පිටිය අතහැර වේදිකාවට ගොඩ වුණ – වොලිබෝල් විනිසුරුවරයා

175

අද ආලෝකකරණ ශිල්පියෙක්
කතාබහ – රංග සමරකෝන්


 * ප‍්‍රවේශය

 මම පාසල් ගියේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට. ඒ කාලේ අපේ කණ්ඩායමක් හිටියා. පාසලේ දහය ශ්‍රේණියේදී පමණ තමයි මේ අයව මුණගැහෙන්නෙ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අද ජනප‍්‍රිය රංගන ශිල්පීන්. ධර්මප‍්‍රිය ඩයස්” අනුරාධා පෙරේරා” කාවින්ද සුරේන්” කලණ ගුණසේකර වැනි අය මේ කණ්ඩායමට ඇතුළත් වුණා. මේ සියලූ දෙනාගෙම ගුරුවරයා වුණේ පේ‍්‍රමකුමාර කරුණාරත්න මහත්මයා. සාමාන්‍ය පෙළ විභාගය අවසන් වුණ කාලෙම ධර්මප‍්‍රිය ඩයස් නාට්‍යයක් කළා. ඒක නම් කළෙ ‘බිංදුව. කියල. මේක තමයි මම මුලින්ම රංගාලෝකකරණය කළ නාට්‍යය වුණෙ.

 * දැනුම සොයා

 මුල් කාලයේදී රංගාලෝකකරණ ශිල්පියෙක් වන උපාලි වීරසිංහ මහත්මයා සමග මට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. එතුමා නෑකමට අපේ බාප්පා කෙනෙක් වෙනව. මේක තාක්‍ෂණයත් සමග යන ශිල්පයක් නිසා මේ සම්බන්ධයෙන් යමක් ඉගෙන ගන්න ඕනා කියන දේ කාලයත් එක්ක මට දැනෙන්න ගන්නව. ඒ අනුව මම ඊළඟට යොමුවෙන්නෙ ශී‍්‍ර ලංකා ආධුනිකත්ව අභ්‍යාස ආයතනයට. මෙතනදි මට ලැබෙන්නෙ තාක්‍ෂණය සම්බන්ධ මූලික දැනුම විතරයි. මොකද රංගාලෝකකරණය ගැන ඉගෙනගන්න ලංකාවේ කිසිම තැනක් නැහැ. එදා වගේම අදත් එහෙමයි. අපිම ඒ දැනුම හොයාගෙන යන්න ඕන. ඒක ලබාගන්න වෙන්නෙ අත්දැකීම් එක්ක. අපි ක්‍ෂේත‍්‍රයට එන කාලෙ ලංකාව තුළ අන්තර්ජාල පහසුකම් ජනප‍්‍රිය වෙලා තිබුණෙ නැහැ. නමුත් ඒ කාලේ අපිට ජාත්‍යන්තර නාට්‍ය උළෙලවලට යන්න අවස්ථාව ලැබුණා. මේ අවස්ථා වලදි අපි දැක්ක ජාත්‍යන්තරයේ තියෙන තාක්‍ෂණය. ඔවුන් කොහොමද ඒවා ප‍්‍රයෝජනයට ගන්නෙ කියන දේ. ඒ ලබපු අත්දැකීම් තමයි අපේ නිර්මාණවලට ප‍්‍රයෝජනයට ගත්තෙ.

පිටිය අතහැර වේදිකාවට ගොඩ වුණ - වොලිබෝල් විනිසුරුවරයා

* ප‍්‍රසිද්ධ වේදිකාවට

 ආධුනිකත්ව අභ්‍යාස ආයතනයේ පුහුණුව අවසන් වෙලා ඉන්න අතරෙ ඉන්දික ෆර්ඩිනැන්ඩු මහත්මයා අධ්‍යක්‍ෂණය කළ ‘ජනාධිපති තාත්තා. නාට්‍යයේ රංගාලෝකකරණ කටයුතු කරන්න මට අවස්ථාව ලැබෙනව. මේ සමග පළමු වරට ප‍්‍රසිද්ධ වේදිකාවට එන්න මට මග පෑදෙනව.

 * තීරණය

 මගේ ගමන් මග තිබුණෙ ක්‍ෂේත‍්‍ර දෙකක. එකක් වොලිබෝල්. අනෙක වේදිකාව. මුල් කාලයේදී මම ශ‍්‍රී ලංකා වොලිබෝල් විනිසුරුවන්ගේ සංගමයේ සාමාජිකයෙක් වෙලා හිටියා. නමුත් එක තැනකදි මට තීරණයකට එන්න සිද්ධ වෙනව. එතනදි මම තෝරාගන්නෙ වේදිකාව. මගේ බිරිඳ අනුරාධා පෙරේරා. ඇයත් රංගන ශිල්පිණියක්. ඇය වගේම වේදිකාවෙන් මම ලබපු ආස්වාදයත් මේ තීරණයට හේතු වුණා කියන්න පුළුවන්.

 * වෘත්තිය

 එදා මම වේදිකාව තෝරා ගනිද්දි වෘත්තීයමය පැත්තෙන් අවාසියක් වෙනව කියල හිතන්න පුළුවන් තත්ත්වයක් තිබුණෙ නැහැ. මොකද එදා ලංකාවේ වොලිබෝල් තිබුණෙත් වේදිකාව හා සමාන මට්ටමක. අදත් ඒ තත්ත්වයේ වෙනසක් නැහැ. නමුත් මම අද වේදිකාවේ වගේම නර්තන ප‍්‍රසංගවල සහ සංගීත ප‍්‍රසංග වලත් රංගාලෝකකරණ කටයුතු සිදුකරනවා.

පිටිය අතහැර වේදිකාවට ගොඩ වුණ - වොලිබෝල් විනිසුරුවරයා

* තාක්‍ෂණය සහ අපි

 ලෝක තාක්‍ෂණය ලංකාව එන්නෙ වසර පහළොවකට පමණ පස්සෙ. දැනුම ගෙනාවත් තාක්‍ෂණය ගේන්න බැහැ. තාක්‍ෂණය කොහොමද කලාවක් හැටියට භාවිත කරන්නෙ කියන දේ තමයි අපේ වෘත්තියේදි මූලික වෙන්නෙ. අපි පටන්ගන්න කාලෙ කිහිප තැනක මේ උපකරණ තිබුණත් ඒවා බොහොම පරිස්සම් කළා. එක කාලෙක ජෝන් ද සිල්වා රඟහලට ජපානයෙන් ලයිට් සිස්ටම් එකක් ගෙනාවා. ඒක අපිට අල්ලන්නවත් දුන්නෙ නැහැ. එතනදි අපිට රණ්ඩු වෙන්න පවා සිදු වුණා. එහෙම තමයි ලංකාවේ තිබුණ තාක්‍ෂණය අපිට භාවිත කරන්න පුළුන් තැනට හදාගත්තෙ. නමුත් මේක නෙමෙයි වෙන්න ඕනෙ. ලෝකයේ තාක්‍ෂණය රජයේ මැදිහත්වීමකින් හරි අපේ රටට ගේන්න ඕන. ඒවා පොලිතීන් වලින් වහල තියන්නෙ නැතිව අදාළ ශිල්පීන්ට පරිහරණය කරන්න අවශ්‍ය දැනුම ලබා දෙන්න ඕන. එහෙම නොවුණොත් අපේ රටේ කලාව තාක්‍ෂණයත් එක්ක ඉදිරියට යන්නෙ කොහොමද.

 * ජාත්‍යන්තරය සහ අපි

 අපේ රටේ තියෙන්නෙ ජංගම නාට්‍ය කලාවක්. මම විශ්වාස කරන හැටියට නාට්‍ය කලාව කියන්නෙ ඒකම නෙමෙයි. පේ‍්‍රක්‍ෂකයා සොයාගෙන ඇවිත් බලන තැනට ලංකාවේ නාට්‍ය කලාව හැදෙන්න ඕන. ජාත්‍යන්තරයේ මේ ක‍්‍රමවේදය තියෙනව. අනෙක් කරුණ තමයි” අපි නාට්‍යයක් කරන්න පටන්ගන්නත් කලින් උත්සාහ කරන්නෙ හැමෝටම පෙන්නන්න පුළුවන් විදිහට නාට්‍යය හදන්න. එතනදි නිර්මාණයේ තත්ත්වය බාල වෙනව. මේ නිසා තමයි ලංකාවේ නාට්‍ය කලාව දියුණු නොවෙන්නෙ.

 * පහසුකම්

 ලංකාවේ ර`ගහලක් හැටියට හඳුන්වන්න පුළුවන් ලයනල් වෙන්ට් එක විතරයි. නෙළුම් පොකුණ කියන්නෙ ඔපෙරා හවුස් එකක්. පේ‍්‍රක්‍ෂකයාට අලූත් තාක්‍ෂණයත් එක්ක නිර්මාණයක් රසවිඳින්න දෙන්න නාට්‍යකරුවාට අද තියෙන පහසුකම් අවමයි.

 * නවකයෝ

 මම නිරත වන ක්‍ෂේත‍්‍රයට එන නවකයන්ට මම කවදාවත් කියන්නෙ නැහැ මේක නරක තැනක් කියල. නමුත් ඕනෑම කෙනෙක් තමන් කරන වෘත්තියට අවශ්‍ය වන සුදුසුකම් ටික සපුරා ගන්න ඕන. එහෙම නොවුණොත් ඒක ස්ථිරත්වයක් නැති නවාතැනක් විතරයි.

 * අගැයීම්

 කලාවේ නිරත ශිල්පීන්ට අගැයීම් ලැබෙන ක‍්‍රියාවලි දෙකක් තියෙනව. එකක් රජයෙන්” අනික පේ‍්‍රක්‍ෂකයන්ගෙන්. මෙතනදි වේදිකාවේ තිරය පිටුපස සිටින ශිල්පීන්ට ලැබෙන අගැයීම ප‍්‍රමාණවත් නැහැ. ඇත්තටම වැඩි අගැයීමක් ලැබෙන්නෙ නළුනිළියන්ට. ඒකෙ වරදක් නැහැ. බොහෝ දෙනෙක් තිරය පිටුපස සිටින ශිල්පීන්ගෙ කාර්යභාරය හඳුනන්නෙ නැහැ. ඒ ගැන දන්න පිරිස අපිව හොයාගෙන ඇවිත් සුබපතල යන අවස්ථාත් නැතුව නෙමෙයි. නමුත් නිර්මාණය” පවත්වාගෙන යෑම සහ අගැයීම කියන ක‍්‍රියාවලියේදී අපිට අගැයීම කියල කරන්නෙත් ලොකු බොරුවක් විතරයි. අමාරුම දේ නිර්මාණයක් පවත්වාගෙන යෑම. ඒකට ශාලා හදන්න ඕන” පහසුකම් දෙන්න ඕන. මේවා අමාරු වැඩ කියල හිතන බොහෝ වගකිවයුත්තන් කරන්නෙ නාට්‍යකරුවාට සම්මානයක් දීල ගෙදර යවන එක.


 මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment