පාස්කු ප‍්‍රහාරයේ වැරදිකරුවන් රකින්න බාල්දු වැඩ එපා – ආණ්ඩුව හදන්නේ ඇත්ත වහන්නයි – කාදිනල්තුමාගෙන් සැර කතාවක්

191

* මේ හදන්නේ මෛති‍්‍රපාල රකින්න

* ඒ ගොල්ලෝ ජාත්‍යන්තරයට යනවා නම් අපිත් යනවා

* අපට ඕනෑ පළිගන්න නෙවෙයි, යුක්තියයි

* එයාලට එක නීතියක් අපට එක නීතියක්

පාස්කු ප‍්‍රහාරයේ මහමොළකරුවන් ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුව ජාත්‍යන්තරයේ සහාය පතනවා නම් තමන්ද ඊට එරෙහිව ජාත්‍යන්තරය ඉදිරියට ගොස් කරුණු දක්වන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පැවසීය.

ඒ නිසා තමා අගමැතිට සහ විදේශ ඇමැතිවරයාට පවසන්නේ වතිකානුවට ගොස් පාස්කු ප‍්‍රහාරයේ වැරදිකරුවන් ආරක්ෂා කර ගැනීමේ බාල්දු වැඩවල නොයෙදෙන ලෙසත් එය තමන් තරයේ හෙළා දකින බවත් යැයි ද කාදිනල්තුමා සඳහන් කළේය.

කාදිනල්තුමා මේ බැව් පැවසුවේ ඊයේ (08 දා) කොළඹ අගරදගුරු මැඳුරේ පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කාදිනල්තුමා මෙසේ ද පැවසීය.

අප රට නිදහස ලබා වසර 73 ක් වෙනවා. එතැන් සිට ක‍්‍රම ක‍්‍රමයෙන් ගොඩනැඟුණු දූෂිත දේශපාලන බලය දැන් එක පුද්ගලයෙක් අතට ලබාදීම තුළ දූෂිත ක‍්‍රමය ශක්තිමත් වී තිබෙනවා.

ඒ අනුව අපට පාස්කු ප‍්‍රහාර සිද්ධිය සම්බන්ධ සාධාරණ විසඳුමක් ලැබේදැයි කියා සැකයක් තිබෙනවා.

අප ඉල්ලා සිටින්නේ සාධාරණය කි‍්‍රයාත්මක කරන ලෙසටයි.

රටේ නීතිය, ආධිපත්‍යය හරි හැටි කි‍්‍රයාත්මක කරන්න. දැන් අපට සිදුව ඇත්තේ එය හරියට කි‍්‍රයාත්මක වෙනවාදැයි කියා දැන ගැනීමට ‘ලිට්මස්’ පරීක්ෂණයක් සිදු කිරීමටයි.

අපගේ ඉල්ලීම කිසිවකුගෙන් පළිගැනීමක් සඳහා නොවෙයි. යුක්තිය සහ සත්‍යතාවය හෙළි කර ගැනීම සඳහා ගනු ලබන උත්සාහයක් පමණයි. ඒ සඳහා ආගම, ජාතිය, භාෂාව ප‍්‍රශ්නයක් නැහැ. දේශපාලනඥයින් ආරක්ෂා කරන්න උත්සාහ ගන්න එපා.

නීතිය සර්ව සාධාරණව ඉටු කරන්න. තම පක්ෂයේ කෙනෙක් වරදක් කර ඇත්නම් උසාවියට ඉදිරිපත් කරන්න.

එයයි අවංක දේශපාලනය. තමන් ආරක්ෂා වෙන්න ජාත්‍යන්තරයට ගොස් හැංගෙන්න එපා.

ජාත්‍යන්තරයට යෑම යනු බාල බොළඳ වැඩකි. එය සත්‍ය වසන් කිරීමට දරණ උත්සාහයක් ලෙසයි අපි දකින්නේ.

20 වැනි සංශෝධනයෙන් ජනාධිපතිට මෙය විසඳන්න බලය ලැබී තිබෙනවා. ඒ නිසා මෙය විසඳන්න ජාත්‍යන්තරයේ සහාය පතන්න අවශ්‍ය නැහැ.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධව හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා පැවසුවේ එය දැවැන්ත කුමන්ත‍්‍රණයක් බවයි.

එය අප දැනගත යුතුයි. එහි පිටුපස ඇත්තේ කවුද කියා හෙළි කරගත යුතුයි.

තම සභාග රජයේ ඉන්න කෙනා නිසා නීතිය වෙනස් කරන්න බැහැ.

