පැයක කතාව

289

ශනිදා කෙටිකතාව

මෙය ඇමරිකන් ලේඛිකා Kate Chopin විසින් ‘The Story of An Hour’ නමැති කෙටි කතාවේ පරිවර්තනයකි.

මැලාර්ඩ් මහත්මිය හෘද රෝගී තත්ත්වයකින් පීඩා විඳිමින් සිටි බව දත් නිසා ඇගේ සැමියාගේ අභාවය පිළිබඳව හැකිතාක් සුමටව ඇයට දැනුම් දීමට සැවොම අරපරෙස්සම් වී තිබිණි.

ඛණ්ඩ වාක්‍යයන්ගෙන් සහ අඩ ඉඟි මඟින් ඒ බව ඇයට දැනුම් දෙනු ලැබුවේ ඇගේ සහෝදරිය, ජොසපින් විසිනි. ඇගේ සැමියාගේ මිතුරා, රිචඩ්ස් ද ඒ අසල විණි. බ්‍රෙන්ට්ලි මැලාර්ඩ්ගේ නම සහිත මරණ ලැයිස්තුව රැගත් දුම්රිය අනතුර පිළිබඳ බුද්ධි තොරතුරු පුවත්පත් කාර්යාලයට ළඟාවන විට එහි සිට ඇත්තේ ඔහුය. පුවතේ සත්‍යතාවය පිළිබඳව තහවුරු කළ දෙවන ටෙලිග්‍රෑමය එන තෙක් පමණක් පමා වූ ඔහු ඉන්පසු යුහුසුළු වී තිබුණේ සැළකිලිමත්කමින් හා මටසිලුටු බවින් තොර මිතුරකු විසින් මෙම දුක්ඛදායක පණිවුඩය නිවසට ගෙන යෑමෙන් වැළැක්වීමටය.

බොහෝ කාන්තාවන් මෙන්, පණිවුඩයේ විශේෂත්වය පිළිගැනීමට තරම් නොහැකි අයුරින් ඇය මෙම පුවතට සවන් නුදුන්නාය. ඇය එක්වනම ඇගේ සහෝදරියගේ දෑත් මත කඩාවැටුණාය. දුක් කැළඹුම පහව ගිය පසු ඇය තනිවම තම කාමරයට වැදුන අතර කිසිවෙකුත් ඇය පසුපස නොගියහ.

විවෘත ජනේලයට මුහුණලා සුවපහසු විශාල අත් පුටුවක් කාමරය තුළ විය. සිරුර මඩනා ලද කායික මෙන්ම ආත්මය තුළටත් ඇතුළු වී ඇතැයි දැනුණු වෙහෙසකින් යුතුව ඇය ඊට කිඳා බැස්සිනි.

ඇයට නිවස ඉදිරිපස වූ විවෘත චතුරශ්‍රයේ දැකිය හැකි වූයේ නව ජීවයකින් ප්‍රබෝධමත්ව කැළඹෙමින් පැවැති තුරු මුදුන්ය. වාතයේ ගැබ්වී තිබුණේ වර්ෂාවක මනහර සුසුමය. පහළ වීදියේ බඩු විකුණන තොරොම්බල්කරුවකුගේ කෑගැස්මකි. කිසිවකු විසින් ගයන කවක ස්වර ඇයට යන්තමින් ඇසිණි. ගිනිය නොහැකි තරම් වූ ගේ කුරුල්ලෝ පියැසි කෙළවර චර චර ගාමින් සිටියහ.

ඇගේ ජනේලයට මුහුණලා බටහිර දෙසින් වූ එකිනෙක ගොඩගැසුණු වළාකුළු අතරින් ඔබ මොබ අහසේ නිල්වන් පැල්ලම් දක්නට හැකි විය.

ඈ ගස්සමින්, උගුරට පැමිණි ඉකිබිඳුමක් හැරුණු කොට කිසිදු හැලහොල්මනක් නොමැතිව ඇය ආසනයේ කුෂන් මත හිස රඳවා වාඩිවී සිටියාය. ඒ, ඇඬුමෙන්ම නින්දට වන් ළමයකු සිහිනයේ දී ද ඉකි බිඳින්නාක් මෙනි.

තම තරුණ වියේදී ශෝබන හා ශාන්ත වතක් ඇය සතු විණි. එහි රේඛා පළකළේ මැඬපැවැත්මක් මෙන්ම කිසියම් වූ ශාන්තියක ස්වභාවයකි. නමුදු, දැන් ඇගේ ඇස්වල ඇත්තේ අවදීප්ත බැල්මකි. ඒවා රැඳවී තිබුණේ නිල්වන් අහසේ තිබූ එක් පැල්ලමක් මතය. මෙය ආවර්ජනාත්මක බැල්මක් නොවුණු අතර බුද්ධිමත් සිතුවිල්ලක කෙටි නැවතීමක් දක්වන බැල්මක් විය.

යමක් ඇය වෙතට පැමිණෙමින් තිබූ අතර බිය සුළුව ඇය එදෙස බලා හිඳින්නට විය. එය කුමක්ද? ඇය දැන සිටියේ නැත. එය තේරුම් ගැනීමට හෝ නම් කිරීමට අපහසු දෙයක් විය. නමුදු, ආකාශයෙන් ඉවතට ඇදී යමින් වාතයේ පිරී තිබූ ශබ්දය, ගන්ධය හා වර්ණ හරහා ඇයට එය දැනිණ.

ඇගේ ලය ඉහළට එසවී මහත් ශබ්දයෙන් පහත් විය. ඇයව අල්ලා ගැනීමට ඇය දෙසට ළඟා වන මෙම ‘දෙය’ අඳුනා ගැනීමට උත්සුක වූ ඇය, තම ශ්වේත වර්ණ, සිහින් දෑත් සේම බල රහිත වූ අභිප්‍රායෙන් ඊට පෙරළා පහර දීමට උත්සාහ කළාය. ඇය එය මදකට අත්හළ විට සිහින්ව ඇරුණු තොල් අතරින් එක් වදනක් සිහින් සරින් නිකුත් විය. ඇය එය නැවත නැවතත් සිය ප්‍රශ්වාස වාතයත් සමඟ මිමිනීය. නිදහස.. නිදහස.. නිදහස…! ශුන්‍ය බැල්මක් සමඟින් එය අනුගමනය කළ ත්‍රස්ත බැල්මක් ඇගේ දෑසින් විද්‍යමාන විය. ඒවා ඉතා දීප්තිමත්, විනිවිදින සුළු විය. ඇගේ හෘද ස්පන්දනයන් වේගවත් වූ අතර රුධිර ප්‍රවාහය විසින් ශරීරයේ සෑම අඟලක්ම උණුසුම් හා සන්සුන් කරවන්නට විය.

ඇය තමා බදා අල්ලා ඇත්තේ කවර ආකාර වූ බිහිසුණු සතුටක් දැයි යන්න තමා ගෙන්ම විමසීම නොනැවැත්වූවාය. පැහැදිලි හා තීවෘර අවබෝධයක් ඇයට අනුබල දුන්නේ මෙම ඉඟිය නොවැදගත් සේ බැහැර කිරීමටය. මරණ මංචකයේ තැබූ එකිනෙකට පෙරවන ලද කාරුණික, මෘදු දෙඅත් හා ආලයක් රහිතව කෙදිනකවත් ඇය දෙස නොබැලූ අචල අඳුරුවන් අජීව මුහුණ දකින විට තමාට හැඬුම් යන බව ඇය දත්තාය. එනමුදු, ඇය එම අමිහිරි මොහොතෙන් එපිට නිසැකවම තමාට අයත් වන දිගු වසර ගණනාවක් දුටුවාය. සිය දෑත් දිගුකර එය ආදරයෙන් පිළිගත්තාය.

ඉදිරි වසරවලදී කිසිවකු වෙනුවෙන් ඇයට දිවි ගෙවීමට සිදු නොවේවි. ඇය ඇය වෙනුවෙන් දිවි ගෙවාවී. අනෙකාගේ පෞද්ගලික කැමැත්තට එරෙහිව යෑමේ අයිතිවාසිකමක් තමන්ට ඇතැයි යන අන්ධ එල්බ ගැනීමක සිටින පිරිමින් හා ගැහැණුන් අතරින් ඇගේ සිතැඟි වෙනස් කළ හැකි වෙනත් බලගතු අභිමතයන්ද නොමැති වේවි. එම දීප්තිමත් ක්ෂණයෙහි, මේ පිළිබඳව සිතා බලන විට ඇයට හැඟී ගියේ මෙය කාරුණික අරමුණකින් හෝ කෲර අරමුණකින් කළත් එය අපරාධයකට වඩා නොඅඩු ක්‍රියාවක් මෙනි.

එනමුත්, ඇය ඔහුට ආදරය කර ඇත, සමහර විට. බොහෝ අවස්ථාවල නැත. ඉන් පළක් තිබේද? ජීවිතයේ ශක්තිමත්ම ආවේගය ලෙස හදිසියේම හැඳිනගත් මෙම ස්වකීය ආත්ම ප්‍රකාශනය අභිමුව, ආලය නොහොත් මෙම නොවිසඳුන අබිරහස කුමක් කරන්නද? “කයත් මනසත් නිදහස්…!” ඇය මුමුනන්නට විය.

ජොසපින් වැසූ දොරටුවට එපිටින් දණගසා, යතුරු සිදුරට තොල් තබා කාමරයට ඇතුළු වීමට අයැද සිටිමින් උන්නාය.

“ලුයිස් දොර අරින්න! මම කියන්නේ දොර අරින්න කියලා. ඔයා විහින් ලෙඩ වෙනවා. මොනවද කරන්නේ? දෙයියන්ගේ නාමෙට දොර අරින්න.”

“ඔතනින් යන්න. මම ලෙඩ වෙන්නෙ නෑ.” නැත. විවෘත ජනේලය හරහා ඇය පානය කරමින් සිටියේ ඉතා රසවත් අමෘතයකි.

ඉදිරියට පැමිණෙන දින පිළිබඳව ඇගේ සිතුවිලි කැලඹෙමින් තිබිණි.

ඇගේම වන වසන්ත දවස්, ගිම්හාන දවස්, සෑම වර්ගයකම දවස්… ජීවිතය තවත් දිගු වේවායින් පතමින් ඇය ඉක්මන් ආයාචනාත්මක හුස්මක් ගත්තාය.

ජීවිතය තවත් දිගුවේවිදැයි වෙව්ලුමකින් යුතුව ඇය සිතා තිබුණේ ඉන් පෙර දිනයේදීය.

සොයුරියගේ පෙරැත්තය නිසා අවසානයේ නැගී සිටි ඇය දොර හැරියාය. ඇගේ දෑස්වල කලබල සහගත ජයග්‍රහණකාරී පෙනුමක් වූ අතර නොහිතාම ඇය පිටතට පැමිණ සිටියේ ජයග්‍රහණයට අධිපති දේවතාවියකගේ විලාසයකිනි. ඈ තදින් තම සොයුරියගේ ඉඟටිය අල්ලා ගත්තාය. අනතුරුව දෙදෙනාම තරප්පුව බැස්සහ. තරප්පු පෙළ පාමුල, දෙදෙනා පැමිණෙන තෙක් රිචඩ්ස් බලා උන්නේය.

යමකු අගුල් යතුරින් ඉදිරි දොර අරින්නට වන්නේය.

ශාන්ත ලෙස ඉන් ඇතුළු වූයේ, තම අත් බෑගය හා කුඩය සහිතව ගමනින් විඩාවට හා අපිරිසිදු බවට පත් බ්‍රෙන්ට්ලි මැලාර්ඩ්ය. ඔහු සිට ඇත්තේ හදිසි අනතුර සිදුවූ ස්ථානයට ඉතා දුරින් වූ අතර අනතුරක් සිදුවූ බවක් වත් ඔහු නොදැන සිටියේය. ජොසපින්ගේ මහා හඬින් යුත් විලාපය දෙස හා බිරියගේ දර්ශන පථයෙන් තමාව ආවරණය කිරීම සඳහා යුහුසුළු වූ රිචඩ්ස් දෙස මැලාර්ඩ් විමතියට පත්ව බලා සිටියේය. වෛද්‍යවරු පසුව ප්‍රකාශ කර තිබූ ආකාරය අනුව, ඇය මියගොස් තිබුණේ යමකු මරණයට පත් කළ හැකි තරමේ ආහ්ලාදයක් විසින් ඇති කරන ලද හෘදයාබාධයකිනි.

පැයක කතාව

පරිවර්තනය – ආචාර්ය
බී. ඵම්. සුජානි බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment