පිට රටින් ගෙනාවොත් හාල් මිල බහියිද?

109

මේ දිනවල පාරිභෝගික ජනයා වෙතින් උස් මැසිවිලි නැඟෙනුයේ සහල් මිල සම්බන්‍ධයෙනි. වෙළෙඳ පොළේ නාඩු, සම්බා ඇතුළු සෑම වර්ගයකම සහල් මිල දිනෙන් දින ඉහළ යමින් තිබෙන බව ඔවුහු කියා සිටිති. අධික සහල් මිලට පිළියම් ලෙස රජය පැත්තෙන් ප‍්‍රතිචාර දක්වා ඇත්තේ පිටරටින් සහල් ගෙන්වීමේ වැඩ පිළිවෙළට යොමුවීමෙනි. ඒ අනුව මියන්මාරයෙන් සහල් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂයක් ගෙන්වීමට පියවර ගෙන ඇතැයි පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළ විය. ඊට අමතරව තවත් සහල් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 03ක් ආනයනය සඳහා වෙළෙඳ ඇමැතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවකට අනුමැතිය හිමි වූ බවද කියැවේ.

රටින් සහල් ගෙන්වීමේ පිළිවෙතට රජය යොමුවී ඇත්තේ වෙළෙඳ පොළේ සහල් මිල ඉහළ යෑම පිළිබඳ ප‍්‍රශ්නයට ඒකායන විසඳුම ලෙස විය හැක. එසේ වුවද වෙළෙඳ පොළේ සැබෑ ලෙසම සහල් හිඟයක් පවතීද? දේශීය සහල් වර්ගවල මෙතරම් ඉහළ යමින් තිබෙනුයේ කුමන හේතුවක් නිසාද? සාර්ථක වී අස්වැන්නක් ලැබුණු බව කියන පසුගිය යල් කන්නයේ වීවලට සිදු වූයේ කුමක්ද? මෙවැනි ප‍්‍රශ්නාවලියක් සමාජයේ විවිධ කොටස් වෙතින් පැන නැඟෙමින් තිබේ.

පිට රටින් ගෙනාවොත් හාල් මිල බහියිද?

සහල් මිල ඉහළ යෑම සම්බන්‍ධයෙන් මෙන්ම රටින් සහල් ගෙන්වීම පිළිබඳව ද මේ දිනවල බොහෝ දෙනාගේ කථා බහට ලක්වී තිබෙන බව නොරහසකි. එහිදී විශේෂයෙන්ම මාතෘකාවී ඇත්තේ වස විසෙන් තොර ගොවිතැනකට ගොවියා යොමුකරවීමේ බලවත් උත්සාහයක රජය යෙදී සිටින අතර රටින් ගෙන්වන සහල් රසායනික පොහොර භාවිත නොකොට නිපදවන ලද ඒවාද යන්නය. එමෙන්ම මෑත කාලයේ ආණ්ඩුව නිර්මාණය කළ පොහොර අර්බුදය හේතුවෙන් වී ගොවිතැනත් වී ගොවියාත් දැන් වළපල්ලේ යැයි ගොවීහු කියති. එහෙත් පසුගිය යල කන්නයේ රසායනික පොහොර සහ කෘෂි රසායන වර්ග හිඟයෙකින් තොරව රට තුළ පැවැතීම නිසා සාර්ථක වී අස්වැන්නක් එවර ලැබුණු බවද ඒ ගොවීහු පෙන්වා දෙති. එසේ නම් දේශීය වෙළෙඳපොළේ වී හිඟයක් ඇති වීමට මේ මොහොතේ කිසිදු හේතුවක් නොමැති බව ඔවුහු වැඩි දුරටත් කියා සිටිති. තවත් පිරිසක් පවසන්නේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් එම වී තොග සඟවා තබාගෙන සිටින බවයි. එසේ කරමින් වී මිල ඉහළ දමා ඊට සාපේක්‍ෂව සහල්වලට ද අධික මිලක් නියම කර තිබෙන බවය.

මේ අතර අම්පාර, මඩකලපුව, කුරුණෑගල ඇතුළු දිවයිනේ කෘෂිකාර්මික දිස්ත‍්‍රික්ක ගණනාවක මාස් කන්නයේ වගා කරන ලද වී වගාවේ අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී තිබෙන බව ගොවි ජනතාව පෙන්වාදෙති. එම නිසා මේ මොහොතේ රටින් සහල් ගෙන්වා වෙළෙඳපොළේ සුලබ කරවීම යනු අනිවාර්යයෙන්ම වී කිලෝවේ මිල පහළ බැස මෝල් හිමියන්ගේ මඩිය තරවීමක් බවද පෙන්වාදෙති. මෑත ඉතිහාසයේ එවැනි අත්දැකීම් අප‍්‍රමාණව තිබෙන බවත් ආණ්ඩුවේ මේ ක‍්‍රියා පිළිවෙත් තුළ ගොවියා කබලෙන් ළිපට වැටෙනු නියත බවද ඔවුහු කියා සිටිති. මෙවැනි අවස්ථාවක මේ අන්දමට සහල් ආනයනය කිරීම සිදු කරනුයේ කාගේ, කුමන උවමනාවක් මතද යන්න ගොවි ජනතාව ප‍්‍රශ්න කර සිටිති.

ඒ සම්බන්‍ධයෙන් අදහස් දැක්වූ පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති හා දිස්ත‍්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා පවසන්නේ මෙවැනි අදහසකි.

‘‘මේ වෙනකොට රටේ වී වගා කරන දිස්ත‍්‍රික්ක ගණනාවක මාස් කන්නයේ වී අස්වැන්න නෙළීම ආරම්භ වෙලා තිබෙනවා. අනුරාධපුර, පොලොන්නරුව දිස්ත‍්‍රික්කවල තව මාස එක හමාරකින් අස්වැන්න නෙළනවා. එතකොට ඒ ලැබෙන වී අස්වැන්නට මොකද වෙන්නේ. ඒ ලැබෙන වී අස්වැන්නත් නිසි මිලකට විකුණා ගන්න ලැබෙන්නේ නෑ. ඒ තිබෙන අවස්ථාව මේ ආණ්ඩුව නැතිකරලා දාන්න හදනවා කියන එක තමයි පැහැදිලිව පේන්න තියෙන්නේ. මේ මොහොතේ රටින් හාල් ගෙන්වනවා කියන්නේ අපේ ගොවියාගේ වී කිලෝවේ මිල ඉබේටම පහළ වැටෙනවා. ඒ වාසියත් මෝල් හිමියන්ට, අතරමැදියන්ට මිස වෙන කාටවත් නෙවෙයි. අපේ දෙමව්පියෝ එදා මුල් කාලේ මේ ගොවිතැන් කළේ රසායනික පොහොර යොදලා නෙවෙයි. එක්දාස් නවසිය හැට ගණන්වලට කලින් අපිට හොඳට මතකයි. නමුත් වැඩිවන ජනගහනයට අවශ්‍ය ආහාර නිපදවන්න, වැඩිපුර අස්වැන්න ගන්න තමයි මේ රසායනික පොහොර භාවිතයට යන්න මේ රටේ වී ගොවියාට සිද්ධ වුණේ. එහෙම නැතුව කාබනික වගාව අපේ රටට අලූත් දෙයක් නොවෙයි. නමුත් දැන් කාලයක් තිස්සේ අපේ රටේ මහ පොළොව හුරුවෙලා තියෙන්නේ රසායනික පොහොරවලට. අනෙක මේ දෙමුහුන් බීජ වර්ගවලට රසායනික පොහොර, කෘෂි රසායන නැතිව බෑ කියන එක මේ රටේ කෘෂිකර්මාන්තය ගැන දන්න සෑම කෙනෙක්ම දන්නවා. එහෙම තිබියදී එක රැයින් කාබනික වගාවට යන්න ආණ්ඩුව ගොවීන්ට කියලා අපේ හුරු පුරුදු ගොවිතැන අවුල් ජාලයක් කළා. ඒ අතරේ ආණ්ඩුව රටින් හාල් ගෙනැල්ලා මේ රටේ ගොඩ ගහනවා. අපි අහනවා මේ ගෙන්වන හාල් ඒ රටවල රසායනික පොහොර, කෘමිනාශක, කෘෂි රසායන භාවිත කරලා නිපදවන ඒවා නොවෙයිද? මේකද මේ ආණ්ඩුවේ කෘෂිකාර්මික ප‍්‍රතිපත්තිය. හරිත කෘෂි කර්මාන්තය කියන්නේ මේකටද? පිටරටවලින් සීමාවකින් තොරව හාල් ගෙන්වීමද? මේ හාල් කාබනික පොහොර යොදල වගා කරන ඒවායේ හාල්ද? මේ ආදී ප‍්‍රශ්න රාශියක් අප රජය හමුවේ තබනවා. නමුත් ඊට නිසි පිළිතුරක් මෙතෙක් අපිට ලැබිලා නෑ. අපේ තිබුණ පෙහොර සහනාධාරය අපිට අහිමි කළා. කාබනික පොහොර කියලා කිසිම ප‍්‍රමිතියක් නැති දහ ජරාවල් දීලා වී ගොවිතැන අවුලෙන් අවුලට පත් කළා. දේශීය කෘෂිකර්මාන්තය නංවන්න බලාපොරොත්තු වෙන්නේ මෙහෙමද? මේවයින් සිද්ධ වෙන්නේ දේශීය වී ගොවිතැනත්, වී ගොවියාත් දෙකම නැත්තටම නැතිවෙලා යන එකයි ඒ බව පැහැදිලිවම කියන්න පුළුවනි.’’

ගොවි අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු ආර්.කේ. ඉන්ද්‍රානන්ද සිල්වා මහතා වත්මන් සහල් අර්බුදය සම්බන්‍ධයෙන් මෙසේ ප‍්‍රකාශ කළේය.

”වර්තමානයේ වෙළෙඳ පොළේ සහල් මිල අසීමාන්තික ලෙස ඉහළ යෑම ආණ්ඩුව විසින් ගත්ත වැරදි ප‍්‍රතිපත්ති තීරණ නිසා ඇතිවුණු දෙයක්. එහෙම නැතිව ඉබේ ඇතිවුණු දෙයක් නොවෙයි. මීට කලින් මියන්මාරයෙන් හාල් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂයක්

ගෙන්නුවා. ඊට අමතරව දැන් ආයෙත් පිටරටින් සහල් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 03ක් ගෙන්වන්න යනවා. මේ විදියට රටින් හාල් ගෙන්වීම ඉතිහාසයේ කවරදාකවත් කරලා නෑ. එයට හේතුව අපේ රටේ ජනතාවගේ පරිභෝජනයට අවශ්‍ය සහල් මේ රටේ නිෂ්පාදනය කළා. ඇතැම් අවස්ථාවල ජාවාරම්කාරයන්ගේ අවශ්‍යතා සඳහා බියර් නිෂ්පාදනය වගේ දේවලට හාල් යොදා ගැනීම නිසා හාල් හිඟයන් ඇතිවෙලා තිබෙනවා. ආණ්ඩුවේ තකතීරු මෝඩ පොහොර ප‍්‍රතිපත්තිය නිසයි අපේ රටේ වී නිෂ්පාදනයට අද මේ ඉරණම අත්වෙලා තිබෙන්නේ. හාල් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂයක් ගෙන්වීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 6.9ක් යනවා. ඒ කියන්නේ රුපියල් කෝටි 182ක පමණ මුදලක්. මේ මුදල ගෙවන්නේ රුපියල්වලින් නොවෙයි. ඩොලර් වලින්. විශාල ඩොලර් ප‍්‍රමාණයක් ඒ සඳහා වැයවෙනවා. ඩොලර් හිඟය නිසා රසායනික පොහොර ගෙන්වීම නතර කළා කියන එක දැන් ඉතාම පැහැදිලියි. මේ වෙනකොට ඩොලර් නැති අර්බුදය නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ විශාල තොගයක් වරායේ හිරවෙලා. පිළිකා රෝහලේ පියයුරු පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග නැතිව ඒ රෝගීන්ගේ ජීවිත අවදානම් තත්ත්වයට පත්වෙලා තිබෙනවා. ඖෂධවේදීන් කියනවා අත්‍යවශ්‍ය ඖෂධ රාශියක හිඟයක් තිබෙනවා කියලා. මේ තත්ත්වය තුළ රටේ ජනතාවට තමන්ගේ ජීවිතවලින් වන්දි ගෙවන්න සිදුවෙලා තිබෙනවා. මේ වගේ අර්බුද රාශියක් ඩොලර් හිඟය නිසා රට තුළ මතුවෙලා තිබෙනවා. එවැනි පසුබිමක් තුළයි ආණ්ඩුව නැවත වතාවක් රටින් හාල් ගෙන්වන්න තීරණය කරලා තිබෙන්නේ.

මේක මෙතැනින් නතරවෙන ක‍්‍රියාදාමයක් නොවෙයි. මේ රටේ පවුල් ලක්‍ෂ 45ක් දවසකට හාල් කිලෝ 02ක් පරිභෝජනය කරනවා කියලා උපකල්පනය කළොත් සහල් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ එකක් ප‍්‍රමාණවත් වෙන්නේ දවස් 10කට පමණයි. ඒ කියන්නේ දැන් ගෙන්වන හාල් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 03 සෑහෙන්නේ දවස 90කට. රජය මේ හාල් ගෙන්වන්නේ යූරියා ඇතුළු රසායනික පොහොර වැඩිපුරම යොදලා වී ගොවිතැන කරන රටවලින්. එහෙම නොවෙයි කියන එක කවුරුවත් කියන්නේ නෑ. ඒ අනුව ආණ්ඩුවේ වස විසෙන් තොර ගොවිතැන කියන කථාව විහිළුවක් වෙලා තියෙනවා. මම අර කලින් කියපු ආකාරයට ආණ්ඩුවේ දරදඬු පොහොර ප‍්‍රතිපත්තිය නිසයි කියන එක ඉතාම පැහැදිලියි. නමුත් ඒක පිළිගන්න ජනාධිපති, කෘෂිකර්ම ඇමැති මේ කිසිම කෙනෙක් සූදානම් නෑ. රටේ ජනතාව වී අස්වැන්න නෙළන වෙලාවේ මේ විදියට කවදාවත් රටින් හාල් ගෙන්නුවේ නෑ. නමුත් මහා පරිමාණ මෝල් හිමියෝ ආණ්ඩුව අල්ලේ නටවනවා. හාල් මාෆියාවත් එක්ක හුරතල් වෙන විදිය මෙයින්ම පේනවා. ඒ අයගේ අභිමතයට අනුව කටයුතු කරන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරලා දීලා. පසුගිය දවසක ඩඞ්ලි සිරිසේන කියලා තිබුණා හාල් මිල මීට වඩා වැඩිවන්නේ නෑ කියලා. ඒ අය මේ වගේම සහතිකයක් මීට කලිනුත් දුන්නා මාස කීපයකට කලින්. රජය හාල් පාලන මිල ගැසට් පත‍්‍රය අහෝසි කරපු වෙලාවේ ඒ ගැන සතුට පළ කරලා. නාඩු හාල් රුපියල් 120 ටත් සම්බා හාල් රුපියල් 140ටත් වඩා වැඩි වෙන්නේ නෑ කියලා. නමුත් ඒ එහෙම පිටින් බොරුවක් කියලා ඔප්පු වුණා. අපි හො\කාරවම දන්නවා මේ අය ගොවියන්ගෙන් ඉතාම අඩුමිලට ගත්තු වීවලින් ඒ කියන්නේ රුපියල් 50ට අඩුවෙන් ගත්තු වී සහ රුපියල් 60 ට අඩුවෙන් ගත්තු සම්බා වීවලින් තමයි අදටත් හාල් නිෂ්පාදනය කරන්නේ කියලා. නමුත් ඒ අය හාල් මිල තීරණය කරන්නේ අද පවතින ඉහළම මිලට.

ගොවි නායක කවුඩුල්ලේ එම්.කේ. ජයතිස්ස මහතා- ”අපි පාරිසරික ගොවිතැනට යොමු වෙලා ඉන්නේ දැනට කාලයක් පටන් 1995දී ඉඳලා. නමුත් ආණ්ඩුව පාරිසරික ගොවිතැනක් පිළිබඳව කථා කරමින් පිටරටින් හාල් ගෙන්වීම ලොකුම විහිළුවක්. ආණ්ඩුව රසායනික පොහොර ගොවීන්ට දීම නවත්වලා වී ගොවිතැනේ මේ ආලාපාළු වෙලා තියෙන වගාවේ අස්වැන්න හැබෑ වශයෙන්ම ලැබෙන්නේ අප‍්‍රියෙල් මාසයේදී විතර. නමුත් රසායනික පොහොරයි, කෘමි නාශක, වල් නාශක යොදල කරපු පහුගිය යල් කන්නයේ අස්වැන්නට මොකද වුණේ. සාර්ථකම අස්වැන්නක් පසුගිය කන්නයේ ලැබුණා. එහෙම නම් මේ විදියට හාල් හිඟයක් කොහොමටත් රටේ ඇතිවෙන්න හේතුවක් නෑ. මේ ඇතිකරලා තියෙන්නේ කෘතිම හාල්, වී හිඟයක්. ඒක ඉතාම පැහැදිලියි. ඒ ගැනයි ආණ්ඩුව හොයන්න ඕන. නමුත් මේ හාල් මාෆියාව ඇති කලේ ආණ්ඩුව විසින් කියන එක හැමෝම දන්නවා. හරියට කොයි වගේද කිව්වොත් බ්‍රොයිලර් කුකුළා වගේ. ආයුෂ කාලය දවස් 21යි නැත්නම් 25යි. ශීතකරණයේ ඉන්නවා මාස ගණන් අවුරුදු ගණන්. ඒ වගේ තමයි ගොවියාගේ වී අවුරුදු ගණන් මුදලාලිගේ, මෝල් කාරයන්ගේ ගබඩාවේ තියෙනවා. ආණ්ඩුව මහ මෝල්කාරයන්ට කඩුව දීලා, කොපුව ගොවියා අතට දීලා තියෙන්නේ. ආණ්ඩුව මෝල්කාරයන් ළඟ හිරවෙලා ඉන්නේ කියන එක හොඳාකාරවම පේන කාරණයක්. ගොවියා කුඹුරේ වගා කරන්නේ වී වර්ග දෙකයි නාඩු සහ සම්බා. නමුත් හාල් මෝල්වලින් හාල් වර්ග ගණනාවක් වෙළෙඳපොළට යැවෙනවා සුපිරි ලේබල්වලින්. අධික මිල නියම කරලා ඒවායින් තමයි පාරිභෝගිකයා සූරා කන්නේ. නැත්නම් කුඹුරුවල කොහෙද සුපිරි හැදෙන්නේ. අනෙක් කාරණය තමයි අපි සහලින් ස්වයංපෝෂිත වෙනවා කියන කොටම එහි වාසිය එන්නේ මෝල්ලූන්ට. එම නිසා අපි අද ඉන්න වැරදි තැනින් ඉවත් වෙලා අපේ පැරණි ආහාර සංස්කෘතියට යායුතුයි. මොකක්ද ඒ. උඳු, කුරක්කන්, මුංඇට ආදී ධාන්‍ය වර්ග අල වර්ග ආදිය මේවා අපේ ආහාර වේලට එක්කර නොගෙන අපි තුන්වේලම බත් විතරක් කෑමේ වාසියත් හාල් මෝල්කාරයාගේ ඔඩොක්කුවට තමයි ගිහිල්ලා තියෙන්නෙ. ඒ නිසා අපි අපේ පැරණි ආහාර සංස්කෘතිය නැවත ගොඩ නඟන්න ඕන. ඒක ශක්තිමත් කරන්න ඕන.’’

මිණිපේ ගොවිජනපද ව්‍යාපාරයට අයත් හසලක මොරයාය ප‍්‍රදේශයේදී පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මහනුවර දිස්ත‍්‍රික් සහල් නිපදවන්නන්ගේ සමුපකාර සමිතියේ සභාපති නිශාන්ත බණ්ඩාර අත්තනායක මහතා ප‍්‍රකාශ කළේ සහල් මිල මේ අන්දමට වැඩිවීමට හේතුව මහා පරිමාණ සහල් මෝල් හිමියන් වී තොග සඟවාගෙන සිටීම බවයි. රජයේ අවිධිමත් වැඩපිළිවෙළ නිසා වෙළෙඳපොළ අවශ්‍යතාවයෙන් වැඩි ප‍්‍රමාණයක් සහල් සැපයූ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් මේ වනවිට කඩාවැටී ඇති බව පෙන්වාදුන් ඒ මහතා දැරිය නොහැකි අන්දමට දිනෙන් දින සහල් මිල ඉහළ යෑම නිසා පාරිභෝගික ජනතාව හෙම්බත්වී සිටින බව කීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය. අපේ රටේ වී අලෙවි මණ්ඩලය කියලා එකක් තිබුණත් ඒකේ වී නෑ. වී එකතු කරන වැඩ පිළිවෙළක් ආණ්ඩුවට ඇත්තෙත් නෑ. සහල් නිෂ්පාදනය ඒකාධිකාරියකට පවරලා දීලා ආණ්ඩුව නිදහස් වෙලා ඉන්නේ. සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට සහල් නිපදවීමට අවශ්‍ය වී තොග ඔවුන් සතුව නෑ. දැන් ගොවීන් ළඟත් වී නෑ. මේ වනවිට සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් විශාල පිරිසක් බැංකුවලින් ලබා ගත්තු ණය ගෙවාගන්න බැරිව ඉන්නවා. තවත් බොහෝ දෙනෙකුගේ දේපල බැංකුවලට සින්න වෙමින් යනවා. ඒවා වෙන්දේසි කරන දිනය වැඩි ඈතක නෑ. සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් මේ අන්දමට කඩා වැටුණේ රජයේ අවිධිමත් වැඩපිළිවෙළ නිසයි. වී මිල වැඩිවීමට හේතුව මහා පරිමාණ සහල් මෝල් හිමියන් වී තොග සඟවාගෙන සිටීමයි. එහෙම නැතිව රටේ වී හිඟයක් හෝ සහල් හිඟයක් නෑ. පසුගිය යල කන්නයේ වී නිෂ්පාදනයේ අඩුවක් වුණේ නෑ.

රටින් ගේන දේවල් කාලා වකුගඩු ලෙඩ හැදෙන්නේ නැද්දැයි රටේ ජනතාවට ලොකු ප‍්‍රශ්නයක් තිබෙන බව පවසන්නේ ආදී වාසී නායක විශ්වකීර්ති වනස්පතී ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ය. අපේ රටේ ගොවිතැන අසාර්ථක වනවිට පිටරටින් ඒ ආහාර ද්‍රව්‍ය ගෙන්වනවා කියලා ඇමැතිවරු උජාරුවට කියන්නේ ඒ රටවල්වල පොහොර ගහලා බෙහෙත් ගහලා නෙවෙයිද ඒවා වගා කරලා තියෙන්නේ යැයි ආදිවාසි නායකයා විමසා සිටියේ පසුගියදා දඹාන කොටබකිණිය ගම්මානයේදී මාධ්‍යයට අදහස් දක්වමිනි. රජයේ පොහොරට විතර ද වකුගඩු රෝග හැදෙන්නේ. සමාගම් රටපුරා බෙදනකොට රෝග හැදෙන්නේ නැද්දැයි ආදිවාසී නායකයා එහිදී ප‍්‍රශ්නකර සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වන්නිල ඇත්තන් මෙසේද පැවැසුවේය.

”මිනිස්සු ලෙඩ වෙනවා කියලා ආණ්ඩුවෙන් බෙහෙත් පොහොර ගේන එක, දෙන එක නැවැත්වූවා. අද වෙනකොට කොම්පැණිවලින් විශාල වශයෙන් මුදල් අයකරමින් ගොවි ජනතාවට පොහොර අලෙවි කරනවා. ආණ්ඩුවෙන් පොහොර දෙනකොට විතරද මිනිසුන්ගේ වකුගඩු නරක් වෙන්නේ. කොම්පැණිවලින් දෙනකොට වකුගඩු අමාරුකම් ඇතිවෙන්නේ නැද්ද? රටේ ගොවිතැන අසාර්ථක වෙනකොට පිටරටින් ඒ ආහාර ද්‍රව්‍ය ගෙන්වනවා කියලා ඇමැතිවරු උජාරුවට කියනවා. එතකොට ඒ රටවල්වල පොහොර ගහලා බෙහෙත් ගහලා නෙවෙයිද ඒවා වගා කරලා තියෙන්නේ. රටින් ගේන දේවල් කාලා වකුගඩු ලෙඩ හැදෙන්නේ නැද්ද? රටේ ජනතාවට මෙන්න මෙතන ලොකු ගැටලූවක් තියෙනවා. දැන් වෙනකොට ගොවියා කබලෙන් ළිපට ඇදලා දාලා. කළුකඩකාරයෝ කොම්පැණිකාරයෝ වැඩි වාසි ලබන, මුදල් හම්බ කරගන්න තත්ත්වයට පත්කරලා තියෙන්නේ.’’

ඇමෙරිකාවේ ඉලිනෝයි, ජපානයේ තොහුකු, ඔස්ටේ‍්‍රලියාවේ දකුණු ක්වින්ස්ලන්ඞ් හා මෙල්බර්න් යන විශ්වවිද්‍යාලවල ශාක කායික විද්‍යාව සහ දේශගුණ විපර්යාස පිළිබඳ අධ්‍යයනය කළ මහාචාර්යවරයකු වන සමන් සෙනෙවීර මහනුවර හන්තාන ජාතික අධ්‍යයන මූලික ආයතනයේ විධායක අධ්‍යක්‍ෂවරයා ලෙසද කලක් කටයුතු කර ඇති මෙරට සිටින ප‍්‍රධාන පෙළේ විද්වතෙකි. රජයේ සහල් ආනයන වැඩපිළිවෙළ පිළිබඳව දරන මතය අප විමසා සිටි අවස්ථාවේ මහාචාර්යවරයා පැවැසුවේ දේශීය ගොවීන්ට රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය තහනම් කර කාබනික නොවන සහල් විශාල වශයෙන් ආනයනය කිරීමට රජය කටයුතු කිරීම හාස්‍යයට කරුණක් බවයි. චීනය, මියන්මාරය යන රටවල් කාබනික කෘෂිකර්මාන්තය යන වචනයවත් හරිහැටි දන්නේ නැති රටවල් බවත් මේ ආනයනය කරන ආහාර ද්‍රව්‍ය කිසිවක් කාබනික වගාවලින් ලබාගත් ඒවා නොවන බවද පෙන්වා දෙයි.

”අපේ රටේ ගොවිතැන මෑත කාලයේ විශාල අර්බුදයකට ලක්වෙමින් තිබෙන බව පැහැදිලියි. ඒකට හේතුව කාබනික ගොවිතැනට සීග‍්‍රයෙන් යොමු කිරීම. ලෝකයේ කිසිම රටක් සීයට සීයක් කාබනික ගොවිතැනට යොමුවෙලා නෑ. මෙය කළ යුතුව තිබුණේ ක‍්‍රමානුකූලවයි. මේ වෙනකොට රටේ වී සහ අනෙකුත් බෝගවල අස්වැන්න ලොකු ප‍්‍රමාණයක පසුබෑමක් තියෙනවා. දැනගන්නට තිබෙන තොරතුරු සහ දත්ත අනුව සියයට පනහකට වැඩි වී අස්වැන්න අඩුවීමක් මේ කන්නයේ ඇතිවිය හැකියි කියලා විශ්වාස කරනවා. එවැනි විශාල අඩුවීමක් වුණොත් අනිවාර්යයෙන්ම අවශ්‍ය කෑම බීම විශාල ප‍්‍රමාණයක් පිටරටින් ගේන්න සිද්ධ වෙනවා. අප මේ තත්ත්වය මීට කලින් දැනුවත් කළා හැකි සෑම ආකාරයකින්ම. නමුත් රටේ දේශපාලන බල අධිකාරිය සහ නිලධාරීන් එතරම් තැකීමක් වැඩි උනන්දුවක් දැක්වූයේ නෑ. දැන් ප‍්‍රශ්නය දෙගුණ තෙගුණ වෙලා. මේ අපනයනය කරන ආහාර ද්‍රව්‍ය කිසිවක් කාබනිකව වගා කරපු ඒවා නොවෙයි. චීනය, මියන්මාරය මේ රටවල් කාබනික කියන වචනයවත් හරිහැටි දන්නේ නැති රටවල්. මේ ගේන සහල් අපේ රටේ නිපදවන සහල් සමඟ සන්සන්දනය කරනවිට විශාල වෙනස්කම් දකින්න පුළුවන්. අපේ සහල් අනිවාර්යයෙන්ම ගුණාත්මකව හොඳ තැනෙක තියෙන්න ඕන. මොකද අපට වැඩිය ලොකු ප‍්‍රමාණයක් ඒ රටවල් කෘෂි රසායන භාවිතා කරනවා. රජය සහල් ආනයනය කළේ මිල ඉහළ යෑම පාලනය කිරීමට විය හැකියි. නමුත් ගුණාත්මක බව පිළිබඳ ප‍්‍රශ්නය ගත්තහම පාරිභෝගිකයාත් අසරණවී ඇති බව පේනවා. ලංකාවේ කුඹුරු හෙක්ටයාර් එකකින් ලැබෙන සාමාන්‍ය අස්වැන්න මෙටි‍්‍රක් ටොන් හතරයි දශම දෙකක්. මෙය ගොඩක් වැඩි කිරීමට පුළුවන්. ජපානයේ මෙටි‍්‍රක් ටොන් අටක් පමණ වෙනවා. චීනයේ එය අටත් දහයත් අතර වෙනවා. වී වගා කරන රටවල් අතර අස්වැන්නේ පරතරය ඒ තරම් විශාලයි. ගොවියාගේ ආර්ථිකයත් රටේ ආර්ථිකයත් විශාල ප‍්‍රමාණයකින් ඉහළ දැමීමට නම් අපත් ඒ මට්ටමට යායුතුයි. කෘෂි රසායන තහනම එක පාරටම කරන්න යෑම තුළ විශාල බිඳවැටීම් රාශියකට හේතුවී තිබෙනවා. ඒ තුළ සිද්ධ වුණේ වෙනස් ප‍්‍රතිචාරයක්. එතෙක් තිබුණු ප‍්‍රශ්න තවත් සිය ගුණයකින් වැඩිවුණා. කෘෂි රසායන ද්‍රව්‍ය අපේ රටේ වකුගඩු රෝගයට විශාල බලපෑමක් තිබෙන බවට කිසිම සාක්කි. සාධක නැති බොරු කියමින් පිරිසක් මේ රටේ නායකයන් නොමඟ යැව්වා. එමගින් ආර්ථික දියුණුවට බලපෑමක් ඇති වුණේ නෑ. එයින් සිද්ධ වුණේ එකම දෙයයි, රට බරපතළ අගාධයකට ඇද වැටීමයි. එම නිසා මේ තත්ත්වය නැවත නිවැරදි කිරීමට නම් අපි කළ යුත්තේ අපේ රටේ පොහොර සහ රසායනික ද්‍රව්‍යවල හොඳ පරිපාලනයක් ඇති කිරීම. නිවැරදි කළයුත්තේ එය කියලයි අපි යෝජනා කරන්නේ. පිටරටවලට අත නොපා රටට අවශ්‍ය සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය බොහොමයක් රට තුළ පහසුවෙන් නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව තවදුරටත් අපට තිබෙනවා.’’

වෙළෙඳ පොළේ සහල් මිල ඉහළ ගියේ එහි පාලන මිලේ වගකීමෙන් ආණ්ඩුව ඉවත් වීමත් සමඟ වඩාත් ශක්තිමත් වූ මහා පරිමාණ සහල් මෝල්කරුවන්ගේ ඒකාධිකාරිය නිසා බැව් බොහෝ දෙනා පෙන්වාදෙන කරුණෙකි. එහි ප‍්‍රතිපලයක් ලෙස මෙරට වෙළෙඳ පොළේ සහල් මිල අහස උසට ඉහළ නඟිමින් තිබෙනුයේ පාරිභෝගික ජනයා බරපතළ පීඩාවකට පත්කරමිනි. සහල් මිල පහළ දැමීම අරමුණු කරගනිමින් බව කියමින් රජය සහල් ආනයනය කිරීමට පියවර ගෙන තිබේ. හිඟයෙකින් තොරව රටට අවැසි සහල් මේ දක්වාම නිෂ්පාදනය කෙරුණු බව නොරහසකි. නමුත් ආණ්ඩුව එක එකාගේ ලණු ගිලදමා මෙරට කෘෂිකර්මාන්තය මරණ මංචකයට ඇද දමා තිබෙන බවත් වී ගොවිතැනට කණකොකා හැඬවුණේ ආණ්ඩුවේ වරදින්ම බවත් ගොවි ජනයා කරුණු කාරණා ඇතිව පෙන්වා දෙති. අපේ බත්පත සඳහා පිටරටවලට දත නියවන්නට සිදුවී නම් ඒ අත්තනෝමතික ක‍්‍රියා පිළිවෙත්හි අවසන් ප‍්‍රතිපලය යැයිද ඔවුහු කියති. එහෙයින් රෑ වැටුණු වළේ දවල් නොවැටෙන්නට වගබලා ගතහොත් මේ උගුලෙන් ගැලවෙන්නට තවදුරටත් පමා නැතැයිද අත්දැකීම් බහුල මැදහත් ගොවි ජනතාව සහ විෂය දැනුමැත්තන් වැඩිදුරටත් පෙන්වා දෙති.

කරුණාරත්න ගමගේ
පසුබිම් වාර්තා සහ පින්තූර
මහියංගණය – රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment