පිටිගල ද්විත්ව ඝාතනයට කොන්ත්‍රාත්තුව දුන් ව්‍යාපාරික ඇතුළු තිදෙනෙක් දැලේ

110

ව්‍යාපාරිකයා බූරු ගස්සන කෙනෙක්

පිටිගල හොරන්ගල්ල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සඳහා රුපියල් පනස් ලක්ෂයක කොන්ත්‍රාත් මුදලක් පාතාලයට ලබාදුන් ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනකු පිටිගල පොලිසිය මගින් පෙරේදා (19 දා) අත්අඩංගුවට ගෙන ඇත.

පිටිගල හොරන්ගල්ල පිහිටි වෙළෙඳසලක හිමිකරු ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කළ ද එම ව්‍යාපාරිකයා දිවි ගලවාගත් අතර එහිදී ඝාතනයට ලක්වූයේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළෙඳසල වෙත පැමිණ සිටි අහිංසක තරුණයන් දෙදෙනෙකි.

මෙම වෙළෙඳසලේ හිමිකරු මීට ටික කලකට උඩදී පුද්ගලයකු ඝාතනය කර තිබූ අතර ඊට පලිගැනීම සඳහා එසේ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ වැඩිමහල් සොහොයුරා වන ව්‍යාපාරිකයා මෙම මුදල් කොන්ත්‍රාත්තුව ලබාදී තිබිණි.

දකුණේ පාතාල කල්ලි නායකයන් දෙදෙනකු වන ජයලත් සුද්දාට සහ සමන් කොල්ලාට ලබාදුන් රුපියල් පනස් ලක්ෂයක මුදල් කොන්ත්‍රාත්තුවක් මත කුලී ඝාතකයන් දෙදෙනකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

එම කුලී ඝාතකයන් දෙදෙනා මේ වනතුරුත් අත්අඩංගුවට ගෙන නැත. ජයලත් සුද්දා සහ සමන් කොල්ලා ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින අතර, ඔවුන් මෙම මුදල් කොන්ත්‍රාත්තුව ලබාගෙන කුලී ඝාතකයන් යොදාගෙන ප්‍රහාරය එල්ල කර තිබූ බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබේ.

අත්අඩංගුවට ගෙන සිටින, කොන්ත්‍රාත්තුව භාරදුන් ව්‍යාපාරිකයා පිටිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මුදල් පොලියට දීම, බූරු ක්‍රීඩා කරවීම ඇතුළු නීති විරෝධී ක්‍රියාවල නිරත වෙමින් මෙම ව්‍යාපාරිකයා ප්‍රදේශයේ ධනවතකු ලෙස ජීවත් වන අයෙකි.

මොහු සමග අත්අඩංගුවට ගත් අනෙකුත් සැකකරුවන් දෙදෙනා ප්‍රහාරය සඳහා ඔත්තු බැලූ පුද්ගලයන් බව පොලිසිය පවසයි.

ඉකුත් 11 වැනිදා රාත්‍රියේ පිටිගල හොරන්ගල්ල ප්‍රදේශයේ වෙළෙඳසලක් අසලදී මෙම ප්‍රහාරය එල්ල වී තිබිණි. එම ප්‍රහාරය එල්ල කර පැයකට පසු එම ඝාතකයන් දෙදෙනා විසින්ම අම්බලන්තොට ප්‍රදේශයේ වෙළෙඳසලක් අසල සිටි තරුණයන් පිරිසකට වෙඩි තැබූ අතර ඉන් තවත් දෙදෙනකු ඝාතනයට ලක්විය.

සමන් කොල්ලාගේ නියෝග මත එම ප්‍රහාරය ක්‍රියාත්මක කර තිබුණේ ද පිටිගල ප්‍රහාරය එල්ල කල කුලී ඝාතකයන් විසින්ම බව හඳුනාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගාලු දිසාව භාර නි.පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතාගේ උපෙදස් මත ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පො. අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සහකාර පො. අධිකාරි රවින්ද්‍ර චන්දිමාල් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පිටිගල පොලිස්ථානාධිපති පො.ප. පුෂ්පකුමාර මහතා සහ උ.පො.ප. පිටිගල, උදයකුමාර (78000) ජයලත් (60025) තුෂාර (80607), සම්පත් (88287), මධුසංක (104306) යන මහත්වරු පරීක්ෂණ සිදුකරති.
හේමන්ත රන්දුණු, චන්දන සමන් කුමාර, විල්සන් විජේසිංහ සහ අනුර පියසේන


advertistmentadvertistment