පිතිකරුවෝ කඩුලු විසි කර ආසියානු කුසලානය ඉන්දියාවට දන් දෙති

665

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරන අයුරු නැරඹීම පිණිස දිවයිනේ සතර දිග් භාගයෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියට පැමිණ සිටි 30,000කට අධික ප්‍රේක්ෂකයන් ලජ්ජාවට පත් කරමින් ද, තවත් දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් “අනේ අපොයි” කියමින් සුසුම් හෙලද්දී ද සිය කඩුලු විසි කර දැමූ ශ්‍රී ලංකා පිතිකරුවෝ 2023 ආසියානු ක්‍රිකට් කුසලානය ඊයේ (17 වැනිදා) ඉන්දියාවට පූජා කළහ.

පැය එකහමාරක් ඇතුළත ශ්‍රී ලංකා ඉනිම සුණු විසුණු කර දැමූ ඉන්දියානු පන්දු යවන්නෝ සහ පන්දු වාර 6 කින් එම ඉලක්කය පසු කර ගිය ඉන්දීය පිතිකරුවෝ මුළු තරගය පැය දෙකක් යෑමට පෙර අවසන් කළේ සමස්ත තරගයම පන්දු වාර 21 යි පන්දු 3 කට සීමා කරමිනි.

පිතිකරුවෝ කඩුලු විසි කර ආසියානු කුසලානය ඉන්දියාවට දන් දෙති

ශ්‍රී ලංකා ඉනිම පන්දු වාර 15.2 කදී නිමා වූ අතර එහිදී ශ්‍රී ලංකා පිතිකරුවන් ලබා දුන් ලකුණු 51 ක් තරම් වූ සොච්චම් අභියෝගය පන්දු වාර 6.1 කදී ඉක්මවා යෑමට ඉන්දියාව සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා දැවී යන විටත් තවත් සිය ගණනක් ප්‍රේක්ෂකයෝ තරගය නැරඹීම පිණිස ක්‍රීඩාංගණයට ඇතුළු වීම සඳහා ගේට්ටු අසල රැස් කමින් සිටියහ.

පසුගිය වර ආසියානු කුසලාන ශූරයන් වූ ශ්‍රී ලංකාව සහ වැඩිම වරක් එම කිරුළ හිමිකර ගැනීමේ වාර්තාව් දරා සිටි ඉන්දියාව අතර ඊයේ පැවති එම අවසාන මහා තරගයේදී කඩුලු 10 ක ජයග්‍රහණයක් ලබමින් ඉන්දියාව ඒ අනුව අට වෙනි වරටත් ආසියානු කුසලානය හිමි කර ගත්තේය.

පිතිකරුවෝ කඩුලු විසි කර ආසියානු කුසලානය ඉන්දියාවට දන් දෙති

බිඳ වැටුණු අපේක්‍ෂා…
ඡායාරූපය – සමන් රණවීර

ඉන්දියාව ලද එම ජයග්‍රහණයත් සමග මෙවර එහි අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු වූ අතර එය ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අනුශූරතාවයට හිමිකම් කී 7 වෙනි අවස්ථාව විය.

ශූරතාවය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායමට ඇමරිකානු ඩොලර් ලක්ෂ දෙකක් එනම් රුපියල් හය කෝටි හතළිස් හය ලක්ෂයක මුදල් ත්‍යාග පිරිනැමුණු අතර අනු ශූරතාවය දිනූ ශ්‍රී ලංකාවට තුන් කෝටි විසිතුන් ලක්ෂයක මුදල් ත්‍යාග හිමි විය.

අවසන් තරගයේ වීරයා ලෙස මොහොමඩ් සිරාජ් ද, තරගාවලියේ වීරයා ලෙස කුල්දීප් යාදවි ද සම්මාන ලැබූහ.

කාසියේ වාසිය දින දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ශ්‍රී ලංකා ඉනිමේ දෙවන පන්දුවේ සිටම විනාශයේ ආරම්භය හෙවත් පරාජයේ අදුරු මාවත විවර විය.

ආරම්භක වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාහ් ගේ පන්දුවක් හරි ආකාරව අඳුනා නොගත් කුසල් ජනිත් පෙරේරා කඩුලු රකින්නා අතට උඩපන්දුවක් ලබාදී ලකුණු බිංදුවකට දැවී යෑමත් සමග ඉන්දියාව ලබා ගත් පන්නරය නිමා වූයේ මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයන් ගේ පැතුම් ලත් තැනම ලොප් කරමිනි.

වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවෝ අනතුරුව දුරකථනයක අංකයක් සිහි ගන්වමින් එකා පිට එකා දැවී ගියහ..

එහිදී පැතුම් නිශ්ශංක ලකුණු 2 කටත්, සධීර සමරවික්‍රම ලකුණු 0 කටත්, චරිත් අසලංක ලකුණු 0 කටත්, ධනංජය ද සිල්වා ලකුණු 4 කටත්, දසුන් ශානක ලකුණු 0 කටත්, දුනිත් වෙල්ලාලගේ ලකුණු 8 කටත් කුසල් ජනිත් ට පසුව පිළිවෙළින් දැවී ගියහ.

ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 6 ලකුණු 12 ක් තුළ දවා ගැනීමට ඉන්දියානු පන්දු යවන්නන් සමත් වීමත් සමග ප්‍රේමදාස ක්‍රීඩාංගණය මහත් ශෝචනීය බවකින් ඇළලී ගියේය..

ඒ අතර අතරින් පතර ලබා ගන්නා ලකුණකින් හෝ දෙකකින් සැනසීමට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ මහත් ආයාසයක් ගත්තද ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට සමත් වූයේ කුසල් මෙන්ඩිස් සහ දුෂාන් හේමන්ත පමණි.

නම් දැරූ පිතිකරුවන් සියල්ලන් දැවී යද්දී එක් අන්තයක් ආරක්ෂා කරගෙන කුසල් කෙරෙහි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් එහිදී බලාපොරොත්තු තැබුවද මොහොමඩ් සිරාජ් ගේ 6 වෙනි කඩුල්ල ලෙස තවත් හිතුවක්කාර පහරකින් කඩුල්ල විසි කර දැමීමට කුසල් කටයුතු කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් පන්දු 34 කදී ලකුණු 17 කට දැවී ගියේය.

දුශාන් හේමන්ත නොදැවී ලකුණු 13 ක් ලබා ගත් අතර වෙල්ලාලගේ, ප්‍රමෝද් මධුශාන් සහ මතීෂ පතිරණගේ කඩුලුවලට වගකීමට හර්දික් පාන්ඩයා සමත් වූයේය.

ලකුණු 21 කට ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 6ක් දවා ගනිමින් මොහොමඩ් සිරාජ් ඊයේ දැක්වූ දක්ෂතාවය ආසියානු කුසලාන තරගාවලියක හොඳම දෙවන පන්දු යැවීම ලෙස වාර්තා වූ අතර පෙර මීට එම වාර්තාවට හිමිකම් කීවේ ශ්‍රී ලංකා ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් ය.

ඔහු ඉන්දියාවට එරෙහිව ලකුණු 13 කට කඩුලු කඩුලු 6 ක් ලබාගෙන තිබුණි.

මෙම ජයග්‍රහණය ඉන්දීය කණ්ඩායමක් වැඩිම පන්දු සංඛ්‍යාවක් ඉතිරිව තිබියදී ලබා ගත් එක් දින තරග ජයග්‍රහණය ලෙස සටහන් වූ අතර ඊයේ තරගයේදී තවත් පන්දු 263 ක් ඔවුන්ට ඉතිරිව තිබුණි.

මීට පෙර ඔවුන් වැඩිම පන්දු සංඛ්‍යාවක් ඉතිරිව තිබීයදී ලබා ගත් ජයග්‍රහණය ලෙස සටහන් වූයේ පන්දු 231 ක් ඉතිරිව කෙන්යාව ට එරෙහිව ලද ජයග්‍රහණයකි.

එසේම මෙම ජයග්‍රහණය වැඩිම පන්දු සංඛ්‍යාවක් ඉතිරිව තිබියදී අවසන් මහා තරගයක් ජය ගත් අවස්ථාව ලෙස ද මෙම තරග වාර්තා අතරට එක් විය.

මෙයට පෙර ඔස්ටේ්‍රලියාව එංගලන්තය පරදා පන්දු 262 ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණයක් වාර්තා කර තිබුණි.

ඉන්දියාව වෙනුවෙන් පන්දුවට පහර දීමට පැමිණි ඉශාන් කිශාන් නොදැවී ලකුණු 23 ක් සහ ශුබ්මන් ගිල් නොදැවී ලකුණු 27 ක් ලැබූහ.

එහිදී කිශාන් හතරේ පහර 3 කින්ද, ගිල් හතරේ පහර 6 කින් ද ප්‍රේමදාස පිටිය වර්ණවත් කර ප්‍රේක්ෂකයන්ට ඉක්මන් සමුගැන්මක් ලබා දුන්හ.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව 50/10(15.2)

කුසල් ජනිත් 00, පැතුම් නිශ්ශංක 02, සධීර සමරවික්‍රම 00, චරිත් අසලංක 00, ධනංජය ද සිල්වා 04, දසුන් ශානක 00, දුනිත් වෙල්ලාලගේ 08, දුශාන් හේමන්ත නොදැවී 13, ප්‍රමෝද් මධුශාන් 01, මතීෂ පතිරණ 00

පන්දු යැවීම

ජස්ප්‍රිට් බුම්රාහ් 5-23-1, මොහොමඩ් සිරාජ් 7-21-6, හර්දික් පාන්ඩයා 2.3.-3-3,

ඉන්දියාව 51/0(6.1)

ඉශාන් කිශාන් නොදැවී 23, ශුබ්මන් ගිල් නොදැවී 27


කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment