කර මීසම් ධර්ම සේවා සමිතිවල සාමාජිකයන්ට ස්තුතිය පුද කිරීමේ කතාව පවත්වමින් සිටියදී දේවස්ථානය තුළ විශාල ශබ්දයක් නැඟුණ බවත් ඒ සමගම දේවස්ථානය කළු දුමකින් වැසී ගිය බවත් එහිදී සාක්‍ෂි දෙමින් ප‍්‍රකාශ කළ කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සහයක මීසම් පාලකවරයා ලෙස කටයුතු කළ ‘සමීර සුදර්ශන රොද්‍රිගෝ පියතුමන් ඉන් මොහොතකට පසු බලන විට සිය දේවස්ථානයට රැුස්ව සිටි බැතිමතුන් අතරින් බොහෝ දෙනකු තැන තැන මැරී වැටි සිටිනු හා බරපතළ තුවාල ලබා සිටි බව දක්නට ලැබුණේ යැයි හැඟීම්බරව ප‍්‍රකාශ කළේය.

වැඩිදුර සාක්‍ෂි විභාගය අද (15 දා) පෙ.ව. 9.30 දක්වා කල් තැබිණි.

නීතිඥ අසිත විපුලනායක, ඉන්දික බණ්ඩාර අබේකෝන්, ජ්‍යෙෂ්ඨ නීතිඥ වරුණ සේනාධීර යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ නෙවිල් අභයරත්න මහතා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය.

රජයේ අධිනීතිඥ හංස අබේරත්න, රජයේ අධිනීතිඥ මලිෂා මඩවලගම මහත්මිය ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා පැමිණිල්ල මෙහෙය විය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment