පැයකට 5 ක් මියැදෙනවා… ඩෙල්ටා අතිශයින්ම බිහිසුණුයි බලධාරීන් තවත් ප‍්‍රමාද වෙන්න එපා

701

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ලෙස, ඩෙල්ටා ප‍්‍රභේදයේ ශීඝ‍්‍ර ව්‍යාප්තිය හේතුවෙන් දිනෙන් දින අතිශය භයානක තත්ත්වයක් කරා ගමන් කරන අප රට වහා වසා දැමීම කළ යුතු බව දිගින් දිගටම ප‍්‍රකාශ කර ඇත. අද වනවිට සෑම පැයකටම වරක් මිනිස් ජීවිත පහක් මෙම කොරෝනා ව්‍යසනය විසින් බිලිගන්නා තත්ත්වයක් තුළ ඉතාමත් දැඩි තීරණ ගෙන මෙම තත්ත්වය පාලනය නොකළහොත් ඉදිරියේදී තත්ත්වය අතිශය භයානක වේ.

 ආර්ථිකයේ නාමයෙන් රට වසා දැමීමේ තීරණය ගැනීම ප‍්‍රමාද කරන සෑම දිනකම ඩෙල්ටා ප‍්‍රභේදය ශීඝ‍්‍ර ලෙස රට පුරා ව්‍යාප්ත වෙමින් රටේ රෝහල් පද්ධතිය තව තවත් දරුණු ලෙස බිඳ දමනු ඇත. එසේම ඩෙල්ටා ප‍්‍රභේදය විශාල ලෙස පැතිරීම හේතුවෙන් එහි තව තවත් විකෘති ප‍්‍රභේද ඇතිවීමේ ප‍්‍රවණතාව ද වැඩිවන බවට විශේෂඥයන් මත පළ කර ඇත. එසේ බිහිවන නව ප‍්‍රභේද සඳහා දැනට භාවිත වන කොවිඞ් එන්නත් මගින් ප‍්‍රතිශක්තියක් ඇති නොවීමේ හැකියාවක් ඇත. එය දැනට ක‍්‍රියාත්මක කොවිඞ් එන්නත්කරණ ක‍්‍රියාවලිය අකර්මණ්‍ය වීමට හේතුවනු ඇත. එබැවින් තව තවත් නව විකෘති ප‍්‍රභේද බිහිවීමට අවශ්‍ය පරිසරය රට තුළ ඇති කර, එන්නත්කරණය අකර්මණ්‍ය කර කොවිඞ් වසංගතය, අර්බුදයෙන් අර්බුදයට ගමන් කිරීමට ඉඩ සැලසීමේ වගකීම තීරණ ගැනීම ප‍්‍රමාද කරන සියල්ලන් භාර ගත යුතුය.

 අද වනවිට රෝහල්වල ඔක්සිජන් අවශ්‍ය  රෝගීන් ප‍්‍රමාණය ශීඝ‍්‍ර ලෙස වැඩිවීම තුළ අප රටේ නිශ්පාදනය කරන ඔක්සිජන්වල උපරිම ධාරිතාවයට ළඟාවී ඇති බව වාර්තා වේ. එම නිසා ඔක්සිජන් ආනයනය කිරීමේ අවශ්‍යතාව මතුවීම ආර්ථිකයට අමතර බරක් වනු ඇත.

 අද අප මුහුණ දී ඇති මෙම ගෝලීය වසංගත තත්ත්වයට මුහුණ දීමේ දී ලෝකයේ අනෙක් රටවල් භාවිත කරන උපාය මාර්ග පිළිබඳ විවෘත මනසකින් බැලීම අත්‍යවශ්‍ය වේ. වසංගතවේදී හා ප‍්‍රජා වෛද්‍ය අංශයන්ගේ විද්‍යාත්මක ක‍්‍රමවේද ඔස්සේ වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවට විද්‍යාත්මක නොවන කරුණු කාරණා මතු කිරීම මගින් මෙම තත්ත්වය තවත් ව්‍යාකූල වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ලෙස දැඩිව ප‍්‍රකාශ කරමු.

වෛද්‍ය කමල් ඒ. පෙරේරා
 ලේකම් රජයේ
 වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය


advertistmentadvertistment