මිනිරන්, මැණික් ඛනිජවැලි, පිඟන් මැටි හුණුගල් හා පොස්පේට් වැනි ඛනිජ සම්පත් අතින් ශ්‍රී ලංකාව ප්‍රමාණාත්මකව පොහොසත් රටකි. ඈත අතීතයේ පටන් අපගේ මුතුන් මිත්තන් මෙන්ම රජවරුන් මැණික් වැනි ඛනිජ සම්පත් පල ප්‍රයෝජනයට ගෙන ඇති ආකාරයන් ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී ඕනෑ තරම් හමුවන්නේය.
ලෝකයේ ඛනිජ සම්පත් භාවිතය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවයයි. එහිදී මිනිරන් භාවිතාව පිළිබඳව පුරාවිද්‍යාත්මක සාක්ෂිවලට අනුව ක්‍රිස්තු පූර්ව හතර වන සියවසේ දී පමණ යුරෝපයේ ගිනිකොණදිගට වන්නට දිවි ගෙවා ඇති ඇතැම් ජන කොටස් තම එදිනෙදා භාවිතයට යොදාගන්නා මැටි බඳුන් අලංකරණය කිරීම සඳහා ස්වභාවික මිනිරන් භාවිතා කර ඇති බවට පුරාවිද්‍යාඥයන් තොරතුරු සොයාගෙන ඇත. මෙසේ හමු වූ ස්වභාවික මිනිරන් ස්වභාවයෙන්ම එහි ඇති ලිහිසි ගතිය මෙන්ම දිලිසෙන සුළු ස්වභාවය හේතුවෙන් මිනිසා නොයෙක් අත්හදා බැලීම් සඳහා මිනිරන් යොදාගෙන ඇති බව විද්වතුන්ගේ මතයයි. නමුත් එය කාර්මික අමුද්‍රව්‍යයක් ලෙස වර්ෂ 1533 පසුව යොදාගෙන ඇති අතර එය මූලික වශයෙන් ආයුධ නිෂ්පාදනයේදී යොදාගෙන ඇති බව සඳහන්වේ. පසුකාලීනව කාර්මික විප්ලවයත් සමඟ විවිධ යෙදවුම් හා නොයෙක් නිෂ්පාදන ක්‍රියාවලීන් සඳහා මිනිරන් භාවිතයට ගැනීමත් සමග මිනිරන් සඳහා ලෝකයේ ඉල්ලුම ඉහළ යන්නට විය.
ලෝකයේ මිනිරන් ඉල්ලුම ඉහළ යන අවධිය වන විට බි්‍රතාන්‍යයන්ගේ යටත් විජිතයක්ව පැවති ලංකාවේද මිනිරන් කර්මාන්තයට වැඩි ඉඩකඩක් හිමි විය. ලෝකයේ කාර්මීකරණය වෙමින් පැවති රටවල් හා බි්‍රතාන්‍යයන් අතර පැවැති වෙළෙඳ සබඳතාවයන් හේතුවෙන් එවකට ලංකාවේ මිනිරන් කර්මාන්තය විශාල දියුණුවකට පත්ව ඇති බවට සැලකේ. එම දියුණුවට ප්‍රධාන වශයෙන් ලංකාවේ මිනිරන්වල ගුණාත්මකභාවය ඉහළ බව ලෝකය පුරා ප්‍රසිද්ධියට පත්වීම බලපෑවේය.
එවකට ලංකාවේ මිනිරන් පතල් තුන්දහසකට වැඩි ප්‍රමාණයක් තිබී ඇති අතර ඒවා ලංකාව පුරා ව්‍යාප්තව තිබී ඇති බවට ඕනෑ තරම් සාක්ෂි ඇත.
එවැනි මහා පරිපාණ මිනිරන් පතල් පිළිබඳ අධ්‍යයනයේදී කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පැල්පිටිගොඩ මිනිරන් පතල් සංකීර්ණයට මුල් තැන හිමිවේ. රත්නපුර පානදුර මාර්ගයේ හොරණ නගරයේ සිට ඉංගිරිය දක්වා ගමන් කරන විට පෝරුවදණ්ඩ මංසන්ධියෙන් හැරී අඳපාන්ගොඩ ප්‍රදේශයට ගමන් කරද්දී කජුවැටිය හංදියෙන් හැරී පැල්පිටිගොඩ ප්‍රධාන මාර්ගයේ මාවක්ඔයෙහි කජුවැටිය පාලම පසුකරනවාත් සමග පැල්පිටිගොඩ කුඩා ග්‍රාමය හමුවේ.
මෙම ප්‍රදේශය දෙපසකින් මාවක් ඔයත් එක් පසකින් යට වතුර කළු ඇලෙන්ද අනික් පසින් රතඹලා ඇලෙන්ද වටවූ සුන්දර බිම්කඩකි. එහෙයින් එවකට රයිගම රාජධානිය පැවති සමයේ ස්වාභාවික බලකොටුවක් ලෙස මෙම ප්‍රදේශය යොදාගෙන ඇති බව සඳහන් වේ.
අද වන විට කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් ඇති කලක් පුරා සක්‍රීයව පැවැති අතීතයේ මිනිරන් කර්මාන්තයට මහත් රුකුලක් වූ පැල්පිටිගොඩ මිනිරන් පතල් සංකීර්ණයේ යට ගියාව සොයා අප එහි ගියෙමු. ඒ සඳහා අපත් සමග පැල්පිටිගොඩ වසමේ හිටපු සංවර්ධන නිලධාරී මෙන්ම ජනශ්‍රැත පර්යේෂක හා ලේඛක ජනක තරංග ආරියරත්න මහතා එක්වීය.
එම මහතාගේ පර්යේෂණවලට අනුව ජනප්‍රවාදයේ එන කරුණු කාරණා හා ඉතිහාස ග්‍රන්ථ පරිශීලනයෙන් ලබාගත් තොරතුරු ඔස්සේ ජනක තරංග මහතා මෙසේ පැවසීය.
මේ ප්‍රදේශයට පැල්පිටිගොඩ කියල හඳුන්වන්නෙ මේ ප්‍රදේශයේ ස්වාභාවික බලකොටුවක් වෙච්ච නිසා රයිගම් හමුදාවේ හේවා කණ්ඩ මෙම ප්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් නවාතැන් ගෙන ඉඳලා තියෙනවා. එම හේවා පවුල්වල තාවකාලික නිවාස එක පෙළට පැවතීම නිසා පැල්පත්ගොඩ පැල්පිටිගොඩ වශයෙන් වෙනස් වෙලා තියෙනවා.
1915 දී පරංගින් මෙරටට පැමිණීමත් සමග මෙරට ජනයාට සැනසීමක් නොවීය. රයිගම් බණ්ඩාර රජුගේ අභාවයත් සමඟ රයිගම රාජධානියත් සීතාවක රාජසිංහ රජු යටතට පත්විය. එසමයේ එක් වරක් පරංගින්ගෙන් එල්ල වූ ආක්‍රමණික ප්‍රහාරයකින් පැල්පිටිගොඩ කඳවුර බිඳවැටී ඇති අතර මෙහිදී බොහෝ හේවායින් මියයෑමත් සමග එම පවුල් අසරණභාවයට පත්වූ කාලවකවානුවක් පිළිබඳව ජනප්‍රවාදයේ සඳහන් වේ.
පසුව පරන්ගින් පරදවා බලයට පත් ලන්දේසීන් යටතේ ජනතාවට යම් සහනයක් ලැබුණත් ඔවුන් ද පරදවා පැමිණි ඉංග්‍රීසීන් විසින් මහජනතාවගේ ඉඩම් කොල්ලකා අත්පත් කරගනිමින් නොයෙක් ව්‍යාපාරයන් සිදු කරන්නට විය. පැල්පිටිගොඩ ප්‍රදේශයටද ඒ ඉරණමම අත්විය. සුදුජාතිකයන් ද මැල් නම් සමාගමකට පැල්පිටිගොඩ ඉඩම් ලබා දුන්නේය. එවකට මිනිරන් කැණීම් සම්බන්ධයෙන් ද මැල් සමාගම රට පුරා මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ අතර මිනිරන් කර්මාන්තයේ ප්‍රමුඛයෝද විය. ඔවුන් පැල්පිටිගොඩ ප්‍රදේශයේ මිනිරන් ඇති බව සොයාගෙන පතල් කර්මාන්තය අරඹණු ලැබීය. එකල මේ ප්‍රදේශයේ පතල් කර්මාන්තය සම්බන්ධයෙන් පලපුරුදු කම්කරුවන් නොමැතිවීමත් මේ ප්‍රදේශවල ජනතාව ඒ සඳහා වැඩි සහයෝගයක් නොදීමත් හේතුවෙන් පතල්වල සේවය කිරීම සඳහා දකුණේ හිනිඳුම පනංගල නමැති ග්‍රාමයේ සිටි පලපුරුදු පතල් කැණීම්කරුවන් පැල්පිටිගොඩට ගෙන්වා ගෙන ඇත. මේ පතල් කර්මාන්තය සඳහා පැමිණි බොහොමයක් පුරුෂයන් නැවත නොගිය අතර පැල්පිටිගොඩ කාන්තාවන් විවාහ කරගනිමින් බින්න බැස ඇති බවත් එම පතල් කැණීම් සිදුකළ පුරුෂයන් පදිංචිව සිටි ප්‍රදේශය අදටත් පනංගල ලෙස සැලකෙන බව ජනප්‍රවාද මූලාශ්‍රවල සඳහන් වන බව ජනක තරංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කලක් පුරා මැල් සමාගම ඉංග්‍රීසි ජාතිකයන් යටතේ පතල් කර්මාන්තය මහා පරිමාණයෙන් සිදුකර ඇති අතර ලංකාවේ මිනිරන් සඳහා තිබූ වැඩි ඉල්ලුමත් සමග ලංකාව පුරා තුන්දහසකට වැඩි පතල් තුළින් ලබාගන්නා මිනිරන් ඉංග්‍රීසි ජාතිකයන්ගේ දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්විය.
පසුකාලීනව නිදහසින් පසු මෙම පතල් ජාලය දේශීය ව්‍යාපාරිකයන් අතට ලැබීමත් සමග ක්‍රමයෙන් නතර වීමට පටන් ගන්නේ ප්‍රාග්ධන හිඟය කළමනාකරණ දුර්වලතා හා පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟය වැනි හේතූන් මතය. ඒ මීට දශක පනහකට හැටකට උඩදීය.
කාලයත් සමග මතකයන් මැකී යමින් පතල් සංකීර්ණ වැසී යන්නට පටන් ගත්තද, අදටත් එම ප්‍රදේශවල පතල් සංකීර්ණවල නටබුන් පැහැදිලිව දක්නට ඇත්තේය.
එවකට පැල්පිටිගොඩ පතල් සංකීර්ණ පිළිබඳ ගවේෂණ චාරිකාව නිරත වූ ජනක තරංග මහතාට පැල්පිටිගොඩ වාසය කරන අල්විස් නම් අපූරු කවියෙක් හමුවී ඇත. ගොවියෙක් මෙන්ම කාර්මික ශිල්පියෙක් ද වූ ඔහු මෙම පතල් සංකීර්ණය පිළිබඳ හසල දැනුමක් ඇති පුද්ගලයකු වශයෙන් කවුරුත් දැන හඳුනගත් අයෙකි.
පැල්පිටිගොඩ පතල් සංකීර්ණයේ වගතුග සොයා යන ගමනේදී ඔහුව ද අපට සම්බන්ධ කර ගැනීමට හැකිවීම සතුටට කරුණකි.
සියවසකට එහා සුන්දර මතකයන් මැදින් කිසිවක් සිදු නොවූ ගාණට මාවක් ඔය ශබ්ද නඟමින් ගලා බසින්නේ මේ දිනවල පවතින වර්ෂාවේ තරම කියාපාය. ඉවුරේ සිට ගාල් මැදින් අප දැක ඉඳහිට කෑ ගසමින් පලා දුවන කොරවක්කකුගේ හඬත් කිරලෙකුගේ හඬත් හැරෙන්නට සියලු ශබ්ද පරදවා නැගෙන්නේ මාවක් ඔයේ හඬ පමණි.
මාවක් ඔයේ අසිරිය විඳිමින් ගමන් කළ අප පතල් සංකීර්ණය පිහිටි පැල්පිටිගොඩ ප්‍රදේශයට අවතීර්ණ වීමු.
බැලූ බැල්මට ප්‍රදේශයේ මිනිරන් ඇති බවට කියාපෑමට සාක්ෂි ඕනෑ තරම් ඇත්තේය. අප ගමන් කළ මාර්ගය දෙපස විසිරී ගිය මිනිරන් කැබලි මෙම ප්‍රදේශයේ මිනිරන් සුලභ බවට මනා සාක්ෂියකි.
එම මාර්ගය ඔස්සේ ගමන් කළ අපට මිනිරන් පතල් සංකීර්ණයේ මුවදොර හමුවිය. එය අඩි විස්සක් පමණ පළල හා අඩි තිහක් පමණ දිගින් යුත් කොන්ක්‍රීට් තට්ටුවකින් ආරක්ෂිතව වසා දැමීමට කටයුතු කර ඇති ආකාරය දැකගත හැකි විය. මුව දොර එසේ වසා තැබුණත් පතල් සංකීර්ණය ගැන මනා සේ දන්නා අල්විස් මහතා අප ගොඩපර ගස් අතරින් රැගෙන ගොස් වල් වැදී ගිය තවත් උමන් දොරක් මතුකර පෙන්වීය.
මේ වනවිට අසූවැනි විය ඉක්මවූ අල්විස් කවියා කුඩා කල පටන් පැල්පිටිගොඩ ග්‍රාමයේ හැදී වැඩුන අයෙකි. එනිසාවෙන්ම ඔහු මෙම පතල් භූමි පුරා කරක් ගසා ඇති අයෙකි.
මට මතකයි කුඩා සන්ධියේ අපේ ඉඩමෙත් පතල් පළක් තිබුණා. ඒ ගැන නම් පොඩි මතයක් විතරයි මට තියෙන්නේ. මට මතක ඇති කාලෙ වෙනකොට මේ ප්‍රදේශයේ මිනිරන් පතල් කර්මාන්තය නැති වෙලා ගිහිල්ලා තැන තැන තිබුණු වළවල් විතරයි ඉතුරු වෙලා තිබුණේ. අල්විස් කවියා තම මතකය අවදි කළේ එසේය.
මේ තියෙන්නේ මේ පතල්වලට දාල තිබුණු හුළං කවුළු. අල්විස් කවියා අපට පෙන්නුවේ පතල් භූමියේ අභ්‍යන්තරයට කපන ලද කුඩා ළිං විශේෂයකි.
හරස් අතට ගමන්කරන දෝනාවලට වාතාශ්‍රය සපයන්නේ මේ ළිංවලින්. ඒත් සමඟින් අල්විස් මහතාගෙන් අපට විධානයක් ලැබුණේ ඔහු පසුපස ගමන් කරන ලෙසයි. හැම තැනම දෝනා වළවල් එරිලා අනතුරක් වෙන්න පුළුවනි. ඔහු පෙන්වන ගමන් මග ඔස්සේ ගිය අපට තරමක් හොඳ තත්ත්වයේ පවතින එක් පතලක් පෙන්වීය. මෙහි අදටත් බිත්තිවලට ගැසූ ලී මුක්කු නිරූපද්‍රිතව පවතී. කබොක් පස සිලින්ඩරාකාරව ළිඳක් මෙන් පහළට කපා ඇති පතළ තුළ දෝනා දෙපසට විහිදී ඇත. නමුත් අනික් පස පිහිටි සියලුම භූමි භාගය තැන තැන පිහිටි විල් පරිද්දෙන් ජලයෙන් පිරී අපූරු පරිසර පද්ධතියක් නිර්මාණය වී ඇත.
මිනිරන් පතල් ආශ්‍රිතව ජනකතා රාශියක්ද ජනප්‍රවාදයේ ඇති බවත් ඒ සඳහා ජනකවි නිර්මාණය වී තිබූ බවටත් ජනප්‍රවාදයේ එන බව ජනක තරංග මහතා අපත් සමග පැවසීය.
එක් කලෙක මෙම පතල් සංකීර්ණයේ සමරකෝන් පතල් නම් පතලක් තිබී ඇත. දිනක් එම පතල කැණීම් කරමින් සිටින අතරතුර දෝනාවේ එක් පසෙකින් පිහිටි ගල්තලාවකින් කිසියම් හඬක් ඇසී ඇති අතර පිරිස කුතුහලයෙන් එම ගල්තලාව සිදුරු කර බැලීමට කටයුතු කර ඇති අතර සිදුරු කරනවාත් සමගම ගල්තලාව කඩාගෙන පැමිණි භූගත ගංගාවක මහා ජලකඳක් ඔවුන් යට කරමින් පතලේ සියල්ලෝම මරණයට පත් කර ඇත. මෙම ජලකඳ අදටද හඳපාන්ගොඩ පාසල යටින් ගමන් කරන්නේ යැයි මතයක් අදටත් පැල්පිටිගොඩවාසීන් අතර මතයක් ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් ජන කවියක මෙසේ සඳහන්ව තිබුණි.
හිමිදුම පනංගල සිට කුහුඹුන් ආය
කළුගල විඩා කළු මිනිරන් ගොඩලෑය
කට්ට විධා මහ වතුරක් පිටවීය
අයියෝ දොළහක් එක තැන වළලෑය
මිනිරන් පතලේ ශෝකාන්තයක් ජන කවියෙන් එදා එසේ සටහන්ව තිබුණේ ඒ අයුරෙනි.
එමෙන්ම මිනිරන් පතලේ දුක්ඛිත ජීවිතය ජනප්‍රවාදයේ සඳහන් වන ආකාරයට හිමිදුම පනංගලින් පැමිණි සුදු පැහැ සමක් ඇති පුරුෂයන් මිනිරන් පතලේ වැඩ කිරීමෙන්ම කළු මිනිසුන් බවට පත්ව ඇති බව කියවෙයි. එය ජන කවියෙන්ද මෙසේ සඳහන් කර ඇත.
දකුණෙන් එද්දි ගෙන ආවේ අමුඩය පමණි
සුදු මල්ලී ගියා කීවේ සැම දන තුටිනි
දැන් නම් මොන සුදු ද මිනිරන් කළුම වුණි
සුදු නොබැලූ සොබනා පැලේම නතර වුණි
මේ ජන කවි සියල්ල පැල්පිටිගොඩ මිනිරම් පතල් වලටම නිර්මාණය වූ ජන කවි බව ජනශ්‍රැත පර්යේෂණවලදී තහවුරු වී ඇති බව ජනක තරංග මහතා පවසයි. එමෙන්ම එම පතල් කර්මාන්තයේ දුක්ඛිත ජීවිතය පිළිබඳ කියවෙන තවත් කවි කිහිපයකින් කියවෙන්නේ මෙසේය.
බැසලා බඹ ගානක් නැවැත්තුවා
කඩලා මිනි රන් එක් කර ගොඩ ගැසුවා
ඇදලා පහුරු තොට පාරුවේ පටවලා
පැදලා ගඟේ කොළඹට ගොඩ බෑවා
එමෙන්ම එවකට මිනිරන් පතල් හිමිකරුවන් කම්කරුවන් තලා පෙලා වැඩගත් ආකාරයද ජන කවිවල මෙසේ සඳහන් වේ.
බාස් අයියෙ මට නම් බෑ වැඩ කරන්නට
පාස් වුනේ නෑ මම කිසි වැඩකට
දහස් ගණන් පඩි තිබුණත් පොතේ මට
බාස් අයියෙ මම යනවා හෙට ගමට
මිනිරන් යනු ලංකාවට විශාල විදේශ විනිමයක් ලබාගත හැකි ඛනිජ සම්පතක් වුවත් අද වන විට ලංකාවේ මිනිරන් පතල් කර්මාන්තය වැටීගොස් අවසානය. මිනිරන් පතල් ගැන කතා කිරීමේදී අපේ මතකයට එන්නේ බෝගල පතල පමණකි. අනෙක් සියලු පතල් කාලයත් සමග සම්පූර්ණයෙන් වැසී ගොස් හමාරය. අප සඳහන් කළ පැල්පිටිගොඩ පතල් සංකීර්ණයේ ඇතැම් ස්ථානත් ඒ හා සම්බන්ධ මාවක් ඔය ආශ්‍රිත පරිසර පද්ධතියත් සංචාරක පාරාදීසයක් බව කොයි කාටත් වැටහේ. එබැවින් මෙම ස්ථාන පිළිබඳ සොයා බලා සංචාරක ව්‍යාපාරය නඟාසිටුවීම සඳහා මෙම ස්ථාන පිටුවහලක් කරගන්නේ නම් අගනා බව ‘දිවයින’ අපට සිතෙයි.
නයනදුල සෙන්දනාය