ගම්පහ දිස්ත්‍රික් නායක සහ පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් ලසන්ත අලගියවන්න

ගෝත්‍රික අදහස්වල මම නැහැ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරදා යන්නෙත් නෑ

මහ මැතිවරණ සටන තිව්‍ර වෙමින් පවතින මොහොතක පවතින දේශපාලන තත්ත්වය ඇතුළු කරුණු කාරණා කිහිපයක් පිළිබඳ විමසීම සඳහා “දිවයින ඉරිදා සංග්‍රහය” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, ගම්පහ දිස්ත්‍රික් නායක සහ පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් ලසන්ත අලගියවන්න මහතාව සම්බන්ධ කර ගත්තෙමු. පහතින් පෙළගැසෙන්නේ ඒ මහතා සමග සිදුකළ සාකච්ඡාවයි.

ප්‍රශ්නය – අලුත් ජනාධිපතිවරයා සහ තිදෙනකුගෙන් යුත් කැබිනට්ටුව විසින් පසුගිය මාසයක පමණ කාලය තුළ සිදුකළ රාජ්‍ය පාලනය පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?

පිළිතුර – පළමුව නිහතමානීව අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය පිළිගන්නවා. ජන මතයට හිස නමන බව මුලින්ම කියන්න ඕනා. ජනාධිපතිවරයා සුළුතර ඡන්ද ප්‍රතිශතයකින් පත් වූ ජනාධිපතිවරයකු ලෙස අපි කියන්නේ නැහැ. එතුමා ප්‍රජාතන්ත්‍රවාදීව, රටේ නීතිය අනුව වැඩි දෙනාගේ කැමැත්තෙන් රටේ ජනාධිපති වී අවසන්. ඔහු සම්බන්ධයෙන් ජනතාව විශාල බලාපොරොත්තු තබාගෙන ඉන්නවා. ඔහුගේ මැතිවරණ ප්‍රතිඵල පිටුපස තිබෙන්නේ තක්කඩි දේශපාලනඥයෝ පලවා හැරිය යුතු බව සිතන ජනතා මතයයි. එසේ සිතන එක අසාධාරණ නැහැ. මොකද ඇතැම් දේශපාලනඥයෝ ජනතා මනාපයෙන් පාර්ලිමේන්තු පැමිණ හොරකම්, මැරකම්, ජඩකම් ඇතුළු එකී නොකී මෙකී සියලු දේවල් කර තිබෙනවා. කිහිප දෙනකුගේ එවැනි හැසිරීම් නිසා ජනතාවට සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එපා වී තිබුණේ. ඒ සිතිවිල්ල දැවැන්ත දේශපාලන පෙරළියකට හේතු වුණා. දැන් ආණ්ඩුවට තිබෙන්නේ ජනතාවගේ සිතුම් පැතුම්වලට ගැළපෙන ලෙස වැඩ කිරීම. ඔවුන්ට ලොකු වගකීමක් පැවරී තිබෙනවා.

මේ කාලසීමාව තුළ හොඳ නරක දෙකම ගැබ්ව තිබෙනවා. කිසිවකුට සියයට සියයක් හරියට වැඩ කරන්න බැරි බවේ යථාර්ථය අපි නොදන්නවා නෙවෙයි. නමුත් ආර්ථිකය සහ ජීවන වියදම් ප්‍රශ්නයේදී ජනතාව වත්මන් තත්ත්වයට ප්‍රශංසා කරන්නේ නැහැ.

ප්‍රශ්නය – මෙරටට නව ජනාධිපතිවරයකු පත්ව ඇති මොහොතක්. ජනතාව ඔවුන් මත විශ්වාසය තබමින් ඇති මොහොතක්. එවන් පරිසරයක් තුළ ඔබ සන්ධානය සහ ඔබ ජයග්‍රහණය සොයා ගන්නේ කොහොමද?

පිළිතුර – මගේ පුද්ගලික ජයග්‍රහණය පිළිබඳ ගැටලුවක් නැහැ. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව මම කවුද, මම මොනවද කරේ කියලා දන්නවා. එම නිසා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික් ඡන්ද දායකයන් මාව ඉහළින්ම ඔසවා තබනු ඇති බව කිසි සැකයක් නැහැ.

සන්ධානයේ දේශපාලනය ගතහොත් කියන්න තිබෙන්නේ දේශපාලනයේදී නොයෙක් උච්ඡාවචනයන් සිදුවන බව. ඒ සාමාන්‍ය සිද්ධියක්. හොඳ වේලාවට දේශපාලනය කරන්නත් එසේ නැති අවස්ථාවන්වලදී දේශපාලනයෙන් ඉවත්ව සිටීමත් කියලා එකක් මා තුළ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ වැඩිදෙනාගේ කැමැත්ත. එම යථාර්ථය අවබෝධ කරගෙන තමයි අපි වැඩ කරන්නේ.

රටේ නව ජනාධිපතිවරයෙක් පත්ව ඇති බව ඇත්ත. ජාතික ජනබලවේගය දේශපාලනයේ ලොකු පිම්මක් ගත්තා. නමුත් පසුගිය ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵල දෙස බැලූ කල ඔවුන්ගේ පසුබෑමක් තිබෙනවා. එම නිසා අනෙකුත් පක්ෂ පාර්ලිමේන්තු බලය ලබා ගැනීමේ කාර්යයේදී කිසිසේත් මන්දෝත්සාහී විය යුතු නැහැ. පාර්ලිමේන්තු මැතිවරණයේදී ලොකු දෙයක් කරන්න අපට පුළුවන්.

ප්‍රශ්නය – ඔබ දැන් නියෝජනය කරන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ. නමුත් ඔබ දේශපාලනය පටන් ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේන්.

පිළිතුර – මම පක්ෂ දේශපාලනය තුළ මේ වනතෙක් වෙනස් වෙලත් නැහැ. ඉදිරියට වෙනස් වෙන්නෙත් නැහැ. මම තාමත් ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේම සෑම දේශපාලන පක්ෂයක්ම මැතිවරණවලදී සන්ධානගත වෙලා තිබෙනවා. අපි පුටුව හැදුවා, ජනතා විමුක්ති පෙරමුණත් සමග එකතු වී මැතිවරණයට ඉදිරිපත් විය යුතු නිසා බුලත් කොළය හැදුවා, ජනාධිපතිවරණයේදී දේශපාලන පක්ෂ සංකල්පය පසෙක තබා රට වැටී ඇති තැනින් ගොඩ ගනු පිණිස සිලින්ඩරය වටා එකතු වුණා. එසේ වුණයි කියලා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වී නැහැ. ඉවත් වන්නෙත් නැහැ. අපි ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ.

ප්‍රශ්නය – ඔබගේ දේශපාලන ඉතිහාසය වසර විස්සකට වැඩි මිස අඩු නැහැ. ඒ කාලය තුළ ගම්පහ ජනතාවට ඔබ සාධාරණය කළා කියලා අවංකවම ඔබ හිතනවද?

පිළිතුර – ඇත්තටම මම එහෙම හිතනවා. මම සීයට අනූ අටක් පාර්ලිමේන්තුවට සහභාගි වෙලා තිබෙනවා. ගිණුම්කාරක සභාවේ පසුගිය වසර අටක කාල සීමාව තුළ අපි විමර්ශන පමණක් හත්සීයක් කර තිබෙනවා. ඒ විගණකාධිපතිතුමා, මම සහ මුදල් අමාත්‍යාංශය එක්ක. මගේ සභාපතිත්වයෙන් යුතුව. මීට පෙරත් අපේ රටේ ගිණුම්කාරක සභා තිබුණා. අවුරුදු පහට එක රාජ්‍ය ආයතනයක් හෝ කැඳවා නැති ඉතිහාසයක් ඊට තිබුණා. හැබැයි මම එක අවුරුද්දකදී රාජ්‍ය ආයතන 250ක් කැඳවා තිබුණා. රටේ ජනතාව පාර්ලිමේන්තුවට ඇයි තමන්ගේ නියෝජිතයෙක් යවන්නේ. නීති හදන්න, ප්‍රතිපත්ති හදන්න සහ මූල්‍ය පාලනය සඳහා. මේ කරුණු තුනේදී මට සෑහීමකට පත්වෙන්න පුළුවන් විදියට රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරලා තිබෙනවා. වර්තමාන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියත් මගේ ගිණුම්කාරක සභාවේ සාමාජිකාවක් වෙලා සිටියා. එතුමියත් අපි කරපු වැඩ ගැන සාක්ෂි දරනවා ඇති.

අපේ කාර්යභාරය නිසා රටට මිලියන දහස් ගණනක් ඉතුරු වුණා. ඒ වගේම රාජ්‍ය ආයතනවල වෙන්න ගිය අඩුපාඩු රැසක් මේ නිසා වළක්වා ගන්න හැකියාව ලැබුණා. එමගින් රටට ඉතිරි කළ ධනය ඉමහත්. ඇත්තටම දෙයක් වුණාට පසු ඒ පිළිබඳ පශ්චාත් පරීක්ෂණ කර වැඩක් නැහැ. අපි කළ යුතු වන්නේ එය වළක්වා ගැනීමයි. ගිණුම්කාරක සභාව හරහා එහිදී උපරිමයෙන් කරන්න අපට හැකියාව ලැබුණා.

ප්‍රශ්නය – ජාතික ජනබලවේගයට පාර්ලිමේන්තු බලය හිමි වුවහොත් ඔබට නියෝජනය කරන්න වෙන්නේ විපක්ෂය. ඉතිහාසය පුරා විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් දකින්නට තිබූ කාරණයක් වන්නේ නිරන්තරයෙන් ආණ්ඩුවේ කටයුතුවලට කකුලෙන් ඇදීම. ආණ්ඩුව සිදු කරන සාධනීය කටයුතුවලදී ඊට සහාය වන්නත් එසේ නොවන කටයුතුවලදී එරෙහි වන්නත් යන මැද තැනක් හොයා ගන්න විපක්ෂයේ සිට ඔබට පුළුවන්ද? ඒ ගැන ජනතාවට සහතිකයක් දෙන්න පුළුවන්ද?

පිළිතුර – අනිවාර්යෙන්ම සහතිකයක් දෙන්න පුළුවන්. වගකීමෙන් කියන්නේ එය එසේ කරනවා. දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා කියන්නේ ඒකට. දැන් බලන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවස්ථා තුන හතරකදීම කතා වුණා. ඒ සෑම අවස්ථාවකදීම ජාතික ජනබලවේගය ඇතුළු විපක්ෂය ඊට එරෙහිව කටයුතු කළේ. ඡන්දය දීමෙන් වැළකී සිටියා. නමුත් ඔවුන් අද බලයට පැමිණ එම යෝජනා ඒ විදිහටම ක්‍රියාත්මක කරමින් සිටිනවා. එම නිසා මේ තත්ත්වය අපි වෙනස් කළ යුතුයි. රටට, ජනතාවට හොඳක් වෙන දේවල්වලදී ඒ සඳහා සහාය වන්නත් එසේ නොවන තැනදී ඊට එරෙහිව දැඩිව පෙනී සිටින්නත් අනිවාර්යයෙන්ම අප කටයුතු කරනවා. ආණ්ඩුව කරන හොඳ කටයුතුවලදී එමගින් ආණ්ඩුවට ලකුණු යාවි යැයි සිතා ඊට සහාය නොදී සිටීම වැනි ගෝත්‍රික අදහස් වල මම නැහැ.

ප්‍රශ්නය – මෙවර මහ මැතිවරණයේ සුවිශේෂී කාරණය වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැට ගණනක් ඉදිරිපත් නොවීම. පරාජයේ අඳුරු සෙවනැලි සමග ඔවුන් මේ ඡන්දය ඉල්ලා සිටීමෙන්ම වැළකී සිටිනවා. නමුත් ඔබට ඡන්දයට ඉදිරිපත් වීමේ ආත්ම විශ්වාසය තිබුණා. ඒ ආත්ම විශ්වාසය පැමිණීම ගැන අදහස කොහොමද ?

පිළිතුර – මම පක්ෂයක් සහ එම පක්ෂයේ ඉහළ තනතුරක් නියෝජනය කරනවා. මම පොදුජන එක්සත් පෙරමුණු ලේකම්වරයා. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නාම යෝජනා භාර දුන්නේ මම අත්සන් තබමින්. ඇත්තටම ඇල්පිටිය සභාව සඳහා මන්ත්‍රී ධූර දෙකක් අපිට හිමි වුණා. අපි පක්ෂයක නායකයෝ විදිහට පක්ෂ සාමාජිකයන්ට නායකත්වය ලබා දෙනවා. එහෙම නැතුව දේශපාලනේ උච්ඡාවචනයන් දැක දේශපාලනයෙන් පලා යන්න අපට බැහැ. එහෙම පුරුද්දක් අපිට නැහැ. නායකයෝ කියන්නේ ඕනෑම තත්ත්වයක් යටතේ නායකත්වයක් සපයන අයට මිස පලායන අයට නෙමෙයි.

ඇතැම් මන්ත්‍රීවරු මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමේ කතා දෙකක් තිබෙනවා. අරගල සමයේ ඇතිවූ සිදුවීම් ඊට එක් හේතුවක්. බොහෝ මන්ත්‍රීවරුන්ගේ පවුල්හි සාමාජිකයන් ඔවුන් ඡන්දය ඉල්ලන එකට විරුද්ධව වුණා. අපේ පවුල්වලත් තත්ත්වය එයම තමයි. නමුත් එය එසේ වුණා කියලා පාක්ෂිකයන්ව තනි කරන්න බැහැ.

ප්‍රශ්නය – පසුගිය රජය සිදුකළ රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම දැන් විවාද සම්පන්න සිදුවීමක් වෙලා. ඒ සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද ?

පිළිතුර – රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ උදය සෙනෙවිරත්න කමිටු වාර්තාව අනුව රාජ්‍ය සේවකයකුගේ අවම වැටුප රුපියල් පනස් පන්දහසක් දක්වා ඉහළ නැංවීමට නිර්දේශ කර තිබුණා. ඒ වගේම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශයත් තිබුණා. මෙම කමිටු වාර්තාව ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත්තා.

ගිය දෙවසර තුළ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට පසුගිය රජයට හැකියාව ලැබුණා. ඒ නිසා තමයි රුපියල් දස දහසක වැටුප වැඩිවීමක් ලබා දුන්නේ. ඒ වගේම 2025 දී රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමේ ඉලක්කයක් තිබෙනවා. එනිසා තමයි, රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම සඳහා කටයුතු කර ඇත්තේ. මෙය බොහොම පැහැදිලිවම නීත්‍යානුකූලයි. කැබිනට් මණ්ඩලය එය අනුමත කර තිබෙනවා. එම නිසා වර්තමාන රජයට එය ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න පැහැදිලිව ප්‍රතිපත්ති තීන්දුවක් ගත හැකියි.

ප්‍රශ්නය – ඔබගේ තේමාව “ශීලාචාර දේශපාලනයෙන් පාර්ලිමේන්තුව බලගන්වමු” යන්නයි. අප රටේ ශීලාචාර දේශපාලනයක් මෙතෙක් තිබූ බව මිනිස්සු හිතන්නේ නැහැ. එසේ තිබියදී ඔබ එවැනි තේමාවක් යොදාගත්තේ ඇයි ?

පිළිතුර – මම ගුරු වෘත්තියෙන් දේශපාලනයට පිවිසි කෙනෙක්. ඒ හැමදේටත් වඩා බෞද්ධයෙක් විදියට බෞද්ධ දර්ශනය පිළිබඳව මට විශාල විශ්වාසයක් තිබෙනවා. එසේම කතෝලික හින්දු ඉස්ලාම් ඇතුළු අන්‍යාගම් කෙරෙහිත් මාගේ ගරුත්වය තිබෙනවා. වර්තමානයේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතු බව දැඩි කතාබහක් තිබෙනවා. හැබැයි මට වෙනස් වෙන්න දෙයක් නැහැ. මොකද දැන් ඉල්ලන වෙනස දේශපාලනයට ප්‍රවිෂ්ට වූ දා සිටම පවත්වාගෙන ඇවිත් තිබෙනවා. අපි ආරක්ෂකයෝ පිරිවරාගෙන, රථ පිරිවරාගෙන දේශපාලනය කර නැහැ. හොරකම්, වංචා, දූෂණ කිසිවක් කර නැහැ. අවසාන කාලයේ අපි මන්ත්‍රී වැටුප පවා ගත්තේ නැහැ. අපේ ජල බිල්, විදුලි බිල් අපේ අතේ මුදල්වලින් ගෙව්වේ. එම නිසා එම තේමාව යොදා ගැනීමට පැකිලෙන්න දෙයක් නැහැ.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මොහොතේ බරපතළ ගැටලු ගණනාවකට මුහුණ දී තිබෙනවා. ඒවා ඉවර වෙන පාටකුත් පෙනෙන්න නැහැ. පක්ෂයට මොකද වුණේ ?

පිළිතුර – මම කලින් කිව්වා වගේ දේශපාලනය තුළ නොයෙක් හැලහැප්පීම්, උච්ඡාවචනයන් වෙනවා. ඒවාට අපි මුහුණ දිය යුතුයි. අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන අනාගතය නිවැරදි

කරගන්න ඕනා. පක්ෂය තුළ වර්තමානයේ ගැටලු ගණනාවක් තිබෙනවා. එම ගැටලුවලින් සියයට පනහක් අවසාන අදියරේ තිබෙන්නේ. කිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයෙක් මන්දෝත්සාහී විය යුතු නැහැ. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අප තරග කළේ පුටුව ලකුණින්. අපිට එහිදී මන්ත්‍රී ධුර දෙකක් ලැබුණා. ඉදිරියේදී පැවැත්වෙන ප්‍රාදේශීය සභා පළාත් සභා සියලු මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානවලින් තමයි අපි තරග කරන්නේ. මේ රටේ වැඩිම කාලයක් පාලනය කර දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අපේ පක්ෂයෙන් රටේ ජනතාව බලාපොරොත්තු වෙන අපේක්ෂාව ඉටු කරන්න අපි සූදානම්.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment