පැය අටේ වැඩමුරය ඉල්ලා ඇති කළ වර්ජනය මැයි දිනය වූ සැටි

171

ලෝකයේ වැඩකරන ජනතාවගේ ඓතිහාසික දිනය වූ මැයි දිනය (01 දා) හෙටට යෙදී ඇත. හෙට සැමරෙන්නේ 136 වැනි මැයි දින සමරුවයි. මැයි දින සමරුව 1890 සිට සිදු වුවත් මෙරට මැයි දින සමරුව සිදු වූයේ 1932 මැයි 1 දා සිටය. ශ්‍රී ලංකා කම්කරු ව්‍යාපාරයේ ප්‍රමුඛයකු වූ ඒ ඊ ගුරුසිංහ මහතාගේ මූලිකත්වයෙන් වික්ටෝරියා උiානයේ හෙවත් විහාර මහාදේවි උiානයේදී එය පැවැත්වුණි. ගුණසිංහ මහතාගේ අරමුණ වූයේ කම්කරු ජනතාව සැමරීම වූවත් මෙරට මැයි දිනය ඒ ඒ පක්‍ෂ සිය දේශපාලන බලය උරගා බැලීමට යොදාගෙන තිබේ. මේ පසුබිම මැද මැයි දිනයේ අතීතය මෙරට ජනතාවට අමතක වී ඇත. 1886 මැයි 4 දා ඇමෙරිකාවේ චීකාගෝ නුවර කම්කරු ජනතාව පැය අටේ වැඩමුරය ඉල්ලා දියත් කළ අරගලය හෙවත් හේමාකට් අරගලය ලෙස හැඳින්වේ. එදා කම්කරුවන් ආරම්භ කළ වැඩවර්ජනය මර්දනය කිරීමට ධනපති පාලකයන් සහ ධනපති සමාගම් පොලිසිය යොදවනු ලැබීය. එහිදී පොලිසිය කම්කරුවන්ට වෙඩි තැබුවේය. පොලිස් වෙඩි තැබීමෙන් චිකාගෝ නුවර මාර්ගයේ ලේ ගලා ගියේය.

මේ නිසා වැඩවර්ජනය ලේ ගංගාවක් බවට පත්විය. මෙම වැඩවර්ජනය මෙහෙය වන ලද්දේ ඕගස්ට් ස්පයිස් කැමර් හැරිසන් ඇල්බට් පාසයූ ජෝන් බොක්ස්පීල්ඩ් සහ සැමුවෙල් ගිල්ටන් යන කම්කරුවන්ය. වර්ජනය මර්දනය කිරීමට පොලිසිය වෙඩි තැබීමෙන් 11 ක් මරුමුවට පත් වූහ. 130 ක් තුවාල ලැබූහ. එහිදී 100 ක් අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට ගනු ලැබූවන්ගෙන් පිරිසකට බෝම්බ නිපදවීමේ චෝදනා එල්ල විය. තවත් අට දෙනකුට රජයට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කිරීමට ක්‍රියා කළ බවට චෝදනා නැඟුණි. නඩු විභාගය යන අතර එක් අයෙක් දිවිනසා ගෙන ඇත. පසුව වරදකරුවන් දෙදෙනකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට ඉලිනොයිස් ආණ්ඩුකාරයා ක්‍රියා කළේය.

1887 නොවැම්බර් 11 දා වරදකරුවන් සිව්දෙනෙක් එල්ලා මරාදමනු ලැබීය. පසුව ඉලිනොයිස් ආණ්ඩුකාර ජෝන් පීටර් වැඩවර්ජනය මෙහෙය වූ කම්කරු නායකයන්ට එරෙහිව පැවැත් වූ නඩුවිභාගය දැඩි විවේචනයකට ලක් කරනු ලැබීය. ඔහු සිරගතව සිටි කම්කරුවන් පිරිසකට සමාව දුන්නේය. එදා හේමාකට් සිද්ධියෙන් පසු එය ජාත්‍යන්තර මැයි දිනය බවට පත්විය. මෙම සිදුවීමේදී කම්කරුවන් ලේ හැලූ ස්ථානය ඓතිහාසික කේන්ද්‍රස්ථානයක් විය. එම කේන්ද්‍රස්ථානයේ ස්මාරකයක්ද ඉදිවිය. වසර කීපයකට පසු හේමාකට් සිද්ධියේ තොරතුරු අනාවරණය විය. චිකාගෝ පොලිසිය එදා ධනපති කම්හල් හිමියන් සමඟ එක්ව ක්‍රියා කළ බවත් කම්කරුවන්ට එරෙහි බොරු සාක්‍ෂිකරුවන් ඉදිරිපත් කළ බවත් ආණ්ඩුකාරයාට අනාවරණය විය. පැය අටේ වැඩමුරය ඉල්ලා කළ සටන ජාත්‍යන්තර අරගලයක් බවට පත්වී ලොවටම සිදු වූයේ එය පිළිගැනීමටයි. එදා පාසන් සහ එන්සල් යන කම්කරුවන් නායකයෝ එල්ලා මරා දමනු ලැබීය. සිරගතව සිටියදී දිවි නසා ගනු ලැබුවේ ලුවිස් ලින්ටන්ය. චිකාගෝ නුවර කම්කරු ජනතාව හැලූ ලේ ගංගාව මැයි දිනය බවට පත් වූවත් ලොව හමුදා ආණ්ඩු පවතින රටවල කම්කරු අරගල දරුණු ලෙස මර්දනය කර තිබේ. මෙයට වසර ගණනකට පෙර චිලී රාජ්‍යයේ අයන්ඩේ ජනපති දිවිනසා ගැනීමෙන් පසු බලය අල්ලාගත් හමුදා පාලක පිනොචේ කම්කරු නායකයන් සහ වෘත්තීය සමිති නායකයන් රැසක් ඝාතනය කළේය. මේ හැර සිසුන්ද විශාල සංඛ්‍යාවක් ඝාතනය විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ජගත් කම්කරු නීතිරීති රැසක් පනවා ඇතත් රටවල් රැසක් ඊට පටහැනිව ක්‍රියා කරන බව හෙළි වී ඇත. මේ අතර ඇමෙරිකානු ඉතිහාසඥයකු වූ විලියම් ජේ. ඇඩල්ටන් පැවසූවේ 1886 සිද්ධියේ සත්‍ය තත්ත්වය ඇමෙරිකානු ඉතිහාස ග්‍රන්ථවලින් වසන් කර ඇති බවයි. මෙවන් පසුබිමක් මැද හිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධන මැයි දින තහනම පනවනු ලැබීය. ඊට හේතු වූයේ ඊට දින කීපයකට පෙර කොළඹ බෝම්බ පිපිරීමත් සිදුවීම නිසාය. මේ අතර මෙරට මැයි දිනයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. ඒ ඊ. ගුණසිංහ පිලිප් ගුණවර්ධන ආචාර්ය එන්. එම්. පෙරේරා කොල්වින් ආර්ද සිල්වා පීටර් කෙනමන් බාලා තම්පෝ, ඩී. ජී විලියම් ඇතුළු වෘත්තීය සමිති නායකයෝ ශ්‍රී ලංකාවේ මැයි දිනයට උර දුන්හ.

එසේම වැඩි වැටුප් ඉල්ලා වැඩ වර්ජනයක් දියත් කළ රජයේ සේවක සේවිකාවන් විශාල සංඛ්‍යාවක් රැකියාවලින් පහ කෙරුණි.රැකියා අහිමි වූවන් රැසක් දිවිනසා ගනු ලැබීය. මේ ක්‍රියාදාමය සහ අතීතය ඇතැම් දේශපාලන පාර්ශ්වලට අමතක වී තිබේ. එදා පැය අටේ වැඩමුරය ඉල්ලා ඇමෙරිකානු කම්කරුවන් දියත් කළ අරගලය මැයි දිනය වුවත් මෙරටදී එය සිය දේශපාලන බලය පෙන්නුම් කිරීමේ ප්‍රදර්ශනයක් බවට පත් වී තිබේ. වසර ගණනකට පෙර ජනතාවගේ දේපලද විකුණා දැමීමට එදා පැවැති රජය ක්‍රියා කිරීමෙන් වැඩ කරන ජනතාවට බරපතළ පහරක් එල්ල විය. තුනී ලෑලි, වානේ, ටයර්, ලෝහ භාණ්ඩ, සිමෙන්ති, සහ තුල්හිරිය, පූගොඩ, වේටෙක්ස් වැනි කම්හල් පුද්ගලික අංශයට විකිණීමට ක්‍රියා කළේ වැඩකරන ජනතාවට හොරෙනි. රුසියාව විසින් ශ්‍රී ලංකාවට කැලණි ටයර් කම්හල දුන්නේය. එය ඉන්දියාවට විකුණා දමනු ලැබීය. එහි ප්‍රතිඵලය දැන් සනාථ වී ඇත.

අද මේ වන විට වැඩ කරන ජනතාව සතුව කිසිදු රජයේ කම්හලක් නැත. මේ පසුබිම මැද ප්‍රජාතන්ත්‍රවාදය ගැන හඬනඟන රටවල පවා වෘත්තීය සමිති මර්දනය කිරීම සහ කම්කරු ජනතාව මර්දනය කිරීම සිදුවේ. පැය අටේ වැඩ වර්ජනය ආරම්භ වූ ඇමෙරිකාවේද එවැනි මර්දන කිරීම් වාර්තා වී ඇත.

මේ අතර මෙරට කම්කරු ජනතාව හෙවත් වැඩ කරන ජනතාව වෙනුවෙන් ඉල්ලීම් රැසක් ලැබී තිබේ. එහෙත් රටවල් රැසක වැඩ කරන ජනතාව තවදුරටත් මර්දනයට ලක් වී සිටී. ආජන්ටිනාවේ හමුදා නායකයාව සිටි විදෙලා යටතේ කම්කරු ජනතාව දැඩි මර්දනයට ලක් විය. චිලියේ හිටපු හමුදා නායකයාව සිටි පිනොෂේ යුරෝපයට පැමිණි අවස්ථාවේ හෝටල් සේවකයන් ඔහුට සේවා සැපයීම ප්‍රතික්‍ෂේප කර තිබුණි. විශේෂයෙන් අප්‍රිකානු රටවල හමුදා පාලනය නිසා කම්කරු ජනතාව වසර ගණනක් තිස්සේ දැඩි පීඩාකාරී මර්දනයට ලක් විය.

එක්සත් ජාතීන්ගේ කම්කරු සංවිධානය ක්‍රියාත්මක වූවත් එහි නීතිරීති ඉටු කිරීමට ඇතැම් රටවල් ක්‍රියාකර නැත. ලෝක කම්කරු සංවිධානය සෑම වසරකම කම්කරු සමුළු පවත්වන අතර එම සමුළුවලට සහභාගි වන ලෙස සාමාජික රටවල්වලට ඇරයුම් කරන අතර ශ්‍රී ලංකාව එම සමුළුවලට යවන්නේ දේශපාලන සබඳකම් ඇති පුද්ගලයන්ය. හෙද සේවාවට සම්බන්ධ පුද්ගලයෙක් සිව් වතාවක්ම ජිනීවා නුවරට පැමිණි අයුරු වරක් අපට දැක ගත හැකිවිය.

චිලී රාජ්‍යයේ වෘත්තීය සමිති නායකයන් 47 ක් අතුරුදන් වී ඇති අතර වත්මන් චිලි රජයද මේ දක්වා ඒ ගැන පරීක්‍ෂණයක් පවත්වා නැත. වැඩ කරන ජනතාව බිහිසුණු ලෙස මර්දනය වූයේ පිනොෂේ චිලී ජනපති ලෙස ක්‍රියා කරන සමයේයි. එකළ වෘත්තීය සමිති තහනම් විය. අත්අඩංගුවට ගනු ලැබූ වෘත්තීය සමිති නායකයෝ විශාල පිරිසක් අතුරුදන් විය. පිනොෂේ බලයෙන් ඉවත් වූවත් ඔහුට දඬුවම් හිමි වූයේ නැත. වත්මන් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේගේ පියා පවා අත්අඩංගුවට ගෙන තිබූ බව හෙළි විය. ලොව සිදු වූ දරුණුතම කම්කරු මර්දනය එය විය. ඇතැම් වෘත්තීය සමිති නායකයන් ගුවන් යානාවලින් ගෙන ගොස් මුහුදට විසිකර දමා ඇතැයි විමර්ශනවලදී අනාවරණය විය. මේ තත්ත්වය මත රුසියාව චීනය උතුරු කොරියාව මොංගෝලියාව වැනි රටවල වැඩ කරන ජනතාවගේ දිනය උත්සවශ්‍රීයෙන් සැමරුවත් බටහිර රටවල සැමරෙන්නේ සුළු වශයෙනි.

මෙරට පසුගිය මැයි දින රැලිවල කම්කරු ජනතාව වෙනුවෙන් සටන්කාමී සටන් පාඨ නිර්මාණය වී නැත. ඒ වෙනුවට හඬ නැගෙන්නේ දේශපාලනයයි. දේශපාලකයන් විසින් කම්කරු ජනතාව තම යහපතට භාවිතා කරන බව ඉන් තහවුරු වේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment