පිංබර වෙසක් සමයේ දේශපාලන ත්‍රස්තවාදයේ කූඨ ප්‍රාප්තිය

211
පිංබර වෙසක් සමයේ දේශපාලන ත්‍රස්තවාදයේ කූඨ ප්‍රාප්තිය

බුදු තෙමඟුල සිහිපත් කෙරෙන උතුම් වෙසක් පුන් පොහෝ දිනය යෙදී තිබුණේ දින කීපයකට පෙරය. බුද්ධාලම්බන ප්‍රීතියකින් ඔකඳව ප්‍රසාද සිතින් ධර්මය සිහිපත් කිරීමට හෝ ආමිස ප්‍රතිපත්ති යන කවර ආකාරයකින් සමාධි ගත වීමට හෝ උචිත නිමල නිසල වාතාවරණයක් මෙවරද නොවූ බව කිව යුතුය. එහෙත් බොදුනුවෝ තම ශක්ති පමණින් වත් පිළිවෙත් සපුරමින්, සීල සමාධියෙහි පිහිටමින් ඒ පරමාදර්ශී බුදු මහිමයට පූජා කළහ. ඇතැම් තැනක දන්සල්, පින්කම් ආදියද දැක ගත හැකි විය. රූපවාහිනි නාලිකා මගින්ද මෙලොව බිහිවූ අසිරිමත් බුදුන්වහන්සේගේ බුද්ධ ලීලාව, බුද්ධ ප්‍රතිපදාව, බුද්ධචර්යාව ආදිය පිළිබඳව නොයෙක් අනාවරණයන්ද සිදු කෙරුණි. මානව වර්ගයාගේ පරම ශාන්තිය, යහපත, භෞතික හා ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා පරාර්ථචර්යාවෙහිම පිහිටා ක්‍රියාකළ බුදු උතුමන් හා සමකළ හැකි කිසිවෙක් මේ ලෝක ධාතුවෙහි නොවූ බවත්, නොවන බවත් නිසැකය.

බුදුන් වහන්සේ කැප වූයේ මිනිසා සුඛිත මුදිත කරවීම සඳහාය. සමාජ, ආර්ථික හා දේශපාලනික වශයෙන්ද ජීවිතය විග්‍රහ කළ බුදුන්වහන්සේ පුද්ගලයාට දුකෙන් මිදෙන මාර්ගය භෞතික හා ආධ්‍යාත්මික යන දෙආකාරයෙන්ම විග්‍රහ කර තිබේ. දේශපාලනය සමාජ අභිවර්ධනයටත් මානව වර්ගයාගේ යහපතටත් හේතු වන්නක් බව උන්වහන්සේ නොයෙක් අවස්ථාවල පෙන්වාදුන් සේක. අධර්මයෙන් රට පාලනය කිරීම, ජනතාවගේ ජීවිත පීඩනයෙන් තෙරපීම, කුරිරු දඬුවම් ලබාදීම අමානුෂික බව බුදුහු වදාළහ. රජු ධාර්මික විය යුතු බවත් රාජ්‍ය නායකයන්, නිලධාරීන් දූෂණයෙන්, වංචාවෙන්, හොරකමින්, භීෂණයෙන් ක්‍රියා කරන්නේ නම් ඒ රට, ඒ රජුගේ පාලනය විපතක් බවත් බුදුහු අවධාරණය කළහ. බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර ගණනාවකම රටක් සුඛිත මුදිත කළ හැක්කේ කෙසේද යන්න ගැඹුරින් සඳහන් කර ඇත. දසරාජ ධර්මයෙහි ඇතුළත් දානය, සීලය, සදාචාරයට ඉවහල් වන ආකාරයත් වංචාව, බොරුව, ඝාතනය, සුරාව සමාජය විපතට ඇදදමන විලාසයන් දක්වා තිබේ. අවිහිංසාව හා සහන සීලය සමාජයක පදනම විය යුතු බව උන්වහන්සේ වදාළහ. බලය හෝ වෙනත් ආත්මාර්ථකාමී අරමුණක් උදෙසා පාලකයා කිසිසේත්ම ක්‍රියා නොකළ යුතු බවද බුද්ධ වචනයයි. ආයුධ බලයෙන් ධන බලයෙන් මිනිසා දිනාගත නොහැකි බවද උන්වහන්සේ පෙන්වාදුන් සේක (අග්ගක්‍ද්ක්‍ද, කැටදත්ත, චක්ක වත්ති ආදී සූත්‍ර ගණනාවකම මේ කරුණු සවිස්තරව දක්වා ඇත.)

පුද්ගල ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අවම වශයෙන් ආහාරපාන, ඇඳුම් නිවාස හා බෙහෙත් අත්‍යවශ්‍ය බව කැට දත්ත සූත්‍රයෙහි දක්වා ඇත. ජීවත්වීම සඳහා ආහාර වුවමනාය. දරුණුම රෝගය කුසගින්නය. (ජීගච්ඡා පරමා රෝගා) පාලකයන්ට සදාචාරය ගැන කතාකළ හැක්කේ මේ මූලික අවශ්‍යතා ඉටු කර දීමෙන් පසුව බවද දැඩිව අවධාරණය කර ඇත. බුදුන්වහන්සේ වරක් බණ ඇසීමට පැමිණි ගොවියකුට ආහාරවලින් සංග්‍රහ කර පසුව දහම් දෙසු පුවතක්ද බුදු සිරිතෙහි එයි. පුද්ගලයා පීඩාවට අසහනයට පත් කරන ගැඹුරු සංකල්පයක් ලෙස “දුක” විස්තර කර තිබේ. ජීවිතය දුක් කන්දක් බව උන්වහන්සේ දේශනා කළේ එහි ගැඹුරු දාර්ශනික අරුත අනුවය. පුද්ගලයාට බොරු සෞභාග්‍යයක් ගැන සිහින ඇති කිරීම වංචනික ලෙස ඔහු සත්‍යයෙන් ඈත් කිරීම වරදක් බව බුද්ධ වචනයයි. එහෙත් උන්වහන්සේ කිසි විටෙක ජීවිතය සුඛයක් කර ගත නොහැකි බවත් නොවදාළහ. දුක ආධ්‍යාත්මිකව හා භෞතිකව ජයගන්නා මාවත් උන්වහන්සේ පෙන්වාදුන්හ. බෞද්ධයා දුක හඳුනන අයෙකි. ඔහු සෝකයෙන් බර වූ ජීවිතයක් ගෙවන්නකු නොවේ. එහෙත් ඔහුට ජීවිතය දුකක් බවට පත් කරන එක් බලවේගයක් ලෙස පාලකයා හා පාලනය හැඳින්විය හැකිය. සමාජ ජීවිතය දුක් අඳුරෙන් වැසී යන්නේ පාලකයාගේ අසමත් බව නිසාය. දුක සමාජය නොමගට යොමු කරන අනතුරුදායක අත්දැකීමකි. දුක නිසා දුසිරිතයට පෙලඹෙයි සදාචාර පැවැත්ම බිඳවැටෙයි. වෛරය, විනාශය දුක නිසා ඇතිවන බිහිසුණු ප්‍රතිචාර ලෙස දැක්විය හැකිය. භෞතික ජීවිතයේදී දුක නැතිකිරීම සඳහා විවිධ පොරොන්දු ලබා දෙන්නේ දේශපාලනඥයන්ය.

බුදුන්වහන්සේ දුක විග්‍රහ කර ඇත්තේ ව්‍යාධියක් හෙවත් රෝගයක් ලෙසය. ඒ දුක සමාජ ආර්ථික වශයෙන් සුවපත් කළ නොහැකි බව බුදුන්වහන්සේ පෙන්වාදුන්හ. එසේ වුවද භෞතික සමාජයේ දුක යම් පමණකින් අඩු කිරීමට පාලකයා මුල්විය යුතු බවද සඳහන් කළ සේක. තෘෂ්ණාභරිත, ධනලෝභී, කාමයෙහි ලොල්වූ සමාජ දේශපාලනයක මේ දුක දැඩිව දැනෙයි. පීඩිතයන්ට දුක් දෙමින් පලාකයා ධනය උපයා සම්පත් ගොඩගසන ආකාරය අද ජනතාව දෑසින්ම දකිති. දෙසවනින් අසති. අද පැතිර යන අතෘප්තිකර රැල්ලට දක්වන විරෝධය මෙම සමාජගත භෞතික දුකට පිළිතුරක් ඉල්ලා සිටියි. ගාලුමුවදොර තරුණ විරෝධය තුළ දිදුලන්නේ මේ දුක පීඩාව, දූෂණය නඩත්තු කළ ක්‍රමය වෙනස් විය යුතුය යන අවධාරණයයි.

මෙවර බදාදා ලියවිල්ල සමාරම්භයට බුදුන්වහන්සේ විසින් විග්‍රහ කරන ලද සමාජ ආර්ථික දේශපාලනයෙන් බිඳක් හෝ එක් කිරීමට අප පෙලඹුණේද තවමත් වෙසක් බැති සිතිවිලිවලින් යුත් පාඨකයන් සිහියේ තබා ගෙනය. අනෙක බෞද්ධ නායකයන් ලෙස ඝෝෂා කරමින් ජනතාව අබියස තම ප්‍රතිරූප පුම්බා ගන්නා බොහෝ දෙනෙකුගේ හිස් බව තහවුරු කිරීමටය. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන බවට මොර දෙන සමහරුන්ට බුදුදහම හෝ බුදුබණ බලය ලබා ගැනීමේ ආවරණයක් පමණි. දේශපාලන බලය සඳහා සිංහලකම බෞද්ධකම වෙන්දේසි කරන කීදෙනෙක් සිටිත්ද. පන්සිල් පද පහෙන් කීයක් රකින අය අපට බණ දෙසත්ද? මේ සියල්ලද විමසා බලා තීන්දු තීරණ නොගත් සිංහල බෞද්ධ සමාජයක ඉරණම මෙයට වඩා වෙනස් වීමටද බැරිය. බුදුන් වදාළ දහම, ඒ බොදු සම්ප්‍රදාය අපගේ ආධ්‍යාත්මික ජීවිතය සුපෝෂණය කිරීම සඳහා කෙබඳු සාධනීය බලපෑමක් කර තිබේද. බුදු දහමෙහි පදනම මහා ප්‍රඥාව හා මහා කරුණාවය. බෞද්ධ සමාජය යනු අවිiා අඳුරෙන් මිදුණු පාපී සිතිවිලි නමැත මලකඩ දුරලූ ප්‍රබුද්ධ සංස්ථාවකි. මානව නිදහස, යුක්තිය සාධාරණය යන උතුම් ධර්මතාවන් අප ලබාගන්නේද බෞද්ධ සංස්කෘතියෙනි. ආගම්වලට හා සංස්කෘතීන්ට ගරු කිරීම ඒ ආගමික සංහිඳියාවෙන් අප උගත් දහමය. බෞද්ධයා නිවහල් සමාජයක සාමාජිකයෙකි. බෞද්ධ පුරුෂාර්ථ මත පදනම් වූ සමාජය අද පත්ව තිබෙන විනාශයට වගකිව යුත්තෝ කවරහුද? සාමය සහජීවනය සංවර්ධනය ලෙස අප අබියස ඉතිරිව තිබෙන යථාර්ථය දුක්මුසුය.

මේ යථාර්ථය වටහාගත් නව යොවුන් පරපුරෙහි අභිමානවත් කාහල නාදය අද ගාලුමුවදොර සිසාරා අහසට නැගී ඈත ගම්දනව් වෙතද ඇදී ගොස් තිබේ. ගාලුමුවදොර අරගලය විසින් උඩු යටිකුරු කොට ඇත්තේ නිදහසින් පසු මෙරටේ ස්ථාපිතව තිබුණු සමාජ දේශපාලන ව්‍යාපාරයයි. ලංකාවේ ප්‍රභූ දේශපාලන ආධිපත්‍ය බිඳදැමූ ඒ නිහඬ තරුණ අරගලය අද ගලන ගඟක් ලෙස ගලා යන අයුරු අපි දකිමු. ඒ අබිහස රාජපක්‍ෂ දේශපාලන ආධිපත්‍යයෙහි ප්‍රබල කුලුණු ඇදවැටෙන ලකුණු පහළ වී තිබේ. මහින්ද අගමැති ධුරය හැර සැඟව සිටියි. ගෝඨාභය ජනපති ධුරයෙහි තටු කැපීමට එකඟ වෙයි. රාජපක්‍ෂ කඳවුර නාය යමින් තිබේ. මහින්ද සුළං මැවූ විමල්, උදය, වාසු අද රාජපක්‍ෂවරුන් නැති දේශපාලනයක් ගැන කතාකරති. පොදු ජන පෙරමුණ පිටින්ම එ. ජා. පයේ නායක රනිල්ට ළංවී සිටියි. රනිල්ගේ යහපාලනයට එරෙහිව දේශපාලන වේදිකා දෙදරවන විවේචන කළ මහින්ද හිස සඟවා ගෙන නොපෙනන දුරක සිට රනිල්ගේ අගමැති පදවියට සුබපැතුම් එක් කරයි. පොදු ජන පෙරමුණේ අනාගත කිරුළ හිමි නාමල්ද පියා සමග එයට එක් විය.

කෙසේ වුවද ඉකුත් මැයි 9 වැනිදා රාජපක්‍ෂවරුන් සුරක්ෂිත කිරීම සඳහා පොහොට්ටුවේ ප්‍රාදේශීය දේශපාලන සහචරයන්, සංවිධානය කළ කුප්‍රකට සහයෝගිතා හමුව අරලියගහ මැදුරෙන් පිටතට ඇදුණේ ප්‍රචණ්ඩත්වය, වෛරය, සාහසිකත්වය සමග රත්වූ ගිනි ජාලාවක් ලෙසය. හැම පුන් පොහෝ දිනයකම සදහම් අමාදියෙන් සිසිල් වූ අරලියගහ මැදුර ඒ ධාර්මික වේෂය අතහැර යක්ෂාරූඪයෙන් ගාලුමුවදොරට ඇදී ගිය අයුරු රටම බලා සිටියේය. රාජපක්‍ෂ දේශාපලනයේ අධම, තක්කඩි නරුමයන් වැඩිපුරම ලැගුම් ගෙන ඇත්තේ ප්‍රාදේශීය වශයෙනි. දුසිරිත් දුෂ්පිළිවෙත් හැර ශීලාචාර පැවැත්මක් නොමැති ප්‍රාදේශීය සභාවල නිල බල හැසුරුණු ආකාරය මැයි 9 වනදා ගාලුමුවදොර රාජපක්‍ෂ ක්‍රියාන්විතයෙන් රටටම ප්‍රදර්ශනය විය.

අරලියගහමැදුර අබියසින් ඇරඹු ඒ ත්‍රස්ත මෙහෙයුම ගාලුමුවදොර විරෝධතා භූමියට පැමිණියේ පොලිසිය හා ආරක්‍ෂක හමුදා නොතකමින්ය. මේ දිනවලත් රූපවාහිනී නාලිකාවල හා සමාජ මාධ්‍යවල ඒ පොහොට්ටු මැරයන් පහරදෙන දර්ශන සංසරණය වෙයි. කිතුනු පියතුමෙකුට පොලුු පහරදෙන දසුනේ පොහොට්ටු මැරයාගේ නමද කියැවිණි. තරුණියක් වටකර පහර දෙන මැරයන්ගේ නම් සමග රුවද දැක්විණි. එහෙත් මේ ලියන මොහොත වනවිටත් පොලිසියට අත්අඩංගුවට ගත හැකි වූයේ එක් ප්‍රාදේශීය සභාවක සේවකයෙක් බවට ජ. වි. පෙ. විජිත හේරත්ද චෝදනා කර තිබේ. මැති ඇමැතිවරුන්ගේ නිවෙස් ගිනිතැබූ අය අත්අඩංගුවට ගැනීමට දැක්වූ උනන්දුව ගාලුමුවදොර අරගල බිමට කඩා පාත්වූ මැරයන් සඳහා නොමැතිවීමද ප්‍රශ්නයකි. ප්‍රචණ්ඩත්වයට එරෙහිව කෙරෙන මහජන නැගිටීමකදී යුක්තිය සාධාරණය ගැන කතාකිරීමද නිෂ්ඵලය. මැති ඇමැතිවරුන්ට අත්වූ ඒ නොනිසි ප්‍රහාර, ප්‍රචණ්ඩ ප්‍රතිචාර අපි අනුමත නොකරමු. එහෙත් ගාලුමුවදොර විරෝධතාවේ දයාර්ද්‍ර හා ප්‍රේමණීය ස්වරය හඳුනා නොගත් පොහොට්ටු මැරයෝ ඒ සියලු විනාශය රටට කැඳවූ අමනයෝය. 1977 දී සමාජ ගත කරන ලද දේශපාලන ත්‍රස්තවාදයේ කූට ප්‍රාප්තිය රාජපක්‍ෂ පාලනයේදී දැක ගත හැකි විය.

පාර්ලිමේන්තුවේ සිටින 225ටම ගාලුමුවදොර විරෝධතාව ප්‍රකාශයට පත්ව තිබෙන්නේද නිකම්ම නොවේ එ. ජා. ප., ස. ජ. බ., (එජාපයෙන් බිඳීගිය) ශ්‍රී. ල. නි. ප. මෙන්ම එයින් උපත ලද පොදුජන පෙරමුණද වෙන වෙනම පෙනීසිටියත් ඔව්හු සියල්ලෝම අඩු වැඩි වශයෙන් මෙරට නිරයක් බවට පත්කළ, සමාජ, ආර්ථික දේශපාලන සංස්කෘතියම කෙලෙසූ වැරදිකරුවෝ වෙති. අල්ලස, දූෂණය, කොමිස් ජාවාරම, ජාතික ධනය මංකොල්ලකෑම, මන්ත්‍රීකම යොදා ගෙන ව්‍යාපාර කිරීම අද සාමාන්‍ය දේවල් බවට පත්ව තිබේ. ජ. වි. පෙ. දූෂණ විරෝධී හඬ දැන් ජන මනස තුළද තැන්පත්ව තිබේ. මෙරටේ දේශපාලන සංස්කෘතිය පාදඩකරණය කළ ඒ සියලුම දේශපාලන චරිත මහජනයා ඉදිරියේ නිරුවත් වී තිබෙන බවද සඳහන් කළ යුතුය. එ. ජා. පයේ රනිල් සමග වසර ගණන් පාලනය කළ බවට පම්පෝරි කතා ගසන ස. ජ. බ. මන්ත්‍රීවරුන් පිළිබඳව වුවද ජනතාවට ඇත්තේ ප්‍රසන්න චිත්‍රයක් නොවේ. අභිනව දේශපාලන සංස්කෘතියක් ගොඩනැංවීම සඳහා ඒ කිසිදු දේශපාලන පක්‍ෂයකට හැකියාවක් ඇතැයි ගාලුමුවදොර අරගලකරුවෝ කල්පනා නොකරති. රටට වුවමනා දේශපාලන පරිවර්තනය සිදුකළ හැක්කේ අලුත්ම පාලනයකටය. ඒ අභිනව ප්‍රතිසංස්කරණය මෙන්ම ඒ සඳහා දේශපාලන තිරය පසුපස සිදුවන ක්‍රියාන්විතයද යහපත් හෝ සුජාතභාවයෙන් යුතු එකක්ද යනු සැක සහිතය. රනිල් අගමැති වීම සම්බන්ධයෙන් දැනට තිබෙන විවේචන මෙන්ම ඔහුගේ දේශපාලන වාර්තාව ගැනද අමුතු හැඳින්වීම් වුවමනා නැත. ඔහු ධනවාදී කඳවුරේ නියෝජිතයකු මෙන්ම බටහිර හුරතලෙකු ලෙසද පිළිගනු ලැබේ. එහෙත් ඔහුට තමන් උරදී සිටින ආර්ථික හා දේශපාලන අර්බුදය යම් ප්‍රමාණයකට හෝ සමනය කරගත හැකි නම් මෙහිදී එය වැදගත්ය. දැනට උග්‍රව තිබෙන ඉන්ධන, ගෑස් හා හා විදුලිය අර්බුදය විසඳීමත් 21 වැනි සංශෝධනය බල ගන්වා දේශපාලන බල ආධිපත්‍යය ව්‍යවස්ථාදායකයට ලබා ගැනීම හා ඉක්මනින්ම මැතිවරණයකට යෑම වැනි කරුණුවලට මුල්තැන දෙන භාරකාර ආණ්ඩුවක් අද දේශපාලන න්‍යායපත්‍රය විය යුතුව තිබේ. රනිල්ට දේශපාලන සහාය දිය යුත්තේද ඒ සඳහාය. ඔහුට එයින් යම් ප්‍රශංසාවක් හිමි වුවත් එය ඔහුගේ පක්‍ෂයට යළි ජනප්‍රසාදයක් ලබා ගැනීමට හේතුවක්ද නොවනු ඇත. රනිල් ඔහුගේ සහායට කැඳවාගෙන සිටින එජාපයේ පරාජිත මැති ඇමැතිවරුන්ට වුවද ඔහුට විනා රටට වගකීමක් නැති බවද අමුතුවෙන් කිව යුතු නැත. ඒ කුමක් වුවත් ශ්‍රී. ල. නි. පයට මේ අවස්ථාව පිළිබඳ වඩාත් ප්‍රබුද්ධ කියවීමක් තිබෙන බවද පෙනීයයි.

එදා තමන් සමග යහපාලනය තුළ සිටි රනිල් මෙන්ම ඔහුගේ දේශපාලනය ගැන මෛත්‍රීට අලුතින් වටහා ගැනීමට දෙයක්ද නැත. කුමක් වුවත් දේශපාලනයේ සරදම් ජවනිකා අර්ථකථනය ඉතිහාසයට භාර වූවකි. පොහොට්ටුව සිහිනෙන්වත් අපේක්‍ෂා නොකළ පරිදි ඒ අලි නැට්ටේ එල්ලීමට අද එහි නායකයන්ට සිදුව තිබේ. අගමැති රනිල් ජාතිය අමතා කළ කතාවේදී සඳහන් කළ පරිදිම ඔහුටද අත්වැලක්ද නැති පාලමකින් එගොඩ වීමට සිදුව තිබේ. එය බ්‍රෙෂ්ට්ගේ හුනුවටයේ ගෲෂාටත් වඩා දුෂ්කර ගමනකි. ඒ විතරක්යැ ඔහුගේ සපත්තු කුට්ටමේ අඩියද උල්කටු ඇනෙයි. හෙල ගැඹුරුයි පුත නොබලන් යැයි ගෘෂා කීවාය. රනිල් කියන්නේද දෑස් වසාගෙන පිම්ම පැනිය යුතු බවය. අපි බලා සිටිමු.

ගාමිණී සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment