අවිධිමත් ගමන් බලපත්‍රයක් භාවිත කළ බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසත්‍ය චෝදනා නඟමින් නඩු පැවරීමෙන් තමන්ගේ කීර්තිනාමයට සිදුවූ හානියට රජයෙන් රුපියල් මිලියන 100ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ ඊයේ (12දා) නඩු පවරනු ලැබීය.
නීතිඥ දිනේෂ් ද සිල්වා මහතා මගින් ගොනු කර තිබූ එම නඩුවේ විත්තිකරුවන් ලෙස කටුනායක ආගමන විගමන කාර්යාලයේ බලයලත් නිලධාරි එරංග හෂාන් රඹුක්වැල්ල, ජ්‍යෙෂ්ඨ බලයලත් නිලධාරි සුජීව ගුණරත්න රත්නායක හා නීතිපතිවරයා නම්කර ඇත.
තමා 2015.10.23 වැනි දින එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ඊ. කේ. 651 දරන ගුවන් යානයෙන් ඩුබායි හරහා ඉතාලියේ රෝමය වෙත ගමන් කිරීම සඳහා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගිය බවත් එහිදී තමා භාවිත කළ ඩී. 3643054 දරන රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රය පරීක්ෂා කළ නිලධාරීන් එය අක්‍රීය විදේශ ගමන් බලපත්‍රයක් බව දැනුම් දුන් බවත් එම පැමිණිල්ලෙන් කියැවේ.
එකී විදේශ ගමන් බලපත්‍රය නැති වූ විදේශ ගමන් බලපත්‍රයක් ලෙස ප්‍රකාශ කර ඩී 3643428 දරන නව විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවට මධ්‍යගත පරිගණකයේ සඳහන් වන බවට තමන්ට දැනුම්දීම නිසා තමා නැවත නිවසට ගොස් ඩී 3643428 දරන විදෙස් ගමන් බලපත්‍රය අස්ථාන ගතවී ඇති බවට තලංගම පොලිසියට පැමිණිල්ලක් කොට ඩී 3644667 දරන නව විදේශ ගමන් බලපත්‍රය ලබාගත් බවද එම පැමිණිල්ලෙන් කියැවේ.
එදිනම තම පෙරකී ඩී 3643054 සහ ඩී 3644667 දරන විදෙස් ගමන් බලපත්‍රයක් රැගෙන විදේශ ගතවීමට පැමිණි බවත්, විදේශ ගමන් බලපත්‍ර දෙකම තමා රැගෙන පැමිණියේ අංක ඩී 3643054 දරන විදේශ ගමන් බලපත්‍රයේ වීසා සටහන් ඇත්තේ එම විදේශ ගමන් බලපත්‍රයේ වීම නිසා බවත් පෙන්වා දී තිබූ විමල් වීරවංශ මහතා කෙසේ නමුත් අසත්‍ය තොරතුරු වාර්තා ඉදිරිපත් කර ගන්නා ලද විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබාගැනීමේ චෝදනාව යටතේ තමාව එහිදී අත්අඩංගුවට ගත් බවද එමගින් පෙන්වා දී තිබේ. තමාට එරෙහිව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවේ චෝදනාවලින් 2024.04.01 වැනිදා නිදොස්කොට නිදහස් කර ඇති බවත් අක්‍රිය ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීම වරදක් නොවන බව පැමිණිල්ලේම ස්ථාවරය වීම නිසා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම තමන්ව නිදොස් කොට නිදහස් කළ බවත් විමල් වීරවංශ මහතා එමගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
ඒ.ජේ.ඒ. අබේනායක