ලෝක නගර සැලසුම් දිනය නොවැම්බර් 8 වැනිදාට යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙන් පළවන්නකි.
ආර්ජන්ටිනාවේ මහාචාර්ය Carlos Maria della Paolera,, 1949, ලෝක නගර නිර්මාණ දිනය සෑම නොවැම්බර් 8 වැනිදාකම සැමරීමට යෝජනා කිරීමෙන් පසු සෞඛ්‍ය සම්පන්න සමෘද්ධිමත් ප්‍රජාවක් නිර්මාණය කිරීමට නගර නිර්මාණ කාර්යයට ඇති හැකියාව හඳුනා ගැනීමට හා ප්‍රවර්ධනය කිරීමට මෙම දිනය යොදා ගනු ලබයි.
නගර නිර්මාණකරණය යනු අද මෙන්ම හෙට ද මිනිස් ජීවිතය වඩා පහසු ලෙස ගත කිරීම සඳහා අවශ්‍ය අවකාශය නිර්මාණය කර ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට භාවිත කරන තාක්ෂණික හා දේශපාලන ක්‍රියාවලියකි. නගර නිර්මාණකරණය මානව වර්ගයාගේ අතීතයට බලපෑ සහ අනාගතයට වැදගත් අනිවාර්ය අංගයකි. නගර නිර්මාණකරණයේ ප්‍රථම පිළිගත් අනුවාදය රෝමයට අයත් වේ. ගෝලීය වශයෙන් නූතන නගර නිර්මාණකරණය මතුවූයේ කාර්මීකරණයේ අනිසි බලපෑමට ප්‍රතිචාරයක් වශයෙනි. ඒ හා සමගාමී නූතන නගර නිර්මාණ වෘත්තිකයන් අනෙකුත් විෂය ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් හා සමග සහයෝගයෙන් කටයුතු කළහ.
නගර නිර්මාණකරණයේ භාවිතයන් ගතික සහ නිරන්තරයෙන් වෙනස් වන අතර නගරයෙන් නගරයට සැලකිය යුතු ලෙස වෙනස් වෙයි. සංචාරක කර්මාන්තය ලෝකයේ ප්‍රචලිත වී ඇත්තේ විවිධ නගර වලින් පිරිනමනු ලබන අද්විතීය ගුණාංග අත්විඳීමටය. නගර සංවර්ධනයට සංස්කෘතිය, දේශපාලනය, ආගම, සම්ප්‍රදායන් සහ ඉතිහාසය බලපානු ලබයි. නාගරික පරිසරයේ සමාජ, ආර්ථික, පාරිසරික අවශ්‍යතාවන්ට ගැළපෙන නාගරික විසඳුම් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීම, විග්‍රහ කිරීම, උපාය මාර්ග යෝජනා කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම නගර නිර්මාණකරුවාගේ වගකීමයි. මෙම ලෝක නගර නිර්මාණ දිනයේ තේමාවෙන් තවදුරටත් අවධාරණය කරන්නේ ස්ථාන වශයෙන් ඇති තොරතුරුවලට අමතරව ගෝලීය වශයෙන් පාඩම් ඉගෙනීමේ ඇති අවශ්‍යතාවයි.
මෙම වසරේ ලෝක නගර සැලසුම් දිනයේ තේමාව වන්නේ “ගෝලීය වශයෙන් ඉගෙන ගන්න , දේශීයව යොදවන්න” යන්නයි (Learn globally, apply locally), මෙම දිනයේ වැදගත්කම වන්නේ ලොව පුරා සිටින නගර නිර්මාණකරුවන් හා ප්‍රජාවන් එක්ව නගර නිර්මාණ තුළින් සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට හා ප්‍රතිලාභ ලබා දෙන ආකාරය කතිකාවතකට ගැනීම බැවින්, ගෝලීය වශයෙන් ගත හැකි තිරසර සංවර්ධන පාඩම් දේශීය සංවර්ධනයට උපකාරී කර ගැනීමේ හැකියාව, වැදගත්කම හා නොහැකියාව පිළිබඳ සමාලෝචනය කරමු.
ජාත්‍යන්තරයෙන් උගත හැක්කේ කුමක්ද?
නාගරික ජනගහනය වැඩිවෙමින් පවතින අතර එය 2050 වන විට ලෝකයේ මුළු ජනගහනයෙන් සියයට හැත්තෑවක් දක්වා ළඟා විය හැකි බව ඇස්තමේන්තු කර ඇත. ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට අනුව ලංකාවේ අද වන විට නාගරික ජනගහනය 40% සීමාව පසු කොට ඇත. ලොව පුරා බොහෝ නගර ඒවායේ නාගරික ක්‍රියාවලිය තිරසරභාවය අපේක්ෂිත තත්ත්වය කරා මෙහෙයවීමට තිරසර නාගරික සැලසුම් සකස් කර ඇත. තිරසර සංවර්ධනය ගෝලීය වශයෙන් ඉදිරිපත් වූ හා ලෝක නගර සාර්ථකව අනුගමනය කරන, අපේ නගර නිර්මාණ කර්තව්‍යයන්ටත් යොදාගතයුතු, යොදාගත හැකි සංකල්පයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය, UN-Habitat, ලෝක බැංකුව, යුරෝපීය පදනම වැනි ජාත්‍යන්තර හා කලාපීය සංවිධාන විසින් ප්‍රවර්ධනය කරන ලද විවිධ දර්ශන කට්ටලයන් භාවිත කරමින් නාගරික තිරසර දර්ශකවල විස්තීරණ ලැයිස්තුවක් සකස් කර ඇති අතර එවැනි ගෝලීය දර්ශක මූලික කොට ගෙන අපට ආවේණික දර්ශක පද්ධති ගොඩනගාගැනීම භාවිතයට ගැනීම කළ යුතුය.
මෙලෙස ජාත්‍යන්තර තලයේ නගර ඵලදායී සහ තිරසරව සැලසුම් කිරීමට වර්තමානයේ යොදා ගන්නා සංකල්පයන් වන්නේ, සුහුරු නගර (smart cities),, සංයුක්ත නගර (compact cities), සජීවී නගර (liveable cities), සංක්‍රමණික නගර (transit oriented cities), පරිසර හිතකාමී නගර (eco cities), හරිත නගර (green cities), බලශක්ති ස්වාධින නගර (energy independent cities), සෞඛ්‍ය සම්පන්න නගර (healthy cities), වැඩිහිටියන්ට මිත්‍ර නගර (elderly friendly cities), දරුවන්ට මිත්‍ර නගර (child friendly cities), නිර්මාණශීලී නගර (creative cities) හා විනෝදාස්වාද නගර (entertainment cities) ආදීයයි. බෝහෝමයක් නගර මෙවැනි සංකල්ප එකක් හෝ කිහිපයක් ආශ්‍රයෙන් සැලසුම්කරණය කර ඇත. ඉහත සඳහන් ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත් වීමේ ඇති වාසිය වන්නේ, තව තවත් මානව, සමාජයීය, හා ආර්ථික
ප්‍රාග්ධනයන් රටට හා එම නගර වලට ආකර්ෂණය වීමත් පරිසර සංරක්ෂණය හා තිරසර සංවර්ධනයට මුල්තැන ලැබීමත්ය. වර්තමානයේදී කෘෂි ආර්ථිකයට හෝ කර්මාන්ත ආර්ථිකයට වඩා සේවා ආර්ථිකයන් ඵලදායි සහ තිරසර වී ඇත්තේ ඉහත උපක්‍රමවල ප්‍රතිඵලයන් වශයෙනි. ශ්‍රී ලංකාවේ පිහිටීම, සංස්කෘතිය, උරුමයන් අතීතයේදී සිට පැවත එන ඉහළ කුසලතා සහිත ශ්‍රම බළකායන්, එක් ප්‍රදේශයකට අනෙකක් නොදෙවෙනි ස්වභාවික සෞන්දර්යය, ආගන්තුක සත්කාරයට ලැදි ජනතාව ආදී විභවයන් සලකන විට ඉහත සඳහන් සංකල්ප පදනම් කොට ගෙන නගර නිර්මාණකරණය කරන්නේ නම්, ශ්‍රී ලංකාවේ තිරසර ඵලදායි ආර්ථිකයක් ගොඩනැගීම සංකීර්ණ අභියෝගයක් නොවේ.
ජාත්‍යන්තරයෙන් බලශක්ති කාර්යක්ෂම නගර (energy efficient cities) සෑදීමට පාඩමක්..
වර්තමානයේ ශ්‍රී ලංකාවට ඇති ප්‍රධාන අර්බුදය බලශක්ති අර්බුදයි. නාගරීකරණය, බලශක්ති පරිභෝජනයට හා කාබන් විමෝචනය ප්‍රධාන වගකිවයුත්තා වන්නේ බලශක්ති පරිභෝජනය 60%-80% ප්‍රමාණයක් නාගරික ප්‍රදේශය හා සම්බන්ධ බැවිනි. මේ අභියෝගය ජයගැනීමට නගර නිර්මාණය කිරීමේදී ජාත්‍යන්තර උගත හැකි උපායමාර්ග බොහෝ ඇත.
නාගරික බිම් කඩක උපරිම ආර්ථික වාසියක් ගැනීමේ පරමාර්ථයෙන් අද නිර්මාණය කරන ගොඩනැගිලි අවට පරිසරයට ද එම ගොඩනැගිල්ලට ද ගොඩනැගිල්ලේ වාසය කරන්නන්ට ද දුෂ්කරතා මතු කරයි. පාරිසරික සමතුලිතතාවයක් පවත්වා ගැනීමට තුඩු දෙන ශාකයකට හෝ බිම්කඩක් නොසපයන එවැනි ගොඩනැගිලි සැලසුම් සූර්යතාපය කාර්යක්ෂම භාවිතයට ඇති ඉඩ අහුරයි. අද එවැනි ගොඩනැගිලිවල කවුළු ඇත්තේ වාතාශ්‍රය ලබා ගැනීමට හෝ ආලෝකය ලබා ගැනීමට නොව හුදෙක් ආටෝපය සඳහා පමණක් බව පසක් වන්නේ ඝන තිරරෙදි දමා, කෘතිම වාතාශ්‍රය සපයා, සියලු විදුලි ලාම්පු නිරන්තරයෙන් දල්වා ඇති බැවිනි. මෙවැනි ගොඩනැගිලි කොපමණ අනවශ්‍ය බල ශක්ති ප්‍රමාණයක් දිනකට පරිභෝජනය කරත් ද? මීට විසඳුමක් ලෙස නිවර්තන කලාපීය අපට ජාත්‍යන්තරයෙන් උගත හැකි පාඩම් වන්නේ බල ශක්තිය අවම නාගරික ආකෘති සැලසුම් කිරීමයි. මෙහිදී ගොඩනැගිලි සඳහා සූර්ය පැනල භාවිතය (පළමු රටවල් පහ ඇතුළත ආසියාතික රටවල් වූ චීනය, වියට්නාමය හා ජපානය ඇතුළත්ය); අනවශ්‍ය ගමනාගමන පාලනයට සංයුක්ත නගර නිර්මාණය; වාතාශ්‍රය හා ආලෝකය ලබාගැනීමට කවුළු වැඩි වශයෙන් නිර්මාණය කිරීම; ජෛව දේශගුණික නාගරික නිර්මාණ මූලධර්ම (bioclimatic urbandesign principles) ප්‍රවර්ධනය කිරීම; බලශක්ති කාර්යක්ෂමතාව තර කළ හැකි ගොඩනැගිලි ද්‍රව්‍ය යොදා ගැනීම; සුහුරු උපාය මාර්ග මගින් බලශක්ති කළමනාකරණය, ප්‍රශස්තකරණය සහ අධීක්ෂණය; එක් එක් ගොඩනැගිලි හා ප්‍රදේශවල සූරිය බලශක්ති නිපදවීම විභවතාවය පිළිබඳ දැනුවත් කිරීම තුළින් ජනතාව ඒ සඳහා යොමු කිරීම; නාගරික තිරසර මට්ටම (Sustainability ranking) හඳුනාගැනීම සඳහා ක්‍රියා පටිපාටියක් සැකසීම සහ පාරිසරික සහතික නව නගර නිර්මාණයේ තිරසර භාවයට ප්‍රදානය කිරීම (Green certificates for sustainable urban plans) ආදිය දැනට ලෝකේ බලශක්ති කාර්යක්ෂම නගර බහුලව භාවිත කරන ක්‍රියා මාර්ගයන්ය.
2002 වසරේදී ලෝකේ වඩාත් බලශක්ති කාර්යක්ෂම රට ලෙස ප්‍රංශයද එක්සත් රාජධානිය දෙවැනි ස්ථානයද නෙදර්ලන්තය හා ජර්මනිය අංක තුන ස්ථානයන්හිද සිටිනුයේ ප්‍රධාන වශයෙන්ම බලශක්ති කාර්යක්ෂම කිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා සකස් කළ පුළුල් සැලසුම් නිසාය. ඒ අතරින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් (renewable energy sources) තුළින් පිරිසිදු විදුලි බලය (clean electricity) ලබා ගැනීම, ප්‍රවාහනය සඳහා අවම ඉන්ධන භාවිතය හා බලශක්ති කාර්යක්ෂමතාවට පුද්ගලික ආයෝජන දිරිගැන්වීම සඳහා ණය සහ බදු සහන ලබාදීම ප්‍රමුඛ වේ. බලශක්ති කාර්යක්ෂම නගර පිළිබඳ සැලකීමේදී බයිසිකල් කේන්ද්‍රීය හා පදික හිතකාමී (pedestrian friendly) යටිතල පහසුකම් හේතුවෙන් කෝපන්හේගන් (Copenhagen) නගරය ලොව ප්‍රමුඛ නගර වලින් එකකි(world cycle capital) ජනගහනයෙන් 62% දෛනික අවශ්‍යතා සඳහා ප්‍රවාහන මාධ්‍යයක් ලෙස බයිසිකල් භාවිත කරයි). තවද හරිත වහල (Green roof) ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ පළමු නගරයද කෝපන්හේගන්ය. එනම් අංශක 30 ට අඩු බෑවුම් සහිත සියලුම නව වහලවල් සඳහා වෘක්ෂලතා ඇතුළත් කිරීම, වැසි ජලය ගලා යෑම අවම කිරීම, නිෂ්ක්‍රීය සිසිලනය ක්‍රියාත්මක කිරීම, කාබන් විමෝචනය අවම කෙරෙන ආකාරයේ වහලවල් සඳහා සැලසුම් සකස් කළ යුතුය.
අභියෝග…
ගෝලීය දැනුම දේශීයව යෙදවීම අභියෝගයට ලක්වන අවස්ථා ඇත. අද දක්වා බොහෝ සැලසුම් න්‍යාය ඉදිරිපත් කර ඇත්තේ ගෝලීය උතුරේ සිටින විද්වතුන්ය. ලෝකයේ එක් කොටසක සිට ඉදිරිපත් කරන න්‍යාය විශ්වීයකරණය කිරීම් සලකා බැලිය යුත්තේ ඒ ඒ ස්ථානවලට ආවේණික ඓතිහාසික බලවේගය, සමාජ සම්බන්ධතාවල ස්වභාවය, ස්ථානවල හා සංදර්භයේ වැදගත්කම, ආයතනික සංස්කෘතිය ආදී සෑම ස්වභාවයක් ම අදාළ වන බැවිනි. එනමුත් ගෝලීය උතුරේ සිටින විද්වතුන් පවසන්නේ ස්ථාන හා මිනිසුන් අතර පවතින සුළු ආනුභවික විචල්‍යයන්ගෙන් ඔබ්බට ගොස් නව සංකල්පීය චින්තනයන් වල වැදගත්කම දත යුතු බවයි. එනයින් බලන කල දක්ෂිණ න්‍යායවාදීන් අනුගමනය කළ යුත්තේ ස්ථානය හා සංදර්භයෙන් වැදගත්කම මත පමණක් අවධාරණය කරන පර්යේෂණ වෙනුවට ගෝලීය දැනුම තුළින් ස්ථාන සහ සන්දර්භයන්ගේ ක්‍රියාත්මක වීම දැක වෙනස්කම් වටහා ගැනීම හා විශ්වීය න්‍යාය නිර්මාණය කිරීමට උත්සුක වීමයි.
මූලාශ්‍රය: දයාරත්න (2018)
අතීතයේ ලාංකේය ජනාවාස පිහිටුවා ඇත්තේ බුදු දහමේ ප්‍රඥාව තුළින් මතු වූ ප්‍රතිපත්ති සහ අවබෝධය මතය. කෙසේ වෙතත් එම දැනුම මෑත නගර නිර්මාණ කාර්යයට යොදාගත හැකි ආකාරය පර්යේෂණය කිරීම දේශීය තිරසාර යාන්ත්‍රණයක් ප්‍රතිස්ථාපනය කිරීමට මෙන්ම ගෝලීයව දැනුම පැතිරවීමට ද ඉවහල් විය හැක. ජාත්‍යන්තරයෙන් පාඩම් උගෙන දේශීයව අයැදුම් කරන අතර ජාත්‍යන්තරයට ඉගැන්විය හැකි දේශීය පාඩම් කුමක් ද යන්න සලකා බැලීම අද නගර නිර්මාණ කරුවාගේ වගකීමයි (Learn locally” apply globally), ජාත්‍යන්තරයට ද පාඩම් ඉගෙන ගත හැකි නගර අපි ලංකාවේ බිහි කරමු!
ලක්ෂිකා මීටියාගොඩ
වරලත් නගර නිර්මාණ ශිල්පිනි
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
නගර හා ග්‍රාම නිර්මාණ අධ්‍යයන අංශය
මොරටුව විශ්වවිද්‍යාලය