ජනාධිපතිවරයා බලයට එන්න දේශපාලන වේදිකාවේදී මොරදුන්නේ එක රටක් එක නීතියක් කියායි.

දැන් කියන්නේ ඔයාලට එක නීතියක් අපට එක නීතියක් කියාය.

අපට පෙනෙන්නේ මෙය හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ආරක්ෂා කර ගන්න ගන්නා උත්සාහයක් ලෙසයි. එහෙම කරන්න එපා. අප එය හෙළා දකිනවා.

මෙහිදී කතා කළ සිරිල් ගාමිණී ප‍්‍රනාන්දු පියතුමා

කතෝලික ජනතාව ලෙස අප ජාත්‍යන්තරයට යෑමේ වගකීම භාර ගත යුත්තේ ආණ්ඩුවයි. පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටුකර ගැනීම සඳහා රජය කටයුතු නොකර ජාත්‍යන්තරයට ගොස් එහි මහමොළකරුවන් ආරක්ෂා කර ගන්න දරණ උත්සාහය පරාජය කරන්නයි අපත් ජාත්‍යන්තරයට යන්නේ. ඒ නිසා අපව ජාත්‍යන්තරයට යෑම තල්ලූ කළේ ආණ්ඩුවයි.

රටේ ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු ප‍්‍රසිද්ධ නොකළ යුතුයි. එය අප පිළිගන්නවා. නමුත් ඇතැම් දේශපාලනඥයින් පාර්ලිමේන්තු වරප‍්‍රසාදවලට යටත්ව ඒවා හෙළි කළා.

මේ ආණ්ඩුව වතිකානුවත් ජාත්‍යන්තරයත් රවටන්න හදනවා.

රජය අවංක නම් පාස්කු ප‍්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කළ යුතුයි. එසේ නොකරනවා නම් ඊට පිළිතුරු දිය යුතුයි.

හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සම්බන්ධ නිර්දේශ කි‍්‍රයාත්මක කරනවා ද නැති ද කියා ආණ්ඩුව කෙලින් උත්තරයක් දිය යුතුයි.

නිලන්ත ජයවර්ධනට බුද්ධි තොරතුරු ගණනාවක් මෙම ප‍්‍රහාරය සිදුවීමට පෙර අවසන් මොහොතේදීත් ලැබී තිබෙනවා. කවුද ප‍්‍රහාරය සිදු කරන්නෙ. කොහේටද සිදුකරන්නේ කියා නිශ්චිත තොරතුරු ලැබී තිබුණා.

ප‍්‍රහාරයට පිළිබඳ සම්පූර්ණ කරුණු දැන එය යට ගැසීම නිසා වටිනා ජීවිත රැුසක් විනාශ වුණා.

එම ජීවිත කතෝලිකම නොවෙයි බෞද්ධ, මුස්ලිම්, දෙමළ, විදේශ ජාතිකයින් ද එහි සිටියා.

මෙම තොරතුරු යටගැසීම අපරාධයක් නොවේද?

ඒ නිසා ඔහු සම්බන්ධව ජනාධිපති කොමිසම ලබාදී තිබූ නිර්දේශ කි‍්‍රයාත්මක කරනවා ද කියා ආණ්ඩුව ප‍්‍රකාශ කළ යුතුයි.

අපි දකින්නේ නැහැ එහි පළමු පියවරවත් ගෙන තිබෙනවා කියා.

හිටපු ජනාධිපතිට නඩු දාන්න බැහැ. මුක්තිය ඇති නිසා ජනාධිපති නීති උපදේශක හරිගුප්ත සේනාධීර මහතා මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර තිබුණා. එහෙම මුක්තියක් නැහැ. අපරාධයක් සම්බන්ධයෙන් නීතිය ඉදිරියට ගේන්න හැකියාව තිබෙනවා.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධව නීතිය කි‍්‍රයාත්මක කර ගැනීමට අපට ඇති හදිස්සිය මේ අනුව අතිශය සාධාරණ බව ජනතාවට වැටහෙනවා. අනෙක් කොමිසමේ වාර්තාවේ අපට ලැබුණේ නැත. එක් වෙළුමක් පමණයි. අනෙක් වෙළුම්වල කරුණු කෝ?

රජය ජාත්‍යන්තරයට ගියත් අප මේ සටන නවත්වන්නේ නැහැ. වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට පාස්කු ප‍්‍රහාරයට වගකිවයුතු අයට එරෙහි නීතිය කි‍්‍රයාත්මක කරන තෙක් අපි එම සටන ගෙන යනවා.

උපාලි ද සේරම්, නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment