පාස්ටර් ජෙරම් නටාෂා ටානියා සහ ප්‍රේක්ෂකාගාරයේ අපි

294

● ‘මෝඩාභිමානය’ ගැන පසුවිපරමක්

ශ්‍රී ලාංකික සමාජ ප්‍රේක්ෂකාගාරය මේ දිනවල බොහෝ සේ උණුසුම් වී ඇත්තේය. ප්‍රේක්ෂකාගාරයේ වඩාත් සාවධානයෙන් සාකච්ඡාවට ලක් විය යුතු පාස්ටර් ජෙරම් ප්‍රනාන්දුගේ භූමිකාව දැන් යටපත්ව ගොස්ය. ඒ වෙනුවට ප්‍රේක්ෂකාගාරය උණුසුම්ව ඇත්තේ ‘මෝඩාභිමානය’ නම් වූ මාතෘකාවක් හරහා අපේ අවධානයට ලක්වූ කාන්තාවන් කිහිපදෙනකු නිසාය.

කීපදෙනෙක් යැයි කීවාට මේ කතාවේදී අපට වඩාත් වැදගත් වන්නේ නටාෂා එදිරිසූරිය නමින් දැන් සති දෙකක පමණ කාලයක් තිස්සේ මේ රටේ සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය කැළඹවූ කාන්තාවක් ය. ඊට අමතරව ටානියා ලෙව්වන්දූව නමින් ද තවත් කාන්තාවක් කරළියට පැමිණියේය. ඔවුන් කාන්තාවන්ද තරුණියන්ද කියා පැහැදිලි නැතත් කතා විලාශයෙන් නම් සමාන වන්නේ කට වාචාල පිරිමින්ටත් එහා ගිය සත්ත්ව කොට්ඨාසයකට බව නම් පැහැදිලිය. අද වන විට ඔවුන්ගේ කඳවුර නියෝජනය කරන්නට ද තවත් විවිධ සමාජ කණ්ඩායම් ඉදිරිපත් වී තිබේ.

නටාෂා එදිරිසූරිය හා ඇයගේ මෝඩාභිමානය ප්‍රසංගය සමාජයේ මේ තරම් කතාබහට ලක්වූයේ බහුතර ලංකාවාසී බෞද්ධයන්ගේ අනන්ත ගෞරව බහුමානයට ලක් වූ සිද්ධාර්ථ චරිතයට හා බුදුදහමට ඈ ඉන් එල්ල කරන්නට පටන්ගත් ප්‍රහාරයක් නිසාය. විශේෂයෙන්ම ඈ අවමානයට ලක් කළේ බුදු දහමේ හර පද්ධතිය හරහා ගොඩනැඟුණු සංස්කෘතියයි. ඒ සංස්කෘතිය සිංහල බෞද්ධ මහා සම්ප්‍රදායේ පදනමයි. නටාෂා මෝඩාභිමානය නමින් අර්ථ දක්වමින් සිද්ධාර්ථ චරිතය හා බෞද්ධ සංස්කෘතියේ පදනම සුමටව ස්පර්ශ කරමින් ගර්හාවට ලක් කළේ යම් වැරදීමකින්ද, නොදන්නාකමටද, මන්දබුද්ධිකභාවය නිසාද නැතිනම් සිතා මතා කාගේ කොහේ හෝ සැලසුම් සහගත න්‍යාය පත්‍රයකට අනුව ද කියා සිංහල බෞද්ධ සමාජය සෙයාබැලීම හා සාකච්ඡා කරන්නට පටන් ගැනීම වරදක් නොවේ. අසාමාන්‍ය වන්නේ ද නැත.

මේ දිනවල ඇතැමුන්ට ලොකුම ප්‍රශ්නය වී ඇත්තේ නතාෂා හා ඇය ගරු කරන නිරාගමික සමාජ කුලකය විසින් සිද්ධාර්ථ චරිතය, බුද්ධාගම හෝ බෞද්ධ සංස්කෘතිය ගර්හාවට ලක් කිරීම නොව, ඊට විරුද්ධව බෞද්ධ සමාජය නැගී සිටීමයි. එය ඔවුන් අර්ථ දක්වන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ හා භාෂණයේ මානව අයිතිය උල්ලංඝනය කිරීමක් හැටියට ය. හරි අපූරුය. ඔවුන්ට භාෂණයේ නිදහස හා අයිතිය තිබිය යුත්තේ මේ රටේ අති බහුතර ජනපිරිසකගේ ගෞරව බහුමානයට පාත්‍ර වූ බුදුදහම විවේචනය කරන්නට ය.

● කවුද මේ නටාෂා…

නටාෂා එදිරිසූරිය නමින් සමාජ මාධ්‍යයෙහි ප්‍රචලිත මේ කාන්තාව මා දන්නේ මීට මාස හතර පහකට පෙර සිට විවිධ කුඩා කුඩා ප්‍රාථමික සමාජ ඉදිරියේ කෝල නැතුව කුණුහරුප කියන කාන්තාවක් විදියට ය. මුලින්ම ඕ කාන්තාවන් වටිනා යට ඇඳුම් අඳින්නේ නම් ඒවා කෙසේ ඇඳිය යුතුද කියා විග්‍රහයක් කළා ය. වටිනා යට ඇඳුම් සමාජයට පේන්නට ඇඳිය යුතු යැයි ඕ කීවාය. බස් රියක යනවිට වයසක අන්කල් කෙනෙක්ගෙන් ඇයට සිදු වූ අකරතැබ්බයක් ගැන ද ඕ විස්තර කථනයක් කළාය. සමාජයේදී මඟතොටදී දුම්රියේ දී බස් රියේදී කාන්තාවන් හා යුවතියන් මුහුණ දෙන විවිධ ගැටලු සාකච්ඡා කළ ඈ බොහෝ විට ඒවායින් මානව සමාජයේ අඳුරු අහුමුළු ප්‍රශ්න කළ බව සැබෑය. විශේෂත්වය වූයේ එවැනි සිදුවීම් හරහා ඇය ලබන සංතෘප්තිය සමාජගත කිරීමට උත්සාහ කිරීමය.

එවැනි සිදුවීම් හරහා කාන්තාවකට ලැබෙන්නේ ජුගුප්සාවක් හා කලකිරීමක් විනා කවර ගනයේ සංතෘප්තියක් දැයි කෙනකුට ප්‍රශ්න කළ හැක. නටාෂාගේ විශේෂත්වය ඇත්තේ එතැනයි.

පසුකාලීනව ඕ මහා සම්ප්‍රදායන්ට පහර දෙන්නට පටන් ගත්තාය. බුද්ධාගම බෞද්ධ දර්ශනය හා සිංහල බෞද්ධයාගේ ආගමික භක්තිය අභිමානය ඇය සැලකුවේ මෝඩයන්ගේ අභිමානයක් ලෙස ය. ඕ බෞද්ධ බාලිකා විද්‍යාල දැඩි ලෙස අවමානයට ලක් කළාය. ඒවායේ ලජ්ජා භය සහ කෝල සහිත තරුණියන් පුරුදු පුහුණු කරන්නේ අතන මෙතන බෝම්බ පුපුරවා මරාගෙන මැරෙන මුසල්මානයන් දෙව් තුරුලට ගිය පසු ඔවුන්ට කන්‍යාවියන් 72 බැගින් ලබාදීමට බව ඕ ප්‍රකාශ කළාය. ලංකාවේ අග්‍රගන්‍ය බෞද්ධ පාසලේ සිසුවියක් ටෙස්ට් ටියුබයක් මගින් කළාය කියන ක්‍රියාව ඈ සමාජගත කළේ කවුරු හිනස්සනු පිණිසද.

මෙමගින් ඕ බලාපොරොත්තු වූයේ කුමක්ද?

මුල පටන් නටාෂා එවන් ප්‍රකාශන ආකෘතීන් ඔස්සේ ගර්හාවට ලක් කළේ සමාජය නොව, උතුම් මහාමායා දේවි පරපුරේ මාතෘත්වය හා ස්ත්‍රීත්වය බව මම විශ්වාස කරමි. පළමුව ඕ ස්ත්‍රීත්වය අවමානයට ලක් කර තිබේ. දෙවනුව වැදූ මව හා ජාතකය අවමානයට ලක් කළා හැර කර ඇත්තේ වෙන කුමක්ද?

එදා ඇගේ ඒ ව්‍යායාමය සමාජයට ලොකු වෛරසයක් හා පිළිලයක් නොවූයේ සමාජ මාධ්‍ය ඔස්සේ තමන් කැමති වීඩියෝ දර්ශන පමණක් ලබාගන්නටත් අකැමැති ඒවා තල්ලුකර පැත්තකට හරින්නටත් හැකියාවක් පරිගණක හා ඩිජිටල් සාක්ෂරතාවය තුළ පැහැදිලිවම තිබෙන නිසාය. එහෙත් ඕ පසුකාලීනව ‘මෝඩාභිමානය’ ඔස්සේ කරන ලද බලපෑම සුළුපටු නොවීය. බෞද්ධ සමාජයේ හර පද්ධතියට හා සංස්කෘතියට ඈ එසේ එල්ල කරන ලද අධෝ වායු දහරාවේ දුර්ගන්ධය නිසා කෝපයට හා වේදනාවට පත් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකාගාරය ඊට නිසි ප්‍රතිචාර දක්වන්නට වූහ. ඇතැම්හු ඇයව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාවේ යොදවන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළහ. ඇතැම්හු මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දැක්වූහ. ඕනෑම සමාජයක සිටිය හැකි කලබලකාරී නොහික්මුන පිරිස් ද ඔවුන්ගේ සාක්ෂරතාව ඔස්සේ ප්‍රතිචාර දක්වන්නට වූහ. ඒ ඔස්සේ අද වනවිට නටාෂා අති උතුම් සිද්ධාර්ථ චරිතයට හා බෞද්ධ සම්ප්‍රදායට හා සංස්කෘතියට ගැරහීමේ වරදට සැකපිට අත්අඩංගුවට පත්වී හමාරය. දැන් සමාජයේ ඇත්තේ ඇයට හා ඇයගේ සම්ප්‍රදායට එරෙහිව සටන් වදින පිරිසකගේ හා ඇය වෙනුවෙන් පෙනී සිටින පිරිසකගේ උණුසුම් සමාජ සංවාදයකි. ඇයට පක්ෂපාතව සිටින පරපුර පිටුපස ඇතැම් බටහිර බලවේග හා රාජ්‍ය නොවන සංවිධාන ද සක්‍රීයව සිටින බවට සාක්ෂි ද නැතුවා නොවේ.

● නටාෂාට නොදවෙනි ටානියා…

ප්‍රේක්ෂක සමූහයක් ඉදිරිපිට සුද්දියන්ටත් වඩා හොඳින් ඉංග්‍රීසි කතා කරනවා යැයි කියන, ඉංග්‍රීසියෙන් සිංහලෙන් චතුර ලෙස අදහස් ප්‍රකාශ කරමින් ප්‍රේක්ෂකාගාරය පිනවනවා යැයි කියන ටානියා ලෙව්වන්දූව ගැනද බොහෝ කතා තිබේ. අපට හැඟෙන පරිදි ඕ කතෝලික ය. නැත්නම් ක්‍රිස්තියානිය. ඇයට ඒ කිසිදු දහමක් පිළිබඳ ප්‍රශ්නයක් නැත. එහෙත් බුදු දහම හා බෞද්ධ දර්ශනය පිළිබඳ ඇයට ලොකු ලොකු ප්‍රශ්න රාශියක් තිබේ. වර්තමානයේ ත්‍රිපිටකය තුළ ඇති උතුම් වූ සද්ධර්මය තථාගතයන් වහන්සේ වදාළ ධර්මයම ද කියා ඕ ප්‍රශ්න කරයි. තථාගතයන්ගේ සද්ධර්මය වුවත් “ආර්ය ශ්‍රාවකපිරිස” මුඛ පරම්පරාගතව පවත්වාගෙන පැමිණ ග්‍රන්ථාරූඪ කරන විට බරපතළ වෙනසකට ලක්ව ඇති බව ඇයගේ තර්කයයි. ඇය ඊට උදාහරණ ලෙස ගන්නේ අපේ රටේ පුංචි දරුවන් “රහස් මාරුව” මාරුව නමින් පවත්වාගෙන යන ක්‍රීඩාව වීම මොන තරම් විහිළුවක් ද. ඔන්න ඈ බෞද්ධාගම දන්නා තරම. ඇයට අනුව බෞද්ධයෝ 50% අධිමානයෙන් සිටින අය වන අතර ඉතිරි පිරිස හීනමානයෙන් පෙළෙන අය වන්නාහ. එසේ අධිමානයෙන් පෙළෙන කවරෙකුටවත් බෞද්ධාගම ලොව ඇති විශිෂ්ටතම ආගම කියා විශ්වාස කරන්නට අයිතියක් නැත. එසේ අධිමානයෙන් හෝ අභිමානයෙන් බෞද්ධාගම ගැන සිතීම ඇයට අනුව වැරදිය. ඒ කවර නම් තර්කයක්ද. බෞද්ධයෙක් හෝ වේවා හින්දුවෙක් වේවා කිතුනුවෙක් වේවා මුසල්මානුවෙක් වේවා, යම් ආගමක් භක්තියෙන් අදහන්නේ අදහන ආගම ලොව ඇති උතුම්ම ධර්මය කියා ඔවුන් තුළ ඇති විශ්වාසය නිසාය. ඒ විශ්වාසය ප්‍රශ්න කරන්නට හෝ හාස්‍යයට ලක් කරන්නට ටානියාට ඇති අයිතිය කුමක්ද…

● කොමඩි පිටුපස දේශපාලනය…

නටාෂා එදිරිසූරියලා ටානියා ලෙව්වන්දූවලා බෞද්ධාගම හා බෞද්ධ සම්ප්‍රදාය ගර්හාවට ලක්කරමින් පවත්වාගෙන යන නගාසිටුවීමේ ප්‍රහසන stand up comedy කලාව පසුගිය කාලයේ සමාජගත වූයේ SLV LOG නම් වූ වෙබ් අඩවියක් හරහා ය. ඊට අමතරව ඔවුන්ගේ ඒ ප්‍රහසන සමාජය පුරා බෙදාහරින යූටියුබ් නාලිකා හා වෙබ් අඩවි තවත් කිහිපයක් තිබේ. එහෙත් ඒ කාර්යභාරයේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ SLV LOG අඩවියේ හිමිකරු වන බෲනෝ දිවාකර නමැත්තා පසුගිය දිනක මෙවන් වැඩසටහන් ප්‍රචාරය කිරීම ගැන ප්‍රසිද්ධියේ කනගාටුව පළ කළේය. මේවා මතුපිටින් ප්‍රහසන ලෙස පෙනුනත් ඒවා ඇතුළාන්තයෙන් ඇත්තේ “දේශපාලන ව්‍යාපෘති” බව ඔහු පැහැදිලිවම පෙන්වා දුන්නේය. ඔවුන්ද මේ කරන්නේ දේශපාලනයක් බව පිළිගත්තේය. මේ සමාජ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට තමන්ට අවශ්‍ය බව ද කීවේය. තව තවත් බොහෝ දේ කීවේය. එහෙත් ඒ කිසිම තැනක ඔහු මෙබඳු ව්‍යාපෘති පවත්වාගෙන යෑමට යම්කිසි බාහිර බලවේගයක් මුදල් ලබාදෙනවා යන අදහස බැහැර කළේ නම් නැත. එසේම ඔහු තවත් දෙයක් කීවේය. නටාෂා යමක් කීවේද. ඊට ඕ සෘජුවම වගකිව යුතු බවයි. තමන් කර ඇත්තේ එවන් අයට වේදිකාවක් තනා දීම පමණක් බව ඔහු කීවේය.

ටානියා ලා නටාෂා ලා මේ සමාජයේ වීරවරියන් ලෙස ඉස්මතු කරමින් තව වේදිකාවන් ඔස්සේ ප්‍රසිද්ධියට පත්කළ වගකිවයුත්තන් අද මෙසේ කර ඇර ජාමය බේරා ගනිද්දී ඔවුන් වෙනුවෙන් පණ දෙන්නට ඉදිරියට එන පිරිසක් ද වෙති. කවදත් තමන් රැඩිකල් මතධාරීන් බව පෙන්වමින් ඕනෑම සාම්ප්‍රදායික කටයුත්තකට විරෝධය පළ කරන මේ පිරිස හඳුනා ගැනීම අපට අපහසු නොවේ. අපි පසුගිය කාලයේ අරගල භූමියේ සෑම තැනකම දුටු බහුතරයක් මුහුණු ඒ අතර තිබෙන බව වටහා ගැනීම අපහසු නැත. එසේනම් විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාගේ ප්‍රකාශයේ වලංගුතාව පිළිබඳ ප්‍රශ්න කරන්නට අප කලබල විය යුතු නැත. භාෂණයේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව, ආදී විවිධ මාතෘකා ඔස්සේ ඔවුන් දැන් පුවත්පත් සාකච්ඡා පවත්වමින් නටාශා අත්අඩංගුවට ගැනීම ගැන විරෝධය පළ කරමින් සිටිති. මේ රටේ බහුතර සිංහල බෞද්ධයින්ගේ අභිමානය හෝ ආගම් ඇදහීමේ අයිතිය ගැන ඔවුන්ට වගේ වගක් නැත. ඔවුන්ගේ කිරි එරෙන්නට පටන් ගෙන ඇත්තේ නටාෂා ගේ භාෂණයේ නිදහස උල්ලංඝනය වීම ගැනය.

● එකම කාසියක දෙපැත්ත…

අරගල භූමියේ විශාල කාර්යභාරයක් හා වැඩ කොටසක් ඉටු කළ ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී පක්ෂයද මේ කාරණාව ගැන සංවේදී වූහ. පෙරටුගාමීන් වෙනුවෙන් පුබුදු ජයගොඩ අදහසක් පළ කරමින් පෙන්වා දුන්නේ නටාෂාගේ මෝඩාභිමානයෙන් මෙන්ම 1970 දශකයේ මාර්ටින් වික්‍රමසිංහගේ “භවතරණය” නවකතාවෙන්ද සිදුහත් චරිතය බරපතළ ලෙස විවේචනයට ලක් වූ බවයි. එහෙත් එදා සිංහල සමාජය එය යොදාගෙන මාර්ටින් වික්‍රමසිංහට පහර නොගැසූ බව ඔහු පෙන්වා දුන්නේය. මාර්ටින් වික්‍රමසිංහගේ කලාකෘතිය හරවත් විවේචනයකට ලක් කළා විනා විරෝධයකට ලක්කරන්නට එවකට විසූ බෞද්ධයෝ කටයුතු නොකළ බව ඔහුගේ අදහස විය. යක්කඩුවේ හිමියන් ඊට උත්තර දෙන්නට ලියූ පොත ගැනද පුබුදු සඳහන් කළේය. ජනතා විමුක්ති පෙරමුණේ අප මිත්‍ර හඳුන්නෙත්ති මේ කාරණාව ගත්තේ මීට වඩා වෙනස් ආකාරයකටය. මාර්ටින් වික්‍රමසිංහ භවතරණය තුළින් සිද්ධාර්ථ චරිතය විවරණය කිරීම නිසා කෝපයට පත් සිංහල බෞද්ධයෝ ඔහුව අත්අඩංගුවට ගෙන නිසි දඬුවම් දෙන්නයි රජයට බල කළ බව ඔහු පෙන්වා දුන්නේය. ඔහු අත එම පුවත සනාථ කරන සාක්ෂියක් ද විය. සැබෑවකි. 1975 පෙබරවාරියේ පළවූ “සිංහ කොඩිය” නම් පුවත්පතේ ඔහුගේ අදහස සනාථ කරන පුවතක් පළව තිබිණි.

ඒ අනුව බලන විට එකම කාසියක දෙපැත්ත බඳු එම පක්ෂ දෙක සිංහල බෞද්ධයන්ගේ ප්‍රතිචාරය ගැන දක්වන්නේ අදහස් දෙකකි. එහෙත් ඔවුන් දෙදෙනාම එකඟ වන ස්ථානයක් ද තිබේ. ඒ වූ කලී නටාෂා එදිරිසූරිය නම්වූ කට වාචාල කවට කතිකාවියගේ මෝඩාභිමානයේ කාර්යභාරය හෙළයේ මහා සාහිත්‍යධර මාර්ටින් වික්‍රමසිංහයන්ගේ බව තරණයේ උත්තුංග සාහිත්‍යමය කාර්යභාරය හා සමාන වන බවය. සැබැවින්ම ඒ කියන්නේ එය නොවේද…

මෙවන් විකාරරූපී වාද විවාද වලින් අපේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකාගාරය නිර්වින්දනය කර ඇති මොහොතක අපට අපගේ මහා පොදු සාධකය අමතක වී ඇත්තේය. ඒ නම් පාස්ටර් ජෙරොම් ප්‍රනාන්දු ගේ භූමිකාව යට යන්නට ඉඩ දීමයි. එහෙත් මේ වෙලාවේ අපට ඇති භයානකම ප්‍රස්තුතය අර කට වාචාල කවට කතිකාවියන්ගේ කුණුහරුප නොව. වැඩකට නැති කතා අස්සේ ජෙරම් හා ඔහුගේ විනාෂකාරී ව්‍යාපෘති අපට මගහැරී ගිය හැකිය. සැබැවින්ම මේ අවස්ථාවේ නටාෂා එදිරිසූරියගේ භූමිකාව තුළින් යම් බලවේගයක් බලාපොරොත්තුව වූයේ එයම විය නොහැකිද.

බුලිත ප්‍රදීප් කුමාර.

advertistmentadvertistment
advertistmentadvertistment