එක්සත් ජාතීන්ගේ මූලිකත්වයෙන් සංවිධානය කෙරෙන දේශගුණ විපර්යාස සමුළුව හෙවත් COP 28 සමුළුවට සහභාගි වූ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දේශගුණික විපර්යාස අවම කර ගැනීම සඳහා දක්වන ලද යෝජනා සම්බන්ධයෙන් එතෙර මෙන්ම මෙතෙර ද සියලුම ජනමාධ්‍ය විශේෂ අවධානය යොමු කර තිබුණි. දේශගුණික යුක්ති සංසදය පිහිටුවීමට යෝජනා කළ ජනාධිපති රනිල් ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා යුරෝපා සංගමය ද සහාය දැක්විය යුතු බවට ඉල්ලීමක් ද කර තිබුණි. ශ්‍රී ලංකාව ඇතුළු නිවර්තන කලාපයට අයත් මෙම දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වියයුතු බව ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණි. ඩුබායිහි දී පැවැති එම සමුළුවේදී රාජ්‍ය නායකයන් කීපදෙනෙක් හමුවී සාකච්ඡා කිරීමට ද ජනාධිපති රනිල්ට අවකාශ ලැබුණි.
ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස ජගත් රාජ්‍ය නායකයන් අබියස දේශගුණික විපර්සාය, බලශක්ති ආදී ගෝලීය ප්‍රවණතා පිළිබඳව ජනාධිපති රනිල්ට එවන් ශාස්ත්‍රීය හා ගැඹුරු විශ්ලේෂණයක් කිරීමට හැකිවීම ද නිසැකයෙන් ම අප වැනි රටකට ආඩම්බර විය හැකි කරුණකි. එහෙත් රටක් වශයෙන් අප මුහුණ දී සිටින සමාජ – දේශපාලන කැළැඹීම සුළුපටු එකක් නොවේ. ඇත්ත වශයෙන් ම ජනාධිපති රනිල් පිටත ගිනි නිවා පෙරළා ආපසු එන්නේ කෙබඳු ගිනි පුළිඟු දැල්වෙමින් තිබෙන රටකට ද? ජනාධිපති රනිල්ට ද ඒ ගිනි උණුසුම නොදැනේ යැයි කිව නොහැක.
2024 අය වැය විවාදය ආරම්භ වූ දා පටන් ම අප බොහෝ විට දුටුවේ රටේ ආර්ථික සමාජ අර්බුද වෙනස් කෙරෙන අලුත් ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව හෝ සාධනීය දේශපාලන යෝජනා ගැන සංවාදයක් හෝ නොවේ. අදටත් මේ රට චෞරයන් විසින් අත්පත් කර ගන්නා ලද සමාජ දේශපාලන බල අධිකාරයක් යටතේ ක්‍රියාත්මක වන්නේ ද යන සැකය අය – වැය විවාදය අතර සිදු වූ වාද විවාද සංවාදවලින් ද ඇති වී තිබේ. දූෂණ හා වංචාවලින් ආණ්ඩුවේ ආයතන පමණක් නොව, වෙනත් ප්‍රබල ආයතන ද ගිලගෙන තිබෙන බව යළි යළිත් තහවුරු වී තිබේ. මේ විරූපී චිත්‍රය මැනවින් දැක ගතහැකි වූයේ අය – වැය විවාදයට සමානුපාතිකව සිදු වූ ලංකාවේ ක්‍රිකට් පරිපාලනය පිළිබඳ ආරවුලයි. දැන් ඒ ආරවුල යටපත් වී තිබේ. එහෙත් එහි ඵල විපාක වශයෙන් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහට සිය ඇමැති ධුරය අහිමි විය. ඇමැතිවරයකු වන හරීන් ප්‍රනාන්දුට ක්‍රීඩා ඇමැති ධුරය ද ලැබී තිබේ. ෂම්මි සිල්වලාට අස්වැසිල්ලක් ද ලැබී තිබෙණු විය හැකිය. එපමණක් නොව, ඔවුන්ට එරෙහිව අදහස් දැක්වූ සියලු දෙනාටම ‘කීචොක්’ කිරීමට ද හැකිය. ඒ තමයි ලංකාවේ හැටි! අපේ දේශපාලනයේ හැටි!
එහි වඩාත් ම උත්ප්‍රාසනීය ඵලය වී ඇත්තේ හිටපු ඇමැතිවරයාට ක්‍රීඩා අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට සහභාගි වීමට පවා ඉඩක් නො ලැබීමය. එහෙත් විපක්‍ෂය විසින් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමෙන් පසු, ක්‍රීඩා ඇමැති හරීන් ද හිටපු ඇමැතිවරයාට තමන්ට වෙන් වූ වේලාවෙන් කාලයක් ලබාදීමට එකඟ විය. විපක්‍ෂ නායක සජිත් කියා සිටියේ විපක්‍ෂ වේලාවෙන් කාලය ලබාදිය හැකි බවය. මෙයින් රටට හෙළිවන්නේ ඔහුට උඩින් තිබෙන බොළඳ උද්දච්ච මානසිකයක ග්‍රාම්‍ය විලාසයකි. අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ දිළිඳු බව හා දේශපාලන මුග්ධ භාවයයි. කවුරුන් කෙසේ කීවත් අපට ශිෂ්ට දේශපාලන සම්ප්‍රදායක් නැති බවයි. තවමත් අපට තිබෙන්නේ ගෝත්‍රික දේශපාලන වහල්භාවයක් බවය. රොෂාන්ගේ මෙම අනාවරණයන් පැසසිය යුතු වුවද, ඔහුත් මේ ජරපත් දේශපාලනය වෙනුවෙන් පෙනී සිටි අයෙකි. ඔහු පසුපස ඇදී එන්නේ ද ඒ දේශපාලනයේ නග්න හා අශිෂ්ට ක්‍රියාකාරකම ය. ඔහුගේ දූෂණ විරෝධී හඬට එරෙහි වූවන්ගේ කැනහිල් ප්‍රතිචාර ද ඒ අතර වේ. සැකෙවින් කිවහොත් රොෂාන් අද භුක්ති විඳිමින් සිටින්නේ දූෂණයට – වංචාවට, හොරකමට එරෙහි වීමේ විපාකවලට ලැබෙන දුෂ්ට ලාභ හා අස්වැන්නයි.
මේ රට හොරුන්ගේ, දූෂිතයන්ගේ පාරාදීසයකැයි කියන අය සිටිති. දැන් එය පාතාලයන්ගේ ද අපරාධකරුවන්ගේ ද රජදහනක් වී තිබේ. යැයි ද කිවහැක. මොන ආකාරයෙන් බැලුවත් ඒ සියල්ලට ම ප්‍රධාන හේතුව සුපිළිපන් පාලනයක්, ප්‍රතිපත්තිගරුක දේශපාලන සංස්කෘතියක් නැති වීමය. ජා.ජ.බ. නායක අනුර කුමාර කියන්නේ ආණ්ඩු වෙනසක් නොව, සමාජ පෙරළියක් අද අවශ්‍යව තිබෙන බව ය. දේශපාලනය ලාභම ව්‍යාපාරයක් බවට පත්ව තිබෙන බව ය. සත්තකින් ම මේ දේශපාලන වෙස්මුහුණට යටින් තිබෙන සැබෑ මුහුණ එය යි.
මේ ලිපිය ආරම්භයේදීත් අප විසින් සඳහන් කරන ලද්දේ ජනාධිපතිවරයාට ගෝලීය හා කලාපීය දේශපාලන සමාජ ගැටලු ගැන ප්‍රමාණවත් අවබෝධයක් තිබෙන බව ය. එහෙත් ඔහු මෙරටේ දේශපාලනය තුළ අතිශය විවාදාත්මක චරිතයක් බවට පත්ව සිටියි. ප්‍රජාතන්ත්‍රවාදය – නීතියේ ආධිපත්‍ය වැනි තේමාවන් සම්බන්ධයෙන් විචක්‍ෂණ විග්‍රහයක් කළ හැකි වුවත් අද ඔහුගේ දේශපාලන භූමිකාව ප්‍රජාතන්ත්‍රවාදී ජීව ගුණයෙන් ඈත් වෙමින් තිබෙන බව සමහරුන්ගේ චෝදනාවකි. ඔහු තමන්ට හිමි වූ විධායක බලය අභ්‍යාස කරන ආකාරය සම්බන්ධයෙන් ද දැඩි විවේචන ඇත. ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්‍ෂණ නොතකන අධිපතිවාදී ස්වරූපයකින් ඔහුගේ දේශපාලන ශෛලිය සමන්විත වී තිබේ.
නිදහස ජනතා සභාවේ මහාචාර්ය ජී. ඇල්. පීරිස් චෝදනා කරන්නේ අද තිබෙන්නේ විධායකය විසින් ව්‍යවස්ථාදායකය යටපත් කිරීමේ ප්‍රවණතාවක් ඇති බවය. මෙය දේශපාලනය හා සිවිල් සමාජ පැවැත්ම සම්බන්ධ බරපතළ කරුණකි. ජේ. ආර්. ජයවර්ධන පාලනයත්, ඔහු විසින් හඳුන්වාදෙන ලද විධායක ජනාධිපති ක්‍රමයත් යන දෙකම අදටත් බොහෝ දෙනෙකු විසින් තලනු ලබන හොඳට පදනම් වූ මුව හම් දෙකකි. එහෙත් ඒ විධායක ක්‍රමය තුළ වූ දැඩි හා අධිපතිවාදී බලය යම් ප්‍රමාණයකට අඩු කෙරෙන සංශෝධන කීපයක් සිදු වී තිබේ. එසේම ඒවා අහෝසි කරමින් ද යළි බලාත්මක කරමින් ද පෙන්වන ලද දේශපාලන රැඟුම් ද අපට දැකගත හැකි විය.
කෙසේ වුව ද මෙරටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව දක්වා තිබෙන්නේ විධායක ව්‍යවස්ථාදායක හා අධිකරණ යන ආයතන ත්‍රිත්වය ස්වාධීනව ක්‍රියා කළ යුතු බව ය. විධායකයේ බල සීමා කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයෙන් ක්‍රියා කළ කණ්ඩායම්වලට සම්බන්ධ වූ ද ධෛර්ය ලබාදුන්නා වූ ද දේශපාලනඥයකු ලෙස රනිල් වික්‍රමසිංහට ද පිළිගැනීමක් ලැබුණි. එහෙත් අද ඔහුගේ දේශපාලන භාවිතය කුමක් ද? මෙ රටේ සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදවලට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට ද අභියෝගයක් වූ විධායක ක්‍රමය තවත් ශක්තිමත් කර ගැනීම අද ඔහුට අවශ්‍යව තිබේ ද යන සාධාරණ සැකය බොහෝ අය තුළ තිබේ. අලුත් සමාජ දේශපාලන වෙනසක් ඉල්ලා ගෙන ගිය අරගලය (එය අසාර්ථක වූ හේතු රැසකි) එහෙම පිටින්ම ඉවත දමා යළිත් එදා විරෝධයට ලක් වූ ඒ ප්‍රභූ දේශපාලන තන්ත්‍රය රැක ගැනීමට ඔහු කැප වී සිටින්නෙහි ද?
ජනාධිපති රනිල් විසින් සිදුකරන ද ඇතැම් ප්‍රකාශ මෙන්ම ඔහුගේ විධායක ශෛලිය ගැන ද අද ප්‍රශ්න ිතබේ. නීතිඥ සාමූහිකය විසින් ඔහුගේ ප්‍රකාශ, ප්‍රතිචාර සම්බන්ධයෙන් දක්වන ලද හා දක්වනු ලබන ප්‍රතිචාර මෙහිලා අතිශය වැදගත් ය. නීතිඥ සංගමය පවසන ආකාරයට ම ජනාධිපති රනිල්ට ජනවරමක් නැත. ඔහු ඒ ධුරය හොබවන්නේ රාජපක්‍ෂවරුන්ට අයිති පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය හිමිවීම නිසාය. එහෙත් රාජපක්‍ෂවරුන් මෙන්ම එම පක්‍ෂයට ද තිබෙන විවේචන, අප්‍රසාද සුළුපටු නැත. ගාලු මුවදොර විරෝධතාවේ ප්‍රබල ඉලක්කය වූයේ රාජපක්‍ෂ පාලනය බව ද රහසක් නොවේ. රාජපක්‍ෂවරුන්ගේ බලය අහිමිවීමට මෙන්ම ඇමැතිවරුන්ට ධුර අත් හැරීමට ද හේතු වූයේ 2022 දී නැඟුණු ඒ විරෝධතා විනා අන් දෙයක් නොවේ.
එදා විරෝධතාකරුවන්ගේ තේමාව බවට පත්ව තිබුණේ අලුත් වෙනසක් යන්නය. එහි සරල අරුත මේ අසංස්කෘතික දේශපාලන අගාධයෙන් රට මුදා ගතයුතු බව ය. එහෙත් අද වනවිට සිදු වී තිබෙන වෙනස කුමක් ද? යළිත් රට මෙහෙයවීම – රාජ්‍ය භාරකාරත්වය හිමිව තිබෙන්නේ එදා ජනතා කෝපයට අප්‍රසාදයට ලක්වූ අයට ම නොවේ ද? දූෂණ – වාචා – හොරකම වඩාත් ප්‍රචලිතව ඇතැයි යන චෝදනාව ද ඇසෙයි. මේ රටේ ප්‍රභූ දේශපාලනය හා දූෂණ – වංචා – හොරකම් අතර කිසියම් සබඳතාවක් තිබේ දැයි සමහරු ප්‍රශ්න කරති. ඒ දුෂ්ට මෙහෙයුම දූෂිත පාලකයන් අධම ව්‍යාපාරිකයන්, දූෂණය චර්යාවක් බවට පත් කර ගත් රාජ්‍ය හා වෙනත් ආයතනවල නිලධාරීන් යන දූෂිත ත්‍රිකෝණය විසින් පවත්වා ගෙන යනු ලබන්නකි. මේ අශෝබන චෞර සන්ධානය බිඳ දැමීමට හෝ පෙරළා දැමීමට මෙම දේශපාලන පක්‍ෂවලින් ලැබිය හැකි අනුග්‍රහය කුමක් ද? ප්‍රජාතන්ත්‍රවාදීව ඒ බලය පරාජය කිරීමට බලය හිමි ප්‍රභූවරු ඉඩ දෙතීයි සිතිය හැකි ද?
වසර 75ක් වැනි කාලයක් තුළ මෙරටේ රාජ්‍ය බලය හුවමාරු වූයේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ය. ඒ සම්බන්ධ විවිධ විවේචන තිබේ. 71 කැරැල්ල, 88 – 89 භීෂණය මෙන්ම උතුරේ ඊළාම් කොඩිය යට බලගැන්වුණු ත්‍රස්තවාදය ද මැඬලීමට හැකි විය. ඒ හැම අරගලයකම සාධාරණ අරමුණ නොවී යැයි ද කිව නොහැක. එහෙත් තරුණයන් මෙන්ම ජනතාව විසින් ද අපේක්‍ෂා කළ සාධාරණ හා යුක්ති සහගත පාලනයක් රටට නොලැබුණි. ඒ වෙනුවට අතිශයින් දූෂිත චෞර වළල්ලක අභිමතය පරිදි මෙහෙයවනු ලබන රටක් ලැබුණි.
2022 විරෝධතා ව්‍යාපාරය රටට අහිමි කළ හා උදුරාගත් දෙයක් ඇතැයි අපට නිසැකව කිව නොහැක. එහෙත් ඒ ව්‍යාපාරය තුළ විවිධ දුෂ්ට හා අමන ක්‍රියාකාරකම් සිදු වූ බව නම් පැහැදිලිය. අද එළියට පැමිණ සිටින පොහොට්ටුවේ දේශපාලන චරිත ඒ ව්‍යාපාරය අවඥාවට ලක් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය හා ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමේ ගෞරවය ජනාධිපති රනිල්ට දෙයි. එහෙත් එය සත්‍යය ම නොව, ඉන් අඩක් හෝ ස්වල්පයකි. අද යළිත් පැරණි වැඩවසම් පාලනයම සිංහාසනාරූඪ කිරීමේ ප්‍රයත්නය නම් පැහැදිලිව පෙනේ. රාජපක්‍ෂවරු ද යළිත් බලය සඳහා සූදානම් ව සිටිති. එහිද ව්‍යාකූලත්වයක් ඇත.
මෙහි දී රාජපක්‍ෂ කඳවුර සමග එජාපයට එක් විය හැකි ද යන්න නිශ්චිතවම දැන ගතහැකි වන්නේ එළැඹෙන කවර හෝ මැතිවරණයක දී විය හැකිය. එහෙත් 2024 දී කුමන හෝ මැතිවරණයකට මුහුණ දී ඉන් ලැබෙන ජනතා තීන්දුව ප්‍රජාතන්ත්‍රවාදීව පිළිගැනීමට මොව්හු සූදානම් වෙත් ද? යන්න අපට කිව නොහැක. ඔවුන්ට ඒ සඳහා මැතිවරණ කල් දැමිය නොහැකි වුවත් එබඳු ප්‍රතිචාරයක් දැක්වීමට වුවද පෙළැඹීමට බැරි නැත.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රාජපක්‍ෂ පාලන සමයේ ආර්ථික බිඳවැටීම සම්බන්ධයෙන් දෙන ලද තීන්දුව කවුරුත් දනිති. රාජපක්‍ෂ තුන්බෑයන්ට අමතරව ඔවුන්ට හිතවත් උසස් නිලධාරීන් පිරිසක් ද ඒ ආර්ථික අර්බුදයට වගකිව යුත්තන් බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව විය. එය තමන් නොපිළිගන්නා බව මහින්ද පසුගිය දිනක පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. මුලදී ඔහු පැවසුවේ තමන් ඒ තීන්දුවට ගරු කරන බව ය. කුමක් වුවත් රාජපක්‍ෂවරු මේ තීන්දුව පිළිගෙන දේශපාලනයෙන් සමුගනිතියි කිව නොහැක. ඉකුත් ඔක්තෝබර් 14 වැනිදා ලැබුණු මෙම තීන්දුවට අදාළ පැමිණිල්ල ගොනු කර තිබුණේ විශ්වවිiාල ආචාර්යවරුන්, වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙක් හා තවත් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු ප්‍රමුඛ පුරවැසියන් එක්වය. කුමක් වුවත් දැන් පොහොට්ටුවේ අදහස වී තිබෙන්නේ 2015 දී බලයට පැමිණි යහපාලන ආණ්ඩුව රට කඩා වැටීමට වගකිව යුතු බවකි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්‍ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පසුගිය දිනක ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතුව පාලකයන්ගේ දුර්වල හා සදොස් කළමනාකරණ කටයුතු බව ය. නිව්යෝර්ක් නුවර දිස්ත්‍රික් ෆෙඩරල් අධිකරණය ඉදිරියේ විභාග වූ නඩුවක දී හැමිල්ටන් රිසර්ච් බැංකුව කරුණු දක්වමින් සඳහන් කළේත් රාජපක්‍ෂ පාලනය දූෂිත එකක් බව ය. එනිසා මේ ඓතිහාසික නඩු තීන්දුව නොතකා හැරීමට හෝ එය සාධාරණ හා යුක්තිය නොවන බව හෝ කිව හැකි ද? පොහොට්ටුවේ ඇතැම් අය පවසන්නේ රට බේරා ගත් නායකත්වයට අද අකෘතඥ වී සිටින බව ය. එහෙත් මෙය රාජපක්‍ෂවරුන් විසින් මේ රටට සිදුකරන ලද කවර හෝ සාධනීය සේවයක් නිෂ්ක්‍රීය වන්නක් ද නොවේ.
මේ රටේ ආර්ථිකය කඩා වැටීමට නිදහසින් පසු පාලකයන්ව සිටි සියල්ලෝ ම වගකිව යුතු වෙති යන සාධාරණීකරණය ද සමහරුන් විසින් කරනු ලැබේ. එහෙත් ඒ පාලනයේ විශේෂ කණ්ඩායමක් (දේශපාලන හා නිලධාරි) රටේ ආර්ථික බිඳ වැටීමට වගකිව යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම ඓතිහාසික පියවරකි. කවුරුන් කෙසේ කීවත් අද රටේ ස්ත්‍රී පුරුෂ දරුවන් ඇතුළු හැම කෙනෙක් ම ලක්‍ෂ 16ක ණයකරුවෙක් වී සිටිති. එයට වගකිව යුතු පාලකයන් හා නිලධාරීන් මිස ජනතාව නොවේ. එහෙත් අද සිදුවන්නේ කිසිදු වරදක් නොකළ තම ජීවිත දුක සේ සකසා ගත් රටේ බහුතර ජනතාවකට ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට ය. දුක් පීඩා මැද කඹුරමින් දෙස් දෙවොල් තැබීමට ය.
ලංකාවේ සමාජ – ආර්ථික බිඳවැටීම දේශපාලනයෙන් වෙනම සිදු නොවන බව අද බහුතර ජනතාවක් ද වටහා ගෙන සිටිති. වෙළෙඳ පොළේ, වීදියේ හෝ වෙනත් ජනතාව රැස්වන කවර හෝ ස්ථානයක දී තමන් වෙතට යොමුවන මාධ්‍යකරුවාගේ විමසුමට ඔවුන් විසින් දෙනු ලබන පිළිතුරු ආණ්ඩුව තැති ගන්වන සුලුය. එවන් ජනතාවක් මේ පාලනය සඳහා යළි මනාපය ලබානොදෙන බව පැහැදිලිය. අද සිදුවන හැම ක්‍රියාවක්ම මේ දේශපාලන ක්‍රමයේ ප්‍රතිචාර බව ජනතාවගේ අදහස ය. අලුත් පාලනයක් ජනතාවට අවශ්‍ය බව සැඟවිය නොහැක. වගවීම හා වගකීම මූල්‍ය පාලනය ආදී සියලු වටිනාකම් ඉටුකළ හැක්කේ අලුත් පාලනයකට පමණි. එහෙත් නීතිඥ සාමූහිකය මෙන්ම වෙනත් සිවිල් සංවිධාන විසින් අනතුරු අඟවන්නේ අද ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයකට ලක් ව තිබෙන බවය. විධායකය ව්‍යවස්ථා සභාව මෙන්ම පාර්ලිමේන්තුව ද තම අභිමතය පරිදි මෙහෙයවීමට දරන ප්‍රයත්නය ඔවුහු නිර්දය ලෙස හෙළා දකිති. මේ පාලනය සම්බන්ධයෙන් රටේ බුද්ධිමත් පුරවැසියන්ට මෙන්ම යම් ප්‍රමාණයක හෝ දේශපාලන විඥානයක් සහිත ජනතාවට තිබෙන විවේචන ඉතා දැඩිය. මහජන කැමැත්ත, ජාතික හා සංස්කෘතික වටිනාකම් සම්බන්ධයෙන් ඔවුන්ගේ ආකල්ප එහෙම පිටින්ම ජනතා කැමැත්තට එරෙහි වූ බව ද ඔවුහු කල්පනා කරති. ආර්ථික හා සමාජ සාධාරණය උදෙසා කෙරෙන උද්ඝෝෂණ මර්දනය කිරීම හැර මේ ආණ්ඩුවට වෙනත් විකල්පයක් නැති බව ද ජනතාව දනිති. 2024 මේ රටේ මැතිවරණ වසර ලෙස පවසමින් ඝෝෂා කළත් ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම මැතිවරණය ද නිශ්චිත අනතුරක බවට විවිධ චෝදනා නැඟෙමින් ද තිබේ.
ගාමිණි සුමනසේකර