ඒ සිහිනය අද බොඳ වෙලා
රංගන ශිල්පිණියක් ලෙස බොහෝ දෙනා හඳුනන චුලක්‍ෂි රණතුංග ක්‍ෂේත්‍රයට එන්නෙ නිරූපණය හරහා. නමුත් ඇය ජාතික කණ්ඩායම නියෝජනය කළ පැසි පන්දු ක්‍රීඩිකාවක් කියල ඔබ දැනගෙන හිටියද?.
පසුගියදා තිරගතවීම ආරම්භ කළ මන්දාරා සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතයට පණපොවන්නෙත් චුලක්‍ෂි. මේ කතාබහ ඒ වෙනුවෙනි.
චුලක්‍ෂි, මන්දාරා තිරගත වීම ආරම්භ වෙලා තියෙනව?
ඔව්, කොරෝනා වසංගතයත් එක්ක චිත්‍රපටයේ වැඩ අවුරුදු දෙකක් විතර නතර වෙලා තිබුණා. ඉන් පස්සෙ ආර්ථික අර්බුදයටත් මැදිවෙන්න සිදු වුණා. බාධක ගොඩක් එක්ක වැඩකටයුතු අවසන් කරල මේ මාසයේ 26 වැනිදා සිට තිරගතකිරීම ආරම්භ කළා.
ඔබ මෙහි නිරූපණය කරන්නෙ බාස්කට් බෝල් ගුරුවරියකගේ චරිතයක්. ඒ ගැන කතා කළොත්?
චරිතයේ නම මන්දාරා. ඇය ආදරවන්තියක්, මවක් වගේම ආදරයේදී හරිම ආදරණීය චරිතයක්. තම දරුවාගේ වියෝවත් එක්ක පවුලෙන් වෙන්වෙන මන්දාරා දරුවන් වෙනුවෙන්ම ජීවිතයේ අවසානය දක්වා කැපවෙනවා කියල තීරණය කරනව. කෙටියෙන් කිව්වොත් හැලහැප්පීම් එක්ක දැඩි ආත්ම ශක්තියකින් ජීවිතයට මුහුණ දෙන කාන්තාවක් තමයි මන්දාරා කියන්නෙ.
කොහොමද ඔබ මේ චරිතය ගොඩනගන්නෙ?
මට මේ චරිතය ගොඩනගා ගන්න ක්‍රීඩිකාවක් විදිහට ලැබූ පන්නරය හේතු වුණා කිව්වොත් නිවැරදියි. මොකද පාසල් කාලයේ පටන්ම මම ක්‍රීඩාවට යොමු වෙලා හිටියා. එවැනි අත්දැකීම් තමයි අපි රංගනයේදී බොහෝ විට එකතු කරගන්නෙ.
මේ වන විටත් මන්දාරාට හොඳ ප්‍රතිචාර ලැබෙනවා?
ඔව්, මේ වන විටත් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ අතර බොහෝ දෙනෙක් කියන්නෙ මේක ඔයාගෙ අපි කැමතිම චිත්‍රපටය කියල.
කවුද මේ ආරාධනය කරන්නෙ?
මගේ පළමු චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා වෙන්නෙ ප්‍රියන්ත කොළඹගේ මහත්මයා. ඔහුගේ සිනමා නිර්මාණයක මේ වගේ පිටපතක් තියෙනව කිව්වාම මම හරි සතුටු වුණා. මොකද පොඩිකලෙ ඉඳන්ම මගේ ජීවිතය වුණේ පැසිපන්දු ක්‍රීඩාව. ඒ තුළින් ලැබූ පන්නරය ජීවිතයේ ගොඩක් අභියෝගයන්ට මුහුණ දෙන්න මට ශක්තියක් වුණා.
මන්දාරා චුලක්‍ෂිගේ ජීවිතයට බොහොම සමීපයි?
ඇත්තටම ඔව්. දැනට මම විවාහ වෙලා දරුවො ලැබිල නැති වුණත්, යෞවනයේ පසුවන මන්දාරාගේ සිතුම්පැතුම් ක්‍රීඩිකාවකට හරි සමීපයි. ක්‍රීඩාවකින් කෙනකුට ලැබෙන්නෙ ඉවසීම, සංයමය සහ ජයපරාජයේදි නොසැලී දරාගැනීමේ හැකියාව. මන්දාරා තුළින් මේ දේවල් හොඳින් නිරූපණය වෙනවා.
පාසල් කාලය ගැන මතක් කළොත්?
මගේ පාසල කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය. මම පාසල් පැසිපන්දු කණ්ඩායමේත් ක්‍රීඩිකාවක්. නමුත් ජාතික කණ්ඩායමට තේරීපත්වෙන්නෙ කොළඹ ආවට පස්සෙ. මම මේ හැමදෙයක්ම ලබාගත්තෙ මගේ පාසල නිසා.
ක්‍රීඩාවෙන් ඉවත් වුණේ ඇයි?
පැසිපන්දු ක්‍රීඩාවෙන් මම තවත් ඉදිරියට යනව නම් වාණිජමය පැත්තෙන් බැංකු ක්‍ෂේත්‍රයේ රැකියාවක් කරනව කියන බලාපොරොත්තුවෙන් තමයි හිටියෙ. නමුත් මම පැසිපන්දු ක්‍රීඩාවට සමුදෙනව කියන තීරණයත් එක්ක මගේ දෛවය වෙනස් වෙනව. එතැනින් පස්සෙ මම තීරණය කරනව නිරූපණ ක්‍ෂේත්‍රයට එන්න වගේම කලාකාරිණියක් වෙන්න.
එදා පැසිපන්දු ක්‍රීඩිකාව අද රටම දන්න රංගන ශිල්පිණියක්?
ඇත්තටම ඒ ගැන හරිම සතුටුයි. ක්‍රීඩිකාවත් තුළ තිබුණ දේවල් නෙමෙයි අද මම රංගන ශිල්පිණියක් විදිහට හදාරන්නෙ. රිදී තිරය කියන තැන මට හීනයක්. කවදාවත් එතන මම ඉන්නව කියල හිතුවෙ නැහැ. මොකද මගේ සිහිනය වුණේ ත්‍රිවිධ හමුදාවේ හෝ වාණිජමය පැත්තෙන් වෘත්තීයමය පැසිපන්දු ක්‍රීඩිකාවක් වීම.
ඒ සිහිනය අද බොඳවෙලා?
ඔව්, ඒ සිහිනය අද බොඳවෙලා කිව්වොත් නිවැරදියි. නමුත් මගේ පාසලේ දිස්ත්‍රික් තරගවලට ආරාධනා ලැබුණොත් අදටත් මම ක්‍රීඩා කරන්න යනව. කුඩා කාලයේ සිහිනය මම නැතිකරගන්නෙ නැහැ.
චුලක්‍ෂි සිනමා නිළියක් හැටියට හඳුන්වාගන්නද උත්සාහ කරන්නෙ?
මම රිදී තිරයට කැමතියි. ඒ වගේම මම කැමතියි සිනමා නිළියක් විදිහට ඉන්න. නමුත් ඒ අතරතුර හොඳ පිටපතක් එක්ක මෙගා නොවන, අභියෝගාත්මක චරිතයක් ලැබුණොත් භාරගන්නවා කියන තැන මම ඉන්නව.
සිනමාව ගැන මොන වගේ අදහසක්ද තියෙන්නෙ?
සිනමාව කියන්නෙ හරි සුන්දර තැනක්. ගොඩක් දෙනෙක් කියන්නෙ ලංකාවේ සිනමාවට වැඩිය අපි ආදරය කරන්නෙ විදේශීය සිනමාවට කියල. නමුත් වර්තමානය වන විට ඒ අදහස වෙනස් කරන කාලයක් යුගයක් උදාවෙලා තියෙනව කියල මට හිතෙනව.
මේ දවස්වල මොකද වෙන්නෙ?
මේ දවස්වල මම භාරගත්ත චිත්‍රපට දෙකක් වෙනුවෙන් ශරීරයේ හැඩය වෙනස්කරගෙන චරිතයට අනුගත වෙන්න උත්සාහ කරමින් ඉන්නව.
නිරූපණයට තවමත් ආරාධනා ලැබෙනවද?
නිරූපණ කටයුතුවලට ආරාධනා ලැබෙනව. නමුත් මම නිර්මාණ භාරගන්නෙ තෝරාබේරාගෙන.
මන්දාරා රූගතකිරීමේදී ලොකුම අභියෝගය තිබුණෙ කූඩැල්ලන්ගෙන්ද?
කූඩැල්ලන්ට මම හරිම බයයි. රූගතකිරීම්වලදි උඩකින් පනින්න, සර්පයෙක් ඇඟේ දාගන්න හෝ වෙන ත්‍රාසය දනවන ඕනෑම දෙයක් කිව්වත් බයක් දැනෙන්නෙ නැහැ. නමුත් ෂූටිංවලට යන තැන කූඩැල්ලන් ඉන්නව කිව්වොත් මට චිත්‍රපටයට තියෙන ආසාවත් නැති වෙනව. එයින් එකෙක් ඇඟට ආවොත් ඌ ඉන්න තැනවත් කියාගන්න බැරිව මම කරන්නෙ කෑගහන එක.
මහේෂ් එදිරිසිංහ
ඡායාරූප – භූමි වික්‍රමසිංහ