පැකර්ට බැරිවුණු ඩයනා ගේන්න යන කැසිනෝ

442

● එදා විරුද්ධ අය මෙදා පක්‍ෂයි….
● පැකර් ගෙනාවේ ඩොලර් මිලියන 650…
● සිංගප්පූරුවෙන් ඩොලර් බිලියනයක්

ජේම්ස් පැකර් නමැති විදේශිකයකු 2013 වර්ෂයේ මෙරටට පැමිණියේය. පැකර් පැමිණීමට පෙර සිට ම ඒ ගැන බොහෝ දෙනකු කුලප්පු වී සිටියහ. ජේම්ස් පැකර් යනු විදේශීය ක්‍රිකට් ක්‍රීඩකයකු හෝ හොලිවුඩ් නළුවෙක් නොවේ. එහෙත් ඒ තරමට ම ජනප්‍රිය තේරෙන භාෂාවෙන් කිවහොත් ‘මාර පොරකි’. සමහරවිට විදෙස් රටවලද ගණන්ගත්තේ නැති උදවිය මේ රටේ දී ‘පොරවල්’ වීම සාමාන්‍ය කාරණයකි. එය අපේ රටේ දේශපාලනඥයන් අපට උරුමකර දී ඇති අපූරු සංස්කෘතික අංගවලින් එකකි. මේ කියන පැකර් ලංකාවට ආවේ ‘කැසිනෝ’ කරන්නටය. පැකර් මේ රටට පැමිණෙනවිට මේ රටේ සුරා සූදුව තුරන්ව ගොස් ‘මතට තිත’ තබා මේ රට ‘මතින් තොර රටක්’ බවට පත්ව තිබුණේ නැත. පැකර් පැමිණියේ කැසිනෝ තිබෙන රටක මහා පරිමාණයෙන් කැසිනෝ කරන්නටය. සරලව කිවහොත් කැසිනෝ මාලිගාවක් කැසිනෝ වීදියක් ආරම්භ කරන්නට ය. එය එසේ මෙසේ ව්‍යාපෘතියක් නොව, ‘මෙගා සයිස්’ වැඩකි. 2013 වර්ෂයේ ‘ජේම්ස් පැකර්’ මුල්වරට මේ රටට එන්නේ ඩොලර් මිලියන 650 ක් මේ රටේ ආයෝජනය කරන්නට බලාගෙනය. සුද්දෙක් එවැනි මෙගා වැඩකට අත ගහනවිට බකංනිලාගෙන සිටී ම රටේ තත්ත්වයට හොඳ නැති නිසා එවකට ආණ්ඩුව ද ‘මෙගා බ්ලාස්ට්‘ පන්නයේ පනතක් ගෙන ආවේ මේ ආයෝජනය සඳහා ඉඩකඩ හදා දෙන්නටය. ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත නමින් එය හැඳින්විණි. මේ පනතේ හැටියට කැසිනෝ සූදු යනුවෙන් ව්‍යාපාර නැත. ඒ සියලු දේ ඇත්තේ හෝටල් පනතේය. ඒ පනත අර්ථකථනය කර තිබූ ආකාරයට මෙරට හෝ පිටරට සිටින විදේශිකයකු හෝ මෙරටට සූදු ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ නම් ඊට සුදුසු ප්‍රදේශ නීතියෙන්ම වෙන්කර දීමේ හැකියාවක් පනත මගින් ඉදිරිපත් කර ඇත. එහෙත් එකී නිශ්චිත ප්‍රදේශ කුමක්ද යන්න එහි අර්ථ ගැන්වී තිබුණේ නැත. පැකර්ට ඩී. ආර්. විජේවර්ධන මාවතේ මතු නොව, කොම්පඤ්ඤවීදියේ ද විශාල ඉඩකඩක් ‘කැසිනෝ‘ මාලිගයක් වෙනුවෙන් (කැසිනෝ නගරයක්) ඉඩකඩ වෙන් වන්නේ එම පනතට පිංසිදු වන්නටය. ජේම්ස් පැකර්ගේ මෙරට ‘සහායට ඩැනී’ ලෙස කටයුතු කළේ ප්‍රකට ව්‍යාපාරික රවී විජේරත්නය.

කෙසේ හෝ මේ කැසිනෝකාරයන්ට එල්ලවූ විරෝධතාවත් ඒ ගැන ආණ්ඩුවේ ම මතුව තිබූ අර්බුදකාරී තත්ත්වයත් නිසා 2014 අග භාගය වන විට පැකර් මේ රට අතැර ගියේය. ඔහු ගියේ යළිත් මේ රටට කිසිදු දිනෙක නොපැමිණෙන්නේ යැයි කියමිනි.

2015 පෙබරවාරි මාසයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ පැකර්ගේ පිටව යෑම ගැන කීවේ මෙවැනි කතාවකි. (එය වාර්තා කර තිබුණේ AFP පුවත් සේවයයි.

‘පැකර් කියනවා එයා ආපහු එන්නේ නෑ කියල. කවුද එයාට එන්න කීවේ’ කරුණා කරලා මේ ජීවිත කාලයේ දී එයාට ලංකාවට එන්න එපා කියලා මම කියනවා. අපට ඕනෑ හොඳ යහපත් ආයෝජකයෙක් අපට කැසිනෝ මත යැපෙන ආර්ථිකයක් අවශ්‍ය නෑ.’

පැකර්ට බැරිවුණු ඩයනා ගේන්න යන කැසිනෝ

රනිල් වික්‍රමසිංහ වර්තමානයේ මේ රටේ ජනාධිපතිවරයා ය. ඔහු යටතේ ඇති ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරියක වන ඩයනා ගමගේ පසුගිය සතියේ ‘ජේම්ස් පැකර්ට කරන්නට බැරිවුණු දේ සීරුවට මාරුවට කළේය. ඩයනා ගමගේ ඇමැතිවරිය ද මේ ගෙන එන්නට සූදානම් වන්නේ එසේ මෙසේ කැසිනෝවක් නොව ‘කැසිනෝ කලාපයකි.’ ජේම්ස් පැකර් අකුළාගෙන ගියේද කැසිනෝ කලාපයක් කරන්නට බැරුවය. ඩයනා ගමගේ ඇමැතිවරිය ආරම්භ කරන්නට යන කැසිනෝ ව්‍යාපෘතියට ආයෝජනය කරන්නේ සිංගප්පූරුවේ ක්‍රියේට් ඩිසසින් (Kaeate Design Pte Ltd) සමාගමය. ඒ රුපියල් කෝටි 36,000 ක (ඇමරිකානු ඩොලර් බිලියනයක) මුදලක් කොළඹ, නෙළුම් කුලුන ව්‍යාපෘතියේ ආයෝජනය කරමිනි.

එම සමස්ත ආයෝජනය වසර තුනක කාලයක් සඳහා වේ. ඊට අදාළ අවබෝධතා ගිවිසුම පසුගිය සතියේ නෙළුම් කුලුන පරිශ්‍රයේ දී අත්සන් කරන ලදි. ඒ සඳහා සිංගප්පූරුවේ ක්‍රියේට් ඩිසයින් පුද්ගලික සමාගමේ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්‍ෂ චින්තියාන් චැන් මහත්මිය සහ කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ සහභාගි විය.

ඒ අනුව ඉදිරි වසර තුනක කාලයක් සඳහා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර ඉදිරි මාස හයක කාලයේ දී අංගසම්පූර්ණ කැසිනෝ ශාලාවක් සහ ජල ක්‍රීඩා ඇතුළු විනෝදාස්වාද කලාපයක් ලෙස නෙළුම් කුලුන ආශ්‍රීත කලාපය සංවර්ධනය කිරීමට නියමිතව තිබේ. විශේෂයෙන්ම රාත්‍රී ආර්ථිකය දියුණු කිරීම සඳහා ඩී. ආර්. විජයවර්ධන මාවතේ සහ කොළඹ නෙළුම් කුලුන අවට ප්‍රදේශය තවදුරටත් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.

මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී වර්ග අඩි 44,600 ක් පමණ වන නෙළුම් කුලුනේ දෙවැනි මහල ඇතුළු ස්ථාන කිහිපයක් සිංගප්පූරු සමාගම වෙත වසර 10ක් සඳහා බදු දී තිබෙන අතර ඒ අනුව වාර්ෂික ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 522 ක මුදලක් කුලිය වශයෙන් පමණක් ලැබේ. මේ සඳහා දැනටමත් රුපියල් මිලියන 228 ක මුදලක් අත්තිකාරම් මුදල් වශයෙන් ගෙවා අවසන් කර ඇත.

2013 වර්ෂයේ දී කැසිනෝවලට විරුද්ධ බොහෝ දෙනා මේ වනවිට නිහඬ ය. ජේම්ස් පැකර් එවකට මේ කැසිනෝ ව්‍යාපෘතියට ආයෝජනය කරන්නට සැරසෙනවිට ජේම්ස් පැකර්ට ඩී. ආර්. විජේවර්ධන මාවතෙන් වැඩි කොටසක් වෙන්කර දී තිබිණි. 2010 වර්ෂයේ කැසිනෝ ව්‍යාපාර නියානමනය කිරීමේ පනත යටතේ (මේ පනත මුලින් හැඳින්වූයේ සූදු විධිවිධාන පනත ලෙසය. එහෙත් විරෝධතා හේතුවෙන් එය කැසිනෝ නියාමන පනත ලෙස වෙනස් කිරීමට කටයුතු යෙදිණි.) සූදු හෝ කැසිනෝ ව්‍යාපාර සඳහා ප්‍රදේශ නම් කිරීමේ හැකියාව ඇත්තේ එකී විෂය භාර ඇමැතිවරයාට ය. ජේම්ස් පැකර්ට කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ සිට කොළඹ කොම්පඤ්ඤවීදිය දක්වා ඉඩකඩක් ලබාදී තිබුණේ එවකට ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධනය. ඒ 2013 සැප්තැම්බර් 23 වැනි දා නිකුත් කරන ලද අංක 1829/23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගිනි. එය ක්‍රියාත්මක වුණේ 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේය. ඒ වෙනුවෙන් (පැකර් වෙනුවෙන්) ක්‍රියාත්මක වූ බදු සහන පවා එතෙක් කිසිදු ආයෝජනයකට පිරි නොනැමූ වර්ගයේ ඒවා ය. වසර දහයක කාලයක් ආදායම් බද්දෙන් නිදහස් කිරීම, රේගු බදු නිදහස, එකතු කළ අගය මත බද්දෙන් එම ව්‍යාපෘති කාල සීමාව තුළ නිදොස් කිරීම, ආරම්භක වර්ෂ පහක් තුළ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්දෙන් නිදහස් කිරීම, සංශෝධිත 2003 අංක 05 දරන මුදල් පනත විධිවිධානවලට අනුව ව්‍යාපෘතියට අදාළ ඉදිකිරීම් කර්මාන්ත සහතික අරමුදලේ බදුවලින් නිදහස් කිරීම ඒ අතර ප්‍රමුඛය.

එහෙත් මෙවර සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ ඉදිරිපත් කරන ආයෝජන ව්‍යාපෘතිය වෙනුවෙන් ඊට වඩා සාධනීය පසුබිමක් නිර්මාණය වී ඇති බවත් පෙනෙන්නට තිබේ. මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පසුගිය දිනෙක කැසිනෝ සඳහා වන වාර්ෂික බද්ද රුපියල් කෝටි 20 සිට 50 දක්වා 150% තෙක් වැඩිකර ඇති බව කීවේය. ඒ අනුව පසුගිය අගෝස්තු 1 වැනි දා සිට එතෙක් කැසිනෝ ශාලාවක් සඳහා තිබූ වාර්ෂික බද්ද එලෙස ඉහළ දමා ඇත. ඊට අමතරව මේ දිනවල පහත සඳහන් ඔට්ටු සහ සූදු සඳහා ද බදු වැඩි කිරීමේ අරමුණින් ඔට්ටු සහ සූදු පනත කඩිනමින් සංශෝධනය කර ඇත.

  1. කැසිනෝ සඳහා මෙතෙක් නොතිබූ ඉහළ ලියාපදිංචි ගාස්තුවක් අය කිරීම සහා ශ්‍රී ලාංකිකයකු කැසිනෝ ශාලාවක් තුළට ඇතුළු වීමේ දී ඩොලර් 20ක ගාස්තුවක් අය කිරීම.
  2. වෙනත් ඔට්ටු සහ සූදු සඳහා අවම වශයෙන් පහත පරිදි බදු වැඩිකර තිබේ.

● සජීවි ඔට්ටු මධ්‍යස්ථාන සඳහා

  1. රුපියල් ලක්‍ෂ 6ක් වූ වාර්ෂික බද්ද අවම වශයෙන් රුපියල් ලක්‍ෂ 10ක් දක්වා වැඩි කිරීම.
  2. පිරිවැටුම මත අය කෙරෙන 10%ක බද්ද අවම වශයෙන් 15%ක් දක්වා වැඩි කිරීම.

● ඔට්ටු උප නියෝජිතයන් සඳහා වූ වාර්ෂික බද්ද රුපියල් මිලියන 4 සිට අවම වශයෙන් රුපියල් මිලියන 5 දක්වා වැඩි කිරීම.

● සජීවී නොවන ඔට්ටු පොළවල් සඳහා වාර්ෂික බද්ද රුපියල් 50,000ක සිට රුපියල් 75,000ක් දක්වා වැඩි කිරීම.

මේ සියල්ලට ම පසු එම ව්‍යාපාරවල ආදායමෙන් නැතහොත් ලාභයෙන් 40%ක ආදායම් බද්දක් අය කෙරේ.

මීට අමතරව සුරා සහ දුම්කොළ බදු පහත පරිදි වේ.

● මධ්‍යසාර බෝතලයකින් අවම වශයෙන් 75% ක බද්දක් අය වේ.

● දුම්වැටියකින් 85% කට ආසන්න බද්දක් අය වේ.

● අවසානයේ ඒ ආයතනවල ලාභයෙන් 40%ක ආදායම් බද්දක් අය කෙරේ.

පැකර්ට බැරිවුණු ඩයනා ගේන්න යන කැසිනෝ

එමෙන්ම කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන විදේශිකයන් මෙරට දී ඒ සඳහා අනිවාර්යයෙන්ම විදෙස් මුදල් වියදම් කළ යුතු බවට වන නීති රීති පැනවීමට මුදල් අමාත්‍යාංශය යෝජනා කරයි. සුපිරි කැසිනෝ ශාලා වෙත පිවිසීම සඳහා විදේශ නියෝජිතයන් හරහා ටෝකන් පත් නිකුත් කරන ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට ද මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙන බවද වාර්තා විය. ශ්‍රී ලංකාවේ රැඳී සිට කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන විදේශිකයන්ට විදේශයන්හි සිටින නියෝජිතයන් හරහා ටෝකන් ක්‍රමය නිකුත් කිරීම කාලයක් පුරාවට සිදුකෙරුණු අතර, සිය මවු රටේ දී මුදල් තැන්පත් කර ශ්‍රී ලංකාවේ දී කැසිනෝ හල්වලට ඇතුළු වීමට මෙමගින් පහසුකම් ලැබී තිබිණි.

මේ ක්‍රමවේදය නිසා මෙරටට ලැබීමට නියමිත ඩොලර්, යූරෝ වැනි විදේශ මුදල් විශාල වශයෙන් රටට අහිමිව ගොස් ඇති බවට මුදල් අමාත්‍යාංශය වෙත ලැබී තිබුණු පැමිණිලි ගණනාවක් සලකා බලා මේ තීරණය ගත් බව මුදල් අමාත්‍යාංශය ආරංචි මාර්ග වාර්තා කර තිබිණි. ඇතැම් විදේශිකයන් මේ වනවිට කොළඹ ප්‍රධාන පෙළේ හෝටල්වල රැඳී සිටිමින් ටෝකන් ක්‍රමය යටතේ දිනපතා ම කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන බව මුදල් අමාත්‍යාංශය සතු වාර්තා පෙන්වා දෙන බවත් මේ නිසා ශ්‍රී ලංකාවට අහිමි වන ඩොලර් ඇතුළු විදේශ මුදල් මෙරටට ලබාගැනීමේ අරමුණින් කැසිනෝ ටෝකන් පත් ක්‍රමය අහෝසි කරන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර තිබිණි. විවිධ හේතූන් නිසා අප මේ රටට ළංවන්නට තිබූ බොහෝ අවස්ථා අහිමි කරගෙන ඇති බව අකමැත්තෙන් වුව පිළිගත යුතුය. එක් එක් ආණ්ඩුව ගෙන එන සාධනීය යෝජනාවන් සැනෙන් කුඩුපට්ටම් කර දමන්නට ඒ මොහොතේ ක්‍රියාත්මක ‘විපක්‍ෂය’ නිරන්තරයෙන් කටයුතු කරති.

අප මුලින් සඳහන් කළ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයත්, 1993 අගෝස්තු17 වැනිදා පාර්ලිමේන්තුවේ දී එවකට විපක්‍ෂයේ සිටි මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා මේ කරන ලද ප්‍රකාශයත් සසඳා බලන්න.

‘මොකක්ද මේ විනෝදය?… පසුගිය කාලයේ කැසිනෝව විනෝදාංශයක් වුණා. ජෝසිම්ට පුළුවන්කම ලැබුණා. ඉහළ පෙළේ දේශපාලනඥයන් සමග පින්තූරවලට පෙනී සිටින්නට. ජෝසිම්ලා වගේ උදවිය මේ රටට කැසිනෝ සූදු එක්ක තායිලන්ත ගණිකාවොත් ගේන ව්‍යාපාරයක් ගෙන ගියා. මේ වගේ අය මේ රටේ අවුරුදු පහක් ඉන්න එකවත් පුරවැසි භාවය ලබාගන්න එකවත් ඒ හැටි දෙයක් නොවෙයි. මේ රටේ මිනිසුන්ගේ සල්ලි සූරා කාලා මේ රටේ ඉඳලා සල්ලි හම්බකරලා, කළු සල්ලි ඩොලර් කරලා ඒ සල්ලිවලින්ම මේ රටේ ජීවත් වෙනවා. මේ තත්ත්වය යටතේ ගණිකා වෘත්තිය, සමලිංගික සේවනය, ඒඩ්ස් වැනි දේවලුත් මෙරටට ගේන්න පුළුවන්.

ඉතිරි හරිය ගැන කීමට වුවමනා නැත.

ඒ ඒ ආණ්ඩුවල කැසිනෝවලට එරෙහිව කෑ ගැසූ මැති ඇමැතිවරු ඊට පසු පැමිණි ආණ්ඩුවල ද ඇමැතිවරුය. මන්ත්‍රීවරුය. කවුරුත් ප්‍රතික්‍ෂේප කළ ද මේ ආණ්ඩුවත් කියන්නේ ආයෝජකයන් ගැන තමන් සුබවාදීව බලන බවය. එහෙව් ආණ්ඩු ‘කැසිනෝ’ ප්‍රතික්‍ෂේප කරන්නේ නැත. පැකර්ගේ ඩොලර් මිලියන 650කි. සිංගප්පූරු කොම්පැනියේ ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියනයකි. එය පැකර්ගේ ආයෝජනයට පවා දෙගුණයකින් වැඩිය. ඩොලර් බිලියනයක් යනු සුළු පටු ආයෝජනයක්ද? අවශ්‍ය වන්නේ එය අපේ රටට උචිත පරිදි මෙහෙයවීම පමණි.

උදේශ සංජීව ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